Tuesday, October 27, 2020

කොරෝනා ලියවිලි 11 - සරත් සේනාරත්න සර්

 කොරෝනා ලියවිලි 11 - සරත් සේනාරත්න සර්

කොරෝනා ලියවිලි ටික ආපහු පෙල ගස්වලා අරගෙන හරියටම දවස් දෙකයි ගියේ. ආපහු ලියන්න වෙයි කියලා හිතුවා විතරයි වැලිකඩ පොලිස් බල ප්රදේශයට ඇඳිරීනීතිය පැනවුනා. කලින් සැරේ ඥාණසිංහ සර් (
Gnanasingha Disanayaka
) ගැනයි කල්ලා සර් ගැනයි ලිව්වා. ඒ වගේම අපි ආදරය කරපු ගුරු දෙවි කෙනෙක් තමයි සරත් සර්. ඉගෙනීමට ලොකු උනන්දුවක් නැතිව හිටපු මට සරත් සර්ගේ ඉගැන්වීමේ රටාව සහ ගණිතය වගේ අමාරු විෂයක් සියුම් ක්රමවේදත් එක්ක අපිට උගන්නපු හැටි අද මතක් වෙද්දී තමයි සර්ගෙ වටිනාකම ගොඩක්ම දැනෙන්නෙ. මගේ වාසනාවකට මම සර්ගෙන් හය වසරෙ ඉඳල එකොළහ වසර වෙනකල්ම ඉගෙනගත්තා. ඒ නිසා සර් ගැන තියෙන්නේ පුදුමාකාර ගෞරවයක්. මම හිතන්නේ සර් හිටපු කාලේ මලියදේවෙ හිටපු හැම ළමයෙක්ම සර්ට ඒ ගෞරවය තිබුනා සර්ගෙන් ඉගෙනගත්තෙ නැතත්.
මුලින්ම සර් අපිට හමුවෙන්නෙ හය එෆ් පන්තියෙදි. ඒ කියන්නේ 1995 දී, අපි යන්තම් ප්රාථමික අංශයෙන් ගියා විතරයි. පහ වසරට එනකල් ගොඩක් වෙලාවට ඉගැන්නුවේ එක පන්තියකදී එක ටීචර් කෙනෙක්. ඒත් හය වසරට එද්දී එක එක විෂයන්ට එක එක ගුරුවරු එන්න පටන් ගත්තා. චිත්ර උගන්නපු ජයවීර බණ්ඩාර සර් තමයි පන්ති භාරව හිටියේ. පාදෙණිය මැඩම් සිංහල උගන්නන්න ආවා. විද්යාවට යටවර සර් කඩාපාත් වුනා. යටවර සර් ආපු පළවෙනි දවසෙම කිව්වා "දැන් සෙල්ලම් කරපු කාලේ ඉවරයි, දැන් තියෙන්නෙ ඉගෙනගන්න", ෆුල්ම බය හිතෙනවා ඒ කාලෙ. ඊට පස්සෙ ගණිතය පීරියඩ් එක ආවම තමයි අපි උඩ ගිහින් බිම වැටුනේ. ඒ කාලෙ අපි වගේ පස් ගුණයක් වගේ විශාල සද්දන්ත මනුස්සයෙක් ආවා. ඒ තමයි සරත් සර්, හැබැයි පන්තියට ආපු ගමන් විහිළුවක් එහෙම කරලා තමයි උගන්නන්න පටන් ගත්තෙ. මාස දෙකක් විතර යද්දී ශිෂ්යත්වේ පාස් වෙලා ආපු අපේ අළුත් යාළුවොත් ආවා. මේ වෙද්දී සර් අපිත් එක්ක හරිම එකතුයි, කවදාවත් සැර කරේ නෑ. සර්ගේ පීරියඩ් එක හැමදාම අපි ආසාවෙන් හිටියේ. සර් විෂයට අමතර ගොඩක් දේවල් කියලා දුන්නා කියවන්න ඕන පොත් ගැන එහෙම. හය වසර දැනෙන්නෙවත් නැතිව ගෙවිලා ගියා.
ඊට පස්සේ හත වසරෙදී අපි ආපහු ආසාවෙන් බලාගෙන හිටියා කවුද අපිට ගණිතය උගන්නන්න එන්නේ කියලා. සර් මට කිව්වේ "වීරජය" කියලා. සර් හතේ පන්තියට ආවාම අපිට ආයිමත් සෑහෙන සතුටු හිතුනා."වීරජය, මගෙන් ගැලවුනා කියලා හිතුවා නේද?" කියාගෙන තමයි සර් පන්තිය ඇතුලට ආවේ. හතේ පන්තියෙදී තමයි අපි සර්ට ගොඩක්ම කිට්ටු වුනේ. සර් එක එක ළමයින්ට විහිලුවට නම් තිබ්බා. ගිහානය(
Gihan Kularathne
), අබේ(
Rajitha Abayarathne
) , දල්ලා, චානා (
Kushan Chanaka Amarasinghe
), මම නිතරම වගේ සර්ගෙන් බයිට් වුන උන්. සර් කවදාවත් ඇස් රතු වෙන විහිළු කරේ නෑ. ඉවරවුන බෝල් පොයින්ට පෑන් ඇඟිලි දෙකකින් කඩලා පෙන්නුවා. කෑ ගහලා අහුවෙන උන්ව බඩ ලඟින් අල්ලලා කලිසමෙන් උස්සලා ආයි බිම තියෙනවා. සර් උගන්නලා ඉවරවෙලා කම්මැලිකම යන්නත් එක්කම මොනා හරි කතා එහෙමත් කිව්වා. ඒ අතරින් නැගලම ගියේ ඩ්රැකියුලාගේ කතන්දරය, සර් ඒක විස්තර කරපු විදිය බ්රෑම් ස්ටෝකර් පොතේ විස්තර කරපු විදියටත් වඩා පට්ට. අපි ඒක් අහගෙන හිටියෙ මීයට පිම්බා වගේ, ඉඳිකටුවක් වැටුනත් ඇහෙනවා. අපිත් එක්ක සර් මොන තරම් විහිළු කරලා හිටියත් සර්ගේ සැර මුලින්ම හරියට දැකපු දවසක් තිබුනා. අපේ හතේ පන්තිය තිබුනේ ඉස්සර බණ්ඩාර සර් සමුපකාරෙ කරපු තැන. අපේ පන්තියට සමුපකාරෙ හොඳට පේනවා. දවසක් සර් උගන්න උගන්න ඉද්දී සුදු දිග කලිසම් ඇඳගත්ත අයියලා දෙන්නෙක් ඇවිත් එතන හිනා වෙවී මොනව හරි දෙයක් කන ගමන් හිටියෙ. සර් උගන්නන එක නවත්වලා ගියා, අර අයියලා දෙන්න දැක්කෙ නෑ සර් ළඟට එනකල්ම. "මේ වෙලාවෙ මොකද මෙතන?" කියලා ඇහුවා, එච්චරයි. සර් ගහපු පාරවල් දෙකට දෙන්නම බිම. දෙන්නම නැගිටලා දිව්වා. පන්තිය ඇතුලට ඇවිත් සර් කිව්වේ, "වීරජය, දිග කලිසම් ඇඳලා පීරියඩ් එහෙම කට් එක දාන්න හිතාගෙන ඉන්නවද?" කියලා. "නෑ සර්..." ඉබේම කියවුනා. හත වසරෙ ටික දවසක් යද්දී සර්ගෙන් ඉගෙනගන්න තියෙන ආසාවටම කුරුණෑගල තක්සලා ආයතනයෙ පන්තියටත් ගියා. එතන ගණිතය ඉගැන්නුවේ සරත් සර්, විද්යාව ඉගැන්නුවේ කුරුණෑගල පරණම සර් කෙනෙක් වුන මානෙල් වික්රමසිංහ සර්. මමයි, දල්ලායි, චරිතයයි(
Charith Kulathilaka
), ගලයයි(
Thilan Abeykoon
) තමයි ඒ කාලේ මේ පන්තියට ගියේ. සෙන්ට් ඈන්ස් එකේ යාසීර්, නස්මි(
Mohomed Nazmi
), කුලේ(
Indika Bandara Kularathana
) වගේ ගොඩක් යාළුවොත් මෙතනට ආවා. ගර්ල්ස්, කොන්වන්ට් කෙල්ලොත් ඒ කාලෙ ගොඩක් ආවා මේ පන්තියට.
හැබැයි අපි අට එෆ් පන්තියට යද්දී සර් එයි කියලා බලන් හිටියත් සර් ආවේ නෑ ගණිතය උගන්නන්න. ආවේ කරුණාරත්න සර් ඒ වෙනුවට. කරුණාරත්න සර් හොඳ වුනාට එපාම වෙනවා ඉතින් උගන්නද්දී. පන්තියට එනවා, ඩයරිය බිමට තියෙනවා, ආයුබෝවන් කියනවා, එතන ඉඳලා හනුමා දර පලනවා වගේ ගණන් හදනවා. ඊට පස්සෙ ඔක්කොම ඉවරවෙලා "ළමයි තේරුණා නේද? හරි එහෙනම් 8:1, 8:2, 8:3 අභ්යාස මාලා ටික හෙට එනකොට ගෙදරින් කරගෙන එන්න" කිව්වා, සර් ගියා. තේරුණෙ නෑ කියන්නවත් විදියක් නෑ ඉතින්. මේ වෙද්දීත් මම සරත් සර්ගෙ පන්තියට යන නිසා දෙයියනේ කියලා ගණිතය ටික තේරුණා කරුණාරත්න සර් මොන විදියට ඉගැන්නුවත්. ඔහොම ඉඳලා නවය වසරට ගියාම වැටුනේ නවය එෆ් පන්තියට. මේ වෙද්දී නවය සී පන්තියෙ පන්ති භාරව හිටියෙ සරත් සර්. "අනේ සර්ගෙ පන්තියට යන්න තියෙනම්" කියලා හිතුනා දවස් 2-3ක් යද්දී. ඒකේ පන්ති භාරව හිටියෙ ඉංග්රීසි කරපු අපේ සුභාශ් සර් එහෙම නැත්නම් ඩ්රැකියුලා සර්. ඔහොම ඉද්දී සතියකින් විතර සරත් සර් එක පාරටම නවය එෆ් එකට ඇවිත් "මගේ පන්තියෙ තව ළමයි 2-3ට ඉඩ තියෙනවා, කවුද එන්නේ?" කියලා ඇහුවා. මම සටස් ගාලා නැගිටලා දිව්වා සර් ළඟට, ඒ පන්තියෙ සර් දැකපු එකෙක්වත් වෙන ආවේ නෑ. එහෙමම නවය ඊ එකට සර් ඔලුව දාලා ඒ ප්රශ්නේම ඇහුවා. කවුරුත් එන්නේ නෑ, මගේ සුපිරි බොක්ක ඔටුවා(
Rajitha Chandradasa
) හිටියේ ඒකේ, මම සර්ට හොරෙන් හෙමින් කිව්වා "වරෙන් යන්න", ඔටුවත් ආවා බඩු ටික අකුලගෙන. එහෙම තමයි නවය වසරේ ආපහු සර්ගේ පන්තියට එන්නෙ. ඒ පන්තියෙන් තමයි අතීජාත රොත්තක්ම ජීවිත කාලේටම සෙට් වෙන්නේ.ශාලිකයා(
Shalika Jayarathna
), නරයා(
Amila Narasingha
), මිලින්දයා(
Milinda Rajapaksha
), බොක්කා (බමුණාවලයා, එකේ ඉඳලා දන්නවා වුනත් ඉතින් බොක්කෙ ෆිට් එක වෙන්නේ මෙතනදී), බණ්ඩා(
Edirisinghe Bandara
), මාරයා(
Eranda Marasinghe
) ....තව ගොඩක් උන්.
ඇත්තටම ඉස්කෝලෙ කාලෙ තවත් ලස්සන වෙන්න පටන් ගන්නේ මේ නවය වසර පන්තියෙ ඉඳලා. ඒ පන්ති කාමරය නවය වසරේ අනික් පන්ති කාමරවලට වඩා ගොඩක් පොඩියි. අපි හැමෝම එක ළඟ හිටියෙ පොඩි ඩෙස්ක් පුටු සෙට් එකක. සර්ගෙන් මුලින්ම ඉගෙනගන්න සෙට් එකක්ම හිටියා. අපි සර්ගෙ පරණ ගෝලයො නිසා ටිකක් විතර බය නැතිව හිටියෙ. සර් සුපුරුදු විදියටම ලස්සනට ඉගැන්නුවා. පන්ති භාර නිසා සර් තමයි උදේම උගන්නන්න පටන් ගන්නෙ. "මගේ පන්තියෙ ඉද්දී වෙන වැරදි වලට එහෙම අහුවෙන්න එපා පුතෝ කාටවත්" කියලා තමයි සර් නිතරම කිව්වේ. අපිත් පොඩ්ඩක් පරිස්සමෙන් හිටියා. නවය වසරෙ මැදක් විතර යද්දී පන්තියට ඉතින් එකා දෙන්නා හොරෙන් හොරෙන් ලස්සන ලස්සන පත්තර ගේන්න ගත්තා. හැමෝම ඉතින් හංගගෙන මේවගේ කතන්දර කියෙව්වා. ඒ කාලේ සීඩී කියලා ජාතියක් තිබුනේ නෑ. හැබැයි සර්ට ඉවෙන් මේක දැනුනා. සර් මේකට පාවිච්චි කරේ වෙනම ක්රමයක්, කෙලින්ම ගේම කෝල් කරේ නෑ. "ළමයි දන්නවද මේ පන්තියෙ ඉන්නවා මගේ සීඅයිඩී යුනිට් එකක්,මේකෙ වෙන හැමදේකම තොරතුරු මට හැමදාම හවස් වෙද්දී දැනගන්න ලැබෙනවා. ඒක නිසා පරිස්සමෙන් පුතා" කියලා දවසක් කීවා. කට්ටියම ෆුල් හොල්මන්, එක එකාගෙ මූණු දිහා සැකෙන් බලනවා දැන්. "තමුසෙලා හිතන්නේවත් නැති කීප දෙනෙක් ඉන්නේ", සර් කුතුහලය වැඩි වෙන්න කිව්වා. ඔහොම ටික දවසක් ගිහින් කිව්වා සර් "මේ පන්තියට ජරා පත්තර ටිකක් ඇවිත් තියෙනවා මේ දවස්වල, කවුද ගේන්නේ, කවුද බලන්නේ ඔක්කොම මම දන්නවා, අද හවස් වෙනකල් කල් දෙනවා. ඇවිල්ලා බාර වෙන්න පුලුවන්. බාර වුනෙ නැත්නම් හෙට උදේ වැඩ වරදියි" කියලා. අනේ දෙයියනේ කියලා වග උත්තරකාරයො ටික පූස් පැටව් වගේ ගිහින් හවස බාර වුනා. සර් පොරොන්දු වුන විදියටම ගැහුවෙත් නෑ. පස්සෙ කාලෙක තමයි ඉතින් මීටර් වුනේ එහෙම සීඅයිඩි යුනිට් එකක් නෑ කියලා. හැබැයි සර්ගෙ හැටි දන්න නිසා කවුරුත් රිස්ක් එකක් ගත්තේ නෑ.
නවය වසරේ ඉද්දී මම ෆුල් බොක්කෙන්ම ස්කවුටින් කරන කාලේ. 1998 ජාතික ජම්බෝරිය නිසා මට ඒ කාලෙ ඉස්කෝලෙ එන්නත් බැරි වුනා. මගේ අප්රමාණ කැපවීම දැකලා සර් කිව්වේ "අර බේඩ්න් පවල් උන්නැහෙවත් තමුසෙ තරම් ඔය බාලදක්ෂ මගුල කොරන්න නැතිව ඇති" කියලා. හයික්වලට ප්රැක්ටිස් කරලා උදේ පාන්දර දාඩිය පෙරාගෙන පන්තියෙ ඉන්නව දැක්කම "පිස්සුද අයිසේ මේ කඳු බඩගාන්න ඔය මහ පාන්දර දඟලන්නේ" කියලා හිනා වෙවී. ඔය කාලෙම දෙමාපිය හමුවක් තිබිලා අපේ අම්මා තමයි ආවේ. සර් මොනා වුනත් අපි එකොළහ වසරට යනකල්ම දෙමව්පියො ඉස්සරහා අපේ රෙදි ගැලෙව්වෙ නෑ. මම ඒ කාලේ හයික් ප්රැක්ටිස් එහෙම ඉවර වෙලා පට්ට රෑ වෙලා ගෙදර ගියාම නාන්නෙත් නැතිව ඇඳට දුවනවා. අපේ අම්මා ඕකට මාත් එක්ක හෙනම ගේම, ඉතින් ඕක නවත්තගන්න පුලුවන් වෙයි කියලා සර් එක්ක කතාව පටන් ගත්තා දෙමාපිය හමුවේ. "ආහ්,ජයවීර හොඳ ළමයා. බාලදක්ෂ කෙරුවාව තමයි ටිකක් වැඩි. අනික් ඔක්කොම හොඳයි" කියලා සර් කිව්වා. "අනේ සර් මොන තරම් හොඳ වුනත් මේ ළමයා සමහර දවසට නාන්නේ නෑනෙ සර්" කියලා දත කට මැදගෙන අම්මා කිව්වා."ආ, ඔය වයසට කොල්ලො නාන්න ඕන නෑ" කියලා සර් ඇඟට පතට නොදැනී කිව්වා. මට ඉතින් ෆුල්ම සන්තෝසේ. හවස ගෙදර ආවාම "උඹත් එකයි,උඹලගේ ඉස්කොලෙත් එකයි" කියලා අම්මා කිව්වා.
සර්ගෙ තිබුන තව දක්ෂතාවයක් තමයි ළමයින්ගෙ හැකියාව වගේම දක්ෂතාවයන් කලින්ම අඳුරගැනීම. අපේ පන්තියෙ හිටපු දුලිපා(
Dulip Piyaratne
) ගැන සර් මුලින්ම අනාවැකියක් කිව්වේ නවය වසරෙදී. ඒ කාලේ දුලිපා ගණිතයට හැමදාම 100 යි. ඒ මදිවට ඩයල් එක විදුසර පත්තරෙ හොයාගෙන නවය වසරෙ ඉද්දිම ඒකෙ තිබුන අවකලනය අනුකලනය වගේ ගණන් හදනවා. අපිට නිකන් ග්රීක් වගේ විදුසර පත්තරේම. සර් ඔය දේවල් ඔක්කොම බලාගෙන ඉඳලා දවසක් කිව්වා "පියරත්න, කවදාහරි ලංකාවේ ගණිත අංශයේ පළවෙනියා වෙලා තමයි නතර වෙන්නේ" කියලා. කිව්වා වගේ 2003 ඒලෙවල් දුලිපා තමයි ලංකාවේම එක වුනේ මැත්ස්වලින්. මිලින්දයා ගැනත් ඒ කාලෙම කිව්වා "රාජපක්ෂට පුලුවන් ලංකාවේ කතික අංශයෙන් ඉස්සරහට යන්න කවදා හරි" කියලා. සර් මිලින්දගෙ තාත්තා ගැනත් ඒ කාලේම දන්නවා ලංකාදීප පත්තරේට කවි ලියපු වැරැල්ලේ රාජපක්ෂ කවියා කියලා. මිලින්දගේ තාත්තා නැතිවුනෙත් අපි නවය වසරෙ ඉද්දී. සර් බයික් එකේ මාවත් දාගෙන කුරුණෑගල සීටිබී එකට උදේම ගිහින් බස් එකක් වෙන් කරගෙන අපේ පන්තියම මල ගෙදරත් එක්කරගෙන ගියා.
ඉතින් අපිට දහය එකොළහ පන්ති දෙකෙත් ගණිතය ඉගැන්නුවෙත් සර්. දහය වසරෙදී සර්ගෙ ඥාති පුත්රයෙක් කියලා කොළඹ මහානාමේ ඉඳලා සුරේෂයා(
Suresh Wijewardene
) අපේ පන්තියට හඳුන්වලා දෙනවා. මලියදේවෙට එන්න කලින්ම සර් ඌ ගැන විස්තර කරේ සර් වගේම සද්දන්ත කුලයට අයිතියි කියලා. ඌව අපේ ඉස්කෝලෙට ගෙනල්ලා මුලින්ම වාඩිකරවන්නෙත් මම ලඟ. මම හිතුවා මේ යෝධයා ඉතින් සර් වගේ ඇති කියලා, බෝ පැලයක් කියලා. හැබැයි සර්ගෙ ගෙදරම ඉඳගෙන සර්ගෙ කනෙන් රිංගනවා කියලා ටික කාලෙකින්ම අපිට තේරුණා. අපි කරපු හැම නසරානි වැඩකටම දෙයියනේ කියලා ඌත් සහභාගී වුනා. එක දවසක් අපේ පන්තියෙ උගන්නන්න විදියක් ඇත්තෙම නෑ, දහය බී එකේ උන් කෑ ගහනවා. සර් බැරිම තැන ගියා දහය බී එක පැත්තට. එක පාරටම සද්දේ නැතිව ගියා, සර් ආපහු ආවේ ගුණයාව එක අතකින් උස්සගෙන, අනික් අතෙන් විතානයාව උස්සගෙන. ඇවිත් අපේ පන්තියෙ මැද හරියෙන් පන්තිය ඇතුලට විසි කරා "දැන් හිටපන් මේකට වෙලා කෑගහන්නේ නැතිව" කියලා. ගුණයායි විතානයයි බය වෙලා හිටිය හැටියට උන්ට පියවි සිහිය එන්න සෑහෙන වෙලාවක් ගියා. ඉන්ටවල් එකට පස්සෙ ගණිතය පීරියඩ් එකට සර් එද්දී අපිට හොඳටම හොයන්න පුලුවන්. දහය ජී එක පැත්තෙන් සර් දහය වසරෙ පන්ති පේලියට ඇතුල් වුනාම එක පාරටම ජී, එෆ්, ඊ, ඩී පන්ති ටික පිලිවෙලට නිශ්ශබ්ද වීගෙන එනවා. දහය බී එකේ වුනත් උන් දන්නවා සරත් සර් තමයි ආවේ කියලා, උනුත් සද්දේ වහනවා.
අපේ පන්තියෙ එකෙක්ට සර් ගැහුවනම් ගැහුවෙ එකොළහ වසරේදි අකලංකයට(
Akalanka Senevirathne
) . ඒ සර් උගන්නන ගමන් අකලංකයා පරක්කු වෙලා ඉස්කෝලෙ ආවා. සර් වෙනදා වගේම "ආ සෙනෙවි, අද මොකද පරක්කු?" කියලා ඇහුවා. අකලංකයා එක පාරටම ටිකක් හයියෙන් "බස් නෑ සර් අපේ පාරෙ, සීටීබී කාරයොත් නෑ, ප්රයිවට් උනුත් නෑ" කියලා ටිකක් සද්දෙන් අත පය දිග ඇරලා කිව්වා. සර් අකලංකයට හය වසරෙ ඉඳලාම ගොඩක් ආදරෙයි. සෙනෙවි කියලා කිව්වේ, එක පාරටම ඔරලෝසුව ගැලෙව්වා සර්. අපි දැනගත්තා වැඩේ වැරදුනා කියලා. "එන්නකෝ පුතේ එහෙනම් පොඩ්ඩක්" කියලා කිව්වා විතරයි, හෙණ ගහනවා වගේ සද්දේ ඇහුනේ. "උඹේ වෙනස්කම් ටික මම බලාගෙන හිටියෙ පුතේ, තව එක සැරයක්වත් උඹේ ඔය ගොන්පාට් මටනම් දාලා අහු වෙන්න එපා" කිව්වා. අකලංකයා ඒ වෙලේම සර්ට වැඳලා සමාව ගත්තා. පස්සේ සර් වෙනම කතා කර අකලංකය එක්ක ගොඩක් වෙලා. "සර් හරි බං, මට ෆුල් අප්සට්, ආයි කවදවත් සර්ගෙනම් හිත රිදවන්නෙ නෑ" කියලා එදා හවස ඌ කිව්වා.
ඉතින් ඔහොම කාලයත් එක්ක අපි එකොලහ වසර ඉවර වෙද්දී ඕලෙවල් ලිව්වා. අපේ පන්තියෙ ගොඩක් ඉහලින්ම පාස් වුනා. ගණිතය හැමෝම හොඳට කරලා තිබුනා. අපේ පන්තියෙ ගොඩක් උන් ඒලෙවල් මැත්ස් කරන්න ගියේ සමහර විට සර් නිසා වෙන්න පුලුවන්. අපි ඒලෙවල් කරන්න ගියත් සර් මගදී හම්බුනත් අපි පුදුමාකාර ගෞරවයකින් කතා කරේ සර්ට. ඒලෙවල් කාලෙ වුනත්, ඊට පස්සේ කාලෙක වුනත්, මොන තරම් උස් මහත් වුනත් හැමෝම සර්ට ලොකු ගෞරවයක් තිබුනා. ආදරෙන් මතක් කරා. මමයි අකලංකයයි කැම්පස් කාලෙත් ඊට පස්සෙත් අළුත් අවුරුද්දට සර්ව බලන්න යන එක පුරුද්දක් කරගෙන හිටියා. සර් ඒ ගැන ඇත්තටම සතුටු වුනා. සර් දල්ලා නැතිවෙලා තිබුන බණ දවසේ කිව්වා "මොනතරම් ලස්සන වුනත්, කර්ම ඵල නවත්තන්න බෑ ජයවීර". ඊට ටික කාලෙකට පස්සේ සර් අසනීප වුනා. පස්සේ 2017 අගෝස්තු වගේ සර් නැතිවුනා. සර් මලියදේවෙම අවුරුදු විස්සක් විතර උගන්නන්න ඇති. අපිව අවුස්සන්න ඒ කාලෙ "සෙන්ට් ඈන්ස් එක තමයි ඉස්කෝලෙ, මේක පරිප්පුවක්නෙ" කියලා කිව්වට සර් බලන්න ගිය වෙලාවක අන්තිම කාලෙ කිව්වා "මලියදේවෙ තමයි ජීවිතේ, ඔයාලා තමයි අපි හම්බ කරපු දේවල්". ආදරෙයි සරත් සර්...