1956 දි තාත්ති ඉපදෙන්නෙ ඉඳුල්ගොඩකන්දේ. සහෝදරියෝ තුන්දෙනෙක් සහ සහෝදරයෝ හතරදෙනෙක්ගෙ පවුලේ තාත්ති හතරවෙනියා. තාත්තිගෙ අම්මයි තාත්තායි තාත්තාට නැතිවෙන්නෙ එයාට අවුරුදු 12ක් වගේ වෙද්දි. ඊට පස්සෙ තාත්ති මලියදේවේ හොස්ටල් එකෙත් සමහර කාලවලට මල්කඩුවාවේ නෑදෑ ගෙදරකත් ඉඳගෙන දිගටම ඉගෙනගන්නවා. ඉස්කෝලෙ යනකාලෙ තාත්ති දයාපාල සර් යටතේ සංගීතය ඉහළටම ප්රගුණ කරලා සමස්ථ ලංකා ප්රථම ස්ථානය දිනපු මලියදේවේ orchestra එකේ හොඳම බටනලා වාදකයා. ඒ වගේම කැඩෙට් ප්ලැටූන් එකෙත් කැඩෙට් බෑන්ඩ් එකෙත් නිත්ය සාමාජිකයෙක්. තාත්තිට ඉස්කෝලෙන් හම්බෙලා තියෙන character certificate එක සුපිරිම එකක්. ඊට පස්සෙ තාත්ති ඉස්කෝලෙන් අවුට්වෙලා අවුරුදු 3-4ක් ගණිත ගුරුවරයෙක් විදියට පොතුබෝවෙ ඉස්කෝලෙ, වෑඋඩ ඉස්කෝලෙ සේවය කරනවා. ගමේ මිනිස්සු කියන්නේ ඒ කාලෙ ගමේ හිටපු ලස්සනම මනුස්සයා කියලා. මේ කාලෙ වෙනකොට 1976දි චිත්රපටි 76ක් බලපු විදිය එයා මට පරණ ඩයරියක් පෙන්නලා කියලා තියෙනවා. එහෙම ඉද්දි එයාට කැම්පස් යන්න ආස හිතිලා. කලින් සැරේ උසස්පෙල සමත් වෙලා තිබුනත් අවුරුදු 4ට වගේ පස්සේ ආපහු උසස් පෙළ ගණිතය කරලා එයා පේරාදෙණිය විශ්ව විද්යාලයට ඇතුල් වෙනවා විද්යා පීඨයට. Geology ඉගෙනගෙන තාත්ති එළියට එනවා. ඊට පස්සෙ විවාහ වෙලා මාව හම්බෙනවා. තාත්තිගෙ ජීවිතේ සතුටුම දවසක් විදියට එයා දඹුල්ලෙ හන්දියෙ එයා දන්න කියන හම්බෙන හැමෝටම "මචං මට පුතෙක් හම්බෙලා" කියලා සතුට පිටකරපු එක ගැන මම අහලා තියෙනවා. මේ කාලෙ වෙද්දි එයා වැඩ කරන්නෙ සීගිරියෙ සංස්කෘතික ත්රිකෝණෙ.
ඊට ටික කාලෙකට පස්සේ එයා පේරාදෙණිය විශ්ව විද්යාලයේම Instructor කෙනෙක් විදියට සේවය කරලා. හැබැයි 1986 වගේ වෙද්දි එයාට රට හදන ඇම්මකුත් එක්ක දේශපාලනයට සම්බන්ධ වෙලා රස්සාවත් අතෑරලා ඒ කාලෙ මාවතගම ශ්රි ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ ලේකම් පට්ටමත් අරගෙන සැරටම දේශපාලනය කරලා. 1987දි නංගිත් හම්බෙලා ඉද්දී අන්තිමේට 1990 විතර වෙද්දි තාත්ති පණ බේරගෙන තියෙන්නෙත් අමාරුවෙන්. මරාදානවා කියන එක සරල කාලයක වේදිකාවලදි ඒ කාලෙ ප්රබල කැබිනට් ඇමති කෙනෙක් වුන මාවතගම ජී එම් ප්රේමචන්ද්රගෙන් ගේම කෝල් කරලා නොමැරී බේරිලා තියෙන්නෙ පුදුම වාසනාවකට. පස්සෙ කොහොමහරි තාත්ති ජාතික රෝහලේ පෝෂණවේදී කියලා රස්සාවකට සෙට් වෙලා. අදටත් පෝෂණය ගැණ කිසිම අවධානයක් හෝ දැනුමක් නැති තාත්තිට මේක එපා වෙලා එයා Wesley College එකේ Physics උගන්නන්න ගිහින්. හැබැයි ගෙදරට කියලා නෑ. උදේට ජාතික රෝහලේ වැඩ කරන්න යනවා වගේ අවුරුද්දක් වගේ ගිහින් තියෙන්නෙ වෙස්ලි එකේ උගන්නන්න. ඊට පස්සෙ ඒ අතරේ 1992 දි වගේ එයා ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනයේ (NBRO) භූ විද්යාඥයෙක් විදියට සම්බන්ධ වෙලා. ඊට පස්සෙ බදුල්ලෙ, හඟුරන්කෙත වගේ තමයි වැඩ කරේ. ඉස්කෝලෙ නිවාඩු කාලෙට මාවත් එක්කරගෙන යනවා සතියක් දෙකක් ඉඳල එන්න. බදුල්ලෙ ඉද්දි සිකුරාදා නයිට් මේල් කෝච්චියෙ නුවරට ඇවිත් සෙනසුරාදා උදේ පාන්දර වෙද්දි ගෙදර ඇවිත් ඉරිදා රෑට ආපහු පිටත් වෙනවා නුවරින් නයිට් මේල් එකට නගින්න.
1993 දි තමයි තාත්තිගේ ජිවිතේ හැරවුම් ලක්ෂ්ය පටන් ගන්නෙ. එක එක ජාතියෙ රස්සා දහයක් පහලොවක් කරපු තාත්ති 1993 දි එයා ආස කරපු ජල සම්පත් මණ්ඩලයේ භූ විද්යාඥයෙක් විදියට තේරෙනවා. තාත්ති මට මේක කියන්නේ ඉරිදා දහම් පාසල ඇරිලා මාව එක්කරගෙන පයින් යද්දි "පුතේ, මම අලුත් රස්සාවකට යනවා ජල සම්පත් මණ්ඩලේ". පොඩි කාලෙ වුනත් මම අහනවා "තාත්ති, ආයි පාරක් මාරු කරාද?" කියලා. "නෑ පුතේ මේ රස්සාවෙ මම දිගටම ඉන්නවා. මට ජීප් එකකුත් හම්බෙනවා. රට යන්නත් පුලුවන් ටික කාලෙකින්" තාත්ති උත්තර දුන්නේ කවදාවත් නැති සතුට පිරුණු බලාපොරොත්තු පිරුණු මූණකින්. තාත්ති ටික කාලයක් කොළඹ හෙඩ් ඔෆිස් එකට ගිහින් පුහුණු කාලය ඉවර කරලා මොණරාගල ප්රාදේශීය කළමණාකරු විදියට වැඩ භාරගන්නවා. මොණරාගල තිබුනේ අලුතින් හදපු ලස්සන ඔෆිස් එකක් සහ ක්වාටස් එකක්. එතන ඉඳලා මම හැම නිවාඩු කාලෙම සති දෙකක් තුනක් තාත්ති එක්ක මොණරාගල යන එක වුනා. ගොඩාක් වෙලාවට මම විතරක් ගිය අවස්ථා වැඩියි. ගෙදර ඔක්කොම ගිය වෙලාවලුත් තිබුනා. සතියෙ දවසට මොණරාගල දිස්ත්රික්කයේ හැම අස්සක් මුල්ලකම ගියා. අද මොණරාගලට වඩා ඒ කාලෙ හාත්පසින්ම මොණරාගල වෙනස්. දුෂ්කරත්වය එක්ක අමුතුම ලස්සනක් තිබුනා. මම තාත්තිගෙ ඔඩොක්කුවට වෙලා මොණරාගල හතර අතේ ජීප් එකේ යන එක තමයි මගේ ආසම දේ වුනේ. තාත්ති එහෙම යද්දි ආදරෙන් ඔළුව අතගාණ එකට මම පුදුම ආසයි. ඒ යනකොට ඉල්ලන ඉල්ලන කෑම අරන් දුන්නා. කඩේක නැවැත්තුවම ෆැන්ටා බෝතලයක් අරන් දෙනවා අනිවාර්යෙන්ම. තාත්ති යටතෙ වැඩ කරපු හැමෝම "ජයවීර මහත්තයා" කියලා එයාට පුදුම ආදරේකින් කතා කරේ. හැමෝම මටත් සැලකුවේ එයාලගෙම දරුවෙක්ට වගේ. ඉතින් තාත්තිත් රස්සාව කරේ පුදුම ආසාවකින්. සරලවම කිව්වොත් පට්ට පැෂන් එකකින්.
හැබැයි 1994 මුල් කාලය වෙද්දි ගෙදර හදපු එකත් එක්ක ආර්ථිකය ටිකක් අමාරු වුනා. 1994 අවුරුද්දත් තාත්ති මොණාරාගලම වැඩ කරා. 1995 වෙද්දි මට අවුරුදු එකොලහයි, නංගිට අවුරුදු අටයි. ඔහොම ඉද්දි තාත්තියි අම්මයි අපි දෙන්නව එක්කරගෙන ගියා කෝච්චියෙ අනුරාධපුරේ. යනගමන් කිව්වා ශ්රී මහා බෝධියෙන් ඉල්ලන්න මල්ලි කෙනෙක් හරි නංගි කෙනෙක් කියලා. නංගියි මායිත් ඉතින් බෝධියෙන් ළමයි එනවා කියලා හිතාගෙන ඉල්ලුවා මල්ලි කෙනෙක්. ටික කාලෙකින් අම්මාගෙ බණ්ඩිය ලොකු වෙන්න ගත්තා. ඒ අතරෙම තාත්ති පශ්චාත් උපාධිය හදාරන්න අවුරුද්දක් නෙදර්ලන්තෙට යන්න තේරුණා. තාත්ති සෑහෙන සතුටින් හිටියෙ. ඒත් මේ වෙද්දි මල්ලි හම්බෙන්න හිටපු එක තාත්තිට ටිකක් දැනුනා කියන එක මට දැනුනා. "පුතේ මම ගිහින් එනකල් අම්මා කියන දේ අහලා ඉන්න. මල්ලි කෙනෙක් හරි නංගි කෙනෙක් හරි හම්බෙයි". එහෙම කියලා තාත්ති රට යන්න පිටත් වුනා. නෑදෑ පිරිවරම බස් එකක් ඇරගෙන ගෙදර ආවා. තාත්තිට ඒ කාලෙ මාවතගම ඇමති හිටපු වික්රමසිංහ උන්නැහේ එයා පාවිච්චි කරපු පැජරෝ එක එව්වා. හතුමුතු පරම්පරාවක කෙනෙක්වත් ඉගෙන ගන්න එහෙම රටකට ගිහින් තිබුනෙ නෑ. තාත්තිත් ගැම්මට පිටත් වුනේ ටයි කෝට් දාලා. එයාපෝට් එකෙන් පිටත් වෙලා ආපුවම තමයි තාත්ති දැන් දැන් සතියෙන් සතියෙන් දකින්න නෑ කියන එක. දැන් වගේ ඔන්ලයින් කෝල් වට්සැප් නෑ. ගෙදරට ටෙලිෆෝනුත් නෑ. තැපැල් මාමා එනකල් හැමදාම බලගෙන ඉන්නවා. සති දෙකකට පස්සෙ තාත්තිගේ පලවෙනි ලියුම ආවා ෆොටෝ දෙක තුනක් එක්ක. ඊට පස්සෙ මමයි අම්මයි නංගියි ලියුම් ලියනවා. මමත් ඉතින් ඔහේ ලියනවා. නංගිගේ වයසත් එක්ක ඉතින් විකාර සහ ආතල් ලියුම් තමයි එයා ලිව්වෙ. මම බයිසිකලෙත් පැදගෙන පිලැස්සෙ තැපැල් කන්තෝරුවට යනවා ලියුම් පරිස්සමින් දාල එන්න. අපේ ලියුම් යන්න තව සති දෙකක් යනවා. ඊට පස්සේ ආපහු සති දෙකකින් තාත්තිගේ ලියුම එනවා. මේ විදියට 1995 අවුරුද්ද ඉවරවුනා. අම්මාගෙ බණ්ඩිය ලොකුවෙලා හම්බෙන්න ඔන්න මෙන්න. තාත්තිගෙ දෙවෙනි අක්කා, මගේ කෝ කෝ නැන්දා තමයි මේ කාලෙ අපිව බලාගෙන උයලා පිහලා ඔක්කොම කරේ මල්ලි හම්බෙන්න කිට්ටු වෙද්දි. මල්ලි හම්බෙන්න අම්මා දෙසරයක් ඇඩ්මිට් වුනා. ඒත් ඌ ආවේ නෑ. දැන් වගේ සීසර් නෑ. ප්රයිවට් හොස්පිටල් නෑ. බලන් ඉඳලා ගෙදර එනවා. අපිත් කට ඇරන් බලන් ඉන්නවා මේ යකා දැන් එයි එයි කියලා.
1996 අවුරුද්දෙ ජනවාරි ආවා. අම්මා ආපහු ගිහින් ඇඩ්මිට් වුනා. ජනවාරි හය උදේම මෝටර් සයිකලේක මනුස්සයෙක් ආවා "ඔයලාගෙ අම්මට මල්ලි කෙනෙක් හම්බෙලා". මම කෑ ගහගෙන ගිහින් "කෝ කෝ නැන්දේ, අම්මට මල්ලි හම්බෙලා" කියලා කිව්වා. නංගියි මමයි කෝ කෝ නැන්ද එක්ක ලෑස්ති වෙලා ඉස්පිරිතාලෙට ගියා. දවල් 12 වෙනකල් ඉස්පිරිතාලෙ ගේට්ටුව ළඟ හිටියේ පුදුම ඉවසිල්ලක් නැතිව. ගේට්ටුව ඇරිය විතරයි මමයි නංගියි ගියේ කඩාගෙන බිඳගෙන. යනකොට අම්මගෙ ඇඳේ සුදුම සුදු පාටට දිගට මල්ලි ඉන්නවා. මම පැනපු ගමන් වඩාගෙන තුරුල් කරගත්තා. මට අවුරුදු එකොළහ හමාරක් වුනත් මල්ලි හම්බුන ගමන් මම වඩාගත්තෙ පුදුම ආදරේකින් කිසිම බයක් නැතිව. ඊට පස්සෙ මම එලියට ගිහින් වෑන් එකකට කතා කරලා එක්කරගෙන ආවා. මල්ලිව වෑන් එක ලඟට යනකල් සහ වෑන් එකේ එනකල්ම වඩාගෙන ආවේ මම. ඒක නිසා අදටත් මම වැඩියෙන්ම ආදරේ කරන ජීවියා මල්ලි. නංගිත් ළඟට වෙලා වාඩිවෙලා මල්ලි දිහා බලන් ආවා. ගෙදර ආපු ගමන් හේවාපොල පොටෝ සාප්පුවෙ අන්කල් එක්කරගෙන ආවා ඉක්මනට ෆොටෝ ගන්න තාත්තිට යවන්න. ඉතීන් එතන ඉඳලා තාත්ති ආපහු එනකල් දවස් ගැන ගැන කාලය ගෙවුනෙ සතුටින්. ඉස්කෝලෙ ඇරුන ගමන් දුවගෙන එන්නෙ මල්ලි බලන්න. ඔහොම ගිහින් ජූනි මාසෙ වගේ ආවා. මල්ලිට මාස හයයි. උඩට වඩන්න පුලුවන් කාලෙ. මගේ අතට ආවම ඌ අම්මගෙ අතටවත් යන්නේ නෑ. තාත්ති එන දවස ආවා. නංගියි මමයි මගුල් ගෙදරක යන්න වගේ ලෑස්ති වුනා සපත්තු එහෙම දාගෙන. කට ඇරගෙන බලාගෙන ඉන්නවා ගේට්ටුව දිහා දැන් එයි දැන් එයි කියලා. අම්මත් මල්ලි වඩාගෙන අපි ළඟ. එහෙම ඉද්දි ගේට්ටුවෙන් මතු වුනා තාත්තිගෙ ඔෆිස් වාහනේ. නංගියි මමයි කඩාගෙන බිඳගෙන ගියා ගේට්ටුව දිහාට. තාත්ති වාහනෙන් බැස්සා නෙමි, දොර ඇරගෙන පැනලා ගේට්ටුවත් ඇති හයියෙන් ඇරගෙන ආවා. අපි හිතුවේ අපි දෙන්නාව බදාගනී කියලා. තාත්ති අපි දෙන්නව දැක්කෙවත් නෑ. කඩාගෙන දිව්වෙ ගෙදරට. එහෙම ගිහින් දොරකඩ හිටපු අම්මගෙන් මල්ලිව උදුරගෙන ඉඹගෙන ඉඹගෙන ගියා. නංගියි මමයි බලන් ඉන්නවා අපි දෙන්නට මොකද උනේ කියලා. මල්ලි මගේ පැත්තට අත දික්කරගෙන කෑ ගහනවා. එතකොට තමයි තාත්ති අපිව දැක්කේ. ඊට පස්සෙ මල්ලි අම්මට දීලා අපිව වඩාගත්තෙ. රට ගිහින් ගෙනත් දුන්න තෑගි එක්ක සතුටින්ම ගෙවුන දවසක්. තාත්ති සුදු වෙලා ලංකාවෙන් යද්දි වගේ දෙගුණයක් විතර මහත් වෙලා හිටියේ. හැබැයි මල්ලිව තාත්තිට කිට්ටු කරන්න සෑහෙන කාලයක් ගියා. ඌ එන්නෙම මගේ අතට එහෙම නැතිනම් නංගි ලඟට.
ඊට පස්සේ ටික දවසකින් තාත්ති ආපහු වැඩට යන්න ගත්තා. මල්ලිගෙ කේන්දරේ බලපු මාවතගම ඒකනායක මහත්තයා කිව්වා මේ දරු උපත තමයි මේ පවුලේ වාසනාවන්තම දරු උපත කියලා. "එතකොට අපි මොක්කුද" කියලාත් හිතුනෙ නැතිවම නෙමි, ඒත් පස්සෙ කාලෙක ආපහු හැරිලා බලද්දි ඒක හරි කියලා හිතුනා. තාත්ති ප්රයිවට් කන්සාල්ටන්සි පටන් ගත්තා. ඔෆිස් එකේම හිටපු ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් එක්ක තාත්තිට ඕන කරන Geo Physiacl Instrumets හදාගත්තා. 1997 වගේ වෙද්දි තාත්ති මෝටර් සයිකලේ ඔක්කොම ආම්පන්න ටික බැඳගෙන සෙනසුරාදා ඉරිදට ප්රයිවට් වැඩ කරා. තාත්ති කරන වැඩේ ඇත්තටම පුදුම වැඩක්. පොළොව උඩ ඉඳගෙන දෙපැත්තට පොඩි කූරු දෙකක් ගහලා ඒකෙ දුර වෙනස් කරන ගමන් පොළොවට යට තියෙන පස ගැන කියලා වතුර තියෙන ගැඹුර අනුමාන කරලා නළ මිටර් 50-100ක් යට නළ ලිඳකට තැන පෙන්නන එක. මම ඉතින් පොඩි කාලේ ඉඳලා මේක දැක්කා. මටත් පුළුවන් දවසට ඔය දෙපැත්තෙන් කූරු ගහන්න යන වැඩේට උදව් කරන්න යනවා. තාත්ති මේ වැඩේදි හරිම කඩිසරයි. කොහොමහරි හරිම තැන හොයාගෙන තමයි නතර වෙන්නේ. සමහර තැන්වල ගිනි අව්වේ පැය ගණන් ඔට්ටු වුනා. බූට් දෙක දාගෙන කටු පඳුරු අස්සෙ යනවා. ඉතින් කාලය මෙහෙම යද්දි තාත්ති ගැන කට වචනෙන් හැම තැනම ගියා "කුරුණෑගල ඉන්නවා Geologist කෙනෙක් හරියටම වතුර තියෙන තැන කියන" කියලා. තාත්තිට වැඩ ගලාගෙන ආවා. ආර්ථික තත්වයත් සෑහෙන හොඳ වුනා. සෙනසුරාද උදේට තාත්ති කුරුණෑගල කාර්මික විද්යාලයේ අමතර ඉගැන්වීම් කරපු එකත් නතර වුනා. වෙනදට වගේ සති අන්තෙට දවල්ට තාත්ති ගෙදර හිටියෙ නෑ. දහම් පාසලෙන් එක්කරගෙන යන්න ආවේ නෑ. ඒත් අපි වෙනුවෙන් මහන්සි වුනා එක දිගටම. ටික කාලෙකින් කාර් එකක් ගත්තා. ඊට පස්සෙ එයාගෙ වැඩවලට යන්න වෙනම ජීප් එකක් ගත්තා. අපිට උගන්නන්න පන්ති යවන්න එයා අත දිගෑරලා වියදම් කරා. ඉල්ලපු හැම දෙයක්ම අරන් දුන්නා. මට පොඩි කාලේ ගොඩක් දුෂ්කරතා තිබුන නිසා මම රුපියල් සීයක් ඉල්ලද්දි දෙසීයක් දුන්නා.
මගේ ස්කවුටින් සීන් එකට දිගටම තාත්ති සපොට් කරා. කෑම්ප් යන්න, ප්රොජෙක්ට කරන්න, රට යන්න හැම එකකටම උදව් කරා. අපේ මල්ලි ස්කවුටින් කරන්න කියලා අහද්දි මම හැම එකක්ම අතෑරල ස්ක්වුටින් කරපු හැටි දැකලා අම්මා මල්ලිට වැඳලා කීවා "අනේ චූටි පුතේ, මම වැඳලා කියන්නම්, එක ස්කවුට් කෙනෙක් ඇති මට" කියලා. 2002 ඉස්කෝලෙ හොඳම ස්කවුට්, ජනාධිපති පදක්කම දිනද්දි තාත්ති තරම් සතුටු වුනේ නෑ වෙන කවුරුවත්. ඊට පස්සෙ මම සිමා කරන්න කියලා ගියා. ඒකට ලක්ස ගානක් වියදම් කරා. මම කරපු සිමෙක් නෑ අන්තිමට. ඒත් වචනයක් කිව්වෙ නෑ. ඊට පස්සෙ කැම්පස් ගියා. අලුත්ම කම්පියුටරයක් අරන් දුන්නා .ඉල්ලන ඉල්ලන විදියට සල්ලි දුන්නා. ඔෆිස් එක තිබුනෙ කැම්පස් එක ළඟ පාත ග්රෙගරි පාරෙ ලඟ නිසා මම අපේ බැච් එකේ කුරුල්ලාගෙන් බයික් එක ඉල්ලගෙන ඔෆිස් එක පැත්තේ යනවා තාත්ති බලලා එන්න. ඒ එද්දි රුපියල් පන්සීයක් හරි දාහක් හරි දෙනවා. "තාත්ති අවුලක් නෑ. දුන්න ඒවා තියෙනවා" කිව්වත් "නෑ පුතේ ගන්න" කියලා දෙනවා. කැම්පස් එකේ ඕපන් එකේ කෑම කන්න අමාරුයි කිව්වම "පුතේ මගෙන් සල්ලි ඉල්ලගෙන කැමති ඕන දිහාවකින් කන්න" කියලා කිව්වා. ඒ කාලෙ හෙනම උණක් තිබුනා NFS Need For Speed ගේම් එක ගහන්න. කම්පියුටරේ හොඳම එකක් වුනත් අර ගේම් එකම ටිකක් කොලිටි එකට ගහන්න මට අලුත් ග්රැෆික් කාඩ් එකක් ඕන වුනා. "තාත්ති, කැම්පස් එකේ අසයින්මන්ට් එකක් තියෙනවා. ඒකට ග්රැෆික් කාඩ් එකක් ගන්න ඕන. නැතිනම් ෆේල් වෙනවා" කියලා ඔෆිස් එකට ගිහින් කිව්වා. තාත්ති ඒ වෙලාවෙම වාහනේ මාවත් දාගෙන යුනිටි එකට ගිහින් අරන් දෙන්න තිබුන හොඳම ග්රැෆික් කාඩ් එක අරන් දුන්නා. මම ඒක අරන් ගිහින් හයි කරලා එදා රෑ එලි වෙනකල් නීඩ් ෆෝ ස්පීඩ් ගහලා ඒක ඉවර කරා. ඉන්ටන්ශිප් එකට ගිහින් කිව්වා "තාත්ති මට ඉන්ටන්ශිප් එක හොඳට කරගන්න ඕන, මට හොඳ ලැප්ටොප් එකක් අරන් දෙන්න පුලුවන්ද" කියලා. "එහෙනම් පුතේ දැන් එන්න, මම අරන් දෙන්නම්" කියලා යුනිටි එකට ඇවිත් ඒ කාලෙ තිබුන ගණන් වැඩිම ලැප්ටොප් එක අරන් දුන්නා. කැම්පස් එකේ මොනතරම් පිස්සුවැඩ කරත් මම හිතුවා තාත්ති වෙනුවෙන් මම ඉන්ටන්ශිප් එක හරියට කරනවා කියලා.
දුමානිගෙයි මගෙයි සම්බන්දෙට තාත්ති කවදාවත් බාල්දි දැම්මේ නෑ. තාත්තිට වටෙන් කොනින් ආරංචි වෙද්දි "රොස්ලින් අක්කගෙයි මගෙයි නෑදෑකමට ඩැමේජ් එකක් කරන්නෙ නැතිව ඕන එකක් පුතේ" කියන එක. 2008 අගෝස්තු මම ජොබ් එකට ගිහින් පලවෙනි මාසෙම කිව්වා "තාත්ති, මට දුමානිව බඳින්න ඕන", "ඔව් ඉතින් ප්රස්නයක් නෑ, කොයි කාලෙද?", "තව මාස තුනකින්, නොවැම්බර් දෙසැම්බර් වගේ", "අප්පේ පුතේ, කලින් වැඩි නැද්ද?". තීරණයක් ගත්තම ලේසියකට මම වෙනස් කරන්නෙ නෑ කියලා තාත්ති දන්නවා. "එහෙනම් කමක් නෑ, ඔයා කැමති විදියට කරන්න" කියලා වෙඩින් එකටත් සම්පූර්ණයෙන්ම වියදම් කරා. ඒත් මම ජොබ් එක පටන් ගත්ත කාලෙ ඉඳලා කවදාවත් තාත්තිගෙන් ඉල්ලන්නෙ නෑ කියලා තීරණය කරා. ඒත් තාත්ති දෙන එක නතර කරේ නෑ. චූටි දුව තාත්තිට කියන්නෙ ජීප් අත්තා කියලා, ජීප් අත්තා අදටත් චූටි දුව බලන්න එද්දි එන්නෙ අතින් කටින් අල්ලගෙන. 2016 ඇක්සිඩන්ට් එක වුනාම තාත්ති තිළිණ අයියට කියල තිබුනේ "පුතේ ඔයා දොස්තර කෙනෙක්. ඒක නිසා චාමරට මොකක්ද කරන්න ඕන කියන එක ඔයා හොයලා බලලා තීරණය කරලා කියන්න. ඒකට යන වියදම ගැන හිතන්න එපා. පිට රටකට එක්කරගෙන යන්න ඕනනම් ඒකත් කියන්න. මම ඔක්කොම බලාගන්නම්". තාත්ති සර්ජරි එකේ ඉඳලා හැම දේටම වියදම් කරා. තිළිණ අයියා මට ඔක්කොම ඉවර වෙලා කිව්වේ "මල්ලි මේ වගේ තාත්තලා හැමෝටම නෑ. උඹට ඉන්නෙ දෙවි කෙනෙක්" කියලා.
කොවිඩ් පටන් අරගෙන ටික කාලයක් කම්පැණි එක කරගෙන යද්දි ආපු ප්රශ්ණත් එක්ක හැප්පිලා මම හෙම්බත් වෙලා හිටියෙ. මම හිටියේ ඩිප්රෙශන් එකක.තාත්තිගෙ උපන්දිනේ දවසේ මගෙ ඩිප්රෙශණ් එක තාත්තිගෙන් පිට වුනා. තාත්ති ඇඬුවා, මට පියවි සිහියට ආපුවම මම කරපු ලොකුම පව නේද කියන එක පස්සේ කාලෙක තේරුණා. ඒත් තාත්ති ටික දවසකින් මාව බලන්න ආවා. "පුතේ, කම්පැණි එක කරන්න ඔච්චර අමාරුනම් ඕක නවත්තන්න. මම ටික කාලයක් ඔයාව බලන්නම්. ආපහු රස්සාවකට යන්න පුලුවන්", "තාත්ති මම මේක නවත්වන්නෙ නෑ.තනියම හරි කරනවා. මේක නැවැත්තුවොත් මම ආයි මේ ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරන්නෙ නෑ". තාත්ති කිව්වෙ "පරිස්සමින් පුතේ, දරු පවුල ගැන හරි ඔයිට වඩා බලන්න". සිගරට් එක පිට එක දල්වමින් මම තනියම විසඳුම් හෙව්වා. තාත්ති, දුමානි මගේ හයියට හිටියා. එහෙම කාලය යද්දි "තාත්ති මම කල්පනා කරේ එම්බීඒ එකක් කරන්න කියලා", "කරන්න පුතේ, මම සල්ලි දෙන්නම්", "තාත්ති, මට සල්ලි තියෙනවා, මම කරන්නම්", "එහෙම කියන්න එපා පුතේ, මම මේවට ඔයාට දෙන්න හරිම ආසාවකින්" එහෙම කියලා තාත්ති බලෙන්ම යුනිවසිටි ෆී එක ගෙව්වා. සිමාවලට වියදම් කරලා ඒක හරියට කරෙත් නෑ. ඩ්ගිරිය ගොඩ දැම්මේ ගොඩ දාන්න ඕන නිසා වගේ. මම හිතාගත්තා එම්බීඒ එක මට පුලුවන් උපරිමෙන් කරනවා කියලා. අන්තිමේට ඩිස්ටින්ක්ශන් එකක් තිබුනා, කොන්වොකේෂන් එකට තාත්ති එක්කරගෙන ගියා. උදේ කෝල් එකක් ආවා "සර්ගේ වීඩියො එකක් ගන්න තියෙනවා, සර් කැමතිද" කියලා. මම ඉතින් "හා කමක් නෑ, ඒත් මගෙන් ඇයි ගන්නෙ?", "සර්, තමයි Best performance award එක දිනලා තියෙන්නෙ" කියලා. ඒත් මම තාත්තිට කිව්වෙ නෑ එතනට යනකල්. හැබැයි මම අවෝඩ් එක ගද්දි තාත්ති හිටපු සතුට ගැන චූටි දුව කිව්වෙ "අම්මෝ තාත්ති, ජීප් අත්තා ඇඬුවත් එක්ක, වීඩියො කරලා ආයි අයි බලනවා" කියලා.
කොන්වෝකෙශන් එක ඉවර වෙලා එන ගමන් තේ එකක් බොන්න නවත්තලා තාත්ති කතා කරේම මම ගැන. "ඔයා කරදර ඔක්කොම අස්සෙ මේක දිනපු එක පුතේ කියලා වැඩක් නෑ" කියලා. "තාත්තිට තමයි තෑන්ක්ස් කරන්න ඕන, තාත්ති තමයි මේකෙ යුනිවසිටි ෆී එක ගෙව්වෙ" කියලා මම කිව්වම "මමද ගෙව්වේ, කොයි කාලෙද?", ඒ කියන්නෙ තාත්තිට ඒ සම්බන්ද මතකයක්වත් නෑ. "ඔහොමම පුතේ පීඑච්ඩී එකක් කරන්න, මම වියදම් කරන්නම්. ඔයාල ඉගෙන ගන්නවා දකින එක තරම් වෙන සතුටක් නෑ", මම ඒකට කෙලින් උත්තරයක් දුන්නේ නෑ. මගේ හිතට මම කිව්වා "තව පොඩි කාලයක් දෙන්න, මගේ කම්පැණි එක ගොඩ දාලා තාත්තිගේ ඒ ආසාව මම ඉශ්ඨ කරන්නම්" කියලා. මම ඒක ඉෂ්ඨ කරත් නැතත් තාත්තිට සතුටු වෙන්න පුළුවන් මම වගේම නංගිත් පශ්චාත් උපාධිදාරී දක්ෂ ගුරුවරියක් වගේම මල්ලිත් ඉන්ජිනේරු උපාධිය සමත් වුනා. "තාත්ති දැන් ඇති වැඩ කරා", "අනේ පුතේ, මට වැඩ කරන එක නැවැත්තුවොත් පිස්සු හැදෙනවා, අනික මම මැරෙනකල් මම කැමති නෑ ඔයාලට කරදරයක් වෙන්න" කියන එක තාත්තිගෙ උත්තරේ, ඉතින් තාමත් තාත්ති හැල්මේ වැඩ, ඒත් මම දන්නවා දැන් හිතේ හයිය තිබුනට අවුරුදු 70ට ආසන්නයේ ඇඟේ හයිය ඉස්සර වගේ නැතිව ඇති කියලා. ඒත් තාත්තිගෙ ආසාව ඒකනම් තාත්තිට මට බල කරන්න බෑ. ඒත් කෑමෙන් පරිස්සමක් නැතිව මගෙන් සහ නංගිගෙන් බලකිරීමට හරි පරක්කු වෙලා හරි, දොස්තරගෙන් බැනුම් අහන්න බලාගෙන හරි දොස්තර ළඟට යන එක නවත්තන්න එපා කියන එක තමයි මගේ එකම පැතුම. මොකද මට තාම තාත්තිට කරලා පෙන්නන්න ගොඩක් දේවල් තියෙනවා. ගොඩ දෙනෙක් මගෙන් අහන එක ප්රශ්ණයක් තමයි "ඇයි උඹ migrate කරන්නෙ නැත්තෙ?", මගේ එකම උත්තරය "මගේ තාත්ති". තාත්තිට කරදරයක් වුන ගමන් මට යන්න බැරි වුනොත් ඒක මට ජීවිත කාලෙටම ආපහු දරාගන්න බෑ. පළවෙනි හාට් ප්රොබ්ලම් එක ආපු ගමන් මම කොළඹ ඉඳලා කුරුණෑගලට මහ රෑ පැයෙන් ආවේ, තාත්තිගෙ වාහනේ ඇක්සිඩන්ට් වුනා කියලා දැනගත්තම මට කොළඹ ඉඳලා යන ටිකත් දරාගන්න අමාරු වුනා. ඉතින් තාත්ති, ඔයත් ඉඳලා හිටලා අහන මයිග්රේශන් ප්රශ්ණෙට උත්තරේ මට ඔයාට තියෙන බැඳීම. මම තාත්තිව බදාගන්නෙ නැතිවෙයි, හැමදාම කෝල් කරන්නෙ නැතිවෙයි...ඒත් ලොකු පුතා මොන වැඩක හිටියත් හිතේ කොණක තාත්ති ඉන්නවා.
පැයකින් දෙකකින් ඔයා ගැන ලියන්න බෑ තාත්ති. ඔයා මට පොතක් ලියන්න පුලුවන් තරම් වැඩ්ඩෙක්. හැම තාත්තම මේ වගේ කැපකිරීම් කරලා ඇති. ඒත් මගේ ලෝකේ වැඩ්ඩා මගේ තාත්ති. අද මම මේක ලිව්වේ ඔයාට ඊයෙ ලැබුන ඉහලම සම්මාණය වෙනුවෙන්. ඊයේ උදේ මට ඒ වෙනුවෙන් එන්න නොලැබුණත්, අද මම උදේ වරුවේ ඔයා වෙනුවෙන් මේ ටික ලිව්වෙ මගේ සතුටට. වසර තිස් පහකට අධික කාලයක් රටවල් ගණනාවක අද්යාපණය ලබා ශ්රී ලංකාව පුරා ලිං නල ලිං දහස් ගණනක් ස්ථාපනය කරලා අදටත් තමන්ගෙ දැනුම කිසිම ලෝබකමක් නැතිව අනිත් මිනිස්සුන්ට බෙදලා දීලා ශ්රී ලංකාවේ භූ විද්යා ක්ශේත්රයට කරන ලද අනුපමේය සේවය වෙනුවෙන් ජීවිත කාලේ එක් වරක් පමණක් ශ්රී ලංකා භූ විද්යා සංගමයෙන් පිරිණමන එල් ජේ ඩී ප්රනාන්දු අනුස්මරණ සම්මාණය දිනූ මගේ තාත්තිට උණුසුම් සුභ පැතුම්!!!
.jpg)
.jpg)