Saturday, November 7, 2020

කොරෝනා ලියවිලි 12 - ඕලෙවල් සහ නරයලාගේ ගෙදර

 අපි ඕලෙවල් කරේ 2000 අවුරුද්දෙ. ඒ අවුරුද්දෙ දෙවෙනි වාරෙ මැද වගේ ඉවර වෙද්දී අපේ සර්ලා මැඩම්ලා සිලබස් එකේ ඔක්කොම වගේ ඉවර කරලා තිබුනේ. කලින් ලිපිවල කිව්වා වගේ ගණිතය කරේ සරත් සර්, විද්යාව කරේ තෙලසිංහ මැඩම්, සිංහල ඉගැන්නුවේ ඥාණසිංහ සර්, සමාජ අධ්යණය කරේ හේරත් මැඩම් (ආදරේට කිව්වෙ බඩී මැඩම්). මලියදේවෙ මේ හතර දෙනාගෙන් ඉගෙනගත්ත හැමෝම දන්නවා ඉතින් හතරදෙනාගෙම කොලිටි එක. ඒක නිසා ඒ විෂයයන් කවදාවත් ලොකුවට අමාරුවක් දැනුනේ නෑ. බුද්ධාගම කරේ අපේ ශාලිකයට (Shalika Jayarathna) වැඩියෙන්ම ආදරේ කරපු සර්. ඒ සරුත් හොඳටම උගන්නපු වැඩේ කරා වගේම අපි හැමෝටම වඩා ශාලිකයට විශේෂ ආදරයක් තිබුනා. මට චිත්ර ලොකුවට ඇඳගන්න බැරි වුනත් අධිකාරි සර් කියලා දුන්න මෝස්තර ඇඳිල්ලයි හැමදාම කරපු ද්රව්ය බලාගෙන ඇඳිල්ලත් එක්ක ඒ වැඩෙත් ශේප් එකේ තිබුනා. හැබැයි චිත්ර කලා ඉතිහාසයක්නම් කවදාවත් බැලුවෙවත් නෑ. චිත්ර ලියන පේපර් එක ආවාම මොකක් පෙන්නල ඇහුවත් අජන්තා ගල් ගුහාවයි, සීගිරියයි, ඇම්බැක්කෙයි මාරු කරලා ඒවට උත්තර දුන්නේ. කෘෂිකර්මේ කියලා එකක් කරා දෙයියනේ කියලා ප්රැන්සිස් සර්,"ළමයි මට විනාඩි දහයක් දෙන්න, මම පොඩ්ඩක් සී පී රත්නායක සර් හම්බෙලා එන්නම්" කියලා ගියාම ආයී ඉතින් හම්බෙන්නෙ ඊළඟට කෘශිකර්මේ තියෙන දවසෙ. ඉංග්රීසි කරේ සේනානායක සර්(ආදරේට කිව්වෙ ප්රභාකරන් සර් කියලා). ඒ සරුත් ඉතින් ප්රශ්නෙකට උත්තරයක් ලියන්න පුලුවන් විදියට ඉංග්රීසි ටික ඉගැන්නුවා. හැබැයි ඉතින් අපිට ඉංග්රිසියෙන් මුකුත් කියාගන්නනම් පුලුවන් කමක් ලොකුවට තිබුනේ නෑ. ඒ කාලේ පන්තියෙ ඉංග්රීසි කතා කරන්න පුලුවන් හොඳටම සතරසිංහයට. ඒක නිසා උගෙ පිහිටෙන් ඉංග්රීසි සමිතිය වන් මෑන් ශෝ එකක් විදියට ගොඩ ගියා. මාලකයා, චමිඳුවා වගේ උන් සයිඩ් සපෝට් එකක් දුන්න ඉංග්රීසි සමිතියට. මොකද උන් සෙට් එකටම ඒ කාලේ බැක්ස්ට්රීට් බෝයිස් උණ හැදිලා තිබුනේ. අපිට ඒ කාලේ "ක්වික් ප්ලෙයින් ගේම්ස් විත් මයි හාට්" විතරයි උන්ගෙ සින්දු කෑලිවලින් තේරුණේ.

ඉතින් කීවා වගේ දෙවෙනි වාරෙ ඉවරවෙලා තුන්වෙනි වාරෙ පටන්ගද්දී වගේ අපි ටිකක් විතර විශ්වාසෙකින් හිටියා ඕලෙවල්වලට ෆේස් කරන්න. දෙවෙනි වාරෙ මතක විදියට මම පන්තියෙ හය වෙනියා වගේ. ඒ පන්තියෙ හයවෙනියා කියන්නේත් ලොකු දෙයක්. පස්සෙ කාලෙක අයිලන්ඩ් ෆස්ට් වුන දුලිපා(
Dulip Piyaratne
) හැමදාම එක වෙන්නෙ 800න්797ක් වගේ අරගෙන. දෙක තුන ඉතින් මාලකයයි(
Malaka Yapa
) බොක්කායි (බමුණාවලයා) අතර ශෙයා වුනා. ඊට පස්සෙ තමයි ඉතින් අපි පොඩි ෆයිට් එකක් දෙන්නේ. චිත්ර වලට ලකුණු ටික ආපු ගමන් ඉතින් හයෙන් නතර වෙන එකත් ලොකු දෙයක්. ටියුෂන් කියලා වෙනම ගියේ විද්යාවට මානෙල් සර්ගෙයි, ඉංග්රීසිවලට අපේ ගමේ ඒකනායක ටීචර්ගෙ පන්තියටයි. සරත් සර් කියලා දෙන විදියෙ ආසාව නිසා ගතිකෙ තිබුන සර්ගෙ පන්තියට ගියා. තුන්වෙනි වාරෙ ඉංග්රීසි ගැන තිබුන පොඩි අවිනිශ්චතාවයක් එක්ක ගමේ පන්තිය නවත්තලා සිල්වා සර්ගෙ ගතිකෙ පන්තියට ගියා(ඒ කිව්වේ චමිඳුවගෙ (
Chamindu PM
) තාත්තා, අපි ආදරේට කිව්වේ නසියර් සර් කියලා). තුන්වෙනි වාරෙ පටන්ගෙන ටික දවසක් යද්දීම පන්තියෙ උන් ඉස්කෝලෙ එන එක ටිකක් අඩු වුනා සිලබස් ගොඩක් කවර් කරලා තිබුන නිසා. සර්ලා මැඩම්ලා වුනත් ඇවිත් කලින් අවුරුදුවල පේපර්ස් කරන එක තමයි කරේ ගොඩක්ම.
ඔහොම දවසක් ඉද්දී නරයායි(
Amila Narasingha
) ශාලිකයයි මට ගෙනාවා සුපිරි යෝජනාවක්. "ජයා, අපි දෙන්නා සෙට් වෙලා ඉන්නෙ නරයලාගෙ ගෙදර පාඩම් කරන්න, වරෙන්කො සෙට් වෙන්න. ගේමක් ගහමු සෙට් වෙලා" කියලා. මට ඉතින් යන්න පට්ට ආසයි, ඒත් මම කල්පනා කරේ අපේ ගෙදරට හරියටම තිබුනේ හේවාපොල, කුරුණෑගල ටවුමෙ ඉඳලා නුවර පාරේ කිලෝ මීටර පහයි. පහේ කණුව තිබුනේ ගෙදර ගේට්ටුව ළඟ. නරයගෙ ගෙදර තිබුනේ කුරුණෑගල අනුරාධපුර පාරෙ වාරියපොලත් පහු කරලා පාදෙණියත් පහුකරලා ගිහින් වැරැල්ල හන්දියෙන් බැහැලා එතනිනුත් කිලෝමිටරයක් දෙකක් ඇතුලට වෙන්න තිබුන නරමාන කියන ගමේ. ඉඳලා හිටලා අපි ඉස්සර නරයගේ ගෙදර යනවා. එක සැරයක් මම නරයත් එක්ක මෝටර් බයික් එකේ නරයගෙ ගම පුරා ගිහින් ස්කවුටින් ජොබ් වීක් එකට හොඳ ගාණක් එකතු කරා. මිලින්දය(
Milinda Rajapaksha
) හිටියෙ අල්ලපු ගමේ. මම උන් දෙන්නගෙම ගම් වලට ටික කාලෙකට කලින් මේ විදියට ජොබ් වීක් කලෙක්ශන් පාරක් දැම්මා. නරයාගෙ තාත්තට තිබුන ගරුත්වයට කවුරුත් වැඩක් දෙන්නෙම නැතිව සල්ලි දුන්නා. නරමාන ගමේ විශේෂත්වයක් තිබුනා. ඒ තමයි ඒ ගමේ ඉන්න හැම මනුස්සයම නරසිංහලා. කවුරුහරි වැරැල්ලෙන් බැහැලා නරසිංහලාගෙ ගෙදර යන්න ඇහුවොත් ඉතින් ගෙවල් 100කටවත් හොයන් යන්න වෙනවා. නරයලාගෙ ගෙදරට කිව්වේ බැංකුවේ ගෙදර කියලා. ඒ නරයගේ තාත්තා වැඩකරේ අඹන්පොල මහජන බැංකුවේ නිසා.කොහොම හරි කුරුණෑගල ඉඳලා කිලෝ මීටර් තිහකට විතර එහා තියෙන නරයලාගෙ ගෙදර පාඩම් කරන්න යන්නේ කොහොමද කියලා ගෙදරින් අහන එක හෙනම ගේමක් වුනා. කල්පනා කරා කොහොමද මේ වගේ ගොන් වැඩකට අවසර ගන්නේ කියලා.
ඔය කාලෙ වෙද්දී නරයයි ශාලිකයයි අපේ ගෙදරත්, මම උන්ගෙ ගෙවල්වලත් ඉඳලා හිටලා යනවා එනවා. නරයානම් එන්නෙම අපේ ගෙදර කොමොන්ඩෝස් 2 ගේම් එක ගහන්න. මුන් දෙන්නා අපේ ගෙදර ආවම හිටියෙ බෝ පැල වගේ. ශාලිකයා එහෙම මොන කුපාඩි වැඩ කරත් අපේ ගෙදරක ආවම හිට්යේ බුදු වෙලා වගේ. අපේ අම්මා එහෙම ඒ කාලෙම මගේ ගොන් වැඩ ගැන ශාලිකයා එක්ක කියන්න පටන්ගෙන හිටියේ. ශාලිකයා අම්මා ඉස්සරහම "ඇයි බං උඹ එහෙම කරන්නේ, බලපං ඇන්ටිට දුක හිතෙනවානේ" කියලා ටෝක් දෙන්නේ. නරය ගැන අපේ අම්මා කිව්වේ "නරයානම් හරිම අහිංසකයෙක්" කියලා. ඉතින් මේ කරුණු කාරණා එක්ක මම දවසක් අම්මයි තාත්තයි දෙන්නම එක්ක කිව්වා, "තාත්ති, ගෙදර් ඉඳන් පාඩම් කරන්න කම්මැලියි, ඉස්කෝලෙත් දැන් ළමයි එනවා අඩුයි. ශාලිකයි නරසිංහයි දෙන්නම කතා කරා එකතු වෙලා පාඩම් කරමුද කියලා? මම ඒ දෙන්නව අපේ ගෙදර එක්කරගෙන එන්නද?" කියලා. උන් දෙන්න බෝ පැල වගේ කියලා අම්මා හිතන් හිටියත් නංගි ගෙදර ඉන්න නිසා දෙන්නම මේ වැඩේට පස්ස ගහනවා කියලා මම දන්නවා. "මොනා වුනත් චාමර, ගෑනු ළමයෙක් ඉන්න ගෙදරකට එහෙම දිගටම පිරිමි ළමයි දෙන්නෙක් තියාගන්න අමාරුයි" කියලා අම්මා මම බලාපොරොත්තු වුන උත්තරේම දුන්නා. "එහෙනම් අම්මේ, මම ඒ ගෙවල් දෙකකින් එකකට යන්නද?" කියලා මගේ ඊළඟ බෝලෙ දැම්මා. දැන් ඉතින් බෑ කියන්නත් බෑ. "පුතේ දුර වැඩි නැද්ද?" කියලා තාත්තා අහද්දීම, "නෑ තාත්ති, හැමදාම එන්න නෑනෙ ඉස්කෝලෙට වුනත්, ලොකු අවුලක් වෙන්නෙ නෑ" කියලා මම කිව්වා. "අනේ මන්දා, ඕනෙමනම් යන්න ඉතින්. හැබැයි පාඩම් කරන වැඩේ හරියට කරන්න ඕන" කියලා තාත්තා වැඩේට අවසරේ දුන්නා. වැඩේ ගොඩ, ඊළඟ දවසේම උදේම මම අරුන් දෙන්නට කිව්වා "මචං, වැඩේ ගොඩ, මේ සති අන්තෙ ඉඳලා මම එහේ" කියලා.
ඕන කෙනෙක්ට මෝඩ වැඩක් කියලා හිතෙන ඒ වැඩේ මම ගොඩ දාගෙන විනාඩි පහෙන් ටවුමට යන ඔප්ශන් එක අතෑරලා මම ගියා ඒ සති අන්තෙම නරයලාගෙ ගෙදර. තාත්තයි අම්මයිත් ඇවිල්ලා නරයලගෙ අම්මටයි තාත්තටයි කතා කරලා මාව භාර දීලා ගියා. නරයලාගෙ ගෙදර ඒ කාලේ ගමේ අනික් ගෙවල් එක්ක බලද්දී ලොකු ගෙයක් තට්ටු දෙකට හදපු. උඩ තට්ටුවෙ වෙනම කාමරයක් අපි තුන්දෙනාට තිබුනා. උඩ තට්ටුවේම තව කාමරයක නරයගේ අයියා(
Asoka Narasinghe
) හිටියා. උඩ තට්ටුවේම අනික් කාමරේ අයියගේ බර උස්සන ආම්පන්න ටික තිබුනා. පල්ලෙහා ලොකු සාලයක්, ඉස්තෝප්පුවක්, ඔෆිස් රූම් එකක් වගේම අපිට පාඩම් කරන්න වෙනම කාමරයක් තිබුනා. ඇන්ටි අන්කලුයි හිටියෙත් පල්ලෙහා තට්ටුවෙ වෙනම කාමරේක. ඒ දෙන්නා ඉතින් ලේසියකට උඩට එන්නෙත් නෑ. ලොකු කුස්සියක් තිබුනා අපි පාඩම් කරපු පාඩම් කරපු කාමරේට එහා පැත්තට වෙන්න. ගෙදර තිබුනේ සෑහෙන විශාල වත්තක කෙලවර. වත්තේ අනික් කෙලවරට වෙන්න තිබුනේ පොඩි වැවක්. අල්ලපු වත්තෙ හිටපු අයිතිකාරයා වුන මනුස්සයට නරයා කිව්වේ "කක්කන් අත්තා" කියලා. කොහොම හරි නුවර පාර අයිනෙම නිතර වාහන සද්දෙත් එක්ක තිබුන අපේ ගෙදරට වඩා නිස්කලංක බවක් නරයලගෙ ගෙදර තිබුනා. වත්ත පුරා එක එක ජාතියෙ ගස් පිරිලා.
දැන් ඉතින් පාඩම් කරන්න තුන් දෙනා සෙට් වුනා දෙයියනේ කියලා. පාඩම් කරන්න පටන් ගන්න වෙන්නෙ ඉතින් රෑ නවයට වගේ තමයි. මොකද ඒ කාලේ නරයලගේ ගෙවල් පැත්තට තෙකලා විදුලිය කියලා එකක් එන්නේ නෑ. එකලා විදුලිය තමයි ආවේ. ඉතින් හවස හය පහු වෙලා ලයිට් ටික දැම්මම ටික වෙලාවකින් ඩිම් වෙලා යනවා. තිබුන ටීවී එකේ ඩිස්ප්ලේ ඒරියා එක පොඩි වීගෙන යනවා. අට හමාරෙ නාට්ය එහෙම ඉවර වුනාම තමයි ආපහු බැක් ටු නෝමල් වෙලා ලයිට් වල එලිය එන්න පටන් ගන්නෙ. ඔය සීන් එකට අපි ඉතින් නරයව බයිට් කරනවා. හැබැයි ඊට පස්සෙ අපි බොක්කෙන්ම පාඩම් කරනවා. ගණන් හදනවා, පරණ පේපර්ස් කරනවා, සාකච්ඡා කරනවා. සමහර වෙලාවට පොඩි කයියවල්වලට සෙට් වෙනවා. ශාලිකය තමයි බයිට් එක, නරයා උට දෙන්නේ නැති වදයක් නෑ. බුද්ධාගම සර් ගැන කියලා බයිට් කරනවා. ශාලිකයත් අත අරින්නෙ නෑ, නරයගෙ ගෙදර ආපු ගියපු හොස්ටල් එකේ පොඩි එකෙක් අල්ලන් බයිට් කරනවා. සමහර දවස්වලට ඉතින් කයිය විතරයි. හැබැයි ඉතින් පුදුම සන්තෝසෙකින් හිටියේ තුන්දෙනාම. නරයලාගේ අම්මා අපිට රෑ වුනාම තේ එකක් එහෙමත් හදලා ගෙනල්ල දෙනවා. රෑට කාපු කෑමත් එසේ මෙසේ නෙමෙයි. අන්කල් එනකොට ටිකක් රෑ වෙනවා, අන්කල් ආවම නරය ගෙදර ඉන්නේ පූස් පැටියා වගේ. එතකල් ඌ ඉන්නේ ඇන්ටිව අවුස්සපු ගමන්. ඇන්ටි අන්කල් දෙන්නම අපි තුන් දෙනාටම කිසිම වෙනසක් කරේ නෑ. ශාලික පුතා, ජයවීර පුතා කියලා තමයි කිව්වේ හැම වෙලේම. පාඩම් කරලා ඉවර වෙලා අපි තුන් දෙනාම උඩට ගිහින් නිදාගන්නවා. නිදාගන්න ගිහිනුත් ඉතින් සමහර දවසට පැයක් විතර යනකල් රටේ ලෝකෙ නැති කුණුහරුප කතා කියවලා තමයි නිදන්නේ.
ඉතින් ගමේ ගෙයක් විදියට ඒ කාලේ නරයලගේ ගෙදර බාත් රූම් එකක් කියලා එකක් තිබුනෙ නෑ ගෙදර ඇතුලේ ගෙදර මොන තරම් ලොකු වුනත්. ගෙදරට පිටිපස්සේ සෑහෙන ලොකු වගා ළිඳක් සයිස් එකේ ළිඳක් තිබුනා. එතනම ලොකු වතුර ටැංකියක් තිබුනා බිම හදපු. ඒකට වතුර මෝටරයක් සෙට් කරලා තිබුනේ. ටැංකියට හොඳට වතුර පුරවලා හිතේ හැටියට නාගන්න පුලුවන්කම තිබුනා. මෙතන තමයි මට මුන් දෙන්නාත් එක්ක ජීවත් වෙනකොට ආපු පලවෙනි ප්රශ්නෙ ආවේ.කළුවර වැටුනාම නරයායි ශාලිකයයි ගේමක් නැතිව මෙතන නාන්නේ උපන් ඇඳුමින්. මම ඉතින් මොනා වුනත් ලැජ්ජ බයට හැදුන එකා කියලා මුන්ට කිව්වට මුන් දෙන්න හෙන ගේම මාත් එක්ක කලිසමක් ඇඳගෙන නාන එකට."යකෝ බඩුවක් වගේ මෙතන කලිසමකුත් ඇඳගෙන ඇඹරෙන්නෙ, අපි දෙන්න ඉස්සරහ උඹට ලැජ්ජද? නෙදකින් විතරක්" කියලා ශාලිකය තමයි හෙනම ගේමේ. "මුට පාඩමක් උගන්නමු" කියලා දෙන්නම කතා වෙනවා. "වරෙන්කො උගන්නන්න" කියලා මාත් ඉතින් ගේමේ මේ වෙලාවට. ඔහොම සතියක් විතර ගියාට පස්සේ දවසක් මට පාඩම් කරන ගමන් ලොකු නිදිමතක් ආවා. "මචං, මම පොඩ්ඩක් නිදාගෙන ඉඳලා එන්නද?" කියලා අහද්දි, ශාලිකයා "නිදාගනින් පැටියො" කියලා කිණ්ඩියට හිනාවකුත් දැම්මා. මම ඉතින් කමක් නෑ කියලා හිත හදන් ගිහින් නිදාගත්තා. සැරටම නින්ද ගියා. ඔහොම පැයක් දෙකක් යද්දී මට ඇහුනා දෙන්නම කලුවරේ හිනා වෙවී ඉන්නවා. මම නැගිටිද්දිම තේරුණා සරම නෑ වගේ කියලා. ලයිට් එක දාපු ගමන් සරම පේනවා වහලේ එල්ලලා. මටත් හිනා, තුන්දෙනාම හිනාවුන සද්දෙට පල්ලෙහා තට්ටුවේ ඉඳලා ඇන්ටිත් ඇහුවා. "අද උඹලා තුන්දෙනාට මොකද වෙලා තියෙන්නේ? නිදාගන්න එහෙම අදහසක් නැද්ද?" කියලා. දෙයියනේ කියලා ඊළඟ දවසේ ඉඳලා මාත් උපන් ඇඳුමින් ටැංකිය ළඟ නාන්න පටන් ගත්තා.
මෙහෙම ඉන්න ගමන් අපි ඉස්කෝලෙත් ආවා නරයලගේ ගෙදර ඉඳලා සතියට දවස් කීපයක්. උදේ පහ හමාරට නැගිටලා ලෑස්ති වෙන්න ඕන. ඒක තමයි ටිකක් අමාරු වුනේ මට. ගෙදර ඉද්දී හය හමාරට නැගිට්ටත් ඇති ලෑස්ති වෙලා දුවන්න. ඊට පස්සේ නරයලගෙ ගෙදර තිබුනා පුශ් බයිසිකල් දෙකක්. අපි තුන්දෙනා බයිසිකල් දෙක පැදගෙන හය හමාර වෙද්දි වැරැල්ල හන්දියට එනවා. එතන කඩේක බයිසිකල් දෙක නවත්තලා වැරැල්ල හන්දියේ බස් හෝල්ට් එකට වෙලා ඉන්නව ඇල්ල කුරුණෑගල ස්කූල් බස් එකට නගින්න. මේ බස් එකේ ඉඳගන්න තිබුනත් නරයයි ශාලිකයයි එහෙම කීයටවත් ඉඳගන්නේ නෑ. උන් දෙන්නම බස් එකේ හිටගෙන යන ගමන් කරන අනික් ශාස්ත්රයත් හරියට කරන විදිය දෙයියනේ කියලා කියලා දුන්නා. දෙන්නම ඒකෙ එක්ස්පර්ට් වෙලා හිටියේ. මම ඉතින් මැටිබොක්ක බස් එකේ යන ටික දුරට ඔය සීන් එකට සෙට් වෙලා තිබුනෙ නෑ. ශාලිකයා මේ සීන් එකේ කොච්චර ඩයල් එකක්ද කියලා කියනවනම් බස් එකේ හිටගෙන ඉන්න එකම කෙල්ල ළඟට වුනත් ගිහින් වැඩ පෙන්නනනවා. මටත් ඉතින් ටික ටික වැඩේ අල්ලලා ගියා. මිලින්දයත් නගිනවා ඊළඟ හෝල්ට් එකෙන්, ඌත් ඉතින් දෙයියනේ කියලා ඒකටම ඩයල් එක. බස් එකේ ගිය කෙල්ලොත් ලොකු අමනාපයක් තිබුනේ නෑ ඉතින් අපි ගැන. නරයා කියනවා "ඒක එපා, ඒක එපා, අන්න අතනට යමන්". ඉතින් කුරුණෑගලට එනවා දැනෙන්නෙවත් නෑ. බස් එකෙන් බැහැලා නරයයි, මමයි, ශාලිකයයි, මිලින්දයයි බස් එකේ පෙන්නපු වැඩ ගැන කතා වෙවී එනවා ඉස්කෝලෙ ළඟට එනකල්ම.
මාසයක් විතර යද්දී ශාලිකයා බස් එකේ ගියපු නවය වසරේ පොඩි කෙල්ලෙක්ට උකුළු මුකුළු පාන්න පටන් ගත්තා. උගෙ බෝ පැල මූඩ් එකට මාරු වුනා. කෙල්ල හිටියේ නවය වසරෙ. සතියෙන් වැඩේ ගොඩ දැම්මා. "පව් යකෝ, පොඩි කෙල්ල" අපි මොන තරම් කිව්වත්, "උඹලා මගුලක් කියන්නේ නැතිව පොඩි සපෝට් එකක් දීපන්කො බං" කියලා අපිව බැලන්ස් කරගත්තා. ඒ කෙල්ල ගියෙ වාරියපොල ඉස්කෝලෙකට. නරයලාගෙ ගෙදරත් පහු කරලා තමයි හිටියෙ. උදේට ඉතින් ශාලිකයා ඒකිව හුරතල් කරලා බස් එකේ ගිහින් වාරියපොල ඉඳලා හොඳ එකා වගේ කුරුණෑගලට යනවා. හවසට ඒ කෙල්ල නගිනවා ආපහු බස් එකට. එතන ඉඳලා ආපහු ශාලිකයා සත්ය ප්රේම භෘංගරාජයා, බස් එකෙන් බැහැලා ඒකිගෙ බයිසිකලේ ඒකිවත් වාඩිකරගෙන ඩබල් දාලා පැදගෙන යනවා. නරයයි මමයි ඉතින් අනික් බයිසිකල් දෙකේ අරූට මුර රකිනවා ඉස්සරහින් ගිහින් බැරිවෙලාවත් ඇන්ටි හරි අන්කල් හරි එයි කියලා. ශාලිකයා නරයලාගෙ ගෙදරට ළං වෙලා අපේ බයිසිකලේකට ගොඩ වෙලා බෝ පැලේ වගේ නරයගේ ගෙදරට ගොඩ වෙනවා. නරයයි මමයි මොන තරම් අහිංසකයො වගේ හිටියත් ඇන්ටිත් ගේම කෝල් කරන්නේ අපි දෙන්නට පොඩ්ඩක් පරක්කු වෙලා ගෙදර ගියත්. "උඹලා දෙන්නටම වඩා ශාලික පුතා මට විස්වාසයි" කියලා තමයි කියන්නේ. "අම්මා දන්නෙ නෑ මුගෙ හැටි" කියලා නරයා ඇන්ටිට කියන ගමන්ම "හිටපන්කො තොට වැඩක් දෙනවා" කියලා අපි දෙන්න කිව්වත් ශාලිකයා මොකක් හරි බටර් පාරක් ගාලා අපිව ශේප් කරනවා.
පාඩම් වැඩයි, ඉස්කෝලෙ යන වැඩෙයි, සෙල්ලම් වැඩයි අතරේ දවසින් දවස ගත වුනා. නරයගෙ අයියා ආපු දවසට ඉතින් උගෙන් ගැලවීමක් නෑ. අයියා ඒ දවස්වල ඒලෙවල් කරන්න නැවතිලා හිටියේ කුරුණෑගල. අපි එනකල් බලන් ඉන්නෙ ක්රිකට් ගහන්න සෙට් වෙන්න. ඊට පස්සේ රෑ වෙනකල්ම යනවා ක්රිකට් ගැහිල්ල. අයියා ඉතින් දෙයියනේ කියලා අපිට බලන්න ලස්සන ලස්සන පත්තරත් ගෙනල්ලා දුන්නා. අපි ඒවගෙ තිබුන හැම කතන්දරයක්ම දෙතුන සැරයක් කියවලා තනි තනියෙම මහන්සි වුනා හොරෙන් හොරෙන්. මිලින්දයත් ඉඳලා හිටලා බයිසිකලේකුත් පැදගෙන ඇවිත් උගෙ කතන්දර ටිකත් කියලා යනවා. මේ ඔක්කොම අතරේ අපි පාඩම් කරන වැඩේ කරා. මට ලැබුන නිදහස වෙනම ලෝකයක් වෙලා තිබුනා. සමහර දවසක රෑට අපි තුන්දෙනා ඉඳලා හිටලා සිගරට් එකක් බොනවා වගේ නරක වැඩත් කරා මාට්ටු වෙන්නේ නැතිව. ශාලිකයගේ ගෙදර තිබුනේ නරයාලගෙ ගෙදර ඉඳලා ටික දුරකින්, පාදෙනියෙන් පුත්තලම් පාරට දාලා අවුලේගම මල්වැල හන්දියේ. ඉඳලා හිටලා අපි තුන්දෙනා එහෙත් යනවා එනවා.එහෙනම් යන්නෙම කන්න බලාගෙන. අදටත් මම කාල තියෙන රසම කෑම හදලා තියෙන්නේ ශාලිකයගේ අම්මා.
මුන් දෙන්න එක්ක නාන ප්රශ්නෙනම් මොන විදියකින් හරි ගොඩ ගියත් ඕලෙවල් ඉවරවෙනකල්ම ඉවර කරන්න බැරි වුන ප්රශ්නයක් තිබුනා. ඒ තමයි ටොයිලට් යන ප්රශ්නය. බාත් රූම් එක නොතිබුන නිසා ටොයිලට් එක තිබුනෙත් ගෙදර පිටිපස්සේ ටිකක් එහාට වෙන්න. මේකෙ දොර හදලා තිබුනේ තහඩුවකින්. කොමෝඩ් එකකුත් නෙමි තිබුනේ. මේකට හැමදාම එකෙක්ට යන්න වුනේ අනික් උන් දෙන්නට හොරෙන්. හේතුව තමයි යන එකා ඇතුලට ගිහිල්ලා වැඩේ පටන් ගත්තට පස්සේ අනික් උන් දෙන්නා පත ගල් අහුලගෙන ඇවිත් අර තහඩු දොරට ඈත ඉඳලා ගහන එක. මේක් ඉතින් ඇතුලෙ ඉන්න එකාට දැනෙන්නෙ මෝටාර් ගහනවා වගේ. ගිය වැඩේ කරගන්න තරම් මානසිකත්වයක් නෑ ඊට පස්සේ. නරයා තමයි මේ වැඩේ පටන් ගත්තේ අපි ආපු කාලෙම. ටික දවසක් යද්දී තහඩු දොරේ හිල් මතුවෙන්න ගත්තා. ඉතින් අනික් උන් දෙන්නට හොරෙන් අනික් එකා ටොයිලට් යන එක හෙනම ගේමක් වුනා. සමහර දවස්වලට ඉතින් දෙන්නෙක් මග ඇරෙනකල් අනික් එකාට තද කරගෙන ඉන්න වුනා. ඇතුලට යන එකා මොකා වුනත් අනික් උන් දෙන්නා ගිවිසුම්ගත වීම සරල දෙයක් වුනා. මේ ළඟදී නරයලාගේ ගෙදර ගියාම ඒ ටොයිලට් එක දැක්කම අපි තුන්දෙනාටම හිනා ගියා ඒකෙ භීෂණය මතක් වෙලා.
කොහොමෙන් හරි ඉස්කොලෙ අන්තිම වාර විභාගෙත් ආවා. අපි තුන්දෙනාම ගිහින් ලිව්වා. තුන්දෙනාගෙම ලකුණු එද්දී ලොකු අවුලක් නෑ. හය වෙලා හිටපු මම අන්තිම වාරෙ දාහතර වෙනියා. ඒත් තුන්දෙනාටම විභාගෙ ගොඩදාන්න පුලුවන් කියන විස්වාසෙ තිබුනා. ඊට පස්සේ ශාලිකයා ගියා උන්ගෙ ගෙදර, මමයි නරයයි ආවා අපේ ගෙදර ඕලෙවල් ලියන්න යන්න ලේසි නිසා. විභාගේ තියපු කාලෙයි ඔක්කොම එක්ක නරයත් අපේ ගෙදර මාසයක් විතර හිටියා. ශාලිකයා ගෙදර ගියත් හරි උගෙ අර බස් ලව් එක ඉවර වුනා. අපි විභාගේ ලිව්වා. අන්තිම දවසේ තිබුනේ වයිකල්පිත ඉංග්රීසි කියලා එකක්. ශාලිකයා අපි සෙට් එකටම උන්ගෙ ගෙදර එන්න කියලා විවෘත ආරාධනයක් කරලා තිබුනෙ. ශාලිකයා වයිකල්පිතේ ලියන්න ආවේ නෑ. ෆුල් කිට මරලා අපි ඉවර වෙද්දී ගේට්ටුව ළඟ ඇවිත් හිටියා. මම, නරයා, මාරයා(
Eranda Marasinghe
) , අකලංකයා(
Akalanka Senevirathne
), බණ්ඩා(
Edirisinghe Bandara
, මිලින්දයා අපි ඔක්කොම එහෙ ගියා. එදා කිට මරලා ආපු ශාලිකයා කෙල්ලෙක්ගෙන් ඇහුවා බස් එකේ යනගමන්, තවත් බස් ලව් එකක් පටන් ගත්තා. ශාලිකයගේ අම්මා පට්ට රසට උයලා තිබුනා. අපි ඔක්කොම හවස් වෙනකල්ම ක්රිකට් ගැහුවා. ටිකක් කළුවර වුන ගමන් ශාලිකයා බයික් එකේ විතිකුලය බාර් එකට පිටත් වුනා මාරයත් එක්ක. ශාලිකයගේ අම්මා බැලුවා කෝ මූ කියලා, ඇන්ටිට පොඩි සැකයක් හිතෙන්නත් ඇති, අපි අපේ එකෙක් මගට පිටත් කරා පයින්ම. ශාලිකයා බියර් බෝතල් ටිකක් දාගෙන ආවා,පිටත් කරපු එකා මගින් ඒ ටික බස්සලා ශේප් එකේ ගෙනත් වැලිගොඩක් අස්සේ හැංගුවා. ඊට පස්සෙ ඇන්ටිලා නිදාගත්තට පස්සේ අපි සින්දුවක් එහෙම දාගෙන එකා එකා හොරෙන් වැලි ගොඩ ළඟට ඇවිත් බියර් බෝතල් ටික හිස් කරා. එදා තමයි පලවෙනි දවස බියර් එකක් බීපු. ඉතින් ඕලෙවල් එහෙම ඉවර වුනා, රිසල්ට්ස් එනකල් අපි විහිළුවට වගේ ඒලෙවල් පන්ති ටිකකට ගියා. ඒත් වැඩි හරියක්ම කරේ අපි තුන් හතර දෙනාගෙ ගෙවල්වල මාරු මාරුවෙන් ගිය එක. හෑන්ඩ් ෆෝන් කියලා දෙයක් නැති නිසා අපිට කිසිම කරදරයක් තිබුනේ නෑ, කොහෙද යන්නේ කියලා කොහෙ හරි යන එක විතරයි. ඕලෙවල් රිසල්ට්ස් ආවා, චිත්රවලට මම හිතුවා වගේම සම්මානෙකුත්(සී) අනික් විෂයන් ඔක්කොටම විශිෂ්ඨ සම්මානත්(ඩී) එක්ක මම පාස් වෙලා තිබුනා. නරයයි ශාලිකයයි අපේ අනික් උනුයිත් හොඳටම පාස් වුනා. ගෙවල්වලටත් සන්තෝසයි අපි හරිම කැපවීමෙන් පාඩම් කරලා කියලා. ඊට පස්සේ අපි ඒලෙවල් කරන්න ගියා….
-නිමි
ප.ලි. : නරයගෙ ගෙදර නරය දැන් ඉන්නවා රජෙක් වගේ සන්තෝසෙන් ඌ වගේම හුරතල් පැටව් දෙන්නෙක් එක්ක. ඇන්ටි අන්කල් දෙන්නම තාම හිටියා වගේ. අපි ක්රිකට් ගහපු තැන නරයා ලොකු කඩේකුත් දාලා. ශාලිකයයි මමයි අන්තිමේට ගියෙ මාස තුනකට කලින්. නරේ, කොරෝනා කචල් ඉවර වුන ගමන් අපි එනවා අලුතින් හම්බුන පැටික්කිත් බලලා යන්න



No comments:

Post a Comment