Saturday, November 7, 2020

කොරෝනා ලියවිලි 13 - Lecturing ජීවිතය

 අද නිවාඩු දවසේ මගේ පරණ ලිය කියවිලි තියෙන කබඩ් එකක් අස් කරා උදේ වරුවම. කැම්පස් එකේ Lecture නෝට්ස් ටික බලද්දී හිතුනා මෙහෙම දේවලුත් ඉගෙනගත්තද කියලා. ඒ අතර තිබුන හරි අපූරු ෆයිල් එකක් හම්බුනා. ඒකෙ තිබුනේ මම ICBT එකේ ලෙක්චරින් කරපු කාලේ පන්තිය ඉවරකරන දවසට මම මගේ ගෝලයින්ගෙන් එහෙමත් නැත්නම් ශිෂ්ය ශිෂ්යාවන්ගෙන් එකතු කරගත්ත Feedback කඩදාසි ටික. ඇත්තටම ඒවා ආපහු බලද්දී ගොඩාක් සන්තෝස හිතුනා ඉගෙන ගෙන සල්ලි හම්බ කරා වගේම ඉගෙන ගත්ත දේ කියලා දීලාත් ගොඩාක් දේවල් ලැබිලා තියෙනවා නේද කියලා. මම Degree එක සම්පූර්ණ කරන්නේ 2008 අගෝස්තු මාසෙදී, ඒ එක්කම මම රස්සාව පටන් ගන්නේ Software Developer කෙනෙක් විදියට IronOne Technologies ආයතනයේ. මේ වෙද්දී මාස හයක කැම්පස් එකේ degree එකට අදාල Internship එක ඉහලින්ම සම්පූර්ණ කරලා තිබ්බා වගේම, ඉන්ටන්ශිප් එකේ මාස තුනක් වගේ යද්දී මට එතන job confirmation එක ලැබුනා මම හොඳට වැඩ කරගෙන ගිය නිසා. මේත් එක්කම මම දුමානිත් එක්ක විවාහය සිද්ධ වුනා 2008 ඔක්තෝබර් වෙද්දී. ඊට පස්සේ අපි දෙන්නම ගල්කිස්සෙ පදිංචියට ගියා. මේ එක්කම අපිට බබෙක් හම්බෙන්න ඉන්නෙ කියලත් දැනගත්තා. කාලය ඉක්මණින්ම ගෙවෙන්න ගත්තා. කැම්පස් කාලෙම මම SCJP(Sun Certified Java Programmer) Exam එක කරලා තිබුනේ. ඉන්ටන්ශිප් කාලෙ මම SCMAD(Sun Certified Mobile Application Devloper) Exam එක කරා. ඒ Exam ඉහලින් සමත් වුන සතුටට මට ඒ කාලෙ IronOne ආයතනයෙන් රුපියල් 30000/- ක මුදලක් ලබාදුන්නා. මාත් ඒ ආපු කික් එකට තව අවුරුද්දක් කාලයක් වගේ යද්දී SCWCD(Sun Certified Web Component Developer) සහ SCBCD(Sun Certified Business Component Developer) විභාගත් කරා. ඉතින් ටික කාලෙකින්ම Java Language එක සහ එහි භාවිතය ගැන සාපේක්ෂව හොඳ දැනුමක් එකතු කරගෙන තිබුනා.2009 සැප්තැම්බර් වෙද්දී අපිට දුව එකතුවුනා. දුව එකතු වෙලා ටික කාලයක් යද්දී අපි දෙන්නටම අමතර ආදායම් මාර්ගයක් තිබුනානම් හොඳයි කියලා හිතුනා.

ඔහොම ඉද්දී එක දවසක් මාත් එක්කම එකට වැඩ කරපු රජිත අයියා ICBT එකේ Java @ ICBT කියලා අලුතින්ම වැඩක් පටන් ගන්නවා කියලා කිව්වා. මගෙන් ඇහුවා Lecturing කරන්න එන්න පුලුවන්ද කියලා. Java එක්ක වැඩ කරලා තිබුනාට මට ඒක හරියට උගන්නන්න පුලුවන් වෙයිද කියලා විශ්වාසයක් තිබුනේම නෑ. ඉස්කෝලෙ යන කාලෙ ස්කවුටින් කරපු පොඩි උන්ට පොඩි තෙලක් ගහලා තිබුනාට, කැම්පස් එකේ ඉඳලා හිටලා දන්නම කියන කීප දෙනෙක්ට මම දන්න දෙයක් කුප්පියක් දෙකක් දාලා තිබුනාට ICBT වගේ ආයතනයකට ගිහින් උගන්නන්න පුළුවන් වෙයි කියලා කොහොමත් විශ්වාසයක් තිබුනේ නෑ.රජිත අයියා කාලෙකට කලින් මගෙත් ගුරුවරයා වුන නිසා ඔහු තරම් හොඳට මට උගන්නන්න පුලුවන් වෙයි කියලත් මට හිතුනේ නෑ. ඔහුට ඒ වෙනකොටත් අවුරුදු කීපයක් වෙනත් ආයතනයක උගන්නලා සෑහෙන අත්දැකීම් තිබුනා. "මල්ලි, මම උඹට උගන්නන හැටි කියලා දෙන්නම්, මේ වැඩේ කරමු" කියලා රජිත අයියා මාව වැඩේට දිරිමත් කරා. මේ වෙද්දී SCWCD එක සහ Revision එක කරන්න සදීප් මල්ලිත් SCBCD සහ SCMAD එක කරන්න යසිත්(Yasith Chinthaka) මල්ලිත් නුවර පන්ති කරන්න මගේ බැච් එකේම යාළුවෙක් වුන චන්දිමාලුත්(Chandimal Chandrasena) එකතු වෙලා තිබුනා. ඔක්කොම රජිත අයියගෙම ගෝලයෝ. "ඒත් අයියේ, මට මේක කොළඹ ක්ලාස් එන උන්ට කඩ්ඩෙන් කරන්න පුලුවන් වෙයිද කියලා පොඩි බයක් තියෙනවා" මම කිව්වා. "උඹ බය වෙන්න එපා, උඹට එක පාරටම කොළඹට බහින්න බයයිනම් නුවර ගිහින් කරපන් බැච් එකක් දෙකක්, උඹට මේක පුලුවන්" කියලා රජිත අයියා මාව උපරිම දිරිමත් කලා. ඒත් මට එක පාරට හා කරමු කියලා කියන්න පුලුවන් තරම් හිතට ෆිට් එකක් තිබුනේ නෑ.
මම ගෙදර ගිහින් ගොඩක් කල්පනා කරා. එක එක දේවල් ඔලුවට ආවා. සාමාන්යයෙන් මම වැඩකට බැස්සාම ඒක උපරිමෙන් කරන්න ඕන කියන එක ඔලුවේ තිබුනා. ඒ වගේම කරන්න ගන්න වැඩකින් ලේසියකට මම ෆේල් වෙන්න කැමතිත් නෑ. රජිත අයියා කියපු පලවෙනි දේ තමයි "උඹ මේ වැඩේට බහිනවනම් ලොකු කැපකිරීමක් කරන්න ඕන. සති අන්තෙට ට්රිප් යන්න, සිකුරාදාට අඩියක් ගහන්න වගේ වැඩ ලේසි වෙන්නේ නෑ. එක බැච් එකක් පටන්ගත්තොත් ඉවර වෙනකල් අදින්න ඕන". ඉතින් මේ දේත් එක්ක මට මේ ගැන ආපහු ආපහු හිතන්න වුනා. ඒ කාලෙ වෙද්දී හැම සිකුරාදා රෑකම එක්කො දෙහිවල ස්ටේසන් හොටෙල් එකේ, එහෙම නැත්නම් ගල්කිස්ස බීච් එකේ කොහෙහරි සෙට් වෙන එක අනිවාර්ය දෙයක් වුනා. ඒත් දවස් ගාණක් කල්පනා කරලා සහ ඉස්සරහට දුව ගැන හිතලා තව කීයක් හරි හොයන්න පුලුවන් නේද කියලා හිතලා මම වැඩේට කැමති වුනා. "Kandy Branch එකේ manager ඉන්නේ හර්ෂණ කියලා සුපිරිම චරිතයක්, කොළඹ උන්ටත් වඩා ඌ නියමයි, මම උට කියලා තියන්නම්. ඊලඟට පටන් ගන්න බැච් එක උඹ කරපන්" කියලා රජිත අයියා කිව්වා. ඉතින් මේ SCJP කෝස් එකේ එක බැච් එකක් එක දවසකට පැය පහ ගානේ දවස්16ක්, ඒ කියන්නේ පැය80ක් යන විදියට තමයි සැලසුම් කරලා තිබුනේ. ඒ කියන්නේ සෙනසුරාදාවල්16ක් එක දිගට ලොක්. ආපහු මම රජිත අයියාගෙ ලෙක්චර් නෝට්ස් ටික බැලුවා හොඳටම. කැතී සියේරාගේ පොත හොඳටම කියෙව්වා කීප සැරයක්. එහෙම කරලා හොඳට ලෑස්ති වෙලා දවසක් නුවර පන්තිය පටන් ගන්න ලැප්ටොප් එකත් උස්සගෙන මම කොළඹින් උදේ පාන්දර නුවර ඒසී බස් එකක නැගලා පිටත් වුනා. පන්තිය පටන් ගන්න තිබුනේ උදේ 9ට. මම අටයි තිහ වෙද්දී නුවර ICBT එකේ.
රජිත අයීයා කිව්වා වගේම මුලින්ම ගියේ Kandy එකේ මැනේජර් හම්බෙන්න. තට්ටෙ තියෙන මනුස්සයෙක් මැනේජර් රූම් එකේ ඉන්නවා. මමත් "Excuse Me" කියලා ඇතුලට ගියා මැනේජර් එක්ක කතා කරලා වැඩේ පටන් ගන්න. "මිස්ට හර්ෂණ, මම අර මිස්ට රජිතගේ Java කෝස් එකේ අලුතින් පටන් ගන්න බැච් එකේ lecturing කරන්න කියලා ආවේ" කියලා විස්තරේ කියාගෙන ගියා. ඒත් එක්කම පුදුම දැකලා පුරුදු ගතියකුත් තිබුනා. කතාව ඔක්කොම අහගෙන ඉඳලා "ඔයා මට හොඳට දැකලා පුරුදුයිනේ, ගෙවල් කොහෙද?" කියලා මගෙන් ඇහුවා. "දැන්නම් ගල්කිස්සේ ඉන්නේ,ඒත් මුල් ගෙවල් කුරුණෑගල" කියද්දීම, "හරිනෙ මල්ලි, උඹ මලියදේවේ නේද? මම හර්ෂණ(HarShana Piyasinghe) බං 1999" කිව්වා. තට්ටෙත් එක්ක අඳුරගන්න බැරි වුනත් මටත් මතක් වුනා. "කලින් කොහෙ හරි ලෙක්චරින් කරලා තියෙනවද මල්ලි?", "නෑ අයියෙ, මේ ෆස්ට් ටයිම් පටන් ගන්න යන්නේ" මම කියපු ගමන්, හර්ෂණ අයියා කිව්වේ "බය වෙන්න එපා මල්ලි, ගොඩ දාන්න පුලුවන්, මොනා හරි ඕන උදව්වක් තිබුනොත් කියන්න" කියලා. ඒ ගමන්ම එතන හිටපු Coordinator කෙනෙක්ට කතා කරලා මාව අඳුන්නලා දීලා පන්තියටත් එක්කරගෙන ගිහින් මම ගැන සුපිරිම Introduction එකක් දුන්නා. එහෙම කියලා shake hand කරලා පන්තිය පටන් ගන්න මට භාර දුන්නා.
මතක විදියට පන්තියේ ළමයි 15ක් විතර හිටියා. මුලින්ම කට්ටියව අඳුරගෙන ඊට පස්සේ මාවත් අඳුන්නලා දීලා වැඩේ පටන් ගත්තා. කිසිම අවුලක් වුනේ නෑ. රජිත අයියා කියලා දුන්න විදියටම මම පන්තිය කළා. කඩ්ඩෙන් කරන වැඩෙත් හිතපු තරම් අපහසු වුනේ නෑ. හර්ෂණ අයියා උදේම මට දුන්න විශ්වාසය මට ලොකු හයියක් වුනා. පන්තිය ඉවර කරා පලවෙනි දවසේ දවල් දෙක වෙද්දී. ඊට පස්සේ මම ආපහු ඒසී බස් එකක නැගලා කොළඹ ආවා. ගෙදර එද්දී හවස හත විතර වුනා. "කොහොමද හොඳට කරාද?" එනකොටම දුමානි ඇහුවා. "ඔව් අවුලක් වුනේ නෑ" කිව්වත් ලොකු මහන්සියක් තිබුනා. ඒ කාලෙ දුවට යන්තම් මාසයක් විතර ඇති. මොන මහන්සිය තිබුනත් දුව දකිද්දී ඒ මහන්සිය නැති වුනා. ඉතින් ජීවිතය පැහැදිලිව වෙනසක් වුනා. අනික් වැඩ වගේම මේ ලෙක්චරින් වැඩේටත් මම උපරිම කැප වුනා. ඒක නිසා ඔෆිස් එකේ වැඩ මග ඇරෙන්න දුන්නෙත් නෑ. මොනතරම් java එක්ක උදේ හවස වැඩ කරත් සිකූරාදාට සෙට් වෙන්න දෙහිවල ගල්කිස්සේ යන එක නතර කරලා රෑ 11-12 වෙනකල්ම ඊළඟ දවසේ උගන්නන්න තිබුන දේට අදාල නෝට්ස් ටික කියවලා ප්රසන්ටේශන් එකට රෙඩි වුනා. තනියම කාමරේ වහගෙන කණ්ණාඩිය ඉස්සරහට ගිහින් පුරුදු වුනා. සෙනසුරාදා උදේ හතරට නැගිටලා නුවර බස් එක අල්ලගන්න ගියා, පැය පහේ පන්තිය මට පුලුවන් උපරිමෙන් මම කළා. ළමයි ඇවිත් කතා කරන්න පුරුදු වුනා මාත් එක්ක. මම ඉන්ටවල් එකක් දුන්නත් ළමයි එක්කම හිටියා, එයාලගේ ප්රශ්නවලට උත්තර දුන්නා. ආපහු හවස තුනේ බස් එකේ නැගලා කොළඹ එනවා. පුදුම මහන්සියක් තිබුනා.
මේ විදියට පන්ති කරගෙන යද්දී මට ගොඩාක් දේවල් තේරුම් ගියා ජීවිත ගැන. එන ගොඩක් ළමයින්ගෙ මේ කෝස් එකට සල්ලි ගෙවලා තියෙන්නේ දෙමව්පියෝ. ඒ මිනිස්සු ගොඩාක් අමාරුවෙන් මේ ළමයිට මේ විදියට සල්ලි ගෙවලා තියෙන්නේ කියලා මට තේරුණා. ඒක නිසා මම ඒ ගැන ළමයින්ට නිතර ඒ ගැන මතක් කරලා එක පන්තියක පැය පහක් පාඩු වුනොත් වෙන පාඩුව ගැන මතක් කරලා පන්ති මග නොඇරෙන විදියට හැමෝම ගෙන්න ගත්තා. මටම ආවේණික ක්රමයක් හොයාගන්න ඕන කියලා තේරුණා ටික දවසක් යද්දිම වගේම මේක වෙනම ආට් එකක් කියලාත් තේරුම් ගියා. ඉතින් නුවර කරපු පලවෙනි බැච් එකේ දවස් 16 ඉවර කරලා මමත් සිලබස් එක හරි වෙලාවට කවර් කරා. චන්දිමාල් රිවිශන් එක කරා. එතන හිටපු ගොඩක් ළමයි SCJP එක්සෑම් එක පාස් වුනා. ඒ හැමෝම සතුටින් ප්රතිඵල කිව්වා මට. මගේ පුද්ගලික දුරකතන අංකය මම දීලා තිබුනේ ඕන වෙලාවක ප්රශ්නයක් ආවොත් කතා කරන්න. ඉතින් ඊළඟ බැච් එකත් නුවර පටන් ගත්තා. ඒකත් මම හොඳටම කරා, පේරාදෙණියෙ කැම්පස් එකෙන්, වයඹ කැම්පස් එකෙන්, නුවර අනික් පෞද්ගලික ආයතනවලින් ළමයි ආවා. මෙහෙම කරගෙන යද්දී රජිත අයියා නිතර මගෙත් එක්ක මේ ගැන කතා කරා. එක දවසක් "දැන් උඹ නුවර ගියා ඇති, මෙහෙ සෙනසුරාදා පන්ති ටික උඹ කරපන්. දැන් උඹට මේක සිරාවට කරන්න පුලුවන්" කියලා කිව්වා. නුවර දාලා එන්න දුක වුනත් පැය 5ක පන්තියක් කරන්න මම පැය 7-8 ක් ගමනේ නිසා අකැමැති වුනත් නුවර පන්තියේ අන්තිමට පටන් ගත්ත බැච් එක ඉවර කරලා මම කොළඹ පන්ති පටන් ගන්න ආවා.
ඉතින් 2010දී බම්බලපිටියේ ICBT ආයතනයේ අලුත් බැච් දෙකක්ම පටන් ගත්තා. එකක් උදේ 8 ඉඳලා දවල් 1.30 වෙනකල්, අනික දවල් 2 ඉඳලා හවස 7 වෙනකල්. බැච් එකකට ළමයි 30-35 ක් වගේ ආවා. කොළඹ, කැළණිය, මොරටුව, ජපුර වගේ කැම්පස් වලින්, ඒ වගේම ඒලෙවල් පාස් වෙලා කැම්පස් යන්න බලන් ඉන්න ළමයි, IIT සහ SLIIT වගේ පුද්ගලික විශ්ව විද්යාලවලින් බහුතරයක් ආවා. ඒ වගේම ඒ වෙනකොටත් Industry එකේ වැඩ කරන ලොකු පිරිසකුත් ආවා. වෙනස් විෂය පථවල අය ආවා ගුරුවරු, අධ්යක්ෂකවරු වගේ. පැය 10 ක් එක දිගට උගන්නන එක මහන්සි වුනත් මම හැමදාම උද්යෝගයෙන් පන්ති කළා. කිසිම දවසක එක විනාඩියක් වත් පරක්කු වෙලා මම පන්ති පටන් ගත්තේ නෑ. ළමයි එහෙමත් නැතිනම් ගෝලයොත් පුරුදු වුනා වෙලාවට එන්න. නුවර පන්තිවලට වඩා කොළඹදී ගොඩක් ළමයි ප්රශ්ණ ඇහුවා, සංවාද ඇතිවුනා. ඒක නිසා කිසිම දවසක පන්තිය බෝරින් වුනේ නෑ. ඉන්ටවල් එකක් දුන්නත් මම ස්ටාෆ් ඒරියා එකේ ඉද්දී ළමයි ගොඩක් ඇවිත් කතා කරා. එයාලගේ කැම්පස් projects වලට මට උදව් කරන්න පුලුවන් වුනා. ගොඩක් ළමයි සතියේ දවස්වලටත් කතා කරා ෆෝන් එකෙන්. සතියේ දවසට වැඩ කරන එකත්, සෙනසුරාදාට උගන්නන එකත් ලොකු වෙනස් දේවල් දෙකක් වුනා. කාලයත් එක්ක කට වචනයෙන් පන්තිය ගැන ආරංචි වෙලා ඊළඟ බැච්වලට එන ළමයි තව වැඩි වුනා. ගොඩාක් ළමයි SCJP Exam එක පාස් වුනා. සදිප් මල්ලි revision ක්ලාස් එකත් ටොප් එකටම කළා. මුදල් වගේම ඊටත් වඩා ලොකු මාන්සික තෘප්තියක් ලැබුනා. 2010, 2011, 2012, 2013, 2014 අවුරුදු එක දිගටම මම පන්ති කළා. රජිත අයියාට එන්න බැරි වෙන් සතිවල ඉරිදා දවසෙත් කළා. ඔය අතර කාලයේ මටත් නිතර නිතර රට යන්න වුනා සමහර project වැඩවලට. එතකොට රජිත අයියා මගේ පන්තිය කළා.
2014 වෙද්දී Industry එක ඇතුලේ මගේ ගෝලයො ගොඩක් හිටියා. ඒත් රැකියාවෙ උසස්වීම් එක්ක වගකීම් වැඩි වෙනවත් එක්ක වගේම, ඒත් එක්කම නිතර රට යන්න සිදුවීමත් නිසා මම 2014 පන්ති නතර කරන්න තීරණය කළා. රජිත අයියා දිගටම පන්ති කළා තව අවුරුදු කීපයක්ම. ඉඳලා හිටලා රජිත අයියට යන්න බැරි වෙන පන්ති මම කළා. 2015-2016 අතර රජිත අයියගේ ඉල්ලීමට තව එක බැච් එකක් කළා. ඉතින් අවුරුදු පහක් වගේ කරපු lecturing ජීවිතයෙන් මට ලැබුන දේවල් ගොඩක් තියෙනවා. මුදල් ලැබුනාට වඩා ඒ දේවල් මට ගොඩාක් වටිනවා. අදටත් මට නිතර කතා කරලා "සර්, කොහොමද?", "අයීයේ කොහොමද?" කියලා අහන පිරිසක් ඉන්නවා. ඉගෙනගත්ත දේ ගැන ගෞරවයෙන් කතා කරන පිරිසක් ඉන්නවා. සමහරු ජොබ් එකකට ගිහින් ඉන්ටවීව් ඉවර වෙලා සිලෙක්ට් වුනා කියලා දැනගත්තාම "සර්, කොහේ හිටියත් මම දැන් එනවා" කියලා ආපු පිරිස් හිටියා. කෝල් කරලා ඒ වගේ තැන්වලදී සතුටින් දැනුම් දුන්න පිරිස් හිටියා. අදටත් උසස්වීමක් හම්බුනාම කතා කරන පිරිස් ඉන්නවා. කොළඹ එහෙ මෙහෙ යද්දී "සර් දැකපු කල්" කියලා ආදරෙන් කතා කරන අය හම්බෙනවා. ඒ වගේම මගේ පැත්තෙන් මට ලොකු ආත්ම විශ්වාසයක් ඇතිවුනා මම දන්න උගන්නපු දේ ගැන. ඕනම පිරිසක් ඉදිරියේ කතාවක් කරන්න, ඕනම මීටින් එකක කතා කරන්න, ප්රසන්ටේශන් එකක් කරන්න හැකියාවක් ලැබුනා. ඒ වගේම උගන්නපු දේ ගැන තව අමතර පොත පත කියවලා ඒ දේවල් මගේ දැනුමට එකතු කරගෙන එදිනෙදා මගේ ඔෆිස් වැඩ කරගෙන යන්නත් ගොඩාක් උදව් වුනා. සමහර රටවල්වලට ගිහින් ඒ ක්ලයන්ට්ස්ලා එක්ක බය නැතිව කතා කරන්න පුලුවන් වුනා. ඒ අයගේ අවශ්යතා පහසුවෙන් ලංකාවේ ඔෆිස්වලට කියන්න පුලුවන් වුනා.
මතක් කරන්න ඕන දෙයක් තමයි මම පන්ති කරන කාලේ මට ගොඩක් අය උදව් කරා. රජිත අයියා උපරිම සහයෝගය දුන්නා. IronOne එකේ හැමෝම මාව දිරිමත් කළා. ඊට පස්සේ ISA එකට ගියාමත් මගේ Technical Lead හිටපු ඩිලාන්(Dilan Anuruddha) අයියත් මට මොනතරම් වැඩ තිබුනත් මාව motivate කළා. Proavos එකට ජොයින් වෙන්න යද්දී Nasly Yoosuf අයියා කිව්වා "චාමර, පන්ති දිගටම කරන්න" කියලා. දුමානි හැමදාම උදේ පාන්දර මම නැගිටිද්දී නැගිටලා තේ එක හදලා දුන්න වෙලේ ඉඳලා පැය 10ක් පන්ති කරලා ආවට පස්සේ හාන්සි පුටුවට වෙලා ඉන්නකල්ම ඔලුව අතගාන තැන වෙනකල්ම සහයෝගය දුන්නා අවුරුදු පහම. ඒ වගේම ICBT ආයතනයේ මගේ Course Cordinator(s) විදියට හිටපු කාංචනාත්(Kanchana Ediriweera) , මනෙකාත් (Maneka Amanie Rathnayake) හැමදාම වෙලාවට හැමදේම ලෑස්ති කරලා දුන්නා. අයිසීබීටි ආයතනයේ විජිත් අයියා, හර්ෂණ අයියා ඇතුළු හැමෝටමත් මගේ ස්තූතිය හිමිවෙන්න ඕන.පන්ති නවත්තලා අවුරුදු පහක් විතර වෙලාත් ඒ මතකයන් ඔක්කොම මගේ ජීවිතයෙ මකන්න බැරි ලස්සන අතීතයක්. .කවදාහරි ආයිත් මොනවාහරි මම දන්න දෙයක් ආයිත් මට පුලුවන් විදියට කියලා දෙන්න වෙලාවක් හදාගෙන කොහෙ හරි පටන් ගන්න පුලුවන් දවසක් එයි කියලා නොහිතෙනවාම නෙමි.

No comments:

Post a Comment