Monday, September 6, 2021

මගේ බාලදක්ෂ ජීවිතය - 02

 1998 අවුරුද්ද - 01 කොටස - පල්ලෙකැලේ ජාතික ජම්බෝරිය

-----------
1998 අවුරුද්ද කියන්නේ ස්කවුටින් ලයිෆ් එකේ ලස්සනම අවුරුද්දක්. මේ වෙද්දී මම ස්කවුටින් පටන් අරගෙන අවුරුද්දකට වැඩියි. දැන් අපි නවය වසරේ. ජම්බෝරියට සහභාගි වෙන කණ්ඩායමේ අපි තමයි පොඩිම උන්. කීවා වගේ කලින් අවුරුද්දේ දෙසැම්බර් වෙද්දී පුහුණුවීම් සහ පෙර සූදානම් පටන් ගත්තා. ටික දවසකින් ඒ වෙනකොට අපේ කණ්ඩායමට අලුත් වුන මාලකයත් (Malaka Ekanayake ) එකතු වුනා. ඒකට පොඩි තල්ලුවක් දිමුතු අයියාගෙන් හම්බෙලා තිබුනා. ඉතින් අපේ වයසෙ මාලකයත් එක්ක චානක(Chanaka PW) , දිනේෂ්(Dinesh Chamindra Wijekoon ) , ධනූෂ(Dhanusha Rathnayake ), නෙරන්ජන් (Neranjan Wijerathna) , අමරය සහ මම ඇතුළු දැන් 7 දෙනෙක්. අපිට හැමදාම කාණ්ඩ පරීක්ෂණ තියන විදිය, මාච් පාස්ට්, ටෙන්ට් එකක් ගහන නියම විදිය, ගැට පරීක්ෂණ, බාලදක්ෂ දැනුම පිලිබඳ පරීක්ෂණ ඇතුළු මෙකී නොකී සෑම දේම නිවාඩු කාලෙ හැමදාම දවස ගානෙ තිබුනා. හැමදාම යන නිසා ගෙදරිනුත් බාල්දි වැටෙන්නත් පටන් ගත්තා. ඒත් මේ ජම්බොරියට සහභාගිවන හැමෝගෙම වගේ මෙය පළමු අත්දැකීම වුනා. 1992 කුරුණෑගල තිබුන හතර වෙනි ජාතික ජම්බෝරියෙන් පස්සේ තමයි මේක තියෙන්නෙ. 1998 පෙබරවාරි 17-23 දක්වා තමයි මේක පල්ලෙකැලෙදී සංවිධානය කරලා තිබුනේ. දෙසැම්බර් මාසේ පුහුණුවීම් තිබුනා. දැන් ජනවාරි මාසෙත් ආවා. අපි දවස් ගණන් කර කර හිටියේ. අපි හත් දෙනාට අමතරව තව අපේ හිටපු අසිතයා(Asitha Bandara ) , ඉන්දිකයා ඇතුළු යන්න බැරි වෙන උන් හිටියේ හෙනම අප්සට් එකේ. මේ වෙද්දී කඳවුරු භූමියෙ සැලසුම්, වොච්හට් එකේ සැලසුම් වගේම කණ්ඩායම් බෙදලා එක් එක් කණ්ඩායමේ වගකීම් බෙදා හැරීමත් සිද්ධ වුනා. හේරත් අයිය(Janaka Herath ) , බෝගමුව අයියා(Thushara Bogamuwa ) , රාජගුරු අයියා(Iranga Rajaguru ) ඇතුළු 1997 ඒ ලෙවල් කණ්ඩායමේ ගොඩක් අය එකතු වුනා. සෝමපාල (Amila Chaminda ) අයියටයි, තෙන්නකෝන් අයියටයි අමතර එයාල තමයි සීනියර්ල විදියට සෙට් වුනේ. ඩීකේ (Dinesh Athapaththu ) අයියලාගේ සෙට් එකත් මේ වෙනකොට සීනියර්ස්ලා විදියට හිටියා. ඉතින් එක් එක් වයස් කාණ්ඩයට කූඩාරම බැගින් සැලසුම් වුනා. සර්ට (Wimal Perera) තනි කූඩාරමක්. අභීත අයියාට (Abeetha Edirisinghe ) ගෙදරින් බාල්දියක් වැටිලා එන්න වෙන්නේ නෑ කිව්වම අපි හෙනම සතුටින් හිටියේ. හැබැයි බුවා ක්ලාස් කට් කරගෙන අපේ පුහුණුවීම් සහ සැලසුම් කටයුතුවලට සහභාගි වුනා.
මේ විදියට ජනවාරි මාසෙත් ගෙවුනා. දැන් කෑම්ප් ගෙනියන්න අවශ්ය අඩු පාඩු සම්පූර්ණ කරගන්න ඕන. අපි මේ වෙද්දී අපේ ටෙන්ට් ඔක්කොම අලුතින් හෝදලා පාට කරලා ග්රවුන්ඩ් ශීට් ටික හදලා ඔක්කොම හරි. ඒත් හට්ටි මුට්ටි සහ ගබඩාවට අවශ්ය අනිකුත් දේවල් ලෑස්ති කරගන්න අවශ්ය වුනා. ඉතින් දවසක් මේකට කණ්ඩායමක් තෝරනවා බඩු ගේන්න යන්න. එක එක වයස්වලින් සෙට් එකක් තේරුවා, මාවත් පොඩි එකා වුනාට තෝරගත්තා. තේරුවේ අභීත අයියා. දැන් ඔන්න ඒ කණ්ඩායම තෝරලා පැත්තකට කරලා අභීත අයියා තෙලක් ගහනවා. "දැන් අනික් උන් ඔක්කොම ඉද්දී මෙතනට උඹලා ටික විතරක් තේරුවේ ඇයි කියලා දන්නවද? පොල් ගාන්න නෙමි තොපි අරන් යන්නේ. මනුවෙල් අප්පුහාමි එකෙන් හරි බඩු ටික ගන්නකොට උඹලා හොඳයි කියලා හිතෙන තව බඩු ටිකක් ගන්න ඕන. හැබැයි ඒවා නොමිලේ, තේරෙනව නේද කියන එක?". "ඔව් අයියෙ" අපිත් ඉතින් ඒ වදනට ඒ කාලෙ එකෙන්ම. දැන් ගියා සෙට් එකම මනුවෙල් අප්පුහාමි එකට. ඒ කාලේ ඉතින් සීසීටීවි කියලා ඒවා නෑනෙ. හෙමින් හෙමින් නීත්යානූකූලව බඩු ගන්න අතරේ අපි අතට අහුවෙන් පිහි, නියන්, මිටි, ඇන වගේ දේවල් ශේප් එකේ උස්සනවා දැන්. සාක්කු පිරෙනවා, ගත්ත හට්ටි පිරෙනවා පියනෙන් වහගෙන. අභීත අයියයි, ඩීකේ අයියයි එකට වගේ ඉද්දී අභීත අයියා කප්පියක් අතේ තියන් හිටියේ. ඉස්සරහ කඩේ පොරවල්වලට මොකක් නමුත් අමුතු දෙයක් වෙනවා කියලා තේරිලා තියෙනවා. ඒ කඩේ හිටපු එකෙක් ඇවිත් මනුවෙල් කඩේට ඇවිත් සිද්ධිය කියන්න යද්දීම අභීත අයියා කප්පියත් අරගෙන දුවන්න ගත්තා. දැන් මහ වීදිය දිගේ සෙට් එකක්ම පන්නනවා බුවා පිටිපස්සේ. අන්තිමේට මාට්ටු වුනේ අහිංසක ඩීකේ අයියා. "මම මුකුත් ගත්තේ නෑ අංකල්, මම එයත් එක්ක කතා කර කර හිටියා විතරයි, මේ බලන්න මගේ බිල,මම දැන් ටිකකට කලින් බැටරි කෑලි දෙකක් ගත්තා" කියලා ඩීකේ අයියා ගේමක් ගහලා ගොඩ දාගත්තා. මේ වෙද්දී මම ලඟ තිබුන හට්ටියක් පිරෙන්න බඩු උස්සලා තිබුනේ පියනකින් වහලා. මාත් එක්ක හිටියෙ රවින්ද්ර බුද්ධික අයියා (Ravindra Senavirathna ) , අපි දෙන්නත් හට්ටිය උස්සගෙන ලේක් ස්ටුඩියෝ එක ලඟ අතුරු පාරින් ඇවිත් පේෂකර්මේ ලඟින් කොන්වන්ට් එක පැත්තෙන් කොළඹ පාර පැත්තෙන් ඉස්කෝලෙ පිටිපස්සෙන් ගියේ ඉස්කෝලෙට. මීගමු පාර දිගේ යන්න බයයි, අර පන්නපු උන් අපිට හම්බෙයි කියලා. ස්කවුට් රූම් එකට යද්දී මෙන්න අභීත අයියා ඉන්නව ඉඳගෙන රූම් එකේ. සෙට් එකම කොහොම හරි ඇවිත්. අභීත අයිය දුවන් යද්දී මෝටර් සයිකලයක්ද කොහෙද හම්බෙලා. 99න් වැඩ ටික ගොඩ ගියත් රවින්ද්ර අයියයි මමයි ඉස්කෝලෙට එනකල් ආවේ බොක්ක ගැහි ගැහී. කොලුකමට හරි ඒක හෙනම භයානක වැඩක් කියලා ඇත්තටම පස්සේ තේරුනා. සර්ට මාට්ටු වුනානම්, විනාසයි. ඉස්කෝලෙට මාට්ටු වුනානම් සතිගානකට ගෙදර. ගෙදරට මාට්ටු වුනානම් අහනවා "උඹ ජම්බෝරි යනවා කියලා හොරකමේද යන්නේ?" කියලා, එහෙනම් ආයි ස්කවුටින් කරන්න වෙන්නේ නෑ. කොහොමින් හර දැන් බඩුමුට්ටු ටිකත් ඔක්කොම ලෑස්තියි.
ඉතින් මේ ලෑස්ති වෙන ගමනේ අපේ සීනියර අයියලට ඕන වුනා කුරුණෑගල ඉස්කෝල ඔක්කොගෙන්ම උසම සහ ලොකුම වොච් හට් එක ගහන්න ජම්බෝරිය ඇතුලේ. දැන් ඉතින් අයියලා සෙට් එකම එක එක ඩිසයින් ගහනවා. කොහොමහරි සෝමපාල අයියට ඕන වුනා කුරුණෑගල ඔරලෝසුකණුව වගේ එකක් ගහන්න. දැන් වැඩේ තීරණය කරල ඉවරයි. ඒත් ඩිසයින් එකේ හැටියට සෑහෙනට පුවක් ගස් පිටින් ඕන. "මල්ලිලා, අපිට මලියදේවේ හැටියට මේ වැඩේ කෙරෙන්නම ඕන, කාටද පුළුවන් පුවක් ගස් ටිකක් හොයලා දෙන්න". ටිකක් කිව්වට දාර සයිස් ගස් හයක් වත් ඕන ඩිසයින් එකේ හැටියට. මට අපේ ඉඳුල්ගොඩකන්දේ ගමේ බතලහේන වත්තේ පුවක් අරඹයි, කම්බිකොටුවේ පුවක්ගස් ටිකයි මතක් වුනා. "මට පුළුවන් අයියේ" කියලා මාත් පොර සේ ඉදිරිපත් වුනා. ගෙදර ගිහින් තාත්තත් කැමති කරගත්තා. මට තියෙන ෆිට් එකට ඒවා අයිති බාප්පලා වුනත් බාල්දියක් දැම්මේ නෑ. ඊට පස්සේ අපි සෙට් එකක්ම මාලකයගේ තාත්තාගේ තිබුන ලොරියත් සෙට් කරගෙන පිටත් වුනා ඉඳුල්ගොඩකන්දට. ගිහින් දුන්න වැඩේ හොඳම මෝරපු පුවක් පිරිලා තිබුන ගස් හත අටකටම. මම ඉස්කොලෙන් අවුට්වෙනකල්ම වගේ හැම ජම්බොරියකටම කැපුනේ මේ ගස් ටික. දෙයියනේ කියලා ගස් ඔක්කොම ඉවරයි ඉස්කෝලෙන් අවුට් වෙද්දී.
දැන්නම් සියල්ල සර්ව සම්පූර්ණයි. අපිත් අපේ ලොකු බෑග් ලෑස්ති කරගත්තා දවස් හතකටම කියලා තිබුන විදියටම. සෝමපාල අයියා කියල තිබුන විදියට සහ දීලා තිබුන බඩු ලැයිස්තුවේ පිලිවෙලටම අපේ බෑග් එකත් ලෑස්තියි. දැන් පෙබරවාරි මාසෙත් පටන්ගෙන දවස් එක දෙක ගෙවෙනවා. ඉස්කෝලෙ පීරියඩ් එහෙමත් සූ ගාල කට් වෙනවා. අපේ සරත් සේනාරත්න සර් මට කිව්වේ "බාලදක්ෂ ජයවීර, පිස්සු ඕයි තමුසෙට" කියලා. "උඹේ විභාගේ ප්රතිඵල එහෙමත් බලමුකෝ මේ පාර" කියලා අම්මත් පාරම් බානවා. ඔහොම ගිහින් පෙබරවාරි 17 වෙනිදා දවස උදා වුනා. අපි ඔක්කොම පාන්දරම ඉස්කෝලෙට ආවා. ලෑස්ති කරලා තිබුන බඩුමුට්ටු ඔක්කොම ලොකු ලොරියකට පැටෙව්වා. මාලකයගේ තාත්තගේ ලොරියත් ඇවිත් තිබුනා. ඊට පස්සේ අපි ඔක්කොම ලොකු ලේලන්ඩ් එකකට නැග්ගා. මතක විදියට 40ට වැඩි පිරිසක් ගියා. ලොකුම කණ්ඩායම වුනේ කමල් අයියලාගේ (Kamal Wimalaratne ) කණ්ඩායම. දැන් බස් ලොරි පිරිවරාගෙන මලියදේවේ අපි පිටත් වුනා. හැමෝම එකා වගේ සිංදු කියාගෙන පල්ලෙකැලේ ගම් උදා භූමියට ගියා. අපිව නිතරම බයිට් එකට ගන්න අභීත අයියා නැති පාළුවත් දැනුනා. අපි අපිට වෙන්වුන කඳවුරු භූමිය ළඟටම ලොරි ටික ගෙනත් ඒවාගේ බඩු බාන්න පටන් ගත්තා. ලංකාවේ හතර දිග්භාගයෙන්ම ඉස්කෝලවලින් එනවා ඉවරයක් නැතිව. අපේ කඳවුරු භූමිය තැනිතලා එකක් වුනේ නෑ. තරමක බෑවුමක්. අපිට පහල ප්රදේශය කොළඹ සහ ගම්පහ ඉස්කෝල ටික. අපිට ඉදිරිපසින් ටික දුරක් වන්නට නුවර ඉස්කෝල ටික. අපි සමීපයේම තිබුනේ කුරුණෑගල ඉස්කෝල ටික. අපි ඔක්කොම බඩු ටික බෑවට පස්සේ හැමෝම කලින් සැලසුම් කරල තිබුන විදියට කඳවුරු භූමිය සකස් කරන්න පටන් ගත්තා. මුළු කඳවුරු භූමියම උදළුගාල සකස් කරගන්න පැයක්වත් ගියේ නෑ. ඒ තරමට අපේ උන් ටික කඩිසරයි. සීනියර්ස්ලා එකෙක්ටවත් අයිස් පාරක් ගහන්න දෙන්නෙත් නෑ. බෝගමුව අයිය එහෙම දැක්කම අයිස් පාරක් ගහන්න හිතෙන්නේවත් නෑ ඒ කාලේ. එච්චරටම අපි බයයි. ඊට පස්සේ ලස්සනට අරන් ගිය ටෙන්ට් හතම ගැහුවා. අපේ නවය වසරෙ සෙට් එකටම කඳවුරු භූමියෙ කුස්සි ප්රදේශය වෙත කිට්ටු වූ සර්ගෙ ටෙන්ට් එකට ටිකක් එහාට වෙන්නට තනි ටෙන්ට් එකක් ලැබුනා. ඊට පස්සේ අපි පොඩි පොඩි උන් රෙදි වනන්න, පිඟන් තියන්න වගේ හැම වැඩකටම ඕන කරන එක එක ආකාරයේ කාලීන උපකරණ හදන්න පටන් ගත්තා. රෑ වුනා දැනෙන්නෙවත් නැතිව. උයන්න නියමිත කණ්ඩායම උයන්න පටන් ගත්තා. රෑ 10 වෙද්දී අපේ කොල්ලො ටික පට්ට වෙන්නම කඳවුරු භූමියෙ සෑහෙනට වැඩ ඉවර කරගෙන තිබුනා. ලණු ඇඳක්, කෑම මේස, බංකු ඔක්කොම හැදුවා කතිර බැමි, කතුරු බැමි, කොස්පට්ට ගැට ඔක්කොම එක්ක. ලොකුම අයියලා ටික වොච් හට් එකේ වැඩ ටික පටන් ගෙන කරගෙන ගියා. අපේ විමල් පෙරේරා සර් මේ ඔක්කොම ආසාවෙන් බලාගෙන හිටියා. අපි පොඩිම උන් නිසා 10න් පස්සේ වගේ අපිට තිබුන ටෙන්ට් එකේ ඔක්කොම නින්දට ගියා.
අපි උදේ නැගිටිද්දී අයියලා වොච් හට් එකේ සැකිල්ල ප්රධාන කණු හතරත් සමග වැඩ අවසන් කරලා. සෝමපාල අයියගේ සැලසුමට අනුව කුරුණෑගල ඔරලෝසු කණුව ආකාරයට සකස් කිරීමට හනසු භාවිතා කිරීමට අවශ්ය වුනා. මේ සඳහාද ඉතා විශාල හනසු ප්රමාණයක් අප විසින් රැගෙන ගිහින් තිබුනා. අපි උදේ පාන්දර 5ට නැගිට සිටීම අනිවාර්ය වුනා. ඉන්පසු මුහුන සෝදාගෙන විත් සුදු පැහැති පීටී කිට් ඇඳ ව්යායාම සඳහා ලෑස්ති විය යුතුව තිබුනා. ඉන්පසු අපි එක කණ්ඩායමක් ලෙස පෝලිම් කීපයකට සෑදී ලෙෆ්ට්,රයිට්, ලෙෆ්ට් ආකාරයට ජම්බෝරි භූමිය තුල දුවමින් සමහර තැන් වල නතර වෙමින් ව්යායාමවල නිරත වුනා. මාස දෙක තුනක් තිස්සේ අපි මෙය හොඳින් පුරුදු වී තිබුනා. නමුත් අනික් කඳවුරු භූමිවල සිටින වෙනත් පාසල්වල බාලදක්ෂයින් නැගිට සිටියේවත් නැත. සමහර් උන් නැගිට බැලුවේ "කවුද අඩේ මේ පාන්දර ලෙෆ්ට් රයිට් කියාගෙන දුවන්නේ? හමුදාවෙන්වත්ද?" වගේ මූඩ් එකකය. ඉඳලා හිටලා තවත් පාසල් දෙක තුනක් මේ ආකාරයට දුවනු දුටුවත් අපි වගේ සුදු පැහැයට ඇඳ සිටියේ නැත. ජම්බෝරි භූමියේ හැම පාරකම අපි දිව්වෙමු, ව්යායාම වලට නතර වෙන සමහර තැන්වලදී ඒ අසල පාසල්වල ගුරුවරු පැමිණ "ඔයාලා කොහෙද? මොන ඉස්කෝලෙද" කියා විමතියෙන් අසා සිටියා. අපේ සීනියර් අයියලා උජාරුවෙන් "අපි කුරුණෑගල මලියදේවේ" කියලා කියනවා. අපිත් හෙනම ගැම්මෙන් ව්යායාම කරා. පස්සේ ටික දවසකට පස්සේ තමයි තේරුණේ අපේ අයියලා මේ වැඩේ ගොඩක්ම කරන්නේ අනික් උන්ට පොඩ්ඩක් පේන්නත් එක්ක කියලා වගේම මලියදේවේ අපි හෙනම වෙනස් කියලා ටිකක් පෙන්නන්න කියලා. අපිටත් ඉතින් එහෙම පෙන්නන උණ හැදිලා තිබුනේ සෑහෙන ගැම්මකින්ම. දවස් 2-3 ක් දුවද්දී තව ඉස්කෝල ටිකකුත් වැඩේ කොපි කරන්න හැදුවට පෙර පුහුණුවීමක් නැති නිසා අපේ වගේ ලස්සනට තිබුනේ නෑ.
ඉතින් දෙවෙනි දවසේ අපි ව්යායාම කරලා ඇවිත් ආපහු යුනිෆෝම් ඇඳලා උදේ කාණ්ඩ රැස්වීම අශ්වලාඩමේ හැඩයට තියලා කාණ්ඩ පරීක්ෂණ ඉවර කර. වටේ පිටේ ඉස්කෝල ටික පුදුම වෙලා බලන් ඉන්නවා. ඒවගේ සමහර උන් තාම දත් මදිනවා අපි මේව කරද්දී, උන්ගෙ සර්ලා කෑ ගහනවා. ඊට පස්සේ අපි ආපහු සාමාන්ය ඇඳුමක් ඇඳගෙන ඊට උඩින් අපේ ස්කාෆ් එක දාගෙන බෝගමුව අයියගේ මීටිමකට සහභාගි වුනා. බෝගමුව අයියට අපි හෙනම බයයි, ඒ වගේම හොඳ පෞරුෂයක් තිබුනා. "උඹලා එකෙක් හරි අපේ කෑම්ප් සයිට් එකේ වැට මායිම පැනලා යනවානම් මෙතන ඉන්න සීනියර් අයියා කෙනෙක්ට කියලා තමයි යන්න ඕන. කියලා ගිහින් නැතිව අහුවුනොත් පෝරියල් කන්න ලෑස්ති වෙලා පලයල්ලා. මම ආයි කියන්නේ නෑ මේ ගැන. අද දවල් ඕපනින් සෙරමනි එකේ රිහසල් එකක් තියෙනවා. මලියදේව පෝලිම ගැහුවම ආයි අපි කමාන්ඩ් කරනකල් පෝලිමේ පහසුවෙන් හිටපල්ලා". ඔහොම ඉඳලා දවල් වෙලා අපි දෙන්න දෙන්නා පෝලිම් වෙලා කඳවුරු භූමියේ තිබුන ලොකු ග්රවුන්ඩ් එකට ගියා. ගිහින් තනි කෙලින් පෝලිමක් ගැහුවා. පටන් ගන්න පැයක් විතර පරක්කු වුනා. අනික් ඉස්කෝලත් ඔක්කොම වගේ ඇවිත් තිබුනා. හැබැයි ඉස්කෝල කීපයක් ඇරෙන්න අනික් ඔක්කොම එහෙම ලොකුවට පෝලිම් තිබුනේ නෑ. උන් හෙනම ආතල් එකේ දුවනවා පනිනවා, වැලි ගහගන්නවා. දූවිලිවලින් පිරිලා ග්රවුන්ඩ් එක. අපේ ඉස්කෝලෙයි, තව ඉස්කෝල කීපයකුයි තනි කෙලින් පෝලිම ගහලා ගැම්මෙ ඉන්නවා. පස්සේ රිහසල් එක පටන් ගත්තා. තවත් පැය 2ක් වගේ වැඩේ ගියා. අපේ පෝලිම නෙමි හෙල්ලෙන්නෙවත්. වෙන ඉස්කෝලවල සමහර උන් බිම ඉඳගෙන, කලන්තේ දාල වැටෙනවා. අපියි තව ඉස්කෝල ටිකකුයි කට්ට අව්වේ පහසුවෙන් හිටගෙන ඉන්නවා. අපි ඉතින් පොඩිම උන් නිසා අමාරුවක් නැතිවම නෙමි. ඒත් පෝලිමෙ බුලක් කෙලලා පස්සේ කන රත් වෙන්න පාරක් වැදෙයි කියලා මතක් වෙද්දී පෝලිමේ හිටගෙන සද්ද නැතිව ඉන්න එක සැපයි කියලා හිතුනා. රිහසල් ඉවර වෙලා දෙවෙනි දවස රෑ වුනා. සුපුරුදු පරිදි අපි ඉතින් කෑම ලෑස්ති කරගෙන එදා දවස ඉවර වුනා. ඒත් අපේ අනික් අයියලා ඔක්කොම හනසු අමුනන්න හදනවා එක එක විදියට වොච් හට් එකේ. ඔරලෝසු කණුවේ හැඩේ එන්නෙම නෑ, වෙන මොකක්දෝ අටමගලයක් වගේ පේන්නේ. ඒ අස්සේ අමුණපු හනසු කඩන් වැටෙනවා. හැබැයි සැකිල්ල ඉතින් ලස්සනට හදලා තට්ටු තුනක් වෙන්න සහ උඩටම නගින්න ඉනිමගත් හදලා. අපි උඩටම නැග්ගම වොච් හට් එකේ මුලු ජම්බෝරි භූමියම වගේ පේනවා. රෑට අපි පෙට්රෝල් මැක්ස් ලාම්පු සහ ලන්තෑරුම් තමයි පාවිච්චි කරන්නේ. මේ විදියට අපේ දෙවෙනි රාත්රියත් ඉවරවුනා.
දැන් ඔන්න සමාරම්භක උළෙල් තියෙන දවස. එදත් උදේම අපි අපේ ව්යායාම ශෝ එක දාලා දවල් වෙලා යුනිෆෝම් එක දාගෙන දවල් ගියා එක විතර වෙද්දී ග්රවුන්ඩ් එකට. ස්කාෆ් එකත් බෙල්ල හිරවෙන්න දාගෙන, දාඩිය පෙරාගෙන කලින් දවසේ වගේම ඉන්නව අපේ උන් ටික පෝලිම ගහලා ඊය වගේ. ප්රධාන අමුත්තා තමයි අපේ චන්ද්රිකා බණ්ඩාරණායක ජනාධිපතිතුමිය. පටන් ගන්න තිබුනේ හවස 2ට. එතුමිය ඉතින් කොහොමත් වෙලාවට වැඩක් කරන එක්කෙනෙක් නෙමිනෙ. අපි ඉන්නවා දැන් හිටගෙන, හවස තුනත් පහු වුනා. හෙම්බත් වෙලා හොඳම එකෙන්, ඒත් මලියදේව ගැම්ම අතාරින්නෙත් නෑ. ධර්මරාජෙ, ආනන්දේ, රෝයල් වගේ තව ප්රධාන පාසල් ටිකකුත් ඉන්නවා පෝලිම් ගහලා ගැම්මෙ. හවස හතර විතර වෙද්දී ඔන්න හෙලිකොප්ටර් එකක් ආවා. අපි හිතුවා දැන් ජනාධිපතිතුමිය එනවා කියලා, උත්සවය පටන් ගත්තා, ඒත් ආවේ සී වී ගුණරත්න කියන ඇමතිවරයා. එතුමා තමයි ඒ කාලේ ජනාධිපතිතුමියගේ නිත්ය නියෝජිතයා. එතුමා ඉතින් කතාව එහෙම පවත්වලා උත්සවය ඉවර වුනා. අපි හවස් වෙලා ආපහු කෑම්ප් සයිට් එකට ආවේ පාන් කියාගන්න බැරිව. ඔහොම ඉද්දී අමරයගේ තාත්තා අමරය බලන්න ඇවිත් ජම්බෝරියෙ මුල්දින කවරෙයි මුද්දර වගේකුයි දීලා ගියා. මේක දැකපු දිනේෂයටයි මටයිත් දැන් මේ මුල්දින කවරෙයි මුද්දරයි ටිකක් ගන්න ඕන. අමරයා කිව්වා හෙඩ්ක්වාටස් එකෙන් ශොප් එකක් දාලා තියෙනවා, ඒකෙ තමයි තියෙන්නෙ. ඒත් දැන් අවසරයක් නැතිව යන්න දෙන්නෙත් නෑ. මුද්දර පිස්සෝ වුන මමයි දිනේෂයයි ඕන මගුලක් කියලා හොරෙන්ම පැන්නා කෑම්ප් සයිට් එකෙන් එලියට. ගිහින් අර ශොප් එක ළඟ පොර කාලා මුද්දරයි, මුල්දින කවරෙයි තව ස්කවුටින් ස්ටිකර් ගොඩකුයි ගත්තා. එහෙම අරගෙන ශේප් එකේ අපේ කෑම්ප් එකට ලණු වැටෙන් රිංගලා එන්න හදද්දිම "ඒයි, මෙහාට වරෙව් දෙන්නම" කියලා හෙනම සද්දයක් ඇහුනා. බලද්දී බෝගමුව අයියා, අපි දෙන්නටම හීන් දාඩිය දැම්මා. "ඔය අතේ තියෙන ඒවත් අරගෙනම වරෙන්". කෑම මේසෙ හදලා තිබුන තැන අපි දෙන්නම හිටගෙන විස්තරේ ඇහුවා. දැන් ඉතින් බැනුම් ගමකට. අපේ මුද්දරයි, ස්ටිකර් මල්ලයි ඉල්ලගත්තා. අපිට දැන් ඇඬෙනවා. අපි දෙන්නම දැන් ආපහු හැරිලා ගිහින් වැඩක් කරන්න හිත හදාගන්නම බෑ. සෝමපාල අයියටත් ගිහින් කිව්වා "අනේ, අයියේ ඒ ටික දෙන්න බැරිද?", "බෑ බෑ, ඔයාලා නරක වැඩක් කරේ. කීයටවත් දෙන්නෙ නෑ" සෝමපාල අයියා කිව්වා. මට දැන් තරහත් එක්ක. වොච් හට් එක හදන්න පුවක් ගසුත් දීලා කිසිම බුරුලක් නෑ කියලා. හැබැයි රෑ 11ට විතර සෝමපාල අයියා කතා කරලා දෙන්නටම එන්න කිව්වා "තමුසෙලා දෙන්නම ගොඩක් මහන්සි වුන හින්දා සහ පෙර වැරදි නැති නිසා මම මේවා ආපහු දෙනවා. හැබැයි ජම්බෝරිය ඉවරවෙනකල් ආයි කිසිම වැරැද්දක් කරන්න බෑ" කියලා ස්ටිකර් ටිකයි, මුද්දර ටිකයි දුන්නා. ඇත්තටම ඊළඟ දවස වෙද්දී මුද්දර සහ මුල්දින කවර ඉවරෙටම ඉවර වුනා. මායි දිනේෂයයි ඒ සමරු මුද්දරය ලබාගන්න වාසනාවන්ත වුනා වැරදි විදියට හරි.
මේ විදියට දවස් 3ක් වගේ ගෙවිලා යද්දී අපේ ව්යායාම ශෝ එක දිගටම ගියා උදේ පාන්දර. අපි මූණ දුන්න සහ ජම්බෝරි ජීවිතයේ අමාරුම අත්දැකීම තමයි සරල වචනයෙන් කිව්වොත් බොඟක් දැමීම. දාස් ගාණකට හරියන්න වැස්කිලි පහසුකම් තිබුනේ බොහොම සීමිතව. ඒවත් ඉටිරෙදිවලින් වටවුන තාවකාලික වැසිකිලි. දවස් තුන හතරක් ගියාම පැත්ත පලාතක යන්න බෑ. ඉතින් බොඟ දාන්න යනවට වඩා අදෝවාතයක් පිට කරගෙන එහෙමත් නැතිනම් සරලව කිව්වොත් පඩයක් ඇරගෙන තද කරගෙන ඉන්න එක සැපයි කියලා හිතෙනවා. මට මතක විදියට දවස් හතටම මම බොඟක් දැම්මේ එක දවසයිද කොහෙදෝ. මේ නිසා රෑට ටෙන්ට් ඇතුලේ සමහර වෙලාවට බෝම්බ ගහනවා වගේ අදෝවාත පිට කරන සද්දෙයි, ඕන මගුලක් කියලා අර තාවකාලික වැසිකිලිවල බොඟ දාන උන් දෙන ප්රතිචාරයිවල අඩුවක් තිබුනේ නෑ. "අම්මෝ යකෝ ගඳ? පලයන්කෝ එලියට" වගේ දේවල් රෑට ඇහෙනවා. ඒ වගේම මේ වෙද්දී දිමුතු අයියාගේ භීසනය අති දරුණු මට්ටමකට පැමිණ තිබුනා. ගබඩා පාලක විදියට මනුස්සයගේ හෙනම තද නීති තිබුනේ. උයන පිහන තැන්වලදීත් හැම දෙයක්ම තිතටම ඕන මනුස්සයට. ඔහොම ඉද්දී මනුස්සයගේ ගෙදරින් පොඩි කේස් එකක් දාලා දවස් 3-4ට පස්සේ ගෙදරින් ඇවිල්ලා මනුස්සයා එක්කරගෙන ගියා. අපිට එදා රජ මගුල්, පහවල් දාලා වෙනම ෆන් එකක් ගත්තා මනුස්සයා ගෙදර ගිය සතුටට. හැබැයි මලියදේව ස්කවුට් ගෘප් එකේ අපි දන්න කාලෙක බිහි වුනු හොඳම ගබඩා පාලකයා තමයි දිමුතු අයියා. හැමදාම කෑමටනම් පරිප්පු වැරදුනේ නෑ. සෝයා මීට්, සැමන් වගේ දේවල් තමයි අනික් ජනප්රියම කෑම වුනේ. සීනියර්ස්ලා කාලා ඉවර වෙලා වයසෙ අනුපිලිවෙලට කනකොට අපි තමයි ඉතින් අන්තිමේට කන්නේ. සීනියර්ස්ලට කෑම අපි ගිහින් දෙන්න ඕන. පරිප්පු දැක්කත් වමනේ යන සැපට හැදුන දිනේෂයා තමයි දවස් හතේම හෙනම කට්ටක් කෑවෙ කන වෙලාවට. ඒ වගේම හතරවෙනි දවස වගේ වෙද්දී අපිට ජම්බෝරි භූමිය ඇතුලේ සැරිසරන්න අවසර දීලා තිබුනා. අපි වෙන ඉස්කෝලවල කඳවුරු භූමි ඇතුල බලන්න ගිහින් ඒ අයත් එක්ක කතා කරලා සමරු සටහන් හුවමාරු කරගත්තා. ජම්බෝරි ක්රියාකාරකම්වල නිරත වුනා හිතේ හැටියට. සමහරුන්ගේ දෙමාපියොත් ආවා බලලා යන්න. දිනේෂයගේ ගෙදරින් ආවා සරුවටම එක එක දේවල් අරගෙන කෑම ජාතිත් එක්කම. දිනේෂයා තමයි මගේ හොඳම යාළුවා දවස් ගානටම, හැමතැනම රවුම් ගැහුවේ අපි දෙන්න එකට. බාලදක්ෂිකා දිනයකුත් තිබුනා, ඒත් උන් එකෙක්වත් ලයින් කරගන්න පුලුවන් ලුක් එකක් අපේ සෙට් එකටම තිබුනේ නෑ ඒ දවස් ටිකේ. අපේ අයියණ්ඩිලානම් ජැන්ඩි පහට හිටියා උන් එන දවසේ.
පස්වෙනි දවස වගේ වෙද්දී මතක විදියට අපි බස්වල අරගෙන දළදා මාලිගාවයි, පේරාදෙණිය මල් වත්තයි බලන්න එක්කරගෙන ගියා. දළදා මාලිගාවට ඒ කාලේ කොටි බෝම්බ ගහපු අලුත. ඉතින් අපි ඒවා දැකලා ගොඩක් දුක් වුනා. මල්වත්තත් ඉතින් යුනිෆෝම් ඇඳලම බලන්න ගියේ. මේ අතරමග ඉතින් අපි එක එක දේවල් කනවා බොනවා මග දිගට විකුණන්න තියෙන. ඒ කාලෙ පොඩ්ඩක් කුණා වුන අපේ නෙරන්ජනයා ඉතින් අපෙන්ම කෑවා. ඌ ගෙදරින් දුන්න රු 500, කෑම්ප් ඉවරවෙලා යද්දී 501 කරගෙන ගියා කියලා අපි විහිළු කරේ. මේ ජම්බෝරියේ අනික් මලම ඇනය වුනේ මාලකයා. ඌ අලුත් නිසා ප්රශ්න කෝටියයි, "ඇයි බං සීනියර්ස්ලා එද්දී නැගිටින්නේ?", "ඇයි බං සීනියර්ස්ලා මුලින් කන්නේ?", "ඇයි බං.....". බැරිම තැන අපි උට කිව්වා අපි ඉන්නවා වගේ හිටපන් කියලා. හැබැයි දවස් 5ක් යද්දී අපි හත් දෙනාම පට්ට ෆිට් එකේ හිටියේ එකාට එකා සහෝදරයො වගේ. මාලකයා නාන්නෙ නෑ කියලා අපි දැනගත්තෙත් ඒ කෑම්ප් එකේදි. ඒ වගේම අපේ පුබුදු අයියා (Pubudu Dissanayake ) රෑ හීනෙන් ඇවිදලා මාට්ටි වෙලා අපේ සීනියර්ස්ලා බයිට් එක දැම්මත් මතකයි. දැන් කල්පනා කරන්න පුළුවන් අර ඔරලෝසු කණුව වගේ හදන්න ගිය වොච් හට් එකට මොකද වුනේ කියලා. දෙයියනේ කියලා දවස් 6ක් යනකල්ම ඒක හැදුවා හැමදාම සෙට් එකක්. සෝමේ අයියාත් අත ඇරියෙම නෑ පොරගෙ සිහිනය. ඒත් දවස් හයකට පස්සේ තේරුම් ගියා "කුරුණෑගල ඔරලෝසු කණුව" කියලා බෝඩ් එකක් ගැහුවත් ඒකනම් ගොඩ දාන්න බෑ කියලා. ඉතින් දවස් 6ක්ම හදලා අන්තිම දවසේ රෑ ඒක ගැලෙව්වා. මලියදේව බාලදක්ෂ ඉතිහාසයේ "හනසු මාලිගාව" කියලා ප්රසිද්ධ වුනේ අන්න ඒ වොච් හට් එක. සෝමෙ අයියනම් හෙනම අප්සට් එකේ හිටියේ. මේ විදියට අපි දවස් හත යද්දී සීනියර අයියලාත් අපිට සෑහෙන ෆිට් වුනා. හේරත් අයියා, බෝගමුව අයියා, රාජගුරු අයියා, ඩීකේ අයියා (Dinesh Athapaththu ) , කොන්තේ අයියා (Chaminda Konthesingha ) , අමරසේන අයියා (Sumedha Kusum Amarasena) , ඉම්රාන් අයියලා ඔක්කොම හිටියෙ එකම පවුලක් වගේ. කමල් අයියලාගේ සෙට් එක, පුබුදු අයියලාගෙ සෙට් එකත් මේ වෙද්දී පිලිවෙලින් 11 වසරෙ සහ 10 වසරෙ. ඉතින් අන්තිම දවසේ රෑ මුළු ජම්බෝරියෙම ලොකුම ගිනිමැලය ගැහුවේ අපි. අපිට ඕන තරම් හනසු තිබුනා සෝමේ අයියගේ වොච් හට් එකට ගෙනාපු. සෑහෙන රෑ වෙනකල් සින්දු කියලා නැටුවා අන්තිම දවසේ රෑ කවදාවත් අමතක නොවෙන විදියට.
මෙහෙම ගිහින් ජම්බෝරියෙ අන්තිම දවස උදා වුනා. උදේම මට ඇහුනා සර් නැගිටලා සීනියර්ස්ලට බනිනවා "මොන බූරුවද මේ පුවක් කොට ටිකට ගිනි තිබ්බේ. බලනවා කරලා තියෙන අපරාදේ? මේව අරන් යන්න මනුස්සයෙක් එනවා කියලනේ තිබුනේ. තමුසෙලට පිස්සු". සර්ට හොඳටම තරහ ගිහින්. ඊට පස්සේ අපි ඔක්කොම බඩු ටික ඇහිරුවා, ටෙන්ට් ගැලෙව්වා. දවස් හතක් හිටපු තැන දාලා යන්න දුකේ බෑ. මුළු ජම්බෝරි භූමියම ලෑස්ති වෙනවා ආපහු යන්න. ඉතින් දවල් වෙද්දී අපේ බස් එකත් ආවා. අපි හැමෝම බස් එකේ නැගලා පිටත් වුනා. ආපහු එනකොට කුරුණෑගල ලංවෙද්දි වැඩිය සද්දයක් තිබුනේම නෑ. හැමෝම දුකින්. මාස තුනක් ලෑස්ති වෙලා, පුහුණු වෙලා ගියා ඒ දවස් හතේ 5 වෙනි ජාතික ජම්බෝරි ගමන ලස්සනම මතක ගොඩාක් එකතු කරලා, අදටත් හිනාවෙලා කත බහ කරන අයියලා ගොඩාක් ජීවිතේට එකතු කරලා ඉවර වුනා. සර් අපිත් එක්ක දවස් හතම ටෙන්ට් එකට වෙලා අපි වගේම කට්ට කාගෙන හිටියා. ඒ වගේ සර් කෙනෙක් අපේ ස්කවුට් ගෘප් එකේ හිටියෙ නෑ. ගෙදර ගිහිල්ලත් හිටියෙ සෑහෙන පාළුවකින් හැමෝම එක්ක දවස් ගාණක් හිටියට පස්සේ. ඊට පස්සේ කාලෙක 2002 දී බලපිටියෙ තිබුන ජම්බෝරියටත්, ඉස්කෝලෙ කාලෙන් පස්සේ සහභාගි වුන 2006 නුවර එලිය ජම්බොරිය, 2010 අඟුනකොළපැලැස්ස ජම්බෝරිය, 2016 යාපනය ජම්බෝරිය ඇතුළු කිසිම ජම්බෝරියකට 1998 පල්ලෙකැලේ මතක පරදවන්න බැරි වුනා. ජම්බෝරියෙන් පස්සේ 1998 ඉතිරි කාලය ගෙවුන විදිය ඊලඟ ලිපිය ලියන්නම්.
-1998 - 02 කොටස මතු සම්බන්ධයි-

මගේ බාලදක්ෂ ජීවිතය - 01

 ගොඩ දවසකින් ආයිත් ලියන්න හිතුනා වෙනසකටත් එක්ක. කොරෝනාත් ඉවර වෙන පාටක් නැති එකේ වැඩ කරලම හෙම්බත් වුනාම පොඩි බ්රේක් එකක් අරගෙන මොනවාහරි ලිව්වාම ඒ මහන්සිය නැතිවෙනවා. ඉතින් මට හිතුනා ලෝකෙ මම ආසාවෙන්ම කරපු සහ අද වෙනකල්ම ලස්සනම මතකයක් වුන මගේ බාලදක්ෂ ජීවිතය ගැන ලියන්න. මේක එහෙම ලියලා ඉවර කරන්න පුලුවන් එකක්ද මම දන්නේ නෑ. ඒත් ලියලා බලන්න හිතුනා. මට බාලදක්ෂයෙක් එහෙමත් නැතිනම්, ස්කවුට් කෙනෙක් වෙන්න ආසාවක් ඇති වුනේ අදටත් මගේ හොඳම යාළුවෙක් වෙන බෙන්ජා (Pubudu Dissanayake) නිසා. කැම්පස් ඇවිත් එක බෝඩිමේ ඉඳලා බෙන්ජා කිව්වට ඒ කාලෙ පුබුදු අයියා. ඉතින් පුබුදු අයියා ස්කවුටින් යුනිෆෝම් එකත් ඇඳලා යන දවසට මටත් ආස හිතුනා එහෙම ඇඳලා ස්කවුටින් යන්න. මම මේ කියන්නේ 1996 දි, ඒ කියන්නෙ මම හත වසරේ."මල්ලි, ඔයත් එන්න. සිකුරාදට තමයි තියෙන්නේ" එහෙම කිව්වට මට සිකුරාදා හවස ඉංග්රීසි පන්තියක් තිබුනා. පස්සේ මගේ වාසනාවට හත වසර අන්තිම කාලේ ඒ පන්තිය වෙන දවසකට මාරු වුනා. ඉතින් 1996 අග භාගයේදී මම ඉස්කෝලෙ ස්කවුටින් ගෲප් එකට එකතු වුනා. මලියදේවේ අපේ ඉස්කෝලෙ චතුරස්රය කියලා තියෙන තැන තමයි ස්කවුට්ලට වෙන් වෙලා තිබුනෙ සිකුරාදා හවස. අශ්වලාඩමක් හැඩයට හැමෝම පෙලගැස්විලා තිබුනා. හත වසරේ මගේ විද්යාව සර් වුන විමල් පෙරේරා සර් (Wimal Perera) තමයි ස්කවුටින් භාරව හිටියේ. සර් මාව පිලිගත්තා ස්කවුටින් ගෲප් එකට. ඊට පස්සේ සතියෙ මම ලොකු ලොග් බුක් එකක් අරගෙන වැඩේ පටන් ගත්තා බොක්කෙන්ම. මේ වෙනකොට අපේ වයසෙ උන් ගොඩක් ස්කවුටින් කරා. චානක(Chanaka PW) , දිනේශ්(Dinesh Chamindra Wijekoon) , අසිත (Asitha Bandara ), ඉන්දික, ධනූෂ (Dhanusha Rathnayake ), නෙරන්ජන්(Neranjan Wijerathna ) වගේ සෙට් එකක්ම හිටියා. ඉතින් මාසෙකින් විතර 1996 අවුරුද්දේ අන්තිම විභාගෙත් තියලා ඉස්කෝලෙ නිවාඩු දුන්නා.

-1997 අවුරුද්ද-
1997 ඉස්කෝලෙ පටන් ගත්තට පස්සේ බොක්කෙන්ම ස්කවුටින් වැඩ පටන් ගත්තා. හැම සිකුරාදම නොවැරදීම ස්කවුටින්, මොන වැඩක් තිබුනත් ඒක මග ඇරියෙ නෑ. තාත්තාගේ ආසාව වුනේ මම කැඩෙටින් කරනවාට, ඒ තාත්තත් මලියදේවෙම කැඩෙට් කෙනෙක් වගේ කැඩෙට් බෑන්ඩ් එකෙත් ආදි සාමාජිකයෙක් වුන නිසා. අපේ වයසෙ කණ්ඩායමේ නායකත්වය අපේ පරණම එකා වුන චානකයට බයි ඩිෆෝල්ට් සෙට් වුනා. අපිට අවුරුද්දක් පහල කණ්ඩායම අමුණුගම මල්ලිත් (Kosala Amunugama ) , අපිට අවුරුද්දක් වැඩිමල් කණ්ඩායම පුබුදු අයියගෙ නායකත්වයෙන් තිබුනා. පුබුදු අයියාගේ කණ්ඩායමට වඩා අවුරුද්දක් වැඩිමල් සෙට් එක කමල් අයියලා (Kamal Wimalaratne ) ඇතුළු කණ්ඩායම. ඊටත් ඉහලින් ඩීකේ අයියලාගේ (Dinesh Athapaththu) කණ්ඩායමත්, තනිවෙලා හිටපු ජීවන්ත අයියත් (Jeewantha Kumara ) එක කණ්ඩායමක් විදියට හිටියා. ඊට පස්සේ කණ්ඩායම විදියට හිටියේ අපේ ජේය්ශ්ඨම කණ්ඩායම වුන හේරත් අයියලාගේ (Janaka Herath ) කණ්ඩායම. මම මේ කණ්ඩායම් ගැන විශේෂයෙන්ම කිව්වෙ, මේ වගේ එක් එක් වයස් කාණ්ඩ එක්ක හැදිලා තිබුන කණ්ඩායම් වලට අනුව තමයි ජේය්ෂ්ඨත්වයේ අනුපිලිවෙල හැඩ ගැහිලා තිබුනේ.
දැන් බලයි ස්කවුටින් වලට මොකටද එහෙම එකක් කියලා. ඔන්න ඔතනදි තමයි මට තේරුණේ බේඩ්න් පවල් සාමිවරයාගේ බාලදක්ෂ ලෝකයටත් එහා ගිය වෙනම උප සංස්කෘතියක් මලියදේවේ ස්කවුටින්වල තියෙනවා කියන එක. එතනදී ජේය්ෂ්ඨම කණ්ඩායම වුන හේරත් අයියලාගේ කණ්ඩායම සීනියර් ස්කවුට්ලා විදියටත්, ඩීකේ අයියා සහ ජීවන්ත අයියලාගේ කණ්ඩායම ඇසිස්ටන්ට් සීනියර්ලා විදියටත් හැඳින්වූවා. සිකුරාදා අශ්වලාඩම ගහලා ඉවර වෙලා ඊට පස්සේ වෙන්නේ විමල් පෙරේරා සර්ගේ සෙශන් එකක් තියෙනවානම් අපි සර්ගේ ලැබ් එකට එකතු වෙන එක. එතනදී පිටරට ජම්බෝරිවලට ගිහින් ආපු අයියලාගේ අත්දැකීම් වගේ දේවල් කතා කරනවා. සර්ටත් මොනවාහරි කියලා දෙන්න දෙයක් තියේනම් කියලා දෙනවා. ඊට පස්සේ අපි වෙන වෙනම පන්ති කාමරවලට ඒ ඒ වයස් කාණ්ඩ විදියට ඇරගෙන අපේ සීනියර් අයියලා අපිට විවිධ දේ කියලා දෙනවා. ඒ අතර ගැට පිලිබඳ දැනුම, බාලදක්ෂ ඉතිහාසය, බාලදක්ෂ නීති සහ පොරොන්දු, කඳවුරු ජීවිතය, ජම්බෝරි අත්දැකීම් වගේ මෙකී නොකී හැමදේම කියලා දෙනවා. මේ කියපු ඔක්කොම සාමාජික පදක්කම, බාලදක්ෂ ප්රධානය, දිසා කොමසාරිස් ප්රධානය, ප්රධාන කොමසාරිස් ප්රධානය සහ ජනාධිපති පදක්කම ඇතුළු ක්රමවත් පියවර කීපයක් ඔස්සේ අවුරුදු පහක වගේ සැලසුමකට තමයි ගොඩ නංවලා තියෙන්නේ. ඉතින් අපිට පටන් ගන්න තිබුනේ සාමාජික පදක්කමට අදාල කුසලතා සම්පූර්ණ කිරීම. උදාහරණයක් විදියට අපි පිරිමි ගැටය, රුවල් ගැටය වගේ දෙයක් හරියට කරල පෙන්වපුවාම සීනියර් අයියා කෙනෙක්ට පුළුවන් පැන්සලකින් ඒ ඉදිරියෙන් අත්සනක් තබා ඒ ඒ කුසලතා සම්පූර්ණ කළා කියලා අත්සන් තබන්න. ඊට පස්සේ තමයි අපි සර්ට ඒක පෙන්වලා සර්ගේ අත්සන ලබාගන්නේ. අත්සන් කල යුත්තේ සර් වුනත්, අර මම කියපු උප සංස්කෘතිය ඇතුලේ මලියදේවේ ස්කවුටින් වුනේ එහෙම.
ඉතින් මෙහෙම ඒ ඒ දේවල් සම්පූර්ණ කරලා අත්සන ගන්න ගියාම සීනියර් අයියලා අපිව හොඳටම ඒ සම්බන්ධව මඩවලා තමයි අපිව පාස් කරන්නේ. උදාහරණයක් විදියට බාලදක්ෂ ඉතිහාසයේ එහෙම ප්රශ්ණ ඇඬෙන්නම අහනවා. සමහර අහිංසක අයියලා ටිකක් ශේප් එකේ පාස් කරාට, අහීත අයියා (Abeetha Edirisinghe ) වගේ එකෙක්ට අහු වුනොත් ඉතින් දෙතුන් පාරක් මඩවලා තමයි පාස් කරන්නේ. දිමුතු අයියා කියන්නේ එපාම වෙන විදියට මඩවන එක්කෙනෙක්. හැබැයි, අපිට ඒ සම්බන්ධ දැනුම උපරිමයෙන් ලබා දෙන එක එයාලා කරා. මේ අතරම හැමදාම පෝය දවසට ඉස්කෝලෙ එක්දින කඳවුරු සංවිධානය කරා. හැමෝම ඒවට සහභාගී වීම අනිවාර්ය වුනා. වයස අනුව කණ්ඩායම් වෙනම තිබුනත්, කාණ්ඩ නමින් වූ සෑම වයසකින්ම සංකලනය කරපු කණ්ඩායම් වෙනම තිබුනා. මගේ කාණ්ඩයේ නායකය වුනේ ජීවන්ත අයියා. එක්දින කඳවුරට අපි යුනිෆෝම් එකෙන් සහභාගී වීම අනිවාර්ය වුනා, අශ්වලාඩම ගහලා උදේ රැස්වීම තියලා කඳවුර ආරම්භ වුනාට පස්සේ කාණ්ඩ පරීක්ෂණය කියන එක වෙනම තියෙනව. ඒකෙදි අපි කොණ්ඩය කපා පිලිවෙලට සිටින ආකාරය, නියපොතු පිලිවෙලට ඇති ආකාරය, යුනිෆෝම් එක පිලිවෙලට ඇති ආකාරය, පදක්කම් ආදිය නිවැරදිව මසා ඇති ආකාරය පරීක්ෂා කරනවා. ඉතින් මේ අත්දැකීම් හරිම නැවුම් අත්දැකීම් බවට පත්වුනා.
අපි මේ අවුරුද්දේ හිටියේ අට වසරේ, සීනියර් අයියලා අපිව පොඩ්ඩක් බයිට් කරාට අපි ඉතින් පොඩි උන් විදියට තමයි සැලකුවේ. ඉස්කෝලෙ තියෙන කඳවුරකදී හෝ සිකුරාදා හවසට ස්කවුටින් තියෙන දවසේදී අපි යම් කිසි තැනක වාඩිවෙලා ඉන්නවනම්, සීනියර් හරි ඇසිස්ටන්ට් සීනියර් අයියා කෙනෙක් එතනට එද්දී නැගිට සිටීම අනිවාර්ය වුනා. ඒ දේවල් අපිට කියලා දෙන්නේ අපිට ඉහලින් හිටපු පුබුදු අයියලාගෙ කණ්ඩායම. වාඩිවී දෙයක් කියලා දෙනවිට වුවත්, ප්රශ්ණයක් ඇහුවොත් උත්තර දිය යුත්තේ නැගිට සිටීමෙනි. මේවන විට අපේ ඒ කාලේ සීනියර අයියලාගේ බහුතරයක්ම බාලදක්ෂයෙක්ට ලබාගත හැකි ඉහලම සුදුසුකම වන ජනාධිපති බාලදක්ෂ පදක්කම සම්පූර්ණ කර සිටි අතර, අනෙකුත් ජම්බෝරි සහ ගවේෂණ තරඟවල ජයග්රහණ රැසක් මලියදේවයට ලබාදුන් පිරිසක් වුනා. එම නිසා මේ ජෙය්ෂ්ඨත්වයට නැගිට ආචාර කිරීම අපිට කිසිම ගැටළුවක් වුනේ නෑ. කාලය මෙහෙම ගෙවෙද්දී අපිට ඉහලින් සිටි පුබුදු අයියා ඇතුළු නවය වසර කණ්ඩායමටත්, ඊටත් ඉහල කණ්ඩායම වුන කමල් අයියා ඇතුළු කණ්ඩායමට සීනියර්ස්ලාගෙන් කම්මුල් පාරවල් එක දෙකද වදිනවාද ඉඳලා හිටලා දැක්කා. ඒවා පොඩ්ඩක් දැක්කම බය නොවුනාමත් නෙමි. පුබුදු අයියා ගෙදර ළඟ එකා නිසා මම එහෙ ගියාම අහනවා එහෙම සීනියර්ස්ලා ගහනවාද කියලා. ඉතින් බුවා කියන්නේ "නවය වසරෙන් එහාට යද්දී එහෙම සීන් එකක් තියෙනවා. වැරදි කරොත් ගහනවා" කියලා, මම මේ වෙද්දී බේඩ්න් පවල් තුමාගේ බාලදක්ෂ විද්යාව කියන පොතත් කියවලා සහ ටික කාලයක් ගිහිල්ලත් නිසා පණ්ඩිතයා වගේ පුබුදු අයියගෙන් අහනවා "ඉතින් අයියෙ, බාලදක්ෂයා සෑම බාලදක්ෂයගෙම සහෝදරයෙක්නෙ, එහෙම ගහන්නෙ නෑනේ" කියලා, පුබුදු අයියගේ උත්තරේ වුනේ "හරි බං එහෙම තමයි, ඒත් මේ මලියදේවේ ස්කවුටින්, හේරත් අයියා මගේ ලඟම නෑයා, ඒත් මම කනවා ඉතින්". මම ඉතින් හිත හදාගත්තා. හැබැයි අට වසරේදී ඒ කියන්නේ 1997 දී අපිට අතක්වත් තිබ්බේ නෑ.
මේ අතර කාලයේදී ඉඳලා හිටලා දෙදින රාත්රි කඳවුරු එකක් දෙකකුත් තිබුනා. ඒකෙදී සීනියර්ස්ලා කාල ඉවර වුනාම අපි හැමෝම කන්න ඕන. ඒකත් ඔක්කොම එකට පටන් අරගෙන එකට ඉවර කරන්න ඕන. මොකා නැතත් අපි හැම දේම හරියට කියලා දීලා තියෙන ආකාරයට පිලිපදිනවද කියලා දිමුතු අයියා ඇහැගහගෙන ඉන්නෙ. ඒක නිසා ඒ කාලෙ බුවාව අපිට පේන්න බෑ. ඒ වගේම ඒ අවුරුද්දේ තවත් අලුත් අත්දැකීමක් වුන ජොබ්වීක් එහෙමත් නැතිනම් "බාලදක්ෂ වැඩ සතිය" එකතු වුනා. මේකෙදී මම අර කලින් කියපු කාණ්ඩ අනුව දින දහයක වගේ කාලයක් අපි ඉස්කෝලෙ ඇරිලා සහ ඒ අතර එන සති අන්තවල යුනිෆෝම් එකත් ඇඳගෙන එක එක ප්රදේශවලට ගිහින් ගෙවල්වලට කතා කරලා වැඩක් කරලා සල්ලි හොයන්න ඕන. ජීවන්ත අයියත් එක්ක මුලින්ම ගියේ අපේ ඉස්කෝලෙට ටිකක් එහා පැත්තෙන් තිබුන ඉලුප්පුගෙදර පාරෙ. ඒ පාරේ ඉතින් ගෙවල්වල ඉන්න පිරිමි අවුරුදු ගාණක් තිස්සේ ඉස්කෝලෙ ගිහින් තිබුනෙ අපේ ඉස්කොලෙටම තමයි. බෙල් එක ගහලා කවුරුහරි එළියට ආවම "ගුඩ් ආෆ්ටර්නූන් ආන්ටි / අන්කල්, අපි මලියදේව කොලේජ් එකේ ස්ක්වුට්ලා, අද අපේ ජොබ් වීක් එකේ පලවෙනි දවස, කරුණාකරලා අපිට මොනාහරි වැඩක් තියේනම් කියලා කීයක් හරි දෙන්න පුළුවන්ද? බොහොම ස්තූතියි!!". ජීවන්ත අයියා කළුපාටට හිටියට හරිම ප්රියමනාප එකා, අපිටත් හෙනම පින් පාට් එකේ ඉන්න කියලා දුන්නා. අපිත් ඉතින් ඇන්ටිලාගේ මූණ දිහා බලන් ඉන්නේ "ඇනේ ඇන්ටි වැඩක් නොකර කීයක් හරි දෙන්න බැරිද" වගේ මූඩ් එකක. "ඔය පොඩි ළමයිට මේ වැඩ පුළුවන්ද අනේ? අනික මේ ලොකු ඉස්කෝලවල ළමයින්ට මේ වැඩ කරන්න පුලුවනැයි" කියලා සමහර ඇන්ටිලා අන්කල්ලා රු 20ක් 50ක් දෙනවා. අඩුම ගාණේ රු 10ක් දෙනවා. 50 ක් කියන්නේ හෙනම ලොකු ගාණක්. 100ක් වගේ හම්බුනොත් ඉතින් අපේ කට කණේ. ඉඳලා හිටලා සමහරු වැඩ දුන්නා, ඒවත් නිකන් මිදුල අතුගාන්න, කොල අහුලන්න වගේ ඒවා. අපි 3-4 ක් ගියාම බොහොම සරල වැඩ. සමහර කුණු පෙරේතයො නම් අපිව දැක්කම ගෙදර ඇතුලෙ ඉඳලම "ගෙදර කවුරුවත් නැතෝ" කියලා බෙරිහන් දෙනවා. මෙහෙම දවස් කීපයක් එක එක පැතිවල යද්දී මලියදේවෙට ළමයි දාගන්න බැරි වුන සමහර මිනිස්සු අපෙන් ඇරියස් කවර් කරගත්තෙත් නැතිවම නෙමි. එක්කෝ ඉස්කෝලෙට නොසෑහෙන්න බනිනවා. එහෙම නැතිනම් ලැට් එකක් හෝදලා දෙන්න පුලුවන්ද වගේ අහනවා. සර් අපිට කියලා තිබුනේ ඒ වෙලාවට ඉවසලා කතා කරලා බෑ කියලා මාරු වෙන්න කියලා. ඉතින් ඒ කාලේ අපේ ටාගට් එක සතියෙ දවසට 500/- සහ සති අන්තෙකට 1000/-. මේ හොයන සල්ලිවලින් තමයි අපි කෑම්පින් ඇතුළු හැම අවශ්යතාවකටම මුළු අවුරුද්දටම සල්ලි හොයන්නේ. ඉතින් වැඩියෙන්ම සල්ලි හොයන කණ්ඩායමට සර් සම්මානෙකුත් දෙනවා. ඒක නිසා ඒ ඒ කාණ්ඩ අතර පොඩි තරඟයකුත් තිබුනා.
මුලින්ම පටන් ගත්ත ජොබ් වීක් එකේ ලස්සනම මතකය තමයි මම ටෝක් දීලා අපේ සෙට් එක අපේ අම්මලාගෙ ගම වුන පිලැස්සේ එක්කරගෙන ගිහින් අනූ නවයෙන් බේරුණ එක. "ජීවන්ත අයියෙ, සති අන්තේ අපේ අම්මලගෙ ගමේ ගියොත් මට අනිවා දාහකට වඩා හොයලා දෙන්න පුළුවන්. අපේ කිරිඅත්තත් සල්ලි කාරයා, මට පුළුවන් එහෙනුත් 500ක් වත් ගන්න" මෙහෙම ටෝක් එකක් දෙද්දී, ජීවන්ත අයියා "ශුවර්ද?" කියලත් ඇහුවා. ඒ කාලෙම ස්කවුටින් කරන්න සෙට් වුන මිලින්දයයි (Milinda Rajapaksha) , මමයි, ජීවන්ත අයියයි ඇතුළු කණ්ඩායම දැන් පිලැස්ස ඉස්කෝලෙ ළඟින් බැහැලා ඇතුලට තියෙන පාරේ ගෙවල් ගානේ යනවා. ඒ යද්දී අපේ ඉස්කෝලෙ සර් කෙනෙක් වුන ජාලිය රාජපක්ෂ සර්ලාගෙ ගෙදරත් ගියා දන්නේම නැතිව. සර් එහෙමත් තේ එකක් එහෙම දීලා රු 100ක්ම දුන්නා. අපේ ක්රිකට් කැප්ටන් කෙනෙක් වුන අසේල රාජපක්ෂ අයියලාගෙ ගෙදරත් ගොඩ වුනා. එහෙනූත් 100ක්ම දුන්නා. දැන් ඉතින් ගම මැදින් මිලින්දයගේ රසකතා එහෙම අහගෙන රු 10, 20 කෑලි එකතු කරගෙන යනවා. මාත් ඉතින් පොර වගේ "මාත් මේ ගමේම තමයි, අමරසිංහ මුදලාලි තමයි මගේ කිරිඅත්තා" කියලා ටෝක්ස් එහෙමත් දෙනවා. එතකොට ඉතින් වැඩත් නොකරම අනිවාර්යෙන්ම කීයක් හරි හම්බෙනවා. අම්මගේ මහ ගෙදර ලංවෙද්දී අපි රු අටසිය ගාණක් වගේ හොයලා, "බය වෙන්න එපා අයියෙ, එහෙන් රු 500ක් වත් ශුවර්" කියලා අපි මහගෙදරට ගොඩ වුනා. අම්මලාගේ පවුලෙ ඔක්කොම 14ක් නිසා මහ ගෙදර පරණ ලස්සන විශාල ගෙයක්. ජීවන්ත අයියටයි, මිලින්දයටයිත් ගෙදර දැක්කම 500ක් නම් ශුවර්. කිරිඅත්තයි කිරිඅම්මයි දෙන්නම ඇවිත් මම යුනිෆෝම් එකෙනුත් ඉන්නව දැකලා "හප්පේ කොළු පැටියො මොකද මේ මද්දහනේ?", මම විස්තරය කිව්වම, "එහෙනම් කාලාම යමු" කියලා කිරිඅම්මා කෑම ලෑස්ති කරන්න ගත්තා. මාත් ඉතින් දැන් ටාගට් එක ගහන්න පුළුවන් කියලා ශුවර් නිසා අපි පැය දෙකක් විතර හිටියා. කිරිඅම්මා කොහොමත් නියමෙටම කෑම හදනවා. අපි කෑම එහෙම කාලා දත කට මැදගෙන කිරිඅත්තට වැඳලා දැන් විස්තරේ කියලා සල්ලි ටික ඉල්ලුවා. කිරිඅත්තත් කාමරේට ගියා. දැන් මම ඉන්නවා ෆුල් කික් එකේ. කිරිඅත්තත් හිනා වීගෙන ඇවිත් සල්ලි කොලයක් දුන්නා. මට අඬන්නද, කෑ ගහලා දුවන්නද කියලා දැන් හිතාගන්න බෑ. අනික් උන් දෙන්නත් දැන් තක්බීර් වෙලා. අනේ දෙයියනේ රු 10ක්. මට දැන් මිලින්දයා මේක ඊළඟ දවසේ ඉස්කෝලෙ ගිහින් රස කර කර කියන එක මතක් වුනාම ඇඬෙන්න එනවා. මොනා කරන්නද ඉතින් කියලා හිත හදාගෙන එන්න ලෑස්ති වෙද්දීම දෙයියෙක් වගේ අපේ චූටිමාමා වඩිනවා. ඒ කියන්නේ අම්මගෙ බාලම මල්ලි. "ආ පුතේ, මේ මොකද?" කියලා ඇහුවම මම ඉතින් විස්තරේ ටිකක් කිව්වා. "කෑවද පුතේ?", "ඔව් මාමේ" කිව්වා. "තාත්තා සල්ලි දුන්නද?" අහද්දී මට ඉතින් ඇඬිලා. "මෙලහට රු 10ක් දෙන්න ඇති", චූටි මාමා හිනාවෙලා කිව්වා. "තාත්තාට ඉතින් ඉස්සර ඉඳලම 10 කියන්නේ ලොකු ගාණක්" කියලා චූටි මාමා පර්ස් එක ඇදලා 500 ක් දුන්නා. මම සන්තෝසෙට බදාගත්තා. මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ ඊට පස්සේ. "මාමා ඇවිත් තෝව බේරුවා", මිලින්දයා මෙහෙම කියද්දී මට නිකන් නිවන් ගියා වගේ. දවසේ ඉතුරු ටිකෙත් තව ගෙවල් ටිකකට ගිහින් අපි 1500ක් වගේ ගාණක් ඔක්කොම එකතු කරගෙන එදා දවස ඉවර කරා. ඊට ටික කාලෙකට පස්සේ මිලින්දයා ස්කවුටින් නතර කරලා කැඩෙටින් ගියා.
1997 අවුරුද්දෙ තවත් අමතක නොවන ගමනක් තමයි කිලෝ මීටර් 12 පා ගමන. මේකෙදි සර් නියම කරන රූට් එකක් දිගේ අපි කිහිප දෙනෙක් එකතු වී පා ගමනක් යායුතුයි. මමයි, නෙරන්ජනයයි, චන්දනයයි (Chandana Bandara) තමයි මේකට එකතු වුනේ. යන්තම්පලාවේ සර්ගෙ ගෙදරට ගිහින් තමයි අපි සර්ගෙන් රූට් එක ඉල්ලගෙන යන්න තියෙන්නෙ. උදේම සර්ගෙ ගෙදර ගිහින් සර්ට ආචාර කරලා අපි දැන් සර් ඇඳලා දුන්න පාර දිගේ යන්න පටන් ගත්තා. යන්තම්පලාවෙන් පටන් අරගෙන පුවක්ගස් හන්දිය, කදුරුගස් හන්දිය, රවුම් පාර, ගැට්ටුවාන හන්දිය, මුත්තෙට්ටුගල, දඹුලු පාර, වැව රවුම හරහා, පුත්තලම් පාර දිගේ ඇවිත් වජිරාරාම පාරෙන් ඉස්කෝළෙ ළඟට තමයි ඉතින් මේ පා ගමන. සන්ධිවලින් සහ අතරමැද ස්ථානවලින් වේලාව සමඟ අත්සනක් හෝ රබර් සීල් එකක සමගින් අපි ඒ ස්ථානවලින් ගිය බව ලොග් පොතේ සඳහන් කරගන්න ඕන. විමල් පෙරේරා සරුත් දවල් වෙලා බයික් එකේ එනවා අපි හරියට යනවද කියලා බලන්න. යුනිෆෝම් එකත් ඇඳගෙන කට්ට අව්වේ ගිය මේ ගමනත් ලස්සන මතකයක්.
ඉතින් මේ විදියට අවුරුද්දකට වගේ කාලයක් ගෙවීගෙන ගියා. මේ කාලේදි අපේ කණ්ඩායමට අපේ වයසෙ තවත් සෙට් එකක්ම එකතු වුනා. සංඛ (Sankha Bandara ), චන්දන, අනුරුද්ධ (Anuruddha Sampath Jayathilake) , සුපුන් (Supun Siwantha ), නුවන් (Nuwan Gunarathne ) වගේ උන් ටිකක්. එකතු වුන දිරවන්නෙම නැති එකා තමයි ඒ කාලේ අමරයා (Gishantha Amarasinghe) . සර් ඌව අඳුන්නලා දුන්නේ මේ අපේ "අමරසිංහ සර්ගෙ පුතා" කියලා. මෙහෙම කියද්දිම අපේ සමහර සීනියර් අයියලා ඌ දිහ බැලුවෙත් රුවිතෙට "වරෙන්කො දෙන්න" කියලා. අමරයගේ තාත්තා ඒ කාලෙත් අපේ ජාතික බාලදක්ෂ මූලස්ථානයේ සහකාර කොමසාරිස් කෙනෙක්. රැජින පදක්කම පවා දිනලා හිටපු අපේ විමල් පෙරේරා සර් පවා අමරයගේ තාත්තා යටතේ පුහුණුවුන කෙනෙක්. අමරය අපේ ඉස්කෝලෙට ආවේ අට වසරෙදි සඳලංකාව සෙන්ට්රල් එකේ ඉඳලා. අමරයා ස්කවුටින් ආපු දවසේ අපේ අභීත අයියා ආවා පන්ති කාමරෙකට. "අමරසිංහ නැගිටපන්, තොපෙ තාත්තා මොකෙක් වුනත් කමක් නෑ. මලියදේවෙට ආවනම් මලියදේවෙ ස්කවුටින් කරපන්. නැත්නම් තොට මේකෙ ඉන්න වෙන්නෙ නෑ" කියලා සද්දයක් දැම්මා. අපිත් ඉතින් ෆුල් කොර මූඩ් එකේ හිටියා. අමරයා බය වෙලා. අපි ඉතින් ශේප් එකේ උට කිව්වා අපේ ස්කවුටින් යන විදිය. අමරයත් ටික ටික පුරුදු වුනා. ඌ තාත්තගෙ ස්කවුටින් පැත්තක තියලා මලියදේවේ ස්කවුටින් වලට සෙට් වුනා. ඒ අතර හොරෙන් හොරෙන් උගෙ ගෙදර තියෙන ස්ටිකර, පිහි වගේ ගැජ්මැටික් අපිට විතරක් ගෙනල්ලා පෙන්නුවා.
ඒ වගේම මේ කාලේ 1997 ඒලෙවල් කණ්ඩායම ඉස්කෝලෙ ඇතුලේ ජේය්ෂ්ඨම කණ්ඩායම වුනා. ඒත් ඊටත් වඩා වැඩිමල් සෝමපාල අයියා (Amila Chaminda) සහ තෙන්නකෝන් අයියා යන දෙදෙනාද ඒ වන විටත් ජේය්ෂ්ඨයින් ලෙස විශාල වැඩ කොටසක් සිදුකරා. දවසක් එක්දින කඳවුරකදී සෝමපාල අයියා කියා සිටියා "මේ ෆෝම් එක පුරවලා දෙන්න රු 50ක් එක්ක" කියලා. මම ළඟ රු 50 ක් තිබුන නිසා ඒක පුරවලා දුන්නා. අමරයා කිව්වා "ලබන අවුරුද්දේ ජාතික ජම්බෝරියක් තියෙනවා, මේ ඒකට බං. මේක අනිවාර්යෙන් පුරවපන්" කියලා, ඉතින් එදා ආපු කීප දෙනෙක් පුරවලා දුන්නා. ඉස්කෝලෙ අන්තිම වාරේ නිවාඩු දෙන්න කිට්ටු වෙලා ස්කවුටින් තිබුන දවසක සෝමපාල අයියා ඇවිත් කිව්වා "ළමයි, අපේ ජාතික බාලදක්ෂ සංගමයෙන් සංවිධානය කරන 5 වෙනි ජාතික ජම්බෝරියට අපේ කණ්ඩායමක් තෝරාගෙන තියෙනවා. මම කියන්නම් ඒ කවුද කියලා". ඉතින් අපේ වයසෙන් තේරුණ කණ්ඩායමට හිටියේ මම, චානක, දිනේෂ්, ධනූෂ, අමරයා, නෙරන්ජන්. "මේකට සහභාගි වෙන්න තොරගෙන තියෙන කණ්ඩායමට නිවාඩු කාලේ දිගටම ඒ සඳහා පුහුණු වැඩසටහන් තියෙනවා. ඒවට ආවෙ නැතිනම් එක්කරගෙන යන්න වෙන්නෙ නෑ." මෙහෙම කියලා ඉවර වුනාට පස්සෙ අමරය ජම්බෝරිය ගැන සෑහෙනට අපිට විස්තර කරලා දුන්නා. මුළු ලංකාවෙම හැම ඉස්කෝලෙකින්ම බාලදක්ෂයො මේකට සහභාගි වෙන විදිය, දවස් 7ක් පුරාවට කඳවුරු සෑදීම ආදිය රස කර කර කිව්වා. ඉතින් අපි නිවාඩු කාලෙ පටන් ගත්ත දවසෙ ඉඳලා පුහුණුවීම් වලට එන්න බලාගෙන ගෙවල්වලට ගියා.
-1998 අවුරුද්ද සමග මතු සම්බන්ධයි-


Monday, August 2, 2021

කොරෝනා ලියවිලි 14 - අපේ බෝඩිම් ජීවිතේ

 කොරෝනා ලියවිලි කියලා ඒ දවස්වල ගෙදරට වෙලා ඉද්දී ඔහේ ලිව්වා වෙනසකට. එහෙම ලියවිලි 13ක්ම ලිව්වා ගිය අවුරුද්ද වෙනකල්ම. ඊට පස්සේ දෙවෙනි රැල්ල පොඩ්ඩක් පාලනය වුනාට පස්සේ ආයි ලියන්නම බැරි වුනා සහ ආයි ලියන්න වෙයි කියලා හිතුවෙත් නෑ. ඒත් ආපහු කොරෝනා අපි ලඟටම දරුණුම විදියට ඇවිත්. දැන් ආපහු ගෙදර ඉඳලා වැඩ කරන්න පටන් ගත්තා. මේ ලියවිල්ල එහෙම ලිව්වෙ වැඩ කරලා මහන්සි වෙලාවට රෑ වුනාම ටික ටික. එක අතකට ලොකේ වෙන දේවල් ගැන හිතනවට වඩා ලියන එක මනසට සෑහෙන සැහැල්ලුවක්. මේක ලියන්න හිතුවේ අපේ බෝඩිම් ජීවිතය ගැන. ඒලෙවල් කරලා කොළඹ කැම්පස් යනවා කියලා හරියටම දැනගත්තට පස්සේ කුරුණෑගල අපිට ඉතින් බෝඩිමක් හොයනවා ඇරෙන්න වෙන විසඳුමක් නෑ. ඉතින් කොළඹ කැම්පස් එන්න හිටපු අපේ ඉස්කෝලෙම අපි හතර දෙනෙක් සෙට් වුනා එක බෝඩිමකට සෙට් වෙමු කියලා. මමයි අසිතයයි (Asitha Bandara) ඒලෙවල් කාලෙත් අසිතයගෙ ගෙදරම හිටපු නිසා අපි දෙන්නම එකට සෙට් වෙමු කියන එක කොහොමත් තීරණය කරලා තිබුනේ. අකලංකය (Akalanka Senevirathne) අසිතය එක්ක ඉස්කෝලෙ කාලෙ ලොකුවට සම්බන්ධයක් තිබුනේ නැතත් ඌ මගෙ ෆිට් එක නිසාත් අසිතයා දුන්න සිමා ලණුව අපි දෙන්නම කාලා තිබුන නිසාත් අකලංකයත් අපිත් එක්කම සෙට් වෙමු කියලා කතා වුනා. බෙන්ජා (Pubudu Dissanayake) අපේ ගමේ මගේ බොක්ක, මට වඩා අවුරුද්දක් වැඩිමල් වුනත් ඌත් අපිත් එක්කම සෙට් වුනා එකම බැච් එකට. ඇත්තටම පුබුදු අයියා කියලා මම දිගටම කතා කරපු බෙන්ජා දිගටම බෙන්ජා වුනේ බෝඩිමේ ෆිට් එකටමයි. ඉතින් බෙන්ජාත් එක්කම මම, අසිත සහ අකලංක සෙට් වුනා එක බෝඩිමේ ඉමු කියලා.

---පලවෙනි කොටස : බොරැල්ල බොඩිමේ පලවෙනි මාසේ---
ඔන්න දැන් ඉතින් අපි බෝඩිම් හෙවිල්ල පටන් ගත්තා. අපේ තාත්තා කොළඹ වැඩ කරපු නිසා අනික් ගෙවල් ඔක්කොම හිතුවෙ අපේ තාත්තා ගේමක් නැතිව අපිට බෝඩිමක් හොයල දෙයි කියලා. හැබැයි සිමා කරන්න හොයලා දුන්න බෝඩිම මතක් වෙද්දී මටයි,අකලංකයටයිනම් තාත්තා ඒ වැඩේ හරියටම කරයි කියලා හිතුනෙ නෑ. "අන්කල් ඉතින් කොහෙ හරි හොයලා දෙයි. හැබැයි අර ගල්කිස්සෙ පොට් එක වගේ වෙයිද බං?" අකලංකයයි, අසිතයයි ඉඳලා හිටලා ඇහුවා. තාත්තා වැලිකඩ යාළුවෙක්ගෙ ගෙයක් තියෙනවා කියලා අපිත් ගිහින් බලලා ඔක්කොම හරි කියල හිතන් ඉද්දී අන්තිම වෙලාවේ යාළුවා වැඩේ කචල් කරා. ඊට පස්සේ තාත්තාට අපේ අම්මගෙනුත් බැනුම් කෝටියයි. පස්සෙ තාත්තා හොයාගෙන ආවා බෝඩිමක් "ඒකනම් හොඳටම හොඳ තැනක්, හොඳ මනුස්සයෙක් ඉන්නේ. මෙඩිකල් ෆැකල්ටි ළමයි තමයි ඉන්නේ වැඩිපුරම" කියලා. ඒක තිබුනේ බොරැල්ලේ කොටා රෝඩ් එකේ ස්ටේසමට පිටිපස්සෙ. අපි ඉතින් හිත හදාගෙන ගියා එතනට. රූම්ස් දෙකක් දෙන්නෙක්ට එක ගානේ තමයි තිබුනේ, මතක විදියට ඒ කාලේ රූම් එකකට පන්දාහක්. ඒකට ගියාම තමයි පොඩ්ඩක් ඇඬෙන්න වගේ ආවේ. ඒ රූම් දෙකම එකට තිබ්බත් හෙනම පොඩියි. දෙන්නෙක්ට හැරෙන්නවත් බෑ. නිදාගන්න තිබුන ඇඳ වගේ එකේ එක පැත්තකට නිදාගත්තොත් අනික් පැත්ත හැරෙන්න ඉතින් ඇඳෙන් බැහැල ආයි හැරිලා ඇඳට එන්න ඕන. පළවෙනි දවස හිත හදන් හිටියා. ඒ බොඩිමී පඩි පෙලක් තිබුනා උඩ කාමරවලට යන. අපි හතර දෙනාම රෑ වෙනකල් පඩි පෙලේ වාඩි වෙලා බෙන්ජගේ කතා අහ අහ හිටියා. පුළුවන් තරම් කැම්පස් එකේ රැග් කතන්දරෙත් ඉවර වෙනකල් හවස් වෙනකල්ම ඉඳලා තමයි එන්නෙ. රෑට නිදාගන්න ගියාම අපිට ඇහෙනවා ඔන්න ඒකෙ නතර වෙලා ඉන්න මෙඩිකල් ෆැකල්ටි උන් එනවා මහ රෑ වෙලා. පස්සේ තමයි තේරුනේ උන් ඒකට එන්නෙ නිදන්න විතරයි කියලා.
දැන් දවස දවස ගෙවීගෙන යනවා. පලවෙනි මාසෙ ඉංග්රීසි කතන්දරේ විතරක් උගන්නන නිසා බෝඩිමට ඇවිත් කරන්න කියලා ලොකු දෙයක් නෑ කයිය ගහන එක ඇරෙන්න. ලොකුම මාතෘකාව වුනේ ඉතින් බැච් එකේ හිටපු කෑලිවලින් කොහොමහරි එකක් අසිතයට සෙට් කරලා දෙන්නේ කොහොමද කියලා. හිටපු හැම කෑල්ලකගෙම සම්පූර්ණ විවරණය දෙන්නෙ බෙන්ජා. අඩුපාඩු සම්පූර්ණ කරන්නේ අකලංකයා. කෑමත් ඉතින් එක්කො බොරැල්ල හන්දියෙන් කාලා එනවා, නැතිනම් කඩෙන් ගෙනල්ල කනවා. ඒ අස්සෙ අසිතයට සිමා එක්සෑම් සෙට් වෙලා ඌ විතරක් රූම් එකට ගිහින් පාඩම් කරන්න පටන් ගත්තා. බෙන්ජා දවසක් අසිතයව බලන්න රූම් එකේ ජනේලෙ ගාවට ගියා. "ඒයි, මෙහෙ වරෙන්කො" කියලා ශේප් එකේ කිව්වා. බලද්දී අසිතයා හෙනම මනෝ පාරක්, ඌ උගෙ කොණ්ඩෙ ගැලවෙන කෙස් ගාන ගණන් කරනවා. ආයි කල්පනා කරනවා. මේ කාලෙ වෙද්දී අසිතයගේ කොණ්ඩෙ යන්න පටන් අරන් තිබුනා. අපි ඌව බයිට් කරලා ආපහු ගෙන්න ගන්නවා අපේ කයියට. ඔහොම ටික දවසක් යද්දී අකලංකයා ඉතින් සුපුරුදු යෝජනාව ගෙනාවා. "යද්දී මොනා හරි අරන්යමුද?", "හා" කියලා ඉතින් මමයි අසිතයයි දෙන්නම කිව්වා. බෙන්ජා ඔය කාලෙ කටේවත් තියන්නෙ නෑ. අපේ කාමරේට ගල් බෝතලේ ගෙනල්ල ශේප් එකේ ඇතුලෙන් තියලා එකා එකා ගානේ ඇතුලට ගිහින් එකක් දාගෙන එනවා. අපි බෝඩිමට ආපු පළවෙනි දවසේ ඒකෙ අන්කල් කිව්වේ "මම මේ බෝඩිමට ළමයි ගන්නේ ගොඩාක් හොයලා බලලා, අර ජල සම්පත් මණ්ඩලේ මහත්තයා තමයි මෙහෙ ආවේ. මෙහෙ නීති දෙකක් තියෙනවා. එකක් අනික් අයට කරදර වෙන විදියට ඉන්න එපා. අනික් එක මත්පැන්නම් සපුරා තහනම්". ඒත් සතියක් යද්දී මමයි, අකලංකයයි, අසිතයයි වැඩ ඇල්ලුවා ශේප් එකේ මාට්ටු වෙන්නෙ නැති විදියට.
හැබැයි සති තුනක් විතර යද්දී අපි කයිය ගහන ගමන්ම "මේ බෝඩිමනම් හරියන්නේ නෑ බං, දැන් ඉන්න පුළුවන් වුනාට මේකෙ ඉඳන් පාඩම් කරන එකනම් කරන්න වෙන්නෙ නෑ." කියලා අපි කතා වුනා. මේ වෙද්දි දවසක් ඇර දවසක්ම වගේ මමයි අකලංකයයි ගල් බාගයක් ගේන්න පුරුදු වෙලා හිටියෙ. "යකෝ මට මේකෙ දැන් නින්ද යන්නේ බිව්වොත් විතරයි, වෙන තැනක් හොයමු" කියලා අකලංකයත් කියන්න ගත්තා. හරියටම ඔරියන්ටේෂන් එක මාසෙකින් ඉවර වෙද්දීම ස්ට්රයික් එකක් ඇවිත් කැම්පස් වැහුවා. අපි සෙට් එකම ගෙවල්වලට ගියා. එහෙම ඉන්න ගමන් අපි හැමදාම පත්තරේ අරන් තැන් හොයන්න ගත්තා. අපි හැමෝගෙම මතය වෙලා තිබුනේ වෙනම ගෙයක් අරන් පොඩ්ඩක් සැපේ ඉමු කියලා. ගෙවල්වලින් වුනත් ඒ වැඩේට කැමති වුනා. දවසක් අසිතයා කෝල් එකක් දීලා කිව්වා උදෙන්ම "මචං,මම සිමා ක්ලාස් ආපු ගමන් දෙහිවල තැනක් බැලුවා. හොඳටම හොඳයි. කාමර දෙකක් තියෙනවා. ඉන්න මිනිස්සුත් ශේප් වගේ. උඹලාත් ඉක්මණට වරෙන්. කැමතිනම් අදම ඉවරයක් කරමු". අකලංකයා ඒ වෙලාවෙත් අපේ ගෙදර හිටියේ. බෙන්ජාත් අපේ ගෙවල්වලට හූවක දුර. පටස් ගාලා සෙට් වෙලා කොළඹ යන්න පිටත් වුනා බස් එකේම. කෙලින්ම දෙහිවලට ආවා පුළුවන් තරම් ඉක්මණට. මොනා වුනත් අසිතයා ලේසියකට දෙයක හොඳක් කියනවා අඩු නිසා අපි ඉක්මණටම ආවේ අනිවාර්යෙන්ම හොඳ එකක් වෙන්න පුළුවන් නිසා.
---දෙවෙනි කොටස : දෙහිවල බොඩිමේ අවුරුදු තුන---
අපි හිතුවා හරි. හරියටම තිබුනේ දෙහිවල හන්දියේ විජය කුමාරතුංග පිළිමෙත් එක්ක තිබුන කඩ ටිකට පිටිපස්සේ. කැම්පස් එකට යන්න 155, 154 බස් දෙකත් සෙට් වෙනවා. ගාලු පාරෙ බස් ඕන තරම්, දෙහිවල ස්ටේසමට පයින් යන දුර. ඒ කාලෙ ගුවන් පාලම නෑ. ජනාකීර්ණ තැනක් වුනත් අයිඩියල් ප්ලේස් එක. උඩ තට්ටුවේ කාමර දෙකයි, සාලයයි, කුස්සියයි සහ බාත් රූම් එකයි. රෙන්ට් එකත් කීවේ නවදාහයි. සාලේ ටයිල් කරලා තිබුනා. යට තට්ටුවෙ හිටියෙ ඒ ගෙදර අයිති අන්කලුයි, ඇන්ටියි, අක්කයි. ඔක්කොම බලලා ඉවර වුනාම අපි හතර දෙනාටම අල්ලලා ගියා තැන. "අන්කල් අපි කැමතියි මෙතනට, කොහොමද අපේ ඉතුරු වැඩ ටික වෙන්නේ?", අන්කල්ගෙ නම ටයිටස් කියලා කිව්වා. ඇන්ටි අපි ටික දිහා බලලා කිව්වේ "අනේ, හරිම හොඳ ළමයි ටිකක් වගේ, අපිත් හරිම කැමතියි කැම්පස් ළමයි ටිකක් එනවානම්". බෙන්ජා එහෙම මේ වගේ වෙලාවට උගෙ මායම් ඔක්කොම දානවා. "අනේ, ඔව් ඇන්ටි අපි ගොඩාක් තැන් බලලා තමයි මෙතනට ආවේ" කියලා ඌ දත කට මැදගෙන කිව්වා. අසිතයත් ඉතින් පොඩ්ඩක් ඩීසන්ට් පිට හිටියත් අකලංකයා මම දිහා බැලුවේ "යකෝ, අපි දිහා බලපුවාම ඒ වගේ පේනවද?" වගේ බැල්මක්. කොහොමහරි අන්කල් කිව්වා "පුතාලා අපි බදු ඔප්පුවක් ලියලම වැඩේ කරමු". ඉතින් අපි පොඩි ඇඩ්වාන්ස් එකක් අන්කල්ට දීලා ආපහු කුරුණෑගල එන්න පිටත් වුනා.
කැම්පස් පටන් ගත්තා. බොරැල්ල බෝඩිමට සමුදීලා අපි දෙහිවලට ආවා. බදු ඔප්පුවකුත් ලිව්වා අවුරුද්දකටම. බොරැල්ලෙ ප්ලේස් එකත් එක්ක බලද්දී මේක දිව්ය ලෝකයක් වුනා. සාලෙට අපි හතර දෙනාටම පාඩම් කරන්න පුළුවන් ලොකු මේසයක් හම්බුනා අන්කල්ගෙන්. එක ඇඳක් තිබුනා එක කාමරේක. ඒකට අපි තුන්ඩු ඇද්දා. ඒ ඇඳ තුණ්ඩු ඇදීමෙන් මට හම්බුනා. අපි සල්ලි දාලා ප්ලාස්ටික් පොත් රාක්කයක් ගෙනාවා පොත් තියන්න. හැමෝම මෙට්ට අරන් ආවා. පස්සේ ඇඳන්, කම්පියුටර් ටික තියන්න ප්ලාස්ටික් මේස, පුටු ඔක්කොම ගත්තා. හතර දෙනාම ෆුල් හැපී මෝඩ්. කාමර දෙක බෙදාගත්තා. ලොකු කාමරේ මමයි අකලංකයයි, මැද කාමරේ අසිතයයි බෙන්ජයි. අසිතයයි බෙන්ජයි ICT Degree Program එකේ, මමයි අකලංකයයි Computer Science ඩිග්රි ප්රොග්රෑම් එකේ. අපිට මාරම නිදහසක් දැනුනා මෙතන. සාලේ වාඩිවෙලා හිතේ හැටියට කුණුහරුප ටිකක් කියාගෙන කයියක් ගහන්න පුලුවන් නිදහසක්, අත පය දිගඇරලා නිදාගන්න පුළුවන් නිදහසක්, බෝතලයක් ගෙනල්ලා වාඩිවෙලා බොන්න පුළුවන් නිදහසක්, අත දිග ඇරලා ඉන්න පුලුවන් නිදහසක් ජීවිතේ පලවෙනි පාරට ලැබුනා වගේ දැනුනා.
ඔහොම සතියක් විතර යද්දි කැම්පස් එකට ගිහින් NAT එක ලඟ ගහ යට වාඩි වෙලා ඉද්දී අපේ බැච් එකේ මියුරුවා (Miyuru Wanninayaka ) මම ලඟට ඇවිත් වාඩිවෙලා විස්තර අහන ගමන් ඇහුවා "අඩේ මචං, උඹලා බෝඩ් වෙලා ඉන්නේ කොහේද?", මම කිව්වා "දෙහිවල හන්දියෙන් අපි උඩ තට්ටුවක් ගත්තා බං, බොරැල්ලේ බෝඩිමක ඉඳලා අපිට එපා වුනා" කියලා. මම ඉතින් අපි ඉන්න සැප ගැන උට කිව්වාම ඌ ඇහුවා "අඩේ, ඉඩ නැද්ද? මටත් බැරි වෙයිද බං එන්න? මට දැන් ඉන්න බෝඩිමේ ඉඳලා එපා වෙලා ඉන්නෙ.". "මට විතරක් තනියම කියන්න අමාරුයි, මම අනික් උන්ගෙන් අහලා කියන්නම්" කියලා ශේප් වෙලා ආවා. මියුරුවාත් කුරැණෑගලම තමයි, හැබැයි ඌ ඉස්කෝලෙ ගියෙ සෙන්ට් ඈන්ස් එකට. ඉස්සර මගේ දහම් පාසලේ යාළුවෙක් හිටියා නුවන් කියලා, ඌත් සෙන්ට් ඈන්ස්. ඔය නුවන් හැමදාම දහම් පාසල් ඇවිත් හෙනම ටෙක්නිකල් ටොම් පච ගහනවා මියුරුවා කිව්වා කියලා. මම ඒ කාලෙ උට කියලා තිබුනේ "උඹ ඔය මියුරු කිව්වා කියලා ටොම් පච ගහන්න එපා අපිත් එක්ක, ආයි මියුරුවා ගැන කිව්වොත් උඹට ගහනවා" කියලා. මම බෝඩිමට යන ගමන් කල්පනා කර කර ගියෙ තාමත් දැන් ඒ පච කිව්වා කියපු මියුරුවාමද මේ කියලා. මම බෝඩිමට ගිහින් අනික් උන්ට සීන් එක කිව්වා. අසිතයයි බෙන්ජයි දෙන්නම නියුට්රල් මියුරුවා කුරුණෑගල නිසා. අකලංකයා බුම්මගෙනම කිව්වා "ඌ බොනවනම් විතරක් එන්න කියපන්, නැතිනම් එපා" කියලා. බෙන්ජත් බොන්නෙ නැති එකේ, ඌ කියපු එකත් ඇත්ත කියලා හිතුනා. මම ඊළඟ දවසේ මියුරුවට සීන් එක කිව්වා. "මචං, මම කතා කරා සෙට් එකම එක්ක, හැබැයි පොඩි කොන්දේසියක් තියෙනවා, උඹ බොනවානම් විතරයි එන්න වෙන්නෙ". මියුරුවා ටිකක් කල්පනා කරලා "මම එන්නම් මචං, බොන සීන් එකටත් සෙට් වෙන්නම්", ඌ දිහා බැලුවමනම් මට බොන පාටක් පෙනුනෙම නෑ. "අද රෑ මම එහෙනම් එන්නම්" කියලා මියුරුවා ගියා. එදාම රෑ මෙන්න මියුරුවා උන්ගෙ තාත්තත් එක්ක සබ්බ සකලමනාවම අරන් රෑ වෙලා ආවා බෝඩිමට. අලුත්ම ඇඳක්, සුපිරිම මෙට්ටයක්, LCD මොනිටරයක්, මේසයක් ඔක්කොම එක්ක මූ ආවා. අකලංකයයි මමයි හිටපු කාමරේට ඌත් සෙට් වුනා. දැන් අපි ඔක්කොම පස් දෙනයි. "හම්මෝ මචං, මෙතන පට්ටයිනේ" කියලා මියුරුවත් අපිත් එක්ක සෙට් වුනා.
ඔන්න මියුරුවා සෙට් වුන එකටත් හරියන්න අපි පලවෙනි පාටිය දැම්මා බෝඩිමේ. ගල් බෝතල් දෙක තුනක් ගෙනාවා. අශ්විනයයි, සහනයිත් ආවා. දැන් ඉතින් සාලෙ හරි බරි ගැහිලා බිම පැදුරක් එහෙම දාලා ප්ලාස්ටික් කෝප්පයක් එහෙම අරන් හැමෝම සෙට් වුනා. ඒත් මියුරුවා විතරක් කුස්සියෙ තිබුන අසෝක වීදුරුවක් උස්සගෙන ආවා. අකලංකය මගේ කනට කරලා ශේප් ඇහුවා "උඹට, ශුවර්ද හු** මූ බොන එකෙක් කියලා?", "හම්මට, ඒකනේ, එක්කෝ මූ බොනවා කියලා බොරු කියලා තියෙන්න, නැතිනම් අපිට හැරෙන්නවත් බැරි එකෙක්" මම කිව්වා. වැඩේ පටන් ගත්තා. ගල් ගහන එක ඉතින් අනික් ඒවා වගේ ලේසි නෑනේ. මියුරුවා පුරවාගත්තා අසෝක වීදුරුවෙන් බාගයක්ම. මට නිකන් පිස්සු වගේ. අනික් උන් ටික පිලිවෙලට පොඩි සොට් ටිකක් දාගත්තා. මියුරුවා ඉතිරි බාගේ දාගත්තා කොකා කෝලා. අපි අමාරුවෙන් පලවෙනි සොට් එක දාගද්දි මියුරුවා අසෝක වීදුරුවම බිව්වා එක පාරට. අනික් උන් ඔක්කොම බය වුනා මාත් එක්කම. වට දෙකයි ගියෙ, මියුරුවා තව අසෝක වීදුරු බාගයක් ගැහුවා. බුවා ඩවුන්. අපි ඉතින් පාටිය ඇදන් ගියා සින්දු ටිකක් එහෙම කියලා. බෙන්ජා ඉතින් බොන්නෙ නැතිව අපිට පොඩි සප් එකක් දුන්නා බෙර පාරක් එහෙම ගහලා. "අරූ බොන එකෙක් නෙමිද කොහෙද බං? බෝඩිමට එන්න ඕන හින්දා උඹට බොරුවක් කියලද කොහෙදො" කියලා බෙන්ජා කිව්වා. බෝඩිමේ දාපු පළවෙනි පාටියයි සින්දු ටිකයි නිසාද මන්දා අන්කල් උදේම අපි සෙට් එකට දෙහි වීදුරු වගයක් ගෙනල්ලා දුන්නා. අපිට පොඩ්ඩක් අවුල් වගේ. "අන්කල්, අපි ඊයෙ පොඩ්ඩක් සද්දේ වැඩි වුනාද මන්දා?" මම ශේප් එකේ ඇහුවා. "පිස්සුද චාමර, කොල්ලො වුනාම ඉඳලා හිටලා පොඩි ෆන් එකක් ගන්න ඕන. අපිත් කැම්පස් හිටියනේ. අපිත් අහගෙන හිටියෙ සින්දු ටික ඔක්කොම. නියම ගායකයොනේ" කියලා අන්කල් කිව්වා. අපි දෙහි ටික බීලා මියුරුවා බයිට් කරගෙන හිටියා.
දැන් ඔන්න මාසයක් විතර ගියා අපි දෙහිවලට ඇවිත්. දවසක් අසිතයා ඇවිත් ඇහුවා. "මචං, උඹ දැක්කද අපේ බාත් රූම් එකේ කොමඩ් එක ඉරි තලලා තියෙනවා යට හරියෙන්.". "කෝ බලන්න" කියලා මාත් ගිහින් බැලුවා. "අඩෝ සිරාවටම" කියලා මාත් පොඩ්ඩක් බය වුනා. "කොහොමද බං එහෙම වෙන්නේ? හොඳටම තිබුනනේ" කියලා අපි දෙන්නම කල්පනා කරා. බෙන්ජයි අකලංකයත් ඕක දැක්කා. "අඩෝ, මේකේ වැරදි විදියට වාඩි වෙන එකෙක්වත් ඉන්නවද?" කියලා අපි කතා වුනා. මියුරුවා ඒ කාලෙ හොඳටම තඩි සයිස්ය. "මියුරුවාගේ බර ඔරොත්තු දෙන්නෙ නැද්ද මන්දා" කියලාත් අපි කතා වුනා. කොහොමහරි සැකය එල්ල උනේ මියුරුවට. මම උදේම හිටියා මියුරුවා බාත් රූම් එකට යනකල්. ගියාට පස්සෙ ටික වෙලාවකින් දොරට යටින් පොඩි තීරුවෙන් බාත් රූම් ෆ්ලෝ එක දිහා බලද්දී මියුරුවාගේ කකුල් දෙක පේන්න නෑ. "අඩෝ තඩියා, බැහැපන් හු*** බිමට. වරෙන් එලියට", මම කෑගහද්දී අනික් උනුත් ආවා. මියුරුවාත් කකුල් දෙක බිම තියලා හෝදගෙන දුවගෙන ආවා එලියට සට පට ගාලා. "ඇයි බං?" මියුරුවා බය වෙලා. "දැන් උඹ ඔය කොමඩ් එක උඩට නැගලා නේද හිටියේ?" මම ඇහුවා. "ඔව් බං, මොකක් හරි අවුලක්ද?", "අවුල් නැද්ද යකෝ, තෝ මැරෙන්නද දඟලන්නේ ඕක උඩ නැගලා? ඕක කඩන් වැටුනොත් මල මගුලයිනේ. දැනටමත් ඉරි තලලා" මම කිව්වා. "මම හැමදාම ඉතින් එහෙමනේ කරන්නේ?", අපිට ඉතින් වෙලා තිබුන දේ තේරුනා. මියුරුවාට කොමඩ් එකේ බොඟක් දාන විදිය කියලා දෙන්නත් වුනා. "මූ යකෝ නොදන්න මගුලක් නෑ, මේකෙ රීපු හැටි විතරක්" කියලා බයිට් එක දෙද්දී ඌ හිනා වෙලා ඊළඟ දවසෙ ඉඳලා හරියට ඉඳගත්තා. වෙන්න ගිය ලොකු අනතුරක් නවත්තගත්තා දෙයියනෙ කියලා.
තව සතියක් දෙකක් යද්දි, "මචං අපි කඩෙන් කන්නෙ නැතිව උයන් කමුද?" කියලා මියුරුවා පොඩි අයිඩියා එකක් දැම්මා. මමයි, අසිතයයි, බෙන්ජයි තුන්දෙනාම ඉතින් ජනාධිපති බාලදක්ෂයොනේ කියලා වැඩේට එකපයින්ම කැමැති වුනා. "මම දන්න ඉවිල්ලක් නෑ බං" කියලා අකලංකයා බර බරේ. ඒත් යෝජනාව සම්මත වෙලා අපි වැඩේට බැස්සා. ගෑස් කුකර් එකයි සිලින්ඩරෙයි මම අපේ ගෙදරින් ගෙන්න ගත්තා. රයිස් කුකර් එකක් මියුරුවා ගෙනාවා. අනික් ඕන බඩු ටික අනික් උන් තුන් දෙනා ගෙනාවා. පස් දෙනාම එකා 500 ගානේ දාලා පොඩි කලෙක්ශන් එකක් දාලා ටින් එකකට දැම්මා. පස් දෙනාම ගිහින් හාල්, පරිප්පු සහ අනික් හැමදේම ගේන්නෙ දෙහිවල ආපිකෝ සුපර් එකෙන්. රෑට උයන්න ප්ලෑනක් ගැහුවා. මමයි, මියුරුවයි එක දවසක් උයනවා. අසිතයයි බෙන්ජයි අනික් දවසේ. බිත්තරයක්වත් හරියට කඩාගන්න බැරි අකලංකයා බාරගත්තා පොල් ගෙඩියක් ගාන්න. ෆ්රිජ් එකක් නැති නිසා ඉතින් පොල් ගෙඩියම ගානවා. කිරි ටිකත් ගන්නවා. පරිප්පුව හැමදාම හැදුවා, මිටිකිරි විතරක් නිසා සුපිරියට එනවා පරිප්පුව. තව මොනවහරි දෙකක් හදනවා අනිවාර්යෙන්ම. ගොටුකොළ සම්බෝලෙ, සැමන් තෙල් දාලා හදලා ගන්න එක, බිත්තර, ගෝවා, සොසේජස් වගේ එව්වා තමය්යි ආයි වැඩිපුරම හැදුවේ. බත් එකත් රස්නෙට එන නිසා කෑම ටික සුපිරියටම ආවා. මියුරුවා ස්පේශල් ලීක්ස් සම්බෝලයක් හදනවා සමහර දවස්වලට. ඒකත් නැගලම යනවා. ගොඩක් දවස්වලට අස් කරන එකත් කරන්නෙ අකලංකයා. මෙහෙම පටන්ගත්ත ඉවිල්ල අපි දිගටම කරා අපේ ඉන්ටන්ශිප් එක පටන්ගන්නකල්ම. මාසෙටම දාන 500/- ඇති මාසෙම රෑට කන්න. අපි ඉව්වෙ රෑට විතරයි. හැම මාසෙම පටන් ගද්දී අපි ආපිකෝ යනවා. පස්සෙ ඉතින් සෙට් වෙනකොටත් බයිට් එක අපිම හදාගත්තා ඔක්කොම බඩු ටික තියෙන නිසා.
මියුරුවාගේ තිබුන අනික් විශේෂත්වය තමයි ඌ මොන මගුල තිබුනත් රෑ දහය වෙද්දී නිදන්න යන එක. එහෙම ගිහින් කොට ඉරන්න ගන්නවා. ඉරන්නෙත් එසේ මෙසේ කොට නෙමි, බුරුත කළුවර වගේ එවා. අපිට සාලේ ඉන්න බැරි තරමට උගෙ කොට ඉරිල්ල. මම නිදන්න යන ගොඩක් දවස්වලට උට පොඩ්ඩක් ඇහැරවලා කොටේ ඉරන එක පොඩ්ඩක් නතර කරලා තමයි නිදන්න යන්නේ. සමහර දවස්වලට බෙන්ජා අනික් රූම් එකේ ඉඳලා මොර දෙනවා "ඕයි, තඩියා නවත්තපන් ඕක". ටික දවසකින් මගේ ඇඳ ලඟම කොස්සක් තියාගත්තා මියුරුවාගෙ ගොරවන එක පොඩ්ඩක් වැඩිවෙද්දී පොඩ්ඩක් අනින්න. අපි අනික් උන් ටික නිදද්දී අඩුම ගානේ දොලහවත් වෙනවා. මේ වෙද්දී අසිතයා කැරම් බෝඩ් එකකුත් ගෙනාවා. කැරම් ගහන්න වගේ කීයටවත් මියුරුවා ගන්නේ නෑ. උට අපිට අවුරුදු තුනටම කැරම් උගන්නන්න බැරි වුනා. වෙන එකෙක් නැති වෙලාවට ඉඳලා හිටලා හරි කැරම් ගහන්න මියුරුවා ගත්ත දවසට ඉත්තො අහුලගෙන එන්නෙ අල්ලපු ගෙවල්වලින්. තව සමහර දවස්වලට මැද කාමරේ ඇඳන් දෙකේ පස් දෙනාම දිගාවෙලා කතා කියනවා. මග දිගට වුන දේවල්, කැම්පස් එකේ වුන දේවල්, ලෙක්චර්ස්වල නින්ද ගියපු ඒවා. අකලංකයා ඇර අනික් උන් හතර දෙනාම නාලා එහෙම තමයි ඇඳට සෙට් වෙන්නෙ. අකලංකයා රෑට නෑවොත් අනික් දවසම ඌ ඩවුන්. අසිතයා අඬනවා අකලංකයා උගෙ ඇඳට එද්දී.
කාලය මෙහෙම ගෙවෙද්දී අපේ සෙමෙස්ටර් ඉවරවෙලා එක්සෑම් සෙට් උනා. පළවෙනි සෙමෙස්ටරේනම් මමත් ඉඳලා හිටලා නිදන්න බලාගෙන හරි ලෙක්චර්ස් ගියා. මියුරුවානම් අනිවාර්යෙන්ම ඉදිරි පෙළ වෙලාවට එකම ලෙක්චර් එකක්වත් කට් වෙන්නෙ නැතිව ගියා. ලෙක්චර් නැති හැම වෙලේම මියුරුවා හිටියෙ ලැබ් එකේ. ඒක නිසා එක්සෑම් සෙට් වෙද්දී මියුරුවා හිටියෙ පට්ට කම්ෆටබල් සීන් එකේ, ඌ පුරුදු විදියටම 10ට නින්දට යනවා. මටත් හැමදාම රෑට කුප්පියක් දාලා තමයි ඌ නිදන්නේ. අසිතයයි බෙන්ජයිත් උන්ගෙ සබ්ජෙක්ට් ගොඩ දාගෙන ගියා උන් දෙන්න සෙට් වෙලා. ඒත් අකලංකයට ඔක්කොම ඉවර කරලා පාඩම් වැඩේට එන්නේ 10ත් පහුවෙලා. ඉතින් උට මියුරුවගේ කුප්පිය මිස් වෙනවා. මම උට පුලුවන් විදියට කියලා දෙනවා. මියුරුවාගෙ නියම වටිනාකම තේරුණේ එක්සෑම් කාලෙට, නෑ බෑ නොකියා හැමදෙයක්ම සුපිරියටම කියලා දුන්නා. පොඩි අප්සට් එකක් වුනේ එහෙම කියලා දුන්න සමහර සබ්ජෙක්ට්වලට උට වඩා මට රිසල්ට ආපු එක. මොනා වුනත් ඌ අපේ බෝඩිමට සෙට් වුනෙ නැත්නම් සමහර සබ්ජෙක්ට් ලොවෙත් ගොඩ දාන්න වෙන්නෙ නෑ. එක්සෑම් රිසල්ට් එද්දී කට්ටියම ගොඩ ගිහින් තිබුනා, මියුරුවානම් උඩින්ම ගොඩ හැමදාම.
මියුරුවාගේ කුප්පි දැමිල්ල වගේම තමයි ඌ අතිශයෝක්තියෙන් කියන ටෙක්නිකල් ටොම් පච. ඒවගෙ තාරබර ඇරලා ගත්තාම ඇත්තත් නැත්තෙම නෑ. මට කම්පියුටර් එකක් ගන්න ඕන වෙලා ඒම්ඩි එකක් ගන්න ගියේ ගානත් පෙන්ටියම් එකට අඩු නිසා. "බුදුඅම්මෝ මචං ගන්න නම් එපා ඒම්ඩී, ගිනි ගන්නවා. හෙට වරෙන්කො ලැබ් එකට, මම පෙන්නන්නම්කො වීඩියො ටිකක්" කියලා මාව අම්බානක බය කෙරුවා. මමත් ඉතින් ආපහු ගාණ වැඩි වුනත් මේ යකා කියනවා වගේ ගිනිගත්තොත් එහෙම මල විනාසයක්නේ කියලා පෙන්ටියම් එකක්ම ගෙනාවා. මෙන්න මාස 2-3ට පස්සේ මියුරුවා අලුත් කම්පියුටර් එකක් ගෙනාවා, ඒක ඒම්ඩී. මම ඇහුවා "ඈ යකෝ, දැන් ඒම්ඩී ගිනි ගන්නේ නැද්ද?", මෙන්න මේකා විරිත්තනවා. පස්සෙ අපි ඔක්කොම උගෙ පච එක කණකින් අහලා අනික් කණින් පිටකරන්න පුරුදු වුනා. ඒත් අපෙ බැච් එකේ උගෙ පච අහන්න වෙනම එකෙක් හිටියා සැදි පැහැදිලා. ඒ තමයි බුවා (Damiendra Buwaneka ), ඌත් ඉඳලා හිටලා බෝඩිමට එනවා අපිත් එක්ක සොට් එකක් එහෙම දාලා ආතල් එකක් දාලා යන්න. ඌ එන දවස්වලට විතරයි මියුරුවා ඇහැරලා ඉන්නෙ ඕනම වෙලාවක්, උගෙ හිතේ තියෙන පච ටික ඔක්කොම කියලා දාන්න. බුවා ඒවට වෙරි බහිනකල්ම බොක්කෙන්ම අහගෙන ඉන්නවා. අපි හැම සෙමෙස්ටර් එකක්ම ඉවර වුනාම බෝඩිමේ උන් ටිකකුයි, අශ්විනයයි, සහනයි, බුවයි, තව කීප දෙනෙකුයි ට්රිපක් යනවා. ඒකෙදී බුවාටයි මියුරුවටයි එකට ඉන්න එක අපි තහනම් කරල තිබුනේ, උන් දෙන්න කතා වෙන ඒවා අපිට දරාගන්න බෑ ඒ කාලේ.
පළවෙනි අවුරුද්ද ඉවර වුනා. බෝඩිමේ බදු ඔප්පුව තව අවුරුද්දකට දික් කරා. අන්කල්ටයි ඇන්ටිටයි අපිව එයාලගෙම ළමයි වගේ. සමහර දවසට කෑම හදලා එවනවා. අපිත් ගෙදර ගිහින් එද්දී මොනාහරි අරන් එනවා. බෙන්ජයි මියුරුවයි නම් අනිවාර්යෙන්ම වගේ සිකුරාදට ගෙදර ගියා. ආයි එන්නේ ඉරිදට. අසිතයත් සිමා ක්ලාස් නැත්නම් යනවා ගොඩක් දවසම, මම තමයි අඩුවෙන්ම ගෙදර යන්නෙ. කට්ටිය ගෙදර ගිහින් එද්දී ඉරිදට ගේනවා නියම කෑම රෑට කන්න, මම බත් එකක් තියෙනවා රයිස් කුකර් එකේ. ඉරිදා රෑට කනවා කෑමක් හුස්ම ගන්න බැරි වෙන්න. මේ වෙද්දී බැච් එකේ තව උනුත් ඉඳලා හිටලා බෝඩිම පැත්තෙ ඇවිත් ඉඳලා යනවා. මහපොළ හරි බර්සරි එක හරි හම්බෙන දවසට ඉතින් ගල්, වයිට් බොන එක පැත්තකින් තියලා රොක්ලන්ඩ් රෙඩ් රම් වගේ ගේනවා. වෙනදට ටිකක් පරක්කු වෙනකල් නිදලා කැම්පස් යන මියුරුවා මහ පාන්දර කැම්පස් යන්න ගත්තා. උදේ හයට විතර බෝඩිමෙන් ගියෙ. බලද්දී බැච් එකේ හිටපු අහිංසක ගෑනු ළමයෙක් සෙට් කරගෙන. ඕක දැනගත්ත ගමන් බෙන්ජා කීවේ "පව් බං අර කෙල්ල, දැන් ඉතින් අරූගේ ටොම් පච ටික අහගෙන ඉන්න එපැයි. මොනා වුනත් අපිට කණක් ඇහිලා ඉන්න පුළුවන්" කියලා. ඒත් මේ යකා උදේ පාන්දර නැගිටලා දඟලද්දී මටයි අකලංකයටයි ඇහැරෙන නිසා අපි දෙන්න මලෙන් හිටියෙ. අපි දෙන්නම කිව්වා "උඹ ඕන මගුලක් කරගනින්, උදේට සද්ද නොකර". ඊට පස්සේ මියුරුවා සද්ද නොකර නැගිටලා කුස්සියට ගිහින් ලෑස්තිවෙලා යන්න පටන් ගත්තා.
අපේ කාමරේ ජනේලෙ තිබුනෙ ලෑලි ජනේලයක්, ඒක වහගත්තම උදේ නවයට දහයට වුනත් තියෙන්නේ උදේ හයට වගේ ෆීලින් එකක්. ඒක නිසා එලාම් එකක් තියාගත්තොත් මිසක් නැගිටින එක බොරු. මෙච්චර කල් කොට ඉර ඉර එලි වෙනකල් නිදපු මියුරුවා කොහොමද මෙහෙම වෙලාවට ඇහැරෙන්නෙ කියලා අපිට හෙනම ප්රස්නේ. එලාම් සද්දයක් එන්නෙත් නෑ. "ඌ බොක්කෙන්ම ලව් ඇති, බයටත් එක්ක නැගිටෙනවා ඇති." බෙන්ජා මෙහෙම කිව්වත්, මම නම් කිව්වෙම වෙන්නම බෑ කියලා. දවසක් අපි උගෙන් ඇහුවා කොහොමද යකෝ ඔය පාන්දර 5.30 ට ඇහැරෙන්නෙ කියලා. "මට දැන් ඒක පුරුදුවෙලා, දැන් ගාණක් නෑ බං. ගේමක් නැතිව ඇහැරෙනවා" කියලා හෙනම ටෝක් එකක් දුන්නා. මම ලෙක්චර්ස් නැති දවසකට කලින් දවසේ මියුරුවා නිදාගත්තට පස්සේ උට පොඩ්ඩක් කිට්ටු කරලා බලද්දී ෆෝන් එක කණ ගාවම තියාගෙන නිදි. ෆෝන් එක ශේප් එකේ අරන් බලද්දී වයිබ්රේශන් විතරක් සෙට් වෙන එලාම් එකක් තියාගෙන. මම ශේප් එකේ ෆෝන් එක අරන් ඒක ඕෆ් කරලා නිදාගත්තා. ඊළඟ දවසේ මට උදේ 8ට විතර ඇහැරුනා, අනේ මියුරුවා ඉන්නවා මලක් වගේ නිදාගෙන. මම ශේප් එකේ ගිහින් මූණ හෝදලා එහෙම ලෑස්ති වෙන්න එද්දීත් මූ නිදි. "ඒයි නැගිටපන්, අද ගේමක් නැතිව උඹට ඇහැරිලා නෑ වගේ" කියලා මම කියද්දී මුට පිස්සු වගේ. "අඩේ...මාරයිනෙ" කියලා ඌ කියද්දී "මම ඉතින් උඹට ගේමක් නැතිව ඇහැරෙන නිසා ඇහැරෙව්වෙ නෑ" කියලා කිව්වා. මුට මං ගැන සැක වුනත් ශේප් එකේ මාත් එක්කම ලෑස්ති වෙලා ගියා වැඩි කතාවක් නැතිව.
මියුරුවා ගැන කිව්වා දැන් ඇති වගේ. බෙන්ජා ඉතින් මට පොඩි කාලෙ ඉඳලම පුබුදු අයියා. ඒත් බොඩිමත් එක්ක ඉතින් නිකන්ම බෙන්ජා බොක්ක වුනා. ඒත් ඌ දැන් සොට් එක දාන විදියට බෝඩිමෙ ඉන්න කාලෙ සොට් එක නොදැම්ම එක ගැනනම් අපරාදේ කියලා හිතෙනවා. ඌ ඉතින් අපිට බොන දවසට පට්ට සප් එකක් දුන්නා. එක අතකට ඌ හිටියෙ නැතිනම් බෝඩිමේ දොර වහන්නවත් එකෙක් නෑ එහෙනම්. එදාට මොනා වුනත් ඌ තමයි අන්තිමේට නිදන්නේ එදාට. කතානම් බීවත් නැතත් එලිවෙනකල්ම කියන්න පුලුවන් ඌත් එක්ක. අපි මොන වැඩේ කරත් උට ලේසියකට තරහ යන්නෙත් නෑ. එස් එම් එස් කොටන්න මම හිතන්නේ නෑ අදටත් බෙන්ජා එක්ක ෆයිට් කරන්න එකෙක් ඇති කියලා. ඒ කාලෙ ඉතින් ඌ අක්කල දෙන්නට අහිංසක මල්ලි, ගෙදරට හොඳ පුතා. අපේ ගෙදරින් වුනත් කියන්නේ "අර පුබුදු වගේ වැදගත් විදියට ඉන්න" කියලා. බෝඩිමෙ ඇන්ටිට, අන්කල්ට, අක්කට වුනත් ඉතින් ඌ මල් කැකුළ. අසිතයාගෙ ඉතුරු කොණ්ඩෙ ටිකත් අපේ බෝඩිමේම බිමට වැටිලා ගියා. ඌ එවාමාටින් ගාගන්නවා බෙන්ජට කියලා, බෙන්ජා ෆුල් බොක්කෙන්ම ගෑවා පව්නේ අහිංසකයා කියලා. අසිතයා දවස් 5ක් අපිත් එක්ක කැම්පස් යන්න පිටත් වුනොත් 3ක් ආපහු හැරිලා එනවා උට අමතක වුන මොකක් හරි අරන් යන්න. අපි ඉතින් ඕන එකක් කරගනින් කියලා යන්න යනවා. ඌ ගැන බෝඩිමේ කතා ලියනවාට වඩා වෙනම එකක් ලියන්න ඕන කියලා හිතුනා.
කාලයත් එක්ක මියුරුවා බෝඩිමට කොහෙන්දෝ පරණ ටීවී ලඩියකුත් හොයන් ආවා පරණ එකක්. අපි 2007 වර්ල්ඩ් කප් බලන්න තමයි ඒක සෙට් කරගත්තෙ. මියුරුවටනම් ක්රිකට අරහං. බෝඩිමෙ තිබුන අනික් සම්පත් අතරින් නරක චිත්රපටි ගබඩාවත් සෑහෙන ඉහල තත්වයක තිබුනා. හැමෝගෙම දායකත්වයෙන් ඒක යාවත් කාලීන වුනා. හෙඩ් ෆෝන් එකත් ගහගෙන නරක චිත්රපටියක් බලන්න කිසිම තහනමක් තිබුනෙ නෑ. චිත්රපටි බලලා අසිතයා ඇඳ යට ඔබලා තිබුන පරන බැනියම ඕනම වෙලාවක බිත්තියට හේත්තු කරන්න වුනත් පුලුවන්කමක් තිබුනා. කම්පියුටර් ගේම් ගහන එකත් තිබුනා, මියුරුවා තමයි ඉහලින්ම හිටියෙ. අපිත් ඉඳලා හිටලා ගැහුවා. මියුරුවා මියුසික් වීඩියොත් ඔක්කොම ඩවුන්ලෝඩ් කරගෙන එනවා. අසිතයා තමයි ඒවත් ආසාවෙන්ම බැලුවෙ. මේ බෝඩිමට ආව ගිය තව හුඟක් චරිත තිබුනා. කැම්පස් එකේ උන් ආවා සමහර කැරලි ගහන්න. අපේ ලොකු අම්මගේ පුතා උදිතයත් (Uditha Liyanage ) නරක් වෙයි කියලා මුලින්ම අපේ බෝඩිමෙ ටික කාලයක් නැවැත්තුවා. ඒකෙන්නම් උනේ ඌ නිසා අනික් උන් නරක් වුන එක. අකලංකයගේ පුංචිගෙ පුතා ගයාන් (Gayan Dhanushka ) ඇවිත් චිත්රපටි ගැන ඔහේ කියවනවා. ඒ මල්ලිට තේරුනෙ නෑ අපි ඒ කාලෙ වැඩිපුර බලන්නේ ඒ මල්ලි කියන චිත්රපටි නෙමි කියලා. ශාලිකයා (Shalika Jayarathna ) ඇවිත් හිටියා ට්රේනින් එකකට ටික කාලයක්. අපෙ තාත්තත් ඉඳලා හිටලා ඇවිත් ගියා. ඒ ආපු වෙලාවක මගේ ඇඳ විට්ටමට එහා පැත්තේ තිබුන බෝතල් ටික දැකලා ආයි පැත්ත පලාතෙ ආවේ නෑ. අපේ ඉස්කෝලෙ අපේ වයසෙ ස්කවුටින් කරපු උන් ටික ගෙට් ටුගෙදර් එකකට ඇවිත් නගුල නැතිවම හාලා ගියා. එදා විතරයි අන්කල් අපිට බැන්නේ. ඒත් බැන්නේ අපේ සුපුනා (Supun Siwantha ) කියපු ලුසියගේ සින්දු ටිකට. ඒක විතරයි අවුරුදු තුනටම එකම කලු පැල්ලම.අපි අන්කල්ට වැඳලා සමාව ගත්තා. අපි කවදාවත් බෝඩිම අපිලිවෙලට තියාගත්තෙ නෑ, පස් දෙනා දවස් පහ බෙදාගෙන අතුගෑවා. බෝඩිමෙ හැම තැනම හැම කාමරේකම හොඳ පාපිසි තිබුනා. බෙන්ජා මේවා අරන් එන්නෙ අපේ බෝඩිමට ටිකක් එහා පැත්තේ තිබුන සැලුන් එකකින් රෑ 12 ට විතර කුණු මල්ල ගිහින් දාල එන්න ගියාම. ඒ සැලුන් එකේ ඇතුල් වෙන තැන හොඳ කොලිටිම ඒවා තිබුනේ. තියෙන තියෙන පාපිස්ස නැති වුනාට පස්සෙ ඒ සැලුන් එකෙන් පාපිසි තිබ්බෙම නෑ. බෝඩිමට ආපු සමහර උන් කිව්වෙ, අපේ බෝඩිම පන්සලක් වගේ කියලා. ඉතින් මේකෙ ලියන්න පුලුවන් ඒවා ටිකක් විතරක් ලිව්වා ගොඩක් මතක අතරින්. ජීවිත කාලෙම මේ බෝඩිමේ ආදරණිය මතක ආපහු ලැබෙන්නෙ නෑ. ඒ මතක එක්ක අපේ මිතුදම හැමදාම බැඳිලා තියෙනවා. බෝඩිමේ අන්කල් ඇන්ටි දිගටම අපිත් එක්ක සම්බන්ධ වුනා. ඉඳලා හිටලා අපි ගොඩ වුනා, ආවා ගියා. ඒත් අන්කල් ලඟදි නැතිවුනා. අකලංක අපිට නැති වුනා. අසිතයා ලංකාවට එන හැම වෙලේම බෝඩිමේ අපිට කාලයක් වෙන් වුනා. නැවත ඉක්මණටම හමුවෙමු බෝඩිමෙ අපි. (මියුරුවා මේක කියලා තරහා වුනෙ නැතිනම් )
----
කලින් ලියපු ලිපි
1. කොරෝනා ලියවිලි 1 - ඉඳුල්ගොඩකන්ද සහ මම
2. කොරෝනා ලියවිලි 2 - මගේ කෝච්චි පිස්සුව
3. කොරෝනා ලියවිලි 3 - නයිපුන සන්ගලපානා සහ මම
4. කොරෝනා ලියවිලි 4 - 13 සී 2 අපේ මැත්ස් පංතිය සහ රසවත් මතක(2001-2003)
5. කොරෝනා ලියවිලි 5 : ජිවිතේ අමතකම නොවන ට්රිප් එක
6. කොරෝනා ලියවිලි 6 - ඥාණසිංහ සර්
7. කොරෝනා ලියවිලි 7 - කල්ලා සර්
8. කොරෝනා ලියවිලි 8 – CIMA නොහොත් සිමා
9. කොරෝනා ලියවිලි 9 – හිතට වැඩියෙන්ම රිදුම් දෙන මතකය
10. කොරෝනා ලියවිලි 10 - යුද්ධය මට දැනුන හැටි
11. කොරෝනා ලියවිලි 11 - සරත් සේනාරත්න සර්
12. කොරෝනා ලියවිලි 12 - ඕලෙවල් සහ නරයලාගේ ගෙදර
13. කොරෝනා ලියවිලි 13 - Lecturing ජීවිතය