Monday, September 6, 2021

මගේ බාලදක්ෂ ජීවිතය - 02

 1998 අවුරුද්ද - 01 කොටස - පල්ලෙකැලේ ජාතික ජම්බෝරිය

-----------
1998 අවුරුද්ද කියන්නේ ස්කවුටින් ලයිෆ් එකේ ලස්සනම අවුරුද්දක්. මේ වෙද්දී මම ස්කවුටින් පටන් අරගෙන අවුරුද්දකට වැඩියි. දැන් අපි නවය වසරේ. ජම්බෝරියට සහභාගි වෙන කණ්ඩායමේ අපි තමයි පොඩිම උන්. කීවා වගේ කලින් අවුරුද්දේ දෙසැම්බර් වෙද්දී පුහුණුවීම් සහ පෙර සූදානම් පටන් ගත්තා. ටික දවසකින් ඒ වෙනකොට අපේ කණ්ඩායමට අලුත් වුන මාලකයත් (Malaka Ekanayake ) එකතු වුනා. ඒකට පොඩි තල්ලුවක් දිමුතු අයියාගෙන් හම්බෙලා තිබුනා. ඉතින් අපේ වයසෙ මාලකයත් එක්ක චානක(Chanaka PW) , දිනේෂ්(Dinesh Chamindra Wijekoon ) , ධනූෂ(Dhanusha Rathnayake ), නෙරන්ජන් (Neranjan Wijerathna) , අමරය සහ මම ඇතුළු දැන් 7 දෙනෙක්. අපිට හැමදාම කාණ්ඩ පරීක්ෂණ තියන විදිය, මාච් පාස්ට්, ටෙන්ට් එකක් ගහන නියම විදිය, ගැට පරීක්ෂණ, බාලදක්ෂ දැනුම පිලිබඳ පරීක්ෂණ ඇතුළු මෙකී නොකී සෑම දේම නිවාඩු කාලෙ හැමදාම දවස ගානෙ තිබුනා. හැමදාම යන නිසා ගෙදරිනුත් බාල්දි වැටෙන්නත් පටන් ගත්තා. ඒත් මේ ජම්බොරියට සහභාගිවන හැමෝගෙම වගේ මෙය පළමු අත්දැකීම වුනා. 1992 කුරුණෑගල තිබුන හතර වෙනි ජාතික ජම්බෝරියෙන් පස්සේ තමයි මේක තියෙන්නෙ. 1998 පෙබරවාරි 17-23 දක්වා තමයි මේක පල්ලෙකැලෙදී සංවිධානය කරලා තිබුනේ. දෙසැම්බර් මාසේ පුහුණුවීම් තිබුනා. දැන් ජනවාරි මාසෙත් ආවා. අපි දවස් ගණන් කර කර හිටියේ. අපි හත් දෙනාට අමතරව තව අපේ හිටපු අසිතයා(Asitha Bandara ) , ඉන්දිකයා ඇතුළු යන්න බැරි වෙන උන් හිටියේ හෙනම අප්සට් එකේ. මේ වෙද්දී කඳවුරු භූමියෙ සැලසුම්, වොච්හට් එකේ සැලසුම් වගේම කණ්ඩායම් බෙදලා එක් එක් කණ්ඩායමේ වගකීම් බෙදා හැරීමත් සිද්ධ වුනා. හේරත් අයිය(Janaka Herath ) , බෝගමුව අයියා(Thushara Bogamuwa ) , රාජගුරු අයියා(Iranga Rajaguru ) ඇතුළු 1997 ඒ ලෙවල් කණ්ඩායමේ ගොඩක් අය එකතු වුනා. සෝමපාල (Amila Chaminda ) අයියටයි, තෙන්නකෝන් අයියටයි අමතර එයාල තමයි සීනියර්ල විදියට සෙට් වුනේ. ඩීකේ (Dinesh Athapaththu ) අයියලාගේ සෙට් එකත් මේ වෙනකොට සීනියර්ස්ලා විදියට හිටියා. ඉතින් එක් එක් වයස් කාණ්ඩයට කූඩාරම බැගින් සැලසුම් වුනා. සර්ට (Wimal Perera) තනි කූඩාරමක්. අභීත අයියාට (Abeetha Edirisinghe ) ගෙදරින් බාල්දියක් වැටිලා එන්න වෙන්නේ නෑ කිව්වම අපි හෙනම සතුටින් හිටියේ. හැබැයි බුවා ක්ලාස් කට් කරගෙන අපේ පුහුණුවීම් සහ සැලසුම් කටයුතුවලට සහභාගි වුනා.
මේ විදියට ජනවාරි මාසෙත් ගෙවුනා. දැන් කෑම්ප් ගෙනියන්න අවශ්ය අඩු පාඩු සම්පූර්ණ කරගන්න ඕන. අපි මේ වෙද්දී අපේ ටෙන්ට් ඔක්කොම අලුතින් හෝදලා පාට කරලා ග්රවුන්ඩ් ශීට් ටික හදලා ඔක්කොම හරි. ඒත් හට්ටි මුට්ටි සහ ගබඩාවට අවශ්ය අනිකුත් දේවල් ලෑස්ති කරගන්න අවශ්ය වුනා. ඉතින් දවසක් මේකට කණ්ඩායමක් තෝරනවා බඩු ගේන්න යන්න. එක එක වයස්වලින් සෙට් එකක් තේරුවා, මාවත් පොඩි එකා වුනාට තෝරගත්තා. තේරුවේ අභීත අයියා. දැන් ඔන්න ඒ කණ්ඩායම තෝරලා පැත්තකට කරලා අභීත අයියා තෙලක් ගහනවා. "දැන් අනික් උන් ඔක්කොම ඉද්දී මෙතනට උඹලා ටික විතරක් තේරුවේ ඇයි කියලා දන්නවද? පොල් ගාන්න නෙමි තොපි අරන් යන්නේ. මනුවෙල් අප්පුහාමි එකෙන් හරි බඩු ටික ගන්නකොට උඹලා හොඳයි කියලා හිතෙන තව බඩු ටිකක් ගන්න ඕන. හැබැයි ඒවා නොමිලේ, තේරෙනව නේද කියන එක?". "ඔව් අයියෙ" අපිත් ඉතින් ඒ වදනට ඒ කාලෙ එකෙන්ම. දැන් ගියා සෙට් එකම මනුවෙල් අප්පුහාමි එකට. ඒ කාලේ ඉතින් සීසීටීවි කියලා ඒවා නෑනෙ. හෙමින් හෙමින් නීත්යානූකූලව බඩු ගන්න අතරේ අපි අතට අහුවෙන් පිහි, නියන්, මිටි, ඇන වගේ දේවල් ශේප් එකේ උස්සනවා දැන්. සාක්කු පිරෙනවා, ගත්ත හට්ටි පිරෙනවා පියනෙන් වහගෙන. අභීත අයියයි, ඩීකේ අයියයි එකට වගේ ඉද්දී අභීත අයියා කප්පියක් අතේ තියන් හිටියේ. ඉස්සරහ කඩේ පොරවල්වලට මොකක් නමුත් අමුතු දෙයක් වෙනවා කියලා තේරිලා තියෙනවා. ඒ කඩේ හිටපු එකෙක් ඇවිත් මනුවෙල් කඩේට ඇවිත් සිද්ධිය කියන්න යද්දීම අභීත අයියා කප්පියත් අරගෙන දුවන්න ගත්තා. දැන් මහ වීදිය දිගේ සෙට් එකක්ම පන්නනවා බුවා පිටිපස්සේ. අන්තිමේට මාට්ටු වුනේ අහිංසක ඩීකේ අයියා. "මම මුකුත් ගත්තේ නෑ අංකල්, මම එයත් එක්ක කතා කර කර හිටියා විතරයි, මේ බලන්න මගේ බිල,මම දැන් ටිකකට කලින් බැටරි කෑලි දෙකක් ගත්තා" කියලා ඩීකේ අයියා ගේමක් ගහලා ගොඩ දාගත්තා. මේ වෙද්දී මම ලඟ තිබුන හට්ටියක් පිරෙන්න බඩු උස්සලා තිබුනේ පියනකින් වහලා. මාත් එක්ක හිටියෙ රවින්ද්ර බුද්ධික අයියා (Ravindra Senavirathna ) , අපි දෙන්නත් හට්ටිය උස්සගෙන ලේක් ස්ටුඩියෝ එක ලඟ අතුරු පාරින් ඇවිත් පේෂකර්මේ ලඟින් කොන්වන්ට් එක පැත්තෙන් කොළඹ පාර පැත්තෙන් ඉස්කෝලෙ පිටිපස්සෙන් ගියේ ඉස්කෝලෙට. මීගමු පාර දිගේ යන්න බයයි, අර පන්නපු උන් අපිට හම්බෙයි කියලා. ස්කවුට් රූම් එකට යද්දී මෙන්න අභීත අයියා ඉන්නව ඉඳගෙන රූම් එකේ. සෙට් එකම කොහොම හරි ඇවිත්. අභීත අයිය දුවන් යද්දී මෝටර් සයිකලයක්ද කොහෙද හම්බෙලා. 99න් වැඩ ටික ගොඩ ගියත් රවින්ද්ර අයියයි මමයි ඉස්කෝලෙට එනකල් ආවේ බොක්ක ගැහි ගැහී. කොලුකමට හරි ඒක හෙනම භයානක වැඩක් කියලා ඇත්තටම පස්සේ තේරුනා. සර්ට මාට්ටු වුනානම්, විනාසයි. ඉස්කෝලෙට මාට්ටු වුනානම් සතිගානකට ගෙදර. ගෙදරට මාට්ටු වුනානම් අහනවා "උඹ ජම්බෝරි යනවා කියලා හොරකමේද යන්නේ?" කියලා, එහෙනම් ආයි ස්කවුටින් කරන්න වෙන්නේ නෑ. කොහොමින් හර දැන් බඩුමුට්ටු ටිකත් ඔක්කොම ලෑස්තියි.
ඉතින් මේ ලෑස්ති වෙන ගමනේ අපේ සීනියර අයියලට ඕන වුනා කුරුණෑගල ඉස්කෝල ඔක්කොගෙන්ම උසම සහ ලොකුම වොච් හට් එක ගහන්න ජම්බෝරිය ඇතුලේ. දැන් ඉතින් අයියලා සෙට් එකම එක එක ඩිසයින් ගහනවා. කොහොමහරි සෝමපාල අයියට ඕන වුනා කුරුණෑගල ඔරලෝසුකණුව වගේ එකක් ගහන්න. දැන් වැඩේ තීරණය කරල ඉවරයි. ඒත් ඩිසයින් එකේ හැටියට සෑහෙනට පුවක් ගස් පිටින් ඕන. "මල්ලිලා, අපිට මලියදේවේ හැටියට මේ වැඩේ කෙරෙන්නම ඕන, කාටද පුළුවන් පුවක් ගස් ටිකක් හොයලා දෙන්න". ටිකක් කිව්වට දාර සයිස් ගස් හයක් වත් ඕන ඩිසයින් එකේ හැටියට. මට අපේ ඉඳුල්ගොඩකන්දේ ගමේ බතලහේන වත්තේ පුවක් අරඹයි, කම්බිකොටුවේ පුවක්ගස් ටිකයි මතක් වුනා. "මට පුළුවන් අයියේ" කියලා මාත් පොර සේ ඉදිරිපත් වුනා. ගෙදර ගිහින් තාත්තත් කැමති කරගත්තා. මට තියෙන ෆිට් එකට ඒවා අයිති බාප්පලා වුනත් බාල්දියක් දැම්මේ නෑ. ඊට පස්සේ අපි සෙට් එකක්ම මාලකයගේ තාත්තාගේ තිබුන ලොරියත් සෙට් කරගෙන පිටත් වුනා ඉඳුල්ගොඩකන්දට. ගිහින් දුන්න වැඩේ හොඳම මෝරපු පුවක් පිරිලා තිබුන ගස් හත අටකටම. මම ඉස්කොලෙන් අවුට්වෙනකල්ම වගේ හැම ජම්බොරියකටම කැපුනේ මේ ගස් ටික. දෙයියනේ කියලා ගස් ඔක්කොම ඉවරයි ඉස්කෝලෙන් අවුට් වෙද්දී.
දැන්නම් සියල්ල සර්ව සම්පූර්ණයි. අපිත් අපේ ලොකු බෑග් ලෑස්ති කරගත්තා දවස් හතකටම කියලා තිබුන විදියටම. සෝමපාල අයියා කියල තිබුන විදියට සහ දීලා තිබුන බඩු ලැයිස්තුවේ පිලිවෙලටම අපේ බෑග් එකත් ලෑස්තියි. දැන් පෙබරවාරි මාසෙත් පටන්ගෙන දවස් එක දෙක ගෙවෙනවා. ඉස්කෝලෙ පීරියඩ් එහෙමත් සූ ගාල කට් වෙනවා. අපේ සරත් සේනාරත්න සර් මට කිව්වේ "බාලදක්ෂ ජයවීර, පිස්සු ඕයි තමුසෙට" කියලා. "උඹේ විභාගේ ප්රතිඵල එහෙමත් බලමුකෝ මේ පාර" කියලා අම්මත් පාරම් බානවා. ඔහොම ගිහින් පෙබරවාරි 17 වෙනිදා දවස උදා වුනා. අපි ඔක්කොම පාන්දරම ඉස්කෝලෙට ආවා. ලෑස්ති කරලා තිබුන බඩුමුට්ටු ඔක්කොම ලොකු ලොරියකට පැටෙව්වා. මාලකයගේ තාත්තගේ ලොරියත් ඇවිත් තිබුනා. ඊට පස්සේ අපි ඔක්කොම ලොකු ලේලන්ඩ් එකකට නැග්ගා. මතක විදියට 40ට වැඩි පිරිසක් ගියා. ලොකුම කණ්ඩායම වුනේ කමල් අයියලාගේ (Kamal Wimalaratne ) කණ්ඩායම. දැන් බස් ලොරි පිරිවරාගෙන මලියදේවේ අපි පිටත් වුනා. හැමෝම එකා වගේ සිංදු කියාගෙන පල්ලෙකැලේ ගම් උදා භූමියට ගියා. අපිව නිතරම බයිට් එකට ගන්න අභීත අයියා නැති පාළුවත් දැනුනා. අපි අපිට වෙන්වුන කඳවුරු භූමිය ළඟටම ලොරි ටික ගෙනත් ඒවාගේ බඩු බාන්න පටන් ගත්තා. ලංකාවේ හතර දිග්භාගයෙන්ම ඉස්කෝලවලින් එනවා ඉවරයක් නැතිව. අපේ කඳවුරු භූමිය තැනිතලා එකක් වුනේ නෑ. තරමක බෑවුමක්. අපිට පහල ප්රදේශය කොළඹ සහ ගම්පහ ඉස්කෝල ටික. අපිට ඉදිරිපසින් ටික දුරක් වන්නට නුවර ඉස්කෝල ටික. අපි සමීපයේම තිබුනේ කුරුණෑගල ඉස්කෝල ටික. අපි ඔක්කොම බඩු ටික බෑවට පස්සේ හැමෝම කලින් සැලසුම් කරල තිබුන විදියට කඳවුරු භූමිය සකස් කරන්න පටන් ගත්තා. මුළු කඳවුරු භූමියම උදළුගාල සකස් කරගන්න පැයක්වත් ගියේ නෑ. ඒ තරමට අපේ උන් ටික කඩිසරයි. සීනියර්ස්ලා එකෙක්ටවත් අයිස් පාරක් ගහන්න දෙන්නෙත් නෑ. බෝගමුව අයිය එහෙම දැක්කම අයිස් පාරක් ගහන්න හිතෙන්නේවත් නෑ ඒ කාලේ. එච්චරටම අපි බයයි. ඊට පස්සේ ලස්සනට අරන් ගිය ටෙන්ට් හතම ගැහුවා. අපේ නවය වසරෙ සෙට් එකටම කඳවුරු භූමියෙ කුස්සි ප්රදේශය වෙත කිට්ටු වූ සර්ගෙ ටෙන්ට් එකට ටිකක් එහාට වෙන්නට තනි ටෙන්ට් එකක් ලැබුනා. ඊට පස්සේ අපි පොඩි පොඩි උන් රෙදි වනන්න, පිඟන් තියන්න වගේ හැම වැඩකටම ඕන කරන එක එක ආකාරයේ කාලීන උපකරණ හදන්න පටන් ගත්තා. රෑ වුනා දැනෙන්නෙවත් නැතිව. උයන්න නියමිත කණ්ඩායම උයන්න පටන් ගත්තා. රෑ 10 වෙද්දී අපේ කොල්ලො ටික පට්ට වෙන්නම කඳවුරු භූමියෙ සෑහෙනට වැඩ ඉවර කරගෙන තිබුනා. ලණු ඇඳක්, කෑම මේස, බංකු ඔක්කොම හැදුවා කතිර බැමි, කතුරු බැමි, කොස්පට්ට ගැට ඔක්කොම එක්ක. ලොකුම අයියලා ටික වොච් හට් එකේ වැඩ ටික පටන් ගෙන කරගෙන ගියා. අපේ විමල් පෙරේරා සර් මේ ඔක්කොම ආසාවෙන් බලාගෙන හිටියා. අපි පොඩිම උන් නිසා 10න් පස්සේ වගේ අපිට තිබුන ටෙන්ට් එකේ ඔක්කොම නින්දට ගියා.
අපි උදේ නැගිටිද්දී අයියලා වොච් හට් එකේ සැකිල්ල ප්රධාන කණු හතරත් සමග වැඩ අවසන් කරලා. සෝමපාල අයියගේ සැලසුමට අනුව කුරුණෑගල ඔරලෝසු කණුව ආකාරයට සකස් කිරීමට හනසු භාවිතා කිරීමට අවශ්ය වුනා. මේ සඳහාද ඉතා විශාල හනසු ප්රමාණයක් අප විසින් රැගෙන ගිහින් තිබුනා. අපි උදේ පාන්දර 5ට නැගිට සිටීම අනිවාර්ය වුනා. ඉන්පසු මුහුන සෝදාගෙන විත් සුදු පැහැති පීටී කිට් ඇඳ ව්යායාම සඳහා ලෑස්ති විය යුතුව තිබුනා. ඉන්පසු අපි එක කණ්ඩායමක් ලෙස පෝලිම් කීපයකට සෑදී ලෙෆ්ට්,රයිට්, ලෙෆ්ට් ආකාරයට ජම්බෝරි භූමිය තුල දුවමින් සමහර තැන් වල නතර වෙමින් ව්යායාමවල නිරත වුනා. මාස දෙක තුනක් තිස්සේ අපි මෙය හොඳින් පුරුදු වී තිබුනා. නමුත් අනික් කඳවුරු භූමිවල සිටින වෙනත් පාසල්වල බාලදක්ෂයින් නැගිට සිටියේවත් නැත. සමහර් උන් නැගිට බැලුවේ "කවුද අඩේ මේ පාන්දර ලෙෆ්ට් රයිට් කියාගෙන දුවන්නේ? හමුදාවෙන්වත්ද?" වගේ මූඩ් එකකය. ඉඳලා හිටලා තවත් පාසල් දෙක තුනක් මේ ආකාරයට දුවනු දුටුවත් අපි වගේ සුදු පැහැයට ඇඳ සිටියේ නැත. ජම්බෝරි භූමියේ හැම පාරකම අපි දිව්වෙමු, ව්යායාම වලට නතර වෙන සමහර තැන්වලදී ඒ අසල පාසල්වල ගුරුවරු පැමිණ "ඔයාලා කොහෙද? මොන ඉස්කෝලෙද" කියා විමතියෙන් අසා සිටියා. අපේ සීනියර් අයියලා උජාරුවෙන් "අපි කුරුණෑගල මලියදේවේ" කියලා කියනවා. අපිත් හෙනම ගැම්මෙන් ව්යායාම කරා. පස්සේ ටික දවසකට පස්සේ තමයි තේරුණේ අපේ අයියලා මේ වැඩේ ගොඩක්ම කරන්නේ අනික් උන්ට පොඩ්ඩක් පේන්නත් එක්ක කියලා වගේම මලියදේවේ අපි හෙනම වෙනස් කියලා ටිකක් පෙන්නන්න කියලා. අපිටත් ඉතින් එහෙම පෙන්නන උණ හැදිලා තිබුනේ සෑහෙන ගැම්මකින්ම. දවස් 2-3 ක් දුවද්දී තව ඉස්කෝල ටිකකුත් වැඩේ කොපි කරන්න හැදුවට පෙර පුහුණුවීමක් නැති නිසා අපේ වගේ ලස්සනට තිබුනේ නෑ.
ඉතින් දෙවෙනි දවසේ අපි ව්යායාම කරලා ඇවිත් ආපහු යුනිෆෝම් ඇඳලා උදේ කාණ්ඩ රැස්වීම අශ්වලාඩමේ හැඩයට තියලා කාණ්ඩ පරීක්ෂණ ඉවර කර. වටේ පිටේ ඉස්කෝල ටික පුදුම වෙලා බලන් ඉන්නවා. ඒවගේ සමහර උන් තාම දත් මදිනවා අපි මේව කරද්දී, උන්ගෙ සර්ලා කෑ ගහනවා. ඊට පස්සේ අපි ආපහු සාමාන්ය ඇඳුමක් ඇඳගෙන ඊට උඩින් අපේ ස්කාෆ් එක දාගෙන බෝගමුව අයියගේ මීටිමකට සහභාගි වුනා. බෝගමුව අයියට අපි හෙනම බයයි, ඒ වගේම හොඳ පෞරුෂයක් තිබුනා. "උඹලා එකෙක් හරි අපේ කෑම්ප් සයිට් එකේ වැට මායිම පැනලා යනවානම් මෙතන ඉන්න සීනියර් අයියා කෙනෙක්ට කියලා තමයි යන්න ඕන. කියලා ගිහින් නැතිව අහුවුනොත් පෝරියල් කන්න ලෑස්ති වෙලා පලයල්ලා. මම ආයි කියන්නේ නෑ මේ ගැන. අද දවල් ඕපනින් සෙරමනි එකේ රිහසල් එකක් තියෙනවා. මලියදේව පෝලිම ගැහුවම ආයි අපි කමාන්ඩ් කරනකල් පෝලිමේ පහසුවෙන් හිටපල්ලා". ඔහොම ඉඳලා දවල් වෙලා අපි දෙන්න දෙන්නා පෝලිම් වෙලා කඳවුරු භූමියේ තිබුන ලොකු ග්රවුන්ඩ් එකට ගියා. ගිහින් තනි කෙලින් පෝලිමක් ගැහුවා. පටන් ගන්න පැයක් විතර පරක්කු වුනා. අනික් ඉස්කෝලත් ඔක්කොම වගේ ඇවිත් තිබුනා. හැබැයි ඉස්කෝල කීපයක් ඇරෙන්න අනික් ඔක්කොම එහෙම ලොකුවට පෝලිම් තිබුනේ නෑ. උන් හෙනම ආතල් එකේ දුවනවා පනිනවා, වැලි ගහගන්නවා. දූවිලිවලින් පිරිලා ග්රවුන්ඩ් එක. අපේ ඉස්කෝලෙයි, තව ඉස්කෝල කීපයකුයි තනි කෙලින් පෝලිම ගහලා ගැම්මෙ ඉන්නවා. පස්සේ රිහසල් එක පටන් ගත්තා. තවත් පැය 2ක් වගේ වැඩේ ගියා. අපේ පෝලිම නෙමි හෙල්ලෙන්නෙවත්. වෙන ඉස්කෝලවල සමහර උන් බිම ඉඳගෙන, කලන්තේ දාල වැටෙනවා. අපියි තව ඉස්කෝල ටිකකුයි කට්ට අව්වේ පහසුවෙන් හිටගෙන ඉන්නවා. අපි ඉතින් පොඩිම උන් නිසා අමාරුවක් නැතිවම නෙමි. ඒත් පෝලිමෙ බුලක් කෙලලා පස්සේ කන රත් වෙන්න පාරක් වැදෙයි කියලා මතක් වෙද්දී පෝලිමේ හිටගෙන සද්ද නැතිව ඉන්න එක සැපයි කියලා හිතුනා. රිහසල් ඉවර වෙලා දෙවෙනි දවස රෑ වුනා. සුපුරුදු පරිදි අපි ඉතින් කෑම ලෑස්ති කරගෙන එදා දවස ඉවර වුනා. ඒත් අපේ අනික් අයියලා ඔක්කොම හනසු අමුනන්න හදනවා එක එක විදියට වොච් හට් එකේ. ඔරලෝසු කණුවේ හැඩේ එන්නෙම නෑ, වෙන මොකක්දෝ අටමගලයක් වගේ පේන්නේ. ඒ අස්සේ අමුණපු හනසු කඩන් වැටෙනවා. හැබැයි සැකිල්ල ඉතින් ලස්සනට හදලා තට්ටු තුනක් වෙන්න සහ උඩටම නගින්න ඉනිමගත් හදලා. අපි උඩටම නැග්ගම වොච් හට් එකේ මුලු ජම්බෝරි භූමියම වගේ පේනවා. රෑට අපි පෙට්රෝල් මැක්ස් ලාම්පු සහ ලන්තෑරුම් තමයි පාවිච්චි කරන්නේ. මේ විදියට අපේ දෙවෙනි රාත්රියත් ඉවරවුනා.
දැන් ඔන්න සමාරම්භක උළෙල් තියෙන දවස. එදත් උදේම අපි අපේ ව්යායාම ශෝ එක දාලා දවල් වෙලා යුනිෆෝම් එක දාගෙන දවල් ගියා එක විතර වෙද්දී ග්රවුන්ඩ් එකට. ස්කාෆ් එකත් බෙල්ල හිරවෙන්න දාගෙන, දාඩිය පෙරාගෙන කලින් දවසේ වගේම ඉන්නව අපේ උන් ටික පෝලිම ගහලා ඊය වගේ. ප්රධාන අමුත්තා තමයි අපේ චන්ද්රිකා බණ්ඩාරණායක ජනාධිපතිතුමිය. පටන් ගන්න තිබුනේ හවස 2ට. එතුමිය ඉතින් කොහොමත් වෙලාවට වැඩක් කරන එක්කෙනෙක් නෙමිනෙ. අපි ඉන්නවා දැන් හිටගෙන, හවස තුනත් පහු වුනා. හෙම්බත් වෙලා හොඳම එකෙන්, ඒත් මලියදේව ගැම්ම අතාරින්නෙත් නෑ. ධර්මරාජෙ, ආනන්දේ, රෝයල් වගේ තව ප්රධාන පාසල් ටිකකුත් ඉන්නවා පෝලිම් ගහලා ගැම්මෙ. හවස හතර විතර වෙද්දී ඔන්න හෙලිකොප්ටර් එකක් ආවා. අපි හිතුවා දැන් ජනාධිපතිතුමිය එනවා කියලා, උත්සවය පටන් ගත්තා, ඒත් ආවේ සී වී ගුණරත්න කියන ඇමතිවරයා. එතුමා තමයි ඒ කාලේ ජනාධිපතිතුමියගේ නිත්ය නියෝජිතයා. එතුමා ඉතින් කතාව එහෙම පවත්වලා උත්සවය ඉවර වුනා. අපි හවස් වෙලා ආපහු කෑම්ප් සයිට් එකට ආවේ පාන් කියාගන්න බැරිව. ඔහොම ඉද්දී අමරයගේ තාත්තා අමරය බලන්න ඇවිත් ජම්බෝරියෙ මුල්දින කවරෙයි මුද්දර වගේකුයි දීලා ගියා. මේක දැකපු දිනේෂයටයි මටයිත් දැන් මේ මුල්දින කවරෙයි මුද්දරයි ටිකක් ගන්න ඕන. අමරයා කිව්වා හෙඩ්ක්වාටස් එකෙන් ශොප් එකක් දාලා තියෙනවා, ඒකෙ තමයි තියෙන්නෙ. ඒත් දැන් අවසරයක් නැතිව යන්න දෙන්නෙත් නෑ. මුද්දර පිස්සෝ වුන මමයි දිනේෂයයි ඕන මගුලක් කියලා හොරෙන්ම පැන්නා කෑම්ප් සයිට් එකෙන් එලියට. ගිහින් අර ශොප් එක ළඟ පොර කාලා මුද්දරයි, මුල්දින කවරෙයි තව ස්කවුටින් ස්ටිකර් ගොඩකුයි ගත්තා. එහෙම අරගෙන ශේප් එකේ අපේ කෑම්ප් එකට ලණු වැටෙන් රිංගලා එන්න හදද්දිම "ඒයි, මෙහාට වරෙව් දෙන්නම" කියලා හෙනම සද්දයක් ඇහුනා. බලද්දී බෝගමුව අයියා, අපි දෙන්නටම හීන් දාඩිය දැම්මා. "ඔය අතේ තියෙන ඒවත් අරගෙනම වරෙන්". කෑම මේසෙ හදලා තිබුන තැන අපි දෙන්නම හිටගෙන විස්තරේ ඇහුවා. දැන් ඉතින් බැනුම් ගමකට. අපේ මුද්දරයි, ස්ටිකර් මල්ලයි ඉල්ලගත්තා. අපිට දැන් ඇඬෙනවා. අපි දෙන්නම දැන් ආපහු හැරිලා ගිහින් වැඩක් කරන්න හිත හදාගන්නම බෑ. සෝමපාල අයියටත් ගිහින් කිව්වා "අනේ, අයියේ ඒ ටික දෙන්න බැරිද?", "බෑ බෑ, ඔයාලා නරක වැඩක් කරේ. කීයටවත් දෙන්නෙ නෑ" සෝමපාල අයියා කිව්වා. මට දැන් තරහත් එක්ක. වොච් හට් එක හදන්න පුවක් ගසුත් දීලා කිසිම බුරුලක් නෑ කියලා. හැබැයි රෑ 11ට විතර සෝමපාල අයියා කතා කරලා දෙන්නටම එන්න කිව්වා "තමුසෙලා දෙන්නම ගොඩක් මහන්සි වුන හින්දා සහ පෙර වැරදි නැති නිසා මම මේවා ආපහු දෙනවා. හැබැයි ජම්බෝරිය ඉවරවෙනකල් ආයි කිසිම වැරැද්දක් කරන්න බෑ" කියලා ස්ටිකර් ටිකයි, මුද්දර ටිකයි දුන්නා. ඇත්තටම ඊළඟ දවස වෙද්දී මුද්දර සහ මුල්දින කවර ඉවරෙටම ඉවර වුනා. මායි දිනේෂයයි ඒ සමරු මුද්දරය ලබාගන්න වාසනාවන්ත වුනා වැරදි විදියට හරි.
මේ විදියට දවස් 3ක් වගේ ගෙවිලා යද්දී අපේ ව්යායාම ශෝ එක දිගටම ගියා උදේ පාන්දර. අපි මූණ දුන්න සහ ජම්බෝරි ජීවිතයේ අමාරුම අත්දැකීම තමයි සරල වචනයෙන් කිව්වොත් බොඟක් දැමීම. දාස් ගාණකට හරියන්න වැස්කිලි පහසුකම් තිබුනේ බොහොම සීමිතව. ඒවත් ඉටිරෙදිවලින් වටවුන තාවකාලික වැසිකිලි. දවස් තුන හතරක් ගියාම පැත්ත පලාතක යන්න බෑ. ඉතින් බොඟ දාන්න යනවට වඩා අදෝවාතයක් පිට කරගෙන එහෙමත් නැතිනම් සරලව කිව්වොත් පඩයක් ඇරගෙන තද කරගෙන ඉන්න එක සැපයි කියලා හිතෙනවා. මට මතක විදියට දවස් හතටම මම බොඟක් දැම්මේ එක දවසයිද කොහෙදෝ. මේ නිසා රෑට ටෙන්ට් ඇතුලේ සමහර වෙලාවට බෝම්බ ගහනවා වගේ අදෝවාත පිට කරන සද්දෙයි, ඕන මගුලක් කියලා අර තාවකාලික වැසිකිලිවල බොඟ දාන උන් දෙන ප්රතිචාරයිවල අඩුවක් තිබුනේ නෑ. "අම්මෝ යකෝ ගඳ? පලයන්කෝ එලියට" වගේ දේවල් රෑට ඇහෙනවා. ඒ වගේම මේ වෙද්දී දිමුතු අයියාගේ භීසනය අති දරුණු මට්ටමකට පැමිණ තිබුනා. ගබඩා පාලක විදියට මනුස්සයගේ හෙනම තද නීති තිබුනේ. උයන පිහන තැන්වලදීත් හැම දෙයක්ම තිතටම ඕන මනුස්සයට. ඔහොම ඉද්දී මනුස්සයගේ ගෙදරින් පොඩි කේස් එකක් දාලා දවස් 3-4ට පස්සේ ගෙදරින් ඇවිල්ලා මනුස්සයා එක්කරගෙන ගියා. අපිට එදා රජ මගුල්, පහවල් දාලා වෙනම ෆන් එකක් ගත්තා මනුස්සයා ගෙදර ගිය සතුටට. හැබැයි මලියදේව ස්කවුට් ගෘප් එකේ අපි දන්න කාලෙක බිහි වුනු හොඳම ගබඩා පාලකයා තමයි දිමුතු අයියා. හැමදාම කෑමටනම් පරිප්පු වැරදුනේ නෑ. සෝයා මීට්, සැමන් වගේ දේවල් තමයි අනික් ජනප්රියම කෑම වුනේ. සීනියර්ස්ලා කාලා ඉවර වෙලා වයසෙ අනුපිලිවෙලට කනකොට අපි තමයි ඉතින් අන්තිමේට කන්නේ. සීනියර්ස්ලට කෑම අපි ගිහින් දෙන්න ඕන. පරිප්පු දැක්කත් වමනේ යන සැපට හැදුන දිනේෂයා තමයි දවස් හතේම හෙනම කට්ටක් කෑවෙ කන වෙලාවට. ඒ වගේම හතරවෙනි දවස වගේ වෙද්දී අපිට ජම්බෝරි භූමිය ඇතුලේ සැරිසරන්න අවසර දීලා තිබුනා. අපි වෙන ඉස්කෝලවල කඳවුරු භූමි ඇතුල බලන්න ගිහින් ඒ අයත් එක්ක කතා කරලා සමරු සටහන් හුවමාරු කරගත්තා. ජම්බෝරි ක්රියාකාරකම්වල නිරත වුනා හිතේ හැටියට. සමහරුන්ගේ දෙමාපියොත් ආවා බලලා යන්න. දිනේෂයගේ ගෙදරින් ආවා සරුවටම එක එක දේවල් අරගෙන කෑම ජාතිත් එක්කම. දිනේෂයා තමයි මගේ හොඳම යාළුවා දවස් ගානටම, හැමතැනම රවුම් ගැහුවේ අපි දෙන්න එකට. බාලදක්ෂිකා දිනයකුත් තිබුනා, ඒත් උන් එකෙක්වත් ලයින් කරගන්න පුලුවන් ලුක් එකක් අපේ සෙට් එකටම තිබුනේ නෑ ඒ දවස් ටිකේ. අපේ අයියණ්ඩිලානම් ජැන්ඩි පහට හිටියා උන් එන දවසේ.
පස්වෙනි දවස වගේ වෙද්දී මතක විදියට අපි බස්වල අරගෙන දළදා මාලිගාවයි, පේරාදෙණිය මල් වත්තයි බලන්න එක්කරගෙන ගියා. දළදා මාලිගාවට ඒ කාලේ කොටි බෝම්බ ගහපු අලුත. ඉතින් අපි ඒවා දැකලා ගොඩක් දුක් වුනා. මල්වත්තත් ඉතින් යුනිෆෝම් ඇඳලම බලන්න ගියේ. මේ අතරමග ඉතින් අපි එක එක දේවල් කනවා බොනවා මග දිගට විකුණන්න තියෙන. ඒ කාලෙ පොඩ්ඩක් කුණා වුන අපේ නෙරන්ජනයා ඉතින් අපෙන්ම කෑවා. ඌ ගෙදරින් දුන්න රු 500, කෑම්ප් ඉවරවෙලා යද්දී 501 කරගෙන ගියා කියලා අපි විහිළු කරේ. මේ ජම්බෝරියේ අනික් මලම ඇනය වුනේ මාලකයා. ඌ අලුත් නිසා ප්රශ්න කෝටියයි, "ඇයි බං සීනියර්ස්ලා එද්දී නැගිටින්නේ?", "ඇයි බං සීනියර්ස්ලා මුලින් කන්නේ?", "ඇයි බං.....". බැරිම තැන අපි උට කිව්වා අපි ඉන්නවා වගේ හිටපන් කියලා. හැබැයි දවස් 5ක් යද්දී අපි හත් දෙනාම පට්ට ෆිට් එකේ හිටියේ එකාට එකා සහෝදරයො වගේ. මාලකයා නාන්නෙ නෑ කියලා අපි දැනගත්තෙත් ඒ කෑම්ප් එකේදි. ඒ වගේම අපේ පුබුදු අයියා (Pubudu Dissanayake ) රෑ හීනෙන් ඇවිදලා මාට්ටි වෙලා අපේ සීනියර්ස්ලා බයිට් එක දැම්මත් මතකයි. දැන් කල්පනා කරන්න පුළුවන් අර ඔරලෝසු කණුව වගේ හදන්න ගිය වොච් හට් එකට මොකද වුනේ කියලා. දෙයියනේ කියලා දවස් 6ක් යනකල්ම ඒක හැදුවා හැමදාම සෙට් එකක්. සෝමේ අයියාත් අත ඇරියෙම නෑ පොරගෙ සිහිනය. ඒත් දවස් හයකට පස්සේ තේරුම් ගියා "කුරුණෑගල ඔරලෝසු කණුව" කියලා බෝඩ් එකක් ගැහුවත් ඒකනම් ගොඩ දාන්න බෑ කියලා. ඉතින් දවස් 6ක්ම හදලා අන්තිම දවසේ රෑ ඒක ගැලෙව්වා. මලියදේව බාලදක්ෂ ඉතිහාසයේ "හනසු මාලිගාව" කියලා ප්රසිද්ධ වුනේ අන්න ඒ වොච් හට් එක. සෝමෙ අයියනම් හෙනම අප්සට් එකේ හිටියේ. මේ විදියට අපි දවස් හත යද්දී සීනියර අයියලාත් අපිට සෑහෙන ෆිට් වුනා. හේරත් අයියා, බෝගමුව අයියා, රාජගුරු අයියා, ඩීකේ අයියා (Dinesh Athapaththu ) , කොන්තේ අයියා (Chaminda Konthesingha ) , අමරසේන අයියා (Sumedha Kusum Amarasena) , ඉම්රාන් අයියලා ඔක්කොම හිටියෙ එකම පවුලක් වගේ. කමල් අයියලාගේ සෙට් එක, පුබුදු අයියලාගෙ සෙට් එකත් මේ වෙද්දී පිලිවෙලින් 11 වසරෙ සහ 10 වසරෙ. ඉතින් අන්තිම දවසේ රෑ මුළු ජම්බෝරියෙම ලොකුම ගිනිමැලය ගැහුවේ අපි. අපිට ඕන තරම් හනසු තිබුනා සෝමේ අයියගේ වොච් හට් එකට ගෙනාපු. සෑහෙන රෑ වෙනකල් සින්දු කියලා නැටුවා අන්තිම දවසේ රෑ කවදාවත් අමතක නොවෙන විදියට.
මෙහෙම ගිහින් ජම්බෝරියෙ අන්තිම දවස උදා වුනා. උදේම මට ඇහුනා සර් නැගිටලා සීනියර්ස්ලට බනිනවා "මොන බූරුවද මේ පුවක් කොට ටිකට ගිනි තිබ්බේ. බලනවා කරලා තියෙන අපරාදේ? මේව අරන් යන්න මනුස්සයෙක් එනවා කියලනේ තිබුනේ. තමුසෙලට පිස්සු". සර්ට හොඳටම තරහ ගිහින්. ඊට පස්සේ අපි ඔක්කොම බඩු ටික ඇහිරුවා, ටෙන්ට් ගැලෙව්වා. දවස් හතක් හිටපු තැන දාලා යන්න දුකේ බෑ. මුළු ජම්බෝරි භූමියම ලෑස්ති වෙනවා ආපහු යන්න. ඉතින් දවල් වෙද්දී අපේ බස් එකත් ආවා. අපි හැමෝම බස් එකේ නැගලා පිටත් වුනා. ආපහු එනකොට කුරුණෑගල ලංවෙද්දි වැඩිය සද්දයක් තිබුනේම නෑ. හැමෝම දුකින්. මාස තුනක් ලෑස්ති වෙලා, පුහුණු වෙලා ගියා ඒ දවස් හතේ 5 වෙනි ජාතික ජම්බෝරි ගමන ලස්සනම මතක ගොඩාක් එකතු කරලා, අදටත් හිනාවෙලා කත බහ කරන අයියලා ගොඩාක් ජීවිතේට එකතු කරලා ඉවර වුනා. සර් අපිත් එක්ක දවස් හතම ටෙන්ට් එකට වෙලා අපි වගේම කට්ට කාගෙන හිටියා. ඒ වගේ සර් කෙනෙක් අපේ ස්කවුට් ගෘප් එකේ හිටියෙ නෑ. ගෙදර ගිහිල්ලත් හිටියෙ සෑහෙන පාළුවකින් හැමෝම එක්ක දවස් ගාණක් හිටියට පස්සේ. ඊට පස්සේ කාලෙක 2002 දී බලපිටියෙ තිබුන ජම්බෝරියටත්, ඉස්කෝලෙ කාලෙන් පස්සේ සහභාගි වුන 2006 නුවර එලිය ජම්බොරිය, 2010 අඟුනකොළපැලැස්ස ජම්බෝරිය, 2016 යාපනය ජම්බෝරිය ඇතුළු කිසිම ජම්බෝරියකට 1998 පල්ලෙකැලේ මතක පරදවන්න බැරි වුනා. ජම්බෝරියෙන් පස්සේ 1998 ඉතිරි කාලය ගෙවුන විදිය ඊලඟ ලිපිය ලියන්නම්.
-1998 - 02 කොටස මතු සම්බන්ධයි-

No comments:

Post a Comment