Saturday, July 20, 2024

අමතක නොවන මතක 19 - තාත්තිට ලියපු ලියුම්


අලුත් අවුරුදු නිවාඩුවෙ අන්තිම දවස. දුවලා දුවලා පොඩි බ්රේක් එකක් හම්බුනා. පරණ දේවල් ඇදලා බලද්දි මම ලියපු ලියුමක් හම්බවුනා. ලියුමේ විදියට ලියලා තියෙන්නෙ 1996 අප්රේල් 05 වෙනිදා (ලීයුමේ එක තැනක තියෙනවා හෙට මල්ලිගෙ මාස තුනේ උපන් දිනේ කියලා). තාත්ති එයාගේ පශ්චාත් උපාධියට නෙදර්ලන්තෙට යන්නෙ 1995 මැද වගේ මල්ලි හම්බෙන්න ඉද්දි. ඉතින් ඒ කාලෙ අද වගේ වට්සැප්, ෆේස්බුක් තියා අපේ ගෙදරට ටෙලිෆෝන් තිබුනෙත් නෑ. ඉතින් ලියුම් විතරයි ඒ කාලෙ අපිට තිබුන එකම විදිය තාත්ති ආපහු උපාධිය ඉවර කරලා එනකල්ම. නෙදර්ලන්තෙට ලියුමක් යන්නම සති දෙකක් යනවා. ඉතින් තාත්ති ආපහු එවන ලියුමට තව සති දෙකක් යනවා. පිලැස්සෙ ඉස්කෝලෙ පිටිපස්සෙ තමයි තැපැල් කන්තෝරුව තිබුනෙ. අම්මාගෙ ලියුමයි, මගෙ ලියුමයි, නංගිගෙ ලියුමයි සහ සමහර විට අපේ ෆොටෝ එකක් දෙකක් එකතු කරලා එක කවරෙක දාගෙන මම බයිසිකලෙත් පැදගෙන පිලැස්සට යනවා තැපැල් කන්තෝරුවට තැපැල් කරන්න. ඒ වගේම තමයි ලියුමක් එන්න කිට්ටු කරද්දි ගෙදර ඉන්න දවසක්නම් ලියුම්කාරයා එහෙමත් නැතිනම් තැපැල්කරු එනකල් පාර අයිනට වෙලත් ඉන්නවා. "මාමෙ නැද්ද ලියුමක්?", "තාම ආවෙ නෑ පුතේ" කියාගෙන යනවා, එහෙමත් නැතිනම් ඉස්කෝලෙ ඇරිලා ආව ගමන් ගේට්ටුවෙ තියෙන ලියුම් පෙට්ටිය ඇරලා බලනවා. තාත්තිගෙන් ලියුමක් ආවා කියන්නෙ ඉතින් අවුරුදු වගේ. ඒකෙත් අම්මටයි, මටයි, නංගිටයි වෙන වෙනම ලියුම් වගේම තාත්තිගෙ ෆොටෝ එකක් දෙකකුත් තියෙනවා. මම මුද්දර එකතු කරන නිසා තාත්ති එයාගෙ එහෙ ඉන්න යාළුවන්ගෙන් එකතු කරලා එක එක රටවල්වල මුද්දර ටිකකුත් එවනවා.
එහෙම යවපු ලියුම් එකතු කරලා තාත්ති පස්සෙ කාලෙක ඒව මට දුන්නා. මෙතන තියෙන්නෙ එතනින් එක ලියුමක්. ඉතින් මම මේ ලියුමේ අවුරුදු 11 දි මගේ හිත කොහොමද කියලා කියවන්න පොඩි උත්සාහයක් කරා. මුලින්ම ලියුම් ප්රමාදයක් ගැන කියනවා, බොහෝ විට මේ ලියුම ලියලා තියෙන්නෙ තාත්ති එවපු එකකට ප්රතිචාරයක් නෙමි වගේ තමයි පේන්නෙ. ඒ වගේම තමයි මල්ලි හම්බුන අලුතම ටික දවසක් යද්දි මල්ලිගෙ හුරතල් එක්ක මම අම්මට කියනවා තව නංගි කෙනෙක් ඕන කියලා. මල්ලි හම්බුනෙත් අපි ඒ කාලෙ ජයසිරි මහ බෝධිය ළඟ කරපු ප්රාර්ථනාවකින් කියලා හිතන් හිටපු මට නංගි කෙනෙක් හම්බෙන්නෙත් එහෙම කියලා හිතන් හිටියෙ. මගේ කරදරෙන් බේරෙන්න බැරි නිසත්, අම්මගෙ බණ්ඩිය මල්ලි හම්බෙලා ටික කාලයක් යනකල් ටිකක් ලොකුවට පේන නිසාත් අම්මා කිව්වා දැන් නංගි කෙනෙකුත් ඉන්නවා බඩේ කියලා. මම ඉතින් හෙනම සන්තෝසෙන් ඒක තමයි ලියුමේ ලියලා තියෙන්නෙ "තාත්තෙ අම්මට නංගියෙක් හම්බෙන්න ඉන්නෙ" කියලා. මම දැන් කල්පනා කරන්නෙ තාත්ති මේ කතාවත් එක්ක උඩ ගිහින් බිම වැටෙන්න ඇති කියලා. මම හිතනවා අම්මගේ ලියුමේ මේ සම්බන්දව මූලාස්රය තියෙන්න ඇති කියලා. එහෙම නැතිනම් ඉතින් තාත්තිට කෝල් කරලා අහන්න කියලැයි. සරලවම කිව්වොත් තාත්ති කොර වෙන්න ඇති මේ වාක්යයත් එක්ක.
ඊට පස්සෙ සම්පූර්ණ ලකුණු සටහනක් ඉදිරිපත් කරලා තියෙනවා හය වසරෙ අන්තිම වාරෙයි, හත වසරේ පළවෙනි වාරෙයි සන්සන්දනයක් එක්කම. මේකෙන් පෙන්නන්න හදන්න ඇත්තෙ ඉගෙනගන්න වැඩේ ශේප් එකේ යනවා කියලා වෙන්නෝන. තාත්ති එයාපෝට් එකේදි අන්තිමේට කිව්වෙ "අම්මට කරදර කරන්නෙ නැතිව, ඉගෙන ගන්න වැඩ ටිකත් හොඳට කරගෙන හොඳ ළමයෙක් වගේ ඉන්න ඕන" කියලා. ඉතින් ඒ පොරොන්දුවට සමපාත වෙන්න දරපු උත්සාහයක් තමයි ලකුණුත් එක්ක පේන්නෙ. ඊළඟට කියලා තියෙන්නෙ "මල්ලි දැන් හුඟක් ලස්සනයි" කියලා, ඌ ඉතින් බෝලෙ වගේ සුදු පාටට හිටියා. සජීවීව දැකලා නැති, එකම එක පාරක් මාවතගම වික්රමසිංහ ඇමතිතුමාගෙ ගෙදර ගිහින් ටෙලිෆෝන් එකෙන් මල්ලි අඬනවා ඇහිලා තිබුන, ෆොටෝ 3-4ක් විතර දැකලා තිබුන මල්ලි ගැන මේ වගේ කියද්දි තාත්තිට මල්ලි ලස්සනට මැවිලා පේන්න ඇති.
මේ ලියුමේ මට හිතට දැනුනම කොටස "අද මම ඉඩමේ තව කොටසක් උදළු ගෑවා. තාත්තා ආවාම කාර් එකක් ගන්න ඕන. තාත්තා ඔහෙන් ලක්ෂයක් හදාගන්න, ඉතුරු අපි හදාගන්නවා. අපි තාත්තාගෙ පඩියක්වත් ගන්නෙ නෑ" කියන හරිය. ටිකක පැහිච්ච සහ ටිකක් පණ්ඩිත වගේ පේනවා. ඒත් කාර් එකකට ආස කරන අසීමිත ආශාව මේකෙ හරිම අමුතු විදියට තියෙනවා. මට මතක විදියට ඉඩම උදළු ගාන කතාව එන්නෙම ඉඩම උදළු ගාන්න කුලියක් ගෙවන එකට වඩා මම කොහොමහරි කරන්නම් කියලා ඒ වගේ පොඩි ගාණක් හරි ඉතුරු කරලා දෙන්න දරපු උත්සාහයක්. අපේ පන්තියේ ගොඩ දෙනෙක්ට එහෙම කාර් තිබුනේ නෑ. ඒත් පොඩි කාලෙ ඉඳලා මට කාර්වලට පුදුම ආසාවක් තිබුනේ. අම්මලාගෙ මහ ගෙදර ගියාම ඒ කාලෙ තිබුන කිරිඅත්තගේ 12 ශ්රී 8612 මිට්සුබිෂි ලාන්සර් එකේ ඔහේ වාඩිවෙලා ස්ටියරින් එක කරකවනවා මතකයි. ඉතින් ගෙදරට කාර් එකක් ගේනවා දකින්න පුදුම ආසාවක් තිබුනේ. ඊළඟට එන පණ්ඩිත කතාව තමයි තාත්තිට එහෙන් ලක්සයක් ඉතුරු කරන් එන්න කියන එක. ශිෂ්යත්වයක් හම්බෙලා ඉගෙන ගන්න ගිය මනුස්සයට නොතේරුම් කමට කරන ලොකු ඩිමාන්ඩ් එකක් කියලා දැන් හිතෙන්නෙ. ඉතුරු අපි හදාගන්නවා කියන්නෙ ඉතින් නිකන් මම හම්බ කරනවා වගේ. මට හිතෙන්නෙ ඔය උදළු ගාන වැඩකින් පොඩි සොච්චමක් ඉතුරු කරලා, බස් එකට දෙන රුපියල් පහෙන් රුපියල් දෙකක් ඉතුරු කරලා ආපහු දෙනවට වඩා ලොකු දෙයක් නම් කරේ නෑ. ඒත් අම්මානම් නාස්ති නොකර අම්මාගෙ පඩියෙන් විතරක් ලොකු ගේමක් ගැහුවා. ඊට පස්සෙ තියෙන ඡේදයේ "මැයි මාසෙ ඉඳලා මම බස් එකේ යනවා" කියන්නෙත් ස්කූල් වෑන් එකට දෙන ගාණ ඉතුරු කරලා මම කාර් එකක් ගන්න දෙන ඒ අසහාය දායකත්වය මයේ හිතේ.
"අපි ඔන්චිල්ලාවක් බැඳගත්තා" කියන්නෙ ඉතින් අවුරුදුවලට පෙර සූදානම. "රාජසූරිය ඇන්ටි මල්ලි බලන්න එනවා" කියන්නේ ඉඳුල්ගොඩකන්දේ ඉඳලා බයිසිකලේකුත් පැදගෙන මල්ලි බලලා දෙන්න ආපු රාජසූරිය ඇන්ටි ගැන. ඒ කාලෙ හැටියට පුදුම උදව්වක් රාජසූරිය ඇන්ටි කරේ.ඊට පස්සෙ අහන්නෙ තාත්ති එන දවස ගැන. මට මතක විදියට එන්න තිබුනේ ජූනි අග. ඒ දවස ගැන පොඩි එකෙක් විදියට ඒ කාලෙ ඇඟිලි ගැන්නා හැමදාම. ඊට පස්සේ තියෙන්නේ අපේ පැත්තෙ චාරිත්රයක් ගැන, "හෙට අම්මා නංගි හා මල්ලි විල්බාවේ යනවා", ඒ කියන්නෙ මාස තුනක් යද්දි විල්බාවේ පත්තිනි දේවාලෙට මල්ලි අරන් යනවා බාර ඔප්පු කරන්න. ඊට පස්සෙ තියෙන්නෙ පොඩි එකෙක් විදියට ඒ කාලෙත් අපේ කෝ කෝ නැන්දාගෙ දුව ෂර්මා පහේ ශිෂ්යත්වය අසමත් වුන එක ගැන තියෙන දුක ගැන "ෂර්මා ශිෂ්යත්වෙ පේල්, පව්නේ". මේකේ අන්තිමේට ලියුම අවසන් කරන්නෙ "තාත්තගෙන් ලියුමක් නැති නිසා වැඩි විස්තර නොමැත, තාත්තාට බුදු සරණයි". මේකනම් පොඩි කාලෙ ඉඳලා තිබුන "ගේම නම් ගේම" සීන් එකේ එකක්. තාත්තිගෙන් ලියුමක් ආවේ නැති නිසා ගේමට ලියුම කෙටියට ඉවර කරපු සීන් එකක් තියෙන්නෙ. ඉතින් මේ ලියුමට පස්සේ උපරිම තව ලියුම් දෙක තුනක් ලියන්න ඇති. මේ ලියුම දැනට අවුරුදු 30ට පෙර වගේ ආසන්න කාලෙක තාත්තා කෙනෙක් රට ගියාම පොඩි දරුවෙක්ගෙ සිතුම් පැතුම්වල් ප්රතිබිම්භයක් විදියට මට පේන්නෙ. හැමෝටම නොතිබුන, අද කාලයේ දරුවෙක්ට කිසි සේත්ම එකතු නොවෙන අත්දැකීමක්.
ඉතින් ඔහොම ලියුම් ලියලා කාලය ගෙවිලා තාත්ති එන දවස ආවා. නංගියි මමයි අවුරුද්දකට පස්සේ තාත්ති බලන්න උදේම ලෑස්ති වුනා අලුත් ඇඳුම් ඇඳලා සපත්තු එහෙමත් දාලා. ඊට පස්සෙ ඉස්තෝප්පුවට වෙලා ගේට්ටුව දිහා බලාගෙන හිටියා තාත්තිගෙ ඔෆිස් වාහනේ මතු වෙනකල්. මාරුවෙන් මාරුවට ගේට්ටුවයි බිත්ති ඔරලෝසුවයි අතර ඇස් දෙක එහාට මෙහාට ගියා. මතක විදියට උදේ 11කුත් ගාණකට වාහනේ ගේට්ටුව ළඟට මතුවුනා. තාත්ති ඉස්සරහ දොරෙන් බැස්සා. අඳුරගන්නත් බෑ, ලංකාවෙන් යනකොට හිටියා වගේ දෙකක් විතර, හොඳටම සුදු වෙලා. නංගියි මමයි ගේට්ටුව ළඟට දිව්වා. ඒත් තාත්ති අපිව දැක්කෙවත් නෑ. ගේට්ටුව ඇරගෙන තාත්ති ගෙදර දිහාට දුවගෙන ඇවිත් අම්මගෙ අතේ හිටපු මල්ලි අරගෙන ඉඹගෙන ඉඹගෙන ගියා. ඌ තුෂ්ණීම්භූත වෙලා මම දිහා බලාගෙන අඬන්න ගත්තා. ඊට පස්සෙ තමයි තාත්ති අපි දෙන්නව දැක්කෙ, අපිට ටිකක් අවුල් වුනත් අපි දෙන්නව අත් දෙකට වඩාගත්ත ගමන් ඔක්කොම හරි ගියා. අපිත් තාත්තිව බදාගෙන ඉඹගෙන ඉඹගෙන ගියා. ලියුම් ලිය ලියා, දවස් ගැන ගැන ගියපු අවුරුද්දක කාලය ඉවර වුනා. ටික දවසකින් පොඩි කාර් එකක් ගෙනාවා.





අමතක නොවන මතක 18: අසිතයා සහ අසිතලාගෙ ගෙදර

 අන්තිමේට ලිව්වෙ ගිය අවුරුද්දෙ ඔක්තෝබර් 21. ඔහේ ලියන්න පටන් ගත්තෙ මුලින්ම කොරෝනාවල්ට ගෙදර ඉන්න කාලෙ. ඒක නිසා කොරෝනා ලියවිලි කියලා නම දැම්මෙ. අද මම ඒවා ඔක්කොම වෙනස් කරා "අමතක නොවන මතක" කියලා. එම්බීඒ එකේ වැඩයි, ඔෆිස් වැඩයි, රටේ ප්රශ්ණයි ඔක්කොම අස්සෙ එහෙමට කියලා ලියන්න වෙලාවක් සෙට් වුනේම නෑ. දෙයියනේ කියලා එම්බීඒ එක ඉවර කරගන්න පුළුවන් වුනා අප්රේල් ඉවර වෙද්දි. ඊයේ මැච් එකත් බලලා අද පොඩ්ඩක් වෙලාව හම්බුනා. ඔහේ ලිව්වත් මම ලියන ඒවා කියවන පිරිසක් හැදුනා කියලා මට හිතෙනවා. ඒ හැමෝම "ඇයි මචං දැන් ලියන්නේ නැත්තෙ, ලියපු ටික පට්ට ආතල්නෙ", "ඇයි මල්ලි ලියන්නේ නැත්තෙ?" වගේ නිතර ඇහුවා. මම දන්නේ නෑ මම එහෙම හොඳට ලියනවද කියලා. ඒක නිසා අදත් ඔහේ ලියන්න හිතුවා මගේ ජීවිතේ මම ජීවත් වුන ලස්සනම තැන ගැන, ඒ තමයි අසිතලාගෙ ගෙදර සහ අසිතයා (Asitha Bandara) සමග මතක.

අසිතයයි මමයි 1990 එක වසරේ ඉඳලා මලියදේවෙට ගියත් අපි දෙන්න කවදාවත් එක පන්තියක ඉඳලා නෑ. අපි දෙන්න සෙට් වෙන්නෙ ස්කවුටින් වලින්. ස්කවුටින් ගැන මම වෙනම ලියන ඒවගෙත් අසිතයා ගැන නිතරම සඳහන් වෙනවා. කොහොමහරි දිගටම ස්කවුටින් බැහැලම කරගෙන යද්දී අපි දෙන්න හොඳටම ෆිට් වෙනවා. දවසක් අපි දෙන්නා සෞඛ්ය සේවකද මොකක්දො බැජ් එකක් කරන්න අසිතයා මාවත් දාගෙන බයිසිකලේ ඩබල් දාගෙන පාගනවා. ඒ 2002 ජූලි අන්තිමේට වගේ. "මචං, අපි දෙන්නත් මේ ස්කවුටින් මගුලම කරලා හරියන්නෙ නෑ බං, මොනාහරි කරමු ඒලෙවල් ගොඩදාගන්න" කියලා අසිතයා කිව්වා. මට කොහොමත් ඒලෙවල් ලොකු උනන්දුවක් තිබුනෙ නෑ. හැබැයි විභාගෙට තව මාස 8ක් වගේ තියෙන්නෙ කියලා පොඩි රස්නයක් දැනිලා තිබුනේ. ඒත් මේ වෙද්දි මම ඔහේ පන්ති යන එක විතරක් කරා. පාඩමක් සෙට් වුනේම නෑ. ඉස්කෝලෙ වෙලාවෙ වැඩි හරියක් මම හිටියෙ ස්කවුටින් රූම් එකේ. "මොනාහරි කරන්න ඕන බං, ඒත් කොහෙන් පටන් ගන්නද කියලා තේරෙන්නෙ නෑ" කියලා මම කිව්වා. "උඹ වරෙන්කො අපේ ගෙදර, එකතු වෙලා පාඩම් කරමු, කොහොමහරි ගොඩ දාමු" කියලා අසිතයා කිව්වා. "ඒක නම් හොඳ අයිඩියා එකක්, මම පොඩ්ඩක් ගෙදරිනුත් අහලා කියන්නම්" කියලා මම කිව්වා.
අසිතයානම් සුපිරි බොක්ක වුනාට ගෙදර අය කොහොමද දන්නෙ නෑ කියලා මම ඉතින් පොඩ්ඩක් වැඩේ කල්පනා කරා. අසිතලාගෙ අම්මයි තාත්තයි කොහොමත් අපේ අම්මයි තාත්තයි එහෙම දැනගෙන හිටියා ස්කවුටින් වැඩවලට ඇවිත්. අසිතගෙ අයියා අසිතයට වඩා මතක විදියට අවුරුදු 8ක් විතර වැඩිමල්. අපි එක සැරයක් ස්කවුටින් කරන පවුල් පිටින්ම ට්රින්කො ට්රිප් එකක් ගියා 2002 මුල් කාලෙ. ඒක නිසා අසිතයගේ අයියා කොහොමත් ෆිට් වෙලා හිටියෙ. මම වැඩේ ගෙදරට කියපු ගමන් තාත්තා කිව්වෙත් "ඒකනම් හොඳ වැඩක්, බණ්ඩාර මහත්තයත් හරිම හොඳයි. ගිහින් දැන්වත් පාඩම් කරන්න පටන් ගන්න" කියලා. "මචං, එහෙනම් වැඩේට සෙට් වෙමු" කියලා මම අසිතයට කිව්වා. 2002 අගෝස්තු මම ඇඳුම් බෑග් එකයි, පොත් ටිකයි අරන් අසිතයලගෙ ගෙදරට යන්න පිටත් වුනා. ඒ වුනාට ගිය දවසෙ ඉඳලා දවස් 2-3ක් ඉතින් පොඩ්ඩක් චකිතයකින් හිටියේ මට කොහොම සෙට් වෙයිද කියලා. අසිතයගෙ ගෙදර තිබුනෙ කුරුණෑගල ආයුර්වේදෙ පිටිපස්සෙ. ටවුමේ ඉඳලා, ඉස්කෝලෙ ඉඳලා පයින් යන දුර.
අසිතයගෙ අප්පච්චි, එහෙමත් නැත්නම් මට බණ්ඩාර අන්කල් මුලින්ම දකින්නෙ අසිතයා පොඩි කාලෙ ඉඳලා ඉස්කෝලෙට දාන්න කාර් එකේ එනකොට. අන්කල් ඒ කාලෙ හිනාවක්වත් නැතිව අසිතයා බස්සලා යනවා. 1995 වගේ ඉඳලා මට මතක විදියට අසිතයගෙ ගෙදර ටොයොටා කොරොල්ලා එඊ 100 හොඳම කාර් එකක් තිබුනෙ. ඒ කාලෙ එහෙම කාර් තිබුනෙ 2-3ක්ට වගේ. ඉතින් මම හිතුවෙ අන්කල් ටිකක් ආඩම්බර ඇති කියලා. අන්කල් වැඩ කරේ පොල්පිතිගම ප්රාදේශීය ලේකම් විදියට. මම ඉතින් මුලින්ම අසිතයගෙ ගෙදර ගිහින් ඉතින් ටිකක් ලැජ්ජා බයේ හිටියා. පොඩ්ඩක් බෝඩිම්කාරයා වගේ ඉන්න හැදුවේ. ගිහිල්ලා දවස් 2-3 යද්දි අන්කල් දැක්කා මම සබන් පෙට්ටියක් අරන් බාත් රූම් එකට ගිහින් ආයි ඒකත් අරන් එලියට එනවා නාලා ඉවර වෙලා. "චාමර, අපේ ගෙදර බෝඩිමක් නෙමි. මෙහෙ ඉන්නවනම් ඉතින් අපේ ගෙදර අපේ කෙනෙක් වගේ ඉන්න ඕන. පිට මනුස්සයෙක් වගේ ඉඳලා හරියන්නේ නෑ" කියලා අන්කල් කෙලින්ම කිව්වා. දවස් කීපයක් යද්දී අන්කල් කියපු දේ එහෙමයි කියලා තේරුණා මට. අන්කලුයි ඇන්ටියි දෙන්නම මම දිහා බැලුවේ තවත් එයාලගෙම දරුවෙක් වගේ. අසිතයාගෙ කාමරේම මට තව ඇඳක් තිබුනා. දැන් පාඩම් වැඩෙත් පටන් ගත්තා. මාත් වැඩකට බැස්සම ෆුල් ගේමේ කරන නිසා බොක්කෙන්ම පාඩම් කරන්න පටන් ගත්තා.
අසිතයා ස්කවුටින්වලදි, ඉස්කෝලෙදි සද්දෙ දාගෙන හිටියට ගෙදරදි හෙනම නිශ්ශබ්දයි. මට වෙලාවකට හිතුනා යකෝ මේ ඉස්කෝලෙ ඉන්න එකාමද මේ කියලා. වෙලාවකට කිසිම කතාවක් නෑ. අසිතයට ගෙදරට කිව්වෙ බබා කියලා. අයියා රස්සාව කරේ කටුනායක, ඒක නිසා ගෙදර එන්නේ සතියකට හරි සති දෙකකට හරි සැරයක්. ඒක නිසා ඉතින් අසිතයට එහෙමත් නැතිනම් බබාට අන්කලුයි ඇන්ටියි හෙනම ආදරෙන් ඉන්නෙ බබෙක්ට වගේම. මෙහෙම ගිහින් ඉද්දි සතියෙ දවසට ඉතින් දින චර්යාව වුනේ මම උදේ 6;30 වෙද්දි වගේ නැගිටලා ලෑස්ති වෙලා ඉස්කෝලෙ යනවා එක්කෝ පයින්, එහෙමත් නැතිනම් ඉස්පිරිතාලෙ ළඟට ගිහින් බස් එකේ නැගලා. අසිතයා නැගිටින්නෙ උදේ 7ත් පහුවෙලා. ඌ දඩි බිඩි ගාලා නැගිටලා ලෑස්ති වෙලා බයිසිකලෙන් යනවා ඉස්කෝලෙට. ඉඳලා හිටලා හාව හඳ දකිනවා වගේ කලින් ඇහැරුනොත් මාවත් දාගෙන ඩබල් දාගෙන පදිනවා. කොහොමත් මම ඌ එනකල්නම් ඉන්නෙම නෑ මට පොඩ්ඩක් කලින් යන එක පුරුදු වෙලා තිබුන නිසා. ඊට පස්සෙ හවස පන්තියක් තිබුනෙ නැතිනම් ඇවිත් මම හොඳට නිදාගන්නවා බඩ පිරෙන්න කාලා. කිසිම සද්ද බද්දයක් නෑ ගෙදර පන්සල වගේ. ඊට පස්සෙ හවස 6ට වගේ නැගිටලා නාලා පොඩ්ඩක් ගාණක් දෙකක් හදනවා. 8ට අනිවාර්යෙන්ම කෑම මේසෙ ලෑස්ති වෙනවා. අපි හැමෝම වගේ බත් එක බෙදාගෙන සාලෙට ඇවිත් ටීවි එකේ ප්රවෘත්ති බලලා, 8:30 නාට්ය බලනවා. ඒ කාලෙ ගියෙ සකිසඳ එලියස් වගේ සුපිරි නාට්ය. ඊට පස්සේ 9ට වගේ පාඩම් කරන්න පටන් ගන්නවා. අනිවාර්යෙන්ම පාන්දර 1-2 වෙනකල් අදිනවා දෙන්නම.
පාඩම් වැඩේ නැගලම ගියා. මුකුත් නොකර ඉඳලා පටන් ගත්ත නිසා මුල ඉඳලාම වගේ අදින්න තිබුනා ලෝඩ් එක. අසිතලගෙ ගෙදර අම්මවත් අප්පච්චිවත් අපි දෙන්නට කවදාවත් කිසිම බල කිරීමක් කරේ නෑ පාඩම් කරන්න. ඉඳලා හිටලා අපි දෙන්නටම කලින් නින්ද ගියොත් කවදාවත් වචනයක් වත් කියලා නෑ. කිසිම පීඩනයක් දුන්නෙ නෑ. බණ්ඩාර ඇන්ටි නිදන්න යද්දි අපි දෙන්නටම කිරි දෙකක් හදලා ගෙනත් දෙනවා රෑ 10ට වගේ. හොඳට රෑට කාලා ඉන්න නිසා මටනම් රෑට කිරි එක සෙට් වෙන්නෙම නෑ. අසිතයට ඒ කිරි එක බීවෙ නැතිනම් උට නින්ද යන්නෙ නෑ. පස්සෙ මම රෑ කිරි එක එපා කියලා ඇන්ටිට කීවා. සමහර දවස් වලට අසිතයා රෑ 12, 12:30 වෙද්දි පුටුව උඩ රූණා වගෙ කැරකෙනවා නිදිමතට. "පොඩ්ඩක් නිදපන්, මම ඕනිනම් ඇහැරවන්නම් ආපහු" කියලා මම කිව්වම "බෑ, බෑ. ඇඳට ගියොත් බඩු පැකට්. මෙහෙමම අදිනවා". මට සමහර දවසට තනියම හිනා. "ඒ මේක උඹට තේරෙනවද?" කියලා සමහර පාඩම් ගණන් අපි දෙන්න ශෙයා කරගෙන ඉගෙන ගත්තා. "අඩේ උඹට මැත්ස් පුලුවන්නෙ, අපරාදෙ උඹ පාඩම් නොකර හිටියෙ" කියලා අසිතයා නිතරම කිව්වා. මෙහෙම ටික කාලයක් යද්දි අපේ තාත්ත ඇවිත් "බණ්ඩාර මහත්තයා, අපි කීයක් හරි දෙන්නම් චාමර මෙහෙ ඉන්න එකට, මොනා වුනත් වියදමක්නෙ" කියලා කිව්වා. "පිස්සුද උපාලි? මේවා මේ සල්ලිවලට කරන දේවල් නෙමි, මේ දරුවා දැන් අපේ දරුවෙක් වගේ" කියලා බණ්ඩාර අන්කල් කිව්වා. පස්සෙ බැරිම තැන අපේ අම්මයි තාත්තයි මාසෙකට සැරයක් වගේ කෑම බීම වගේ දේවල් ගෙනත් දුන්නා. ඒත් අන්කල්ගෙනම් ඒකට මනාපයක් තිබුනෙම නෑ.
කොහොමහරි අසිතයා එක්ක ඉද්දී ආතල් සීන් කීපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි උට තියෙන අසාමාන්ය අමතක වීම. ඒකනම් එසේ මෙසේ එකක් නෙමි. හොඳම එක සමහර දවසට ඌ උදේට ඉස්කෝලෙ යනවා බයිසිකලේ. හවස පයින් එනවා ගෙදර. "කෝ බං බයිසිකලේ?" කියලා මම ඇහුවම "හුටා, අමතක වුනානෙ". ඒ කියන්නෙ උට සමහර දවසට බයිසිකලේ ගිය එක මතක නෑ. මූ ආපහු හවස ඉස්කෝලෙට පයින් ගිහින් බයිසිකලේ අරන් එනවා. "මම වගේ පයින්ම පලයංකො බං, එතකොට ආයි දෙසරයක් යන්න ඕනි නෑනෙ" කියලා මම උට විහිළු කරනවා. ඒත් ඌ බයිසිකලේ යන එක අතාරින්නෙ නෑ. ඉස්කෝලෙ කාලෙ බයිසිකල් ජීවිත ගත්තම අසිතයයි මැට්ටයි කියන්නෙ පුරවෘත්ත. හැමවෙලේම බයිසිකලේ එක්ක තමයි උන් දෙන්නම පේන්න ඉන්නෙ. මමත් ඉඳලා හිටලා පන්ති යද්දි එහෙම අසිතයගෙ බයිසිකලේ පදිනවා. කොහොමත් ඒ බයිසිකලෙත් ගණිකාව වගේ තමයි. අසිතයා ලොක් කරන්නෙත් නෑ ඒක කොහෙ නතර කරත්. ගිහින් නතර කරාම වෙන එවුන් ඒක පැදගෙන යනවා අනන්තවත් දැකලා තියෙනවා, සමහර වෙලාවට දන්නේවත් නැති උන්. සමහර දවසට පන්ති යනකොට උට පෑන් අමතක වෙනවා. පොත් මාරු වෙනවා. "හුටා" කියලා ඉතින් ඔළුව කහනවා. ලෝක බාලදක්ෂ ඉතිහාසයෙම නැතිව ඇති අසිතයා තරම් ලොග් බුක් හදපු එකෙක්. ලොග් බුක් එක කෑම්ප් එකකට වගේ ගියොත් අනිවා අමතක වෙනවා. ඉතින් ආපහු අලුත් එකක් හදනවා. ඒ හදන හැම එකේම ඉතින් අපේ විමල් පෙරේරා සර්ගෙ අත්සන මම ගහන්නෙ. අසිතයගෙ ලොග් බුක්වල සර්ගෙ අත්සන ගහලම මට සර්ට වඩා හොඳට සර්ගෙ අත්සන ගහන්න පුළුවන් වුනා. ඒ නිසා ඒ කාලෙ ඉස්කෝලෙ වෙලාවට එලියට යන්න ලියුම් හදලා මම සර්ගෙ අත්සන ගහගෙන ගියා. සමහර දවසට සති අන්තෙ පන්ති යන්න ලෑස්ති වුනාම අන්කල් ගිහින් දානවා. මම ඉතින් ලෑස්ති වෙලා ඉද්දි අසිතයා සුපුරුදු පරිදි පරක්කු වෙලා තමයි නැගිටලා ලෑස්ති වෙන්නෙ. සමහර දවස්වලට අන්කල් ඌව තියලා මාව කාර් එකේ ගිහින් දාලා එනවා. "බබා, ඉක්මණට ලෑස්ති වෙන්න. මේ දරුවා ලෑස්ති වෙලා බලාගෙන ඉන්නවා. ඔයා පරක්කුනම් මම මේ දරුවා දාලා එනවා" කියලා අන්කල් කියන දවස් තිබුනා.
මේ විදියට නිදහසින් සහ සතුටින් කාලය ගෙවීගෙන විභාගෙටත් එන්න එන්නම ලං වුනා. මම ගෙදර ගියෙ සෑහෙන කලාතුරකින්. ගොඩක්ම ගෙදර කට්ටිය සති අන්තෙට වගේ එනවා බලලා යන්න ටවුමට ආපුවම. කාලයත් එක්ක මම ගෙදරට වඩා අසිතයගෙ ගෙදරට ආස වුනා. එන්න එන්නම මගේම ගෙදර වුනා. අයියා නැති දවසට මම නිදාගත්තෙ අයියාගෙ කාමරේ. ඒකෙ ක්ලැසික් සෝනි සෙට් අප් එකක් තිබුනා. නිදන්න ගියාම සෙට් අප් එක ලාවට දාලා හිරු එෆ් එම් එහෙමත් පොඩ්ඩක් දාලා සින්දුවක් දෙකක් අහලා තමයි නිදාගන්නෙ. සමහර දවසට ආයුර්වේදෙ පිටිපස්සෙ පොඩි පිට්ටනියක් වගේ තැනක ඒ පැත්තෙම හිටපු සසික මල්ලි (Sasika Sooriyaarachchi) එහෙම අල්ලගෙන අපි ක්රිකට් පාරක් එහෙමත් ගහනවා. කොහොමහරි විභාගෙ කිට්ටු වෙලා හොඳ සූදානමකින් ඉද්දි විභාගෙට සති තුනක් වගේ තියලා මට ටයිපොයිඩ් උණ හැදුනා. සති දෙකක් වගේ ඉස්පිරිතාලේ ඉන්න වුනා කුරුණෑගල. මම විභාගෙ නොලියා ඉන්න තීරණය කරාම තාත්තා කිව්වෙ "පුරුදු වෙන්න හරි ලියන්න. රිසල්ට් එක මොකක් ආවත් කමක් නෑ" කියලා. විභාගෙට දවස් 2-3 ක් තියලා තමයි මම හරියටම රිකවර් වුනෙ. ඊට පස්සෙ විභාගෙ තිබුනා. අපේ සැරෙ ඇප්ලයිඩ් පේපර් එක හැදුවේ මහා ප්රාඥ නලින් ද සිල්වා. දුන්නා හාන්සි වෙන්නම හැමෝටම. අපේ අයිලන්ඩ් ෆස්ට් වුන දුලිපාටත් ඒකෙ ගණන් නවය හදන්න බැරි වුනා කියලා අවුලෙ හිටියෙ. කොහොමහරි විභාගේ ඉවර වුනා. මම රිසල්ට්ස් එනකල් මාස 2-3ක් නුවර ලොකු අම්මලාගෙ ගෙදර ගියා. එහෙ ඉඳන් නුවර පන්ති යන්න පටන් ගත්තා දෙවෙනි සැරේට. ඔහොම ඉද්දි රිසල්ට් ආවා. කොහොමහරි බී තුනක් තිබුනා මට. අසිතත් ගොඩ දාල තිබුනා. පස්සෙ ආපහු අසිතයම කිව්වා "වරෙන් බං ආපහු කුරුණෑගල, මේ සැරේ හොඳට ප්ලෑන් කරල කරමු" කියලා. මම ආපහු අසිතලගෙ ගෙදරම ආවා. එහෙ ඉඳලා සුපුරුදු පරිදි දෙවෙනි සැරේට ලෑස්ති වුනා. ඉස්කෝලෙ යන්න නැති නිසා රිවිශන් ගිහින් දෙවෙනි සැරේ කරා. දෙවෙනි පාර මට ඒ දෙකයි සී එකයි. අසිතයට ඒ බී සී.
පස්සේ අපි දෙන්න කොළඹ කැම්පස් එකේම මම කම්පියුටර් සයන්ස්වලටයි, අසිතයා අයිසීටීවලටයි සිලෙක්ට් වුනා. ඩිග්රි දෙකක් වුනත් අපි එකම බැච් එකේ. අසිතයාත් එක්ක සිමා කරපු හැටි මම වෙනම ලියලා තියෙනවා. ඌත් එක්කම අපි බෝඩිමේ හිටපු එක වෙනම ලියලා තියෙනවා. අවුරුදු දෙකකට ආසන්න කාලයක් මම අසිතලගෙ ගෙදර හිටියා. බණ්ඩාර අන්කල් සහ බණ්ඩාර ඇන්ටි කියන්නෙ මම ජීවිතෙ වැඩියෙන්ම ගරු කරන ආදරය කරන චරිත දෙක. ඒ මනුස්සකම, ඒ ආදරය, ඒ කරුණාව, ඒ දයාව, ඒ ලෙංගතුකම ගැන කියන්න වචන නෑ. මම දැකපු ආදර්ශමත්ම විවාහ ජීවිතය, මම දැකපු ආදර්ශමත්ම දෙමව්පියන් දෙන්නා. අඩුම තරමේ එකම එක හිත් රිදවීමක්වත් මට වෙලා නෑ. විභාගෙ ඉවර වෙලා එහෙන් යන්න යද්දී බණ්ඩාර ඇන්ටි කිව්වෙ "නෑවිදින් ඉන්න එපා, පුළුවන් හැම වෙලාවකම මෙහෙ ඇවිල්ලා ඉඳලා යන්න" කියලා. මමත් ඊට පස්සෙ එහෙ ඉඳලා හිටලා ගියා, හිටියා සමහර දවස්වලට. අයියත් අපිට වඩා වැඩිමල් වුනාට ගොඩක්, මට තමන්ගෙම මල්ලි කෙනෙක්ට වගේ සැලකුවා. ගෙදර ඉන්න වෙලාවට මාත් එක්ක කයියක් ගහගෙන ඉන්නවා. අසිතයයි අයියයි ගේමෙම ඉන්නෙ අයිස් ක්රීම් ගෙනාපු දවසට, උන් දෙන්නගෙම ආසම කෑම. අයියට කලින් අයිස් ක්රීම් එක බෙදාගන්න එක තමයි අසිතයගෙ ලොකුම ගේම. ඊට අමතරව පොඩි කාලෙ ඉඳලා අසිතලගෙ ගෙදර හිටපු අසිතයා බලාගත්ත ඥාණාත් අපි හැමෝටම ආදරෙන් හිටියා. ඥාණා දවල්ට කැන්ඩි ගාමන්ට් එකේ වැඩට යනවා, හවසට ඇවිත් රසට කෑම ටික හදනවා. ගෙදර අය ඇරුණුකොට අසිතයගෙ නෑදැයොත් මට ගොඩක් කිට්ටු වුනා. අසිතයගෙ මාමා හිටියෙ මීරිගම. දූරියන් ඉදෙන කාලෙට කැබ් එකකින් එකක් පටවගෙන එනවා දූරියන්. අපි ඒ නෑදැයොත් එක්ක ට්රිප් එහෙමත් ගියා. මීරිගම යද්දි මාත් යනවා අසිතලත් එක්ක. බණ්ඩාර අන්කල්ගෙ ගම බලල්ලෙ. එහෙත් යනවා. විභාගෙ ඉවර වෙලා අසිතයයි මමයි එහෙ ගිහින් සතිය දෙක ඉඳලා ඇවිත් තියෙනවා.
අසිතයා කියන්නෙ අදටත් මගේ හොඳම යාළුවා. මගේ බෙස්ට්මන්ට හිටියෙත් අසිතයා. බණ්ඩාර අන්කල් තමයි මගේ කසාදෙටත් සාක්ෂි විදියට අත්සන් කරේ. අසිතයට හරි ගියෙම නැති සබ්ජෙක්ට් එක තමයි ලව් සීන්. අතේ තිබුන සමහර ලව් වලට ලොකු සීන් දීලා හරියන්නෙම නැති ඒවට තමයි ට්රයි කරේ. අසිතයගෙන් මගේ ජීවිතේට ගත්ත දේවල් ගොඩාක් තියෙනවා. උගෙ තියෙන උනන්දුව, කැපවීම, උත්සාහය අනික් මිනිස්සුන්ට වඩා ගොඩාක් ඉස්සරහින් තියෙන්නෙ. මම දවසක් වෙන එකෙක් ගොන්පාට් එකක් දීලා අසිතයට ඒ ගැන මෙහෙම කිව්වා "බලපන්, මම අරූට මෙච්චර උදව් කරලත්, ඌ මට මේ උදව්ව කරේ නෑ. කිසි ගුණයක් නෑ" කියලා. අසිතය ගත් කටටම කිව්වෙ "මචං මිනිස්සුන්ට උදව් කරපන්, හැබැයි ආපහු බලාපොරොත්තු වෙන්න එපා උන් අනික් අතට කරයි කියලා". මේක මට සෑහෙනට දැනුන දෙයක් සහ මම අදටත් ඒක ඒ විදියටම පිලිපදිනවා. ඒ වගේම ස්කවුටින් සීන් වලදි අපි දෙන්නා ගහගන්න ඔන්න මෙන්න වගේ වලි ගිහින් තියෙනවා. ඒත් ඒවා දැන් ලස්සන මතක විතරයි. අසිතයා දැන් ඉන්නෙ ඔස්ට්රේලියාවෙ. කොච්චර ඈතක හිටියත් අපේ යාළුකම ඒ විදියමයි. අදටත් මම කුරුණෑගල ගියොත් අසිතයගෙ ගෙදර යන එක අනිවාර්යෙන්ම කරන දෙයක්. බණ්ඩාර අන්කලුයි, ඇන්ටියි බලලා කතා කරලා එන එක මට දැනෙන්නෙ මගේ ගෙදර ගිහින් එනවා වගේ. අන්කල්ට ඇන්ටිට දීර්ඝායුෂ පතන අතරේම අසිත, උඹත් එක්ක තියෙන මතක මෙහෙම පෝස්ට් එකකින් දෙකකින් ඔක්කොම ලියන්න අමාරුයි. ස්කවුටින්, ගෙදර ලයිෆ් එක, බෝඩිම, කැම්පස් එකේ, ඊට පස්සෙ උඹ ලංකාවෙන් යනකල්ම අපි නිතර හම්බුනා හැම දේකදිම. උඹ දුර හිටියට අපි තාම දුරස් වුනෙ නෑ. උඹට ජය

අමතක නොවන මතක 17 : ජීවිතේ අඳුරුතම දවස 2016/10/23



2016 ඔක්තෝබර් 23 වෙනිදා කියන්නෙ මගේ ජීවිතේ අඳුරුතම දවස කිව්වොත් ඒක නිවැරදියි. ඔක්තෝබර් 22 වෙනිදා අපේ ඉස්කෝලෙ අපේ 2003 කණ්ඩායමේ වාර්ශික සුහද හමුව ඉතා ඉහලින්ම කුරුණෑගලදී පැවතුනා. 23 පාන්දර වෙනකල්ම අපි හුඟක් විනෝද වුනා. පාන්දර සියළු වැඩ කටයුතු ඉවර වෙලා මගේ හොඳම මිතුරෙක් වුන අනුරුද්ධ මා හට ඔහුගේ ගෙදර යාමට කොතරම් ආරාධනා කලත්, පාන්දර 4.30ට පමණ කොළඹ බලා පිටත් වීමට මමත් මගේ මිතුරු ගොඩයාත් තීරණය කලා. මගේ කාර් රථය පැදවීම ගොඩයා බාරගත්තා, අපි දෙන්නම ගිරිඋල්ල වනතුරු වගේ කතා කරමින් පැමිණියා. නමුත් මම ගිරිඋල්ලේදී සීට් එක පාත් කර නින්දට වැටුනා. ගොඩයා දිගටම කාර් එක පදවාගෙන ගියා. එක්වරම මාහට ඇසුන විශාල ශබ්දයෙන් මට ඇහැරෙද්දී, "ජයා මට පොඩ්ඩක් නින්ද ගියා, කාර් එක ඇක්සිඩන්ට් වුනා" කියලා ගොඩයා කිව්වා. කාර් එක ඇතුලෙ එයා බෑග් ඔක්කොම ක්රියාත්මක වෙලා තිබුනා. වේගයෙන් පැමිණි කාර් එක පාරෙන් ඉවතට විසිවී හාඩ්වෙයාර් එකක විකිණීමට තිබුන විශාල ගඩොල් ගොඩක වැදී නතර වී තිබුනා. වින්ඩ්ස්ක්රීන් එක කඩාගෙන සමහර බ්ලොක් ගල් කාර් එකේ ඩෑශ් බෝඩ් එක මත තිබුනා. වෙලාව පාන්දර 5:45ට වගේ වෙලා තිබුනා. පාත් කරගෙන තිබුන සීට් එකෙන් මම නැගිටීමට උත්සාහ කරත් මට අඟලක් හෝ එහා මෙහා වීමට හැකියාවක් නැති බව මට වැටහුනා. මිනිසුන් ශබ්දයත් සමග එක් රැස් වීමට පටන් ගත්තා.
එක්වරම පැමිණි අය මාව කාර් රථයෙන් එලියට ගැනීමට උත්සාහ කරද්දී මම කිව්වා "මට නැගිටින්න අමාරුයි, මට ඉස්සෙන්න බෑ", මෙය ඇසුන එක් පුද්ගලයෙක් "කලබල කරන්න එපා, අපි මෙයාව හෙමින් එලියට ගමු" කියලා තවත් කීප දෙනෙක් සමග මා වැතිර සිටි ආකාරයටම ඉවතට ගෙන බිම දිගාකරා. වාහනයෙ මා සිටි පැත්ත සම්පූර්ණයෙන්ම කුඩු පට්ටම වී තිබුනා. ගොඩයාටවත් මටත් කිසිදු සීරීමක් හෝ වෙලා තිබුනේ නෑ. එහෙත් මට නැගී සිටීමට නොහැක්කේ ඇයි දැයි මට හිතාගන්න බැරි වුනා. මාව රෝහලකට ගෙනයාමට ත්රීවීල් කීපයක්ම පැමිණියත්, මාව වාහනයෙන් එලියට ගත් පුද්ගලයා "ත්රීවීල්වල ගෙනියන්න එපා, කාර් එකක ගෙනියමු, මෙයාගේ කොන්දට මොකක් හරි ප්රශ්ණයක් වෙලා තියෙනවා" කියා කාර් රථයක් ඔහුම රැගෙන විත් පිටිපස්සෙ සීට් එකට මාව හරස් අතට ඉතා ප්රවේශමෙන් දිගා කරා. ගොඩයාත් කාර් එකට නැග්ගා. අපිව එක්කරගෙන ගියේ වතුපිටිවල රෝහලට. රෝහලට රැගෙන ගිය විගසම ඇටෙන්ඩන්ට් මහත්වරු කීප දෙනෙක් දිව ආවත් මාව රැගෙන ආ පුද්ගලයා "කලබල කරන්න එපා, ඇක්සිඩන්ට් එකක්, ඉක්මණට ඩොක්ටර් කෙනෙක්ට එන්න කියන්න" කියා කෑගසනවා මට ඇහුනා, ඩොක්ටර් කෙනෙක් ආව ගමන්ම "ඩොක්ටර්, සීරියස් ඩැමේජ් එකක් වගේ, මෙයාව පරිස්සමින් ගන්න" කියලා ඔහු කීවා. ඉන්පසු ප්ලාස්ටික් බෝඩ් එකක් මතට මාව පරිස්සමින් ගත්තා. ඒ එක්කම කොලර් එකක් බෙල්ල ප්රදේශයට පැලඳුවා. මාව රෝහල ඇතුලට ගත් ගමන් ඩොක්ටර්ස්ලා ඇහුවේ "ඔයාගේ කකුල් හිරි වැටිලා වගේ දැනෙනවද?" කියන ප්රශ්නේ.
මේ වන විට අනතුර සම්බන්දයෙන් මම මුලින්ම දැනුවත් කරේ මගේ ඟාති සහෝදරයෙක් වෙන තිළිණ අයියට. තිළිණ අයියා ඒ විගසම වතුපිටිවල රෝහලේ ඩොක්ටර්ස්ලට කතා කරලා තිබුනා, ඔහුගේ මිතුරෙක් මා පිළිබඳ සියල්ල සොයලා බැලුවා. ගොඩයා අපේ අනික් යාළුවන්ටත් දැනුම් දී තිබුනා. මගේ තාත්තාත්, දුමානිගේ ලොකු අයියාත්, මගේ මස්සිනා ලක්මාල් මල්ලිත් කුරුණෑගල සහ කොළඹ සිට පිටත් වෙලා තිබුනා. මාව එක්ස් රේ පරීක්ෂණයකට යොමු කරා. "ඔයාගේ තත්වය ටිකක් බරපතලයි, අපිට ඔයාව කොළඹ යවන්න වෙනවා" කියලා ඩොක්ටර් කෙනෙක් ඇවිත් කියද්දී, "ඇයි ඩොක්ටර් මට නැගිටින්න බැරි?" කියලා මම ඇහුවා. "බය වෙන්න එපා, කොළඹ ගියාම ඒ අය කරන්න ඕන දේවල් කරයි" කියලා ඒ ඩොක්ටර් කීවා. ගොඩයාත් උට පුළුවන් විදියට මාව අස්වසාලමින් සිටියා. තාත්තාත්, ලොකු අයියාත්, ලක්මාල් මල්ලිත් මේ වෙද්දී ඇවිත් තිබුනා, "පුතේ මම එන ගමන් කාර් එක දැක්කා, ඔයාට මීට වඩා ලොකු දෙයක් වෙලා ඇති කියලා මම බයෙන් ආවෙ, ඔයාට මුකුත් වෙන්නේ නෑ" කියලා ඇස්වල කඳුළු පුරවාගෙන කීවා. දුමානිට කතා කරලා දැනුම් දෙන්න තරම් මගේ හිතට හයියක් තිබුනේ නෑ. ඒත් මේ වෙද්දී දුමානිට තිළිණ අයියා කතා කරලා දැනුම් දෙන්න ඇති කියලා මට හිතුනා. තාත්තා, අයියා, ලක්මාල් මල්ලි ළඟ ඉන්න එකත් එක්ක මට ලොකු හයියක් දැනුනා. ටික වෙලාවකින් ඇම්බියුලන්ස් එකක් පැමිණ කොළඹ බලා යාමට පිටත් වුනා.
ඇම්බියුලන්ස් එක සයිරන් එකත් දාගෙන ඉතා වේගයෙන් ගමන් කරන බව මට තේරුණා. "අයියෙ, ඔයාට මොකද හිතෙන්නෙ, මට මොකක් හරි ලොකු ප්රශ්ණයක්ද?" මාත් සමග සිටි ඇටෙන්ඩන්ට් මහතාගෙන් මම ඇහුවා. ඔහු ඉතා කාරුණික අයෙකි, "කිසි දේකට බය වෙන්න එපා, ඔයාට මුකුත් වෙන්නෙ නෑ, මෙහෙම අය නෙමි අපි මේකෙ දාගෙන ගිහින් තියෙන්නෙ, ඔයාට හොඳ වෙයි". පැය භාගයකට ආසන්න කාලයකදී ඔවුන් කොළඹ ජාතික රෝහල වෙත මාව රැගෙන ආවා. මේ වන විට තිළිණ අයියා රෝහලට පැමිණී තිබුනා, ඔහුගේ මැදිහත් වීමත් සමගම මාව ඉක්මණින් එහි කාමරයක් වෙත රැගෙන ගියා. "මෙයාට වතුර දෙන්න එපා, ෆාස්ටින් තියන්න" කියලා මාව චෙක් කරපු ඩොක්ටර් කෙනෙක් කිව්වා. තිළිණ අයියා පැවසුවේම "කලබල වෙන්න එපා, බය වෙන්න එපා, අපි සර් මොකක්ද කියන්නේ කියලා හෙමින් බලමු" කිව්වා. මම නැගිටීමට සෙලවීමට උත්සාහ කරත් එය කිසිසේත්ම නොහැකි බව මට තේරුණා. විශේෂඥ වෛද්යවරයෙක් ටික වෙලාවකින් පැමිණ මගෙන් සියළු විස්තර අසා දීර්ඝ කතා බහක් තිළිණ අයියා සමග කරන බව මම දැක්කා. "මල්ලි, සර් කිව්වා අපි අයි සී යූ එකට දාල පොඩ්ඩක් මොනිටර් කරමු කියලා" තිළිණ අයියා මට කිව්වා. "අයියෙ, ඔපරේෂන් කරන්නද යන්නේ?", "බලමුකෝ මොකද කරන්නේ කියලා, මම ඉන්නවනේ, බය වෙන්න එපා" කියලා තිළිණ අයියා කිව්වා. මාව ට්රොලි එකේම අයි සී යූ එකට අරන් ගියා. එහෙම ගිය ගමන්ම මටම වෙනම ඇඳක්, වෙනම හෙද මහත්මියක් වෙන් කෙරුනා. තිළිණ අයියා එහි සිටි හෙද කාර්ය මණ්ඩලයට සහ වෛද්යවරුන්ට මා ඔහුගේ සහෝදරයෙක් බව හඳුන්වා දී "දැන් බය වෙන්න එපා මල්ලි, ඔක්කොම බලාගනී මෙතන අය" කියලා පිටත් වුනා.
අයි සී යූ එකක් තුළ මාගේ ප්රථම අත්දැකීම වුන නිසා එය තරමක් බය හිතෙන් දෙයක් වුනා. ඉතා අසාද්ය රෝගීන් පිරිසක් සිටින වග මට තේරුම් ගියා. එක එක මැශින්වලින් එන ශබ්දය ඉතාම කටුක අත්දැකීමක් වුනා. සමහර ශබ්ද නතරවීමත් සමගම සමහරු ජීවිතය හැර ගිය බව දැනුනා. මා වෙනුවෙන් සිටි හෙද මහත්මිය ඉතා කාරුණික අයෙක් වුනා, මගෙන් විස්තර සියල්ලම අසා දැනගත් ඇය මගේ දත් මැද ටී ශර්ට් එක කපා ඉවත් කර තවත් කීප දෙනෙක් සමග එක් වී මාව නහවා වෙනම රෝහල් ඇඳුමක් අන්දවා නැවත ඇඳ මත දිගා කර පැයෙන් පැයට මගේ පාදවල ඇඟිලි තුඩේ සිට තට්ටු දමමින් "ඔයාට පොඩි හරි හිරි වැටීමක් දැනෙනවානම් කියන්න" කියලා කිව්වා. දිගින් දිගටම පරීක්ෂා කරේ පාද හිරි වැටීමකට ලක් වෙනවාද කියන එකයි. ඉන්පසු මට කීපවතාවක් නින්ද ගියා. වේදනානාශක සහ බෙහෙත් ලබාදීම ආරම්භ කරලා තිබුනා. "මේ අනතුරත් එක්ක ඔයාගේ කොන්දේ ෆ්රැක්චර් එකක් ඇවිත් තියෙනවා, දැනට පේන ලක්ෂණත් එක්ක සුසුම්නාවට හානියක් වෙලා නෑ කියන එක තමයි අපිට නිගමනය කරන්න පුළුවන්, ඒත් අපිට දිගටම නිරීක්ෂණය කරන්න වෙනවා යම්කිසි හානියක් වෙලා ඒක සෙමින් ලක්ෂණ පෙන්වීමකට යනවාද කියන එක. කකුල් දෙකම උස්සන්න පුළුවන් නේද? තාම බය වෙන්න දෙයක් නෑ. අපි හෙමින් බලමු" ඩොක්ටර් කෙනෙක් හෙමින් පහදලා දුන්නා. හවස රෝගීන් බලන වෙලාව වෙද්දී දුමානියි, තාත්තයි ඇවිත් අයිසීයූ එකට එළියෙන් මම දිහා බලාගෙන හිටියා. මට කෑ ගහලා අඬන්න හිතුනත්, මම ඒක තද කරගෙන හිනා වුනා. ඒත් දුමානි බලාගෙනම හිටියා. තිළිණ අයියාත් ඒ සමගම පැමිණ "ඒ අය ඔක්කොම හොඳින්, මම කතා කරලා තියෙන්නෙ. දැන් වුන දේවල් හිතන්න එපා. හිත හයියෙන් තියාගන්න" කියලා මට කිව්වා.
එකම ආකාරකයට ඇඳේ සෙලවීමටවත් නොහැකිව පැයක් දෙකක් වගේ වැතිර ඉද්දී මගේ කොන්ද ප්රදේශය ගිනිගන්න ආකාරයක් මට දැනෙන්න ගත්තා. එහෙම දැනෙන හැම අවස්තාවකදීම හෙද කාර්ය මණ්ඩලයේ තිදෙනෙක් පැමිණ දෙදෙනෙක් ඇඳේ එක් පැත්තකින්ද තවත් අයෙක් තව පැත්තකින්ද එක්වී දර කොටයක් පෙරලන ආකාරයට "1,2,3" කියා මාව එක් පැත්තකට හරවා, ඉන්පසු ඕඩිකොලොන් සහ පවුඩර් තවරා නැවත ආපසු හරවා තැබුවා. අයිසීයූ එක ඇතුලට ගත් විගසම කැතීටර් එකක් සවිකර තිබුනා මූත්රා පිටකිරීමට. පලමු රාත්රිය ගෙවුනා, ජීවිතේ දිගම රාත්රිය එයද කියලා මට හිතුනා. පැයෙන් පැයට මාව පරීක්ෂා කිරීමත්, නිතර ඇහෙන ශබ්දත් නිසා එය කිසිසේත්ම සුවදායක නින්දක් නොවුනා. ගොඩාක් දේවල් කල්පනා වුනා, ජීවිතේ නැවත කිසිම දිනක නැවත නැගී සිටීමට නොහැකිදැයි සිතුනා. දෙවෙනි දවසත් උදා වුනා. තිළිණ අයියා, දුමානි, තාත්තා උදේ වෙද්දිම ආවා. දුමානිටත් තාත්තාටත් එලියේ සිටම බලා සිටින්නට සිදු වුනා. තිළිණ අයියා ඩොක්ටර්ස්ලා සමග කතා කරා. තිළිණ අයියාගේ මූණ දැකීමත් මට මහා අස්වැසිල්ලක් වුනා. "බය නැතිව ඉන්න, මම හැමදේම බලාගන්නවා" ඔහු හැමවිටම කිව්වේ එයයි. අයිසීයූ එකේ හැම පැයක්ම මට දැනුනේ පැය දෙක තුනක් වගේ. අයිසීයු එකේ කාර්ය මණ්ඩලය ඉතා කරුණාවෙන් මට අවශ්ය හැම දෙයක්ම සොයා බලා සිදුකරනු ලැබුවා. හවසත් වුනා. මගේ යාළුවෝ කීප දෙනෙකුත් පැමිණ එලියේ සිට මට අත වනා පැවසුවේ "බය වෙන්න එපා, මචං" කියනා ආකාරයෙන්. ඔවුන්ට මම සුපුරුදු පරිදි හිනා වුනත් මගේ හිත මට කිව්වේ මම එක්තැන් වීමට සූදානම් වන වගක්.
සියළු පරීක්ෂා කිරීම් අතරේ දෙවෙනි දවසත් නිමාවී තුන්වෙනි දවස උදා වුනා. තිළිණ අයියා උදේම ඇවිත් "මල්ලි, ස්පයින් එකට ඩැමේජ් එකක් වෙලා නෑ පේන විදියට. ඇක්සිඩන්ට් වෝඩ් එකට මාරු කරයි දැන්, ඊට පස්සේ බලමු අපි මොකද කරන්නේ කියලා" කියලා කිව්වා. මාව දවල් වෙද්දී හදිසි අනතුරු වාට්ටුවට මාරු කරා. එතනට ගිය ගමන් මට මා සිටි ආකාරය ගැන අස්වැසීමක් ලැබුනා. මට සෙලවීමටවත් නොහැකි වුනත්, මට සීරීමක්වත් නොතිබිණි. එහි සිටි සමහරක් වේදනාවට කෑගසති. වේදනාවට හෙද කාර්ය මණ්ඩලයට බනිති. මම එහි ඇඳකට මාරු කරනු ලැබීය. මට එහා පැත්තේ සිටියේ පාතාලයේ වෙඩි හුවමාරුවකදී වෙඩි වැදී සිටි අයෙකි, මේ නිසා වාට්ටුව වෙත විශේෂ පොලිස් ආරක්ෂාවක්ද ලබාදී තිබිණි. මා හට ඇති වූ අනෙක් අස්වැසිල්ල වූයේ රෝගීන් බලන වේලාවට දුමානිට සහ තාත්තාට මා ළඟට පැමිණීමට ඇති වූ හැකියාවයි. සිදුවීම වැරදි වුනත් ඇයවත් තාත්තාවත් මට කිසිදු වෙනසක් නොපෙන්වා ආදරයෙන් මට කතා කරා. තිළිණ අයියා නිතරම පැමිණ මාගේ වාර්තා නිරීක්ෂණය කරා. නංගීගේ යාළුවෙක් හෙද කාර්ය මණ්ඩලයේ සිටි අතර ඇයද නිතර මා ගැන සොයා බැලුවා. නමුත් අයිසීයූ එකේ තරම් වූ අවදානයක් මා වෙත යොමූ කිරීමට ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ ප්රමාණය මදි වුනා. මේ නිසා මාව පැයෙන් පැයට පෙරලීමට ඔවුන්ට තුන්දෙනෙක් සොයගැනීම අපහසු වුනා. ඒ අවස්ථාවලදී සිදුකරනු ලැබූ පෙරලීම් මා හට ඉතා වේදනාකාරි වුනා. කොන්ද කැඩී ඇති ස්ථානයේ වේදනාව නියම ආකාරයෙන් දැනුනේ මෙවන් වෙලාවටය.
හදිසි අනතුරු වාට්ටුවේ මේ ආකාරයෙන් රාත්රි දෙකක්ද ගත වී ගියා. මේ වන විට සිදුවන්නේ කුමක්ද කියා ලොකු කුතුහලයක් ඇති වී තිබුනා. විටින් විට පැමිණෙන විවිධ විශේෂඥ වෛද්යවරුන්ගෙ මතයන් විවිධාකාර වුනා. "මෙයාට මෙහෙම තව මාස 2-3ක්ම හිටියොත් ඉඳගන්න වගේ පුළුවන් වෙයි, මාස 6න් වගේ නැගිටින්න පුළුවන්", තවත් අයෙකුගේ මතය වූයේ "සමහර විට සම්පූර්ණයෙන්ම හොඳ වෙන්න අවුරුද්දක් වගේ කාලයක් යයි". මාගේ සියළු වාර්තා පිටපත් රැගෙන තිළිණ අයියා විශේෂඥ වෛද්යවරු කීපදෙනෙක් හමුවීමට ගොස් තිබුන අතර ඔවුන්ගේ මතය වී තිබුනේ මා හට සැත්කමක් සිදුකර මෙය ඉක්මණින් යථා තත්වයට පත්කල යුතු බවයි. මගේ ඉස්කෝලෙ යාළුවන්, කැම්පස් යාළුවන්, නෑදැයන්, මා සේවය කළ සියළු තැන්වල පිරිස් මේ වන විට විශාල වශයෙන් පැමිණෙන්න පටන්ගෙනත් තිබුනා. මේ අතර විද්යාලයේ ආදි ශිෂ්ය සංගමයේ කොළඹ ශාඛාවේ සියළුම සහෝදර අයියලා මේ සඳහා මැදිහත් වී තිබුනා. ඔවුන් මට අවශ්ය ඕනෑම ප්රතිකාරයක් කිරීමට කළයුතු දේ කිරීමට යුහුසුළුව ඉදිරිපත් වුනා. තාත්තා සහ තිළිණ අයියා කතාවී අපගේ කැමැත්තෙන් පුද්ගලික රෝහලකට ඇතුලත් වීමටත් ඒ සඳහා සියළු වියදම් කිරීමට තාත්තා ඉදිරිපත් වුන බවත් තිළිණ අයියා දැනුම් දුන්නා. නමුත් ගැටළුව වුනේ ඒ සඳහා තෝරාගන්න වෛද්යවරයා කවුද කියන එකයි. "මල්ලි, අපි ඩොක්ටර් කෙනෙක්ට කතා කරලම මෙහෙන් යමු". මේවන විට මා කැඩුම් බිඳුම් වාට්ටුවකට මාරු කර තිබුනා. එහි කාර්ය මණ්ඩලය ඉතා සුලු පිරිසක් වුනා, තාත්තා මා ලඟ සිටි අතර ඔහුට මා සිටින වේදනාව බලා සිටීම ඉතා අපහසු දෙයක් වුනා.
ඉන්පසුව ඇරඹියේ මේ සඳහා සුදුසුම විශේෂඥ වෛද්යවරයා සෙවීමේ කටයුත්තයි. "මල්ලි සුනිල් සරුත් ලංකාවෙන් යනවා ඉදිරි දවස්වල, හැමෝම කියන්නෙ ප්රසන්න ගුණසේන සර්ට කියලා මේක කරගත්තොත් හොඳයි. ඒත් සර් ඉන්නෙත් කොළඹින් එලියෙ. සර්ට කතාකරගත්තොත් හරි වැඩේ". තිළිණ අයියාත් ඩොක්ටර් ප්රසන්න ගුණසේනව සම්බන්ධ කර ගැනීමට සම්පූර්ණයෙන් උත්සාහ කරන අතරතුර, ආදි ශිෂ්ය සංගමයේ කොළඹ අයියලා ටිකද මේ සඳහා උපරිම වශයෙන් ක්රියාත්මක වුනා. එහිදී සනත් බණ්ඩාර අයියා දරන ලද උත්සාහය ඉහලින්ම සාර්ථක වුන අතර, ඔහුගේ මිතුරියක් වුන ඩොක්ටර් ප්රසන්න සමග සේවය කරන ඩොක්ටර් රුවිනි හරහා ඔහු සම්බන්ද කරගැනීම සාර්ථක වී තිබුනා. ඒ වගේම මාව බාරගැනීමට ඩොක්ටර් ප්රසන්න තීරණය කර තිබුනා. සනත් අයියා මා බැලීමට පැමිණ කියා සිටියේ "මල්ලි, බය වෙන්න එපා. ඩොක්ටර් ප්රසන්න ඔයාව ගන්නවා කිව්වා. එයා එනකල් රුවිනි ඔක්කොම බලයි" කියලා. ඒ තීරණයත් සමගම අපේ කැමැත්තෙන් මාව ලන්කා හොස්පිට්ල්ස් වෙත ඔක්තෝබර් 30 රාත්රියෙදි ඇතුල් කරනු ලැබුවා. එහිදී ලැබුන වෙනම කාමරයත්, අනෙකුත් පහසුකමුත් සමග මටත් යම්කිසි සහනයක් දැනුන අතර, තාත්තාට එය මහත් අස්වැසිල්ලක් වුනා.
ඔක්තෝබර් 31 උදාවුනා. ඩොක්ටර් රුවිනි උදේම පැමිණ මාගේ සියළු වාර්තා පරීක්ෂා කර "සනත් අයියා මට විස්තරේ කිව්වා, බය වෙන්න එපා. ඩොක්ටර් ප්රසන්න කියන්නේ මේ සම්බන්දව ලංකාවේ ඉන්න හොඳම ඩොක්ටර් කෙනෙක්. එයා ඔයාව හොඳ කරනවා" කියලා මාව එම් ආර් අයි පරීක්ෂණයකට යොමු කරා. එදා හවසත් ඩොක්ටර් රුවිනි ඇවිත් කිව්වා "ඩොක්ටර් ප්රසන්නට මම ඔයාගේ රිපෝට්ස් ඔක්කොම යැව්වා. එයා කිව්වා එයා ආපු ගමන් ඔයාව ඉක්මණටම සර්ජරි එකකට ගන්නවා. කිසි දේකට බය වෙන්න එපා කියලා". මේ වෙද්දිත් තිළිණ අයියා නිතරම ඇවිත් මාත් එක්ක හිටියා. ඩොක්ටර් ප්රසන්න ගැන ගොඩක් කිව්වා. මම ෆෝන් එකෙන් ඩොක්ටර් ප්රසන්න මොන වගේද කියලා හෙව්වා. ඊළඟ දවසත් උදේ වුනා, උදේ හය හමාර වෙද්දි කාමරයේ දොර අරගෙන කොණ්ඩේ සුදු උස ඉතා ප්රියමනාප අයෙක් පැමිණියා. "මම ප්රසන්න ගුණසේන, මට රුවිනි කතා කරලා විස්තරේ කිව්වා. කියන්නකෝ මොකද වුනේ කියලා?" මට දෙවි කෙනෙක් දැක්කා වගේ. මම විස්තරේ කියාගෙන යද්දී ඩොක්ටර් මගේ එම් ආර් අයි රිපෝට් එක දිහා බලාගෙන නලල රැලිකරගත්තා. “You are one of the luckiest patients I have ever got. Looking at the damage, you are very lucky to survive without any harm to your spinal code. I will do the surgery tomorrow morning. Nothing to worry”කියලා කිව්වා. “Doctor, will I be able to walk again?” මම ඇහුවා. “That is why I am doing it, I will play football with you” ඩොක්ටර් එහෙම කියලා මගේ උරහිසට තට්ටුවක් දාලා යන්න ගියා. මට ලොකු සන්තෝසයක් ඇති වුනා. ඩොක්ටර් කතා කරපු විදියට බයක් ඇති වුනේම නෑ. තාත්තා, දුමානි, නංගී, තිළිණ අයියා ඇතුළු මම වටේ හිටපු ඔක්කොම සතුටින් හිටපු දවසක් වුනා. සතියකටත් වඩා හෙල්ලෙන්න බැරිව ඉන්න මට හෙටින් පස්සෙ ඒ දුක ඉවරයි කියන එක දැනෙන්න ගත්තා.
නොවැම්බර් 02 උදාවුනා. කලින් දවසේ වගේම උදේ හය හමාර වගේ වෙද්දී ඩොක්ටර් ප්රසන්න ආවා. මාවත් ලෑස්තිකරලා හිටියේ. "දැන් විතරයි ඔහොම ඉන්නේ, අද හවස් වෙද්දී නැගිටල ඇවිදිනවා. දැන් යමු" කියලා ඩොක්ටර්ම මාව උස්සලා ට්රොලි එකෙන් තිබ්බා. උදේ හත වෙද්දී ඩොක්ටර් තවත් ඩොක්ටර් කෙනෙක් එක්ක ආවා තියටර් එකට. "මචං, මේක මාර බේරීමක්" කියනවා මට ඇහුනා. ඒ එක්කම ආපු තව ලේඩි ඩොක්ටර් කෙනෙක් ඉන්ජෙක්ෂන් එකක් ගහනවා විතරයි මට මතක. ආපහු මට සිහිය එද්දී දවල් දෙකයි කියලා මම දැක්කා තියටර් එකේ ඔරලෝසුවෙන්. මට බේත් විදපු ලේඩි ඩොක්ටර් ලඟ හිටියා, "පැය හයක් වගේ ගියා ඔයාගේ එක ඉවර කරන්න, දැන් බය වෙන්න එපා" කියලා කිව්වා. ටික වෙලාවකින් ඩොක්ටර් ප්රසන්නත් ආවා සිනාමුසු මුහුනෙන් "අම්මෝ ඇට කටුවල හයිය, මට ඇන හයක් ගහන්න මාර වෙලාවක් ගියේ." කියලා සම්පූර්ණ විස්තරේ හිනා වෙමින්ම කිව්වා. ඊට ටික වෙලාවකට පස්සේ මාව ආපහු මගේ කාමරේට අරන් ගියා. මට එහෙම ලොකු වේදනාවක් දැනුනෙම නෑ. මට ඇඳේදි හැරෙන්නත් පුලුවන් කියලා මට තේරුම් ගියා. ඩොක්ටර් ප්රසන්න හවස් වෙලා රූම් එකට ආවා "දැන් ඔහොම ඉන්න ඕනෑ නෑ. වාඩිවෙලා නැගිටලා ඉන්න" කියලා කතා කරලා ගියා. මම අමාරුවෙන් ඉඳගත්තා, ඒත් මට නැගිටලා ඇවිදින්න බය හිතුනා. එදා රෑ මට වෙනදටත් වඩා හොඳට නින්ද ගියා.
නොවැම්බර් 03 උදා වුනා. ඩොක්ටර් ප්රසන්න පුරුදු පරිදිම උදේ හය හමාර වෙද්දී ආවා. "කොහොමද දැන් නැගිට්ටද? ඇවිද්දද?" කියලා ඇහුවා. "තාම ඇවිද්දෙ නෑ, පොඩ්ඩක් බයයි ඩොක්ටර්" කියලා මම කියද්දී "පිස්සුනේ, කෝ දෙන්න අත" කියලා ඩොක්ටර්ම අතින් අල්ලල නැගිට්ටෙව්වා. හරියටම දවස් දහයකට වගේ පස්සේ මම නැගිට්ටෙ. කකුල් දෙක් ගැහෙන්න ගත්තා. "බය නැතිව ඇවිදින්න" ඩොක්ටර් කිව්වා. මගේ ඇස්වලින් කඳුලු ආවා සන්තෝසෙට. එදාම මගේ කැතීටර් එකත් අයින් කරා. මාත් එක්ක එකට හිටපු භානුක මල්ලිගේ කරට අත දාගෙන මම වොශ් රූම් ගියා තනියම. ඇවිදින්න අවුරුද්දක් යයි කියපු මම ඇවිද්දා දවස් 10න්. තිළිණ අයියා විස්තර කරා කොඳු ඇට පේලියෙ ඇන හයක් හයි කරලා තවත් යකඩ පතුරු දෙකක් ඒ ඇන හය හරහා සවි කර පැය හයක සර්ජරි එකක් බවත්, ඩොක්ටර් ප්රසන්න සමග මේ සඳහා සහභාගි වුන අනෙක් වෛද්යවරයා වූයෙ දොස්තර දිල්ෂාන් මුනිදාස බවත්ය. ඔහුත් ඉතාම දක්ෂ වෛද්යවරයෙක් බව පසුව මට දැනගන්න ලැබුනා. ඊළඟ දවසේ ඩොක්ටර් ප්රසන්න පැමිණ පැවසූයෙ මට ගෙදර යන්න පුළුවන් බවත් සතියකින් නැවත් ඔහු හමුවන ලෙසත්ය. එදා දවල් මාව ඩිස්චාජ් කරගෙන ඇම්බියුලන්ස් එකකින් ගෙදර එක්කරගෙන ගියා.
මේ ආකාරයට දවස් 10කින් පමණ මම ගෙදර ආවා. චූටි මැණිකට ඉතා සතුටුය, ගෙදර හැමෝගේම සතුට මට කිසිම වේදනාවක් නොදැනෙන තරමට ඉහවහා ගොස් තිබුනා. දුමානිගෙ අම්මත් අපේ තාත්තාත් සියළු වැඩ නතර කර මම සමග කාලය ගත කිරීමට පැමිණ සිටියා. මාස දෙකක් විවේකගන්නා ලෙස ඩොක්ටර් ප්රසන්න කියලා තිබුනා. සතියකින් ඩොක්ටර් හම්බෙන්න ගියා. “hello, my lucky patient. Come come”කියලා හිනාවෙන් මාව පිළිගත්තා. සියළු මැහුම් දියවී ගොස් තිබුනා. "පොඩ්ඩක් රෙස්ට් එකේ ඉඳලා වැඩ පටන් ගන්න, ඩ්රයිව් කරන්නත් පුළුවන්, But never ever test your luck again " කියලා කිව්වා. "ඩොක්ටර්, ආපහු කවදද එන්න ඕන?", "ආයි එන්න ඕන නෑ, මාව බලලා යන්න ආස හිතුනොත් එන්න" කියලා සුපුරුදු හිනාවෙන්ම කිව්වා. මම ඩොක්ටර්ට වැඳලා එන්න පිටත් වුනා. ආපහු ගෙදර ඇවිත් මාසෙකින් අලුත් කාර් එකත් අරගෙන මම වැඩට යන්නත් පිටත් වුනා.
මේ සිදුවීමේදී සහ මගේ ජීවිතේම ඩොක්ටර් ප්රසන්න ගුණසේන කියන්නේ ජීවමාන දෙවි කෙනෙක්. ඔහු නිසා තමයි රෝද පුටුවකට යන්නේ නැතිව අදටත් කෙලින් ඇවිදලා දුවලා පැනලා ඉන්නෙ. තිළිණ අයියා ලංකා හොස්පිට්ල් එකේ සේවය කරන කාලයේ ඔහු දැන සිටීමත්, මාගේ සහෝදර සම්බන්දතාවය නිසාත්, ආදි ශීෂ්ය සංගමයේ මැදිහත්වීමත් නිසා ඩොක්ටර් ප්රසන්න සැත්කම සඳහා මුදල් අයකරේ නැත. පැය හයක සැත්කමක් යනු එසේ මෙසේ දෙයක් නොවේ. ඩොක්ටර් දිල්ශාන් මුනිදාසද මේ නිසාම මුදල් අයකරේ නැත. මුදල් අයනොකිරීම කෙසේ වෙතත් මේ වගේ ජීවමාන දෙවිවරු මිනිසුන් කොතරම් සතුටු කර ඇත්දැයි සිතාගන්නටවත් නොහැකිය. තිළිණ අයියා මේ කාලය තුල සිදුකරේ එසේ මෙසේ පහසු දෙයක් නොවේ. සම්පූර්ණ ක්රියාවලිය තුල සියළු දේ කළමනාකරනය කලේ ඔහුය. ඔහු මා බලන්නට පැමිනි වාර ප්රමාණය, මා සමග සිටි කාලය ඇතුළු සම්පූර්ණ කාලයම වැය කලේ මාව කෙලින් සිටුවීමටය. එය වචනයෙන් විස්තර කල නොහැකී වූ තරම් වගේම ස්තූති කර පමණක් මට සෑහිමකට පත් විය නොහැකි තරම්ය. මා පමණක් නොව දුමානි, මගේ තාත්තා ඇතුළු පවුලේ හැමෝගෙම මානසික තත්වය කෙලින් තියාගත්තෙ තිළිණ අයියා. තිළිණ අයියෙ ඔයාට පින්.
මේ සිදුවීමෙන් වැඩිම වේදනාවක් වින්දේ දුමානි, එහෙත් කිසිම දිනක වගේම අද දක්වාම ඇය මට ඒ ගැන දැනෙන්නට ඉඩ හැර නැත. අදත් ඇය කීවේ පන්සලකට ගිහින් එමු කියලාය. මම නැවත සාමාන්ය තත්වයට පත්වෙන තෙක් ඇය කැතකුණු අතගෑමේ සිට වරෙක මවක මෙන්ම වරෙක ආදරණීය බිරිඳක් මෙන්ම සිදුවිය යුතු සියල්ල ඉටුකළාය. මා ඇයට ඇති ආදරය සිය දහස් වාරයක් වැඩිවූවා යයි මට අදටත් මේ අනතුර මතක වෙද්දී හැඟි යයි. දුමානි තරම්ම වේදනාවක් වින්දේ මගේ තාත්තාය. ඔහු පසු තැවුන වාර අනන්තයි, තිළිණ අයියා කිව්වෙ "මල්ලි, ඒ වගේ තාත්තෙක් ලබන්න පින් කරන්න ඕන, ඔයා වෙනුවෙන් එයා ඕනම දෙයක් කරන්න ලෑස්ති වෙලා හිටියෙ" කියලා. රෝහල් බිලේ සිට සෑම වියදමක්ම තාත්තා දරා තිබිණි. චූටි මැණිකට යන්තම් අවුරුදු හතකි, ඇයට ලොකු තේරුමක් නොතිබුනත් මා ගෙදර සිටි කාලයෙ ඇය මා සමගම කාලය ගත කලාය, ඇය දකින හැම විටම මම රෝද පුටුවක ගියානම් වැඩිම අසාදරණය වන්නෙ ඇයට වග මට නිතර දැනුනා. මීට අමතරව මා ගැන වැඩියෙන්ම සොයා බැලුවේ දුමානිගේ ලොකු අයියාය. ඔහු ඔහුට කරන්න පුළුවන් හැමදේම කරා, බෝධිපූජා තිබ්බා. හාමුදුරුවරු වැඩම කරා. කේන්දර බැලුවා, යන්තර දැම්මා, පුළුවන් හැම වෙලේම කොළඹ ඇවිත් ගියා. දුමානිට විතරක් නොව ඔහු මටත් ලොකු අයියාය. නංගිත්, මස්සිනා ලක්මාල් මල්ලිත් එවැනිමය, නිතර මා සමගින් සිටියා. මල්ලිත් කැම්පස් පටන් ගත්ත මුල් කාලෙ වුනත් පුළුවන් හැම වෙලේම ආවා. ඒ වගේම දුමානිගේ පුංචිගේ පුතා භානුක මල්ලිත් මගෙ තනි නොතනියට දවස් ගණන් හිටියා. ගෙදර ආවට පස්සෙ වැඩිම කාලයක් මාත් එක්ක හිටියෙ භානුයි දුමානිගෙ අම්මයි. ආදි ශිෂ්ය සංගමයේ කොළඹ ශාඛාවේ අයියලා ඔක්කොම මාත් එක්ක හිටියා, මාව බලන්න ආවා. ඉස්කෝලෙ යාළුවොත් ගොඩක් උන් ආවා හැම තැනකම ඉඳන්. සමහර උන් ගොඩක් පාරක් ආවා. කැම්පස් එකෙත් යාළුවො ආවා. ඩොක්ටර් ප්රසන්න එක දවසක් කීවා "මට ආපු කෝල් ගොඩේ හැටියට මම බය වුනා ඔයා කවුද කියලා". මදුශික, චිතෲප මල්ලි මගේ ඉන්ශුවරන්ස් වැඩ ටික ඔක්කොම කරලා දුන්නා. නම් සඳහන් කල නොකල ගොඩක් අයට පින්. ඒ වගේම මේ සිදුවීමත් එක්ක තව සමහරු මම නැවත් නොනැගිටී කියලා සතුටු වුන පිරිසුත් නොසිටියාම නොවේ. ඒ පිරිස් හඳුනාගෙන ජීවත් වීමටත් මේ සිදුවීම හොඳ අත්දැකීමක් වුනා. සවිකරන ලද ඇන සහ යකඩ මැරෙන තුරුම මගේ කොන්දේ තිබුනත්, මේ සටහනත් එක්ක මම මේ මතකය නැවත අවදි නොකර සිටීමට තීරණය කලා. මිනිස්සුන්ට නරක කාල එනවා, අපල කාල එනවා. ඒත් හිත හයියනම්, තමන් වටේ තමන්ට ආදරේ කරන්න මිනිස්සු ඉන්නවානම් ඒ නරක කාලවලින් එලියට එන්න පුළුවන්. ඡායාරූපය මට දුන්නේ ඩොක්ටර් ප්රසන්න සැත්කමට කලින් ගත්ත.