Tuesday, April 28, 2020

කොරෝනා ලියවිලි 5 : ජිවිතේ අමතකම නොවන ට්රිප් එක

පලවෙනි කොටස :
ආපහු නිවාඩු දවසක්. පහුගිය කාලෙම ලිව්ව එකේ අදත් මොනවාහරි ලියන්න හිතුනා. මේක තමයි මම ගිය ජීවිතේට අමතකම නොවෙන ට්රිප් එක. සිද්ධිය 2004 මැද. පැයක් වගේ ඇතුලත ප්ලෑනක් ගහලා දවස් 4ක් එහෙමත් නැතිනම් නයිට් තුනක් ගිය ට්රිපක්. සෙට් වුනෙ සුපුරුදු පරිදි මමයි, ශාලිකයයි, නරයායි, අකලංකයයි. ඒලෙවල් ලියලා ඉන්න කාලෙ අපි හතර දෙනාම ගොඩක් දවසට කරේ අපි හතර දෙනාගෙන් එකෙක්ගෙ ගෙදරක දවස් ගනන් ෆන් එකේ ඉන්න එක. එහෙම ඉඳලා එපා වුනාම තව ගෙදරක යනවා. ශාලිකයගේ ගෙදර මල්වැල හන්දියෙ අවුලේගම. බඩ පැලෙන්න කන්න ඕන වුනාම එහෙ තමයි, උන්ගෙ අම්මා තරම් රසට කෑම හදන කවුරුවත් අද වෙනකම් හම්බෙලා නෑ මොන රට රාජ්ජෙක ගියත්. නරයගේ ගෙදර පත්තර පුස්තකාලය තිබුනේ, ඒක වෙනම ආතල් එකක්. අකලංකයගේ ගෙදර තමයි නරක චිත්රපටි ගබඩාව සහ කොම්පියුටර් ගේම් ගැහිල්ල. මේ ට්රිප් එක සෙට් වෙන්නෙ අපි හතර දෙනා අකලංකයගේ ගෙදර ඉන්න වෙලාවක උදේ කැරම් පාරක් ගහද්දී. මම තමයි කෝච්චි පිස්සා නිසා "යමුද බං ට්රිපක් කොහේ හරි කෝච්චියෙ?". පට්ටම කම්මැලි මූඩ් එකක හිටපු නිසා සෙට් එකම වැඩේට ඕකේ. "අදම යමුද බං?" මම ඇහැව්වා. "පිස්සුද හු****?" ඒ නරයා. "පොඩ්ඩක් අහපංකෝ, ප්ලෑන් ගහල යන්න සෙට් වුනොත් යන්න වෙන්නෙ නෑ බං, යමුකෝ බං, අපි දැන් හෙන කාලෙක ඉඳලා යන්න ට්රයි එකක් දෙනවා. හැමදාම කල් යනවා". ඔය කාලෙ වෙනකොට මම බොන එක නවත්තලා ටික දවසක් හිටියේ. "ජයා, උඹ බොන්න සෙට් වෙනවානම් මම එනවා. නැත්නම් මෙලෝ රහක් නෑ බං" ඒ ශාලිකයා. අකලංකයා සද්ද නෑ. "හරි, මම ට්රිප් එකේදි විතරක් බොන්නම්, යමන්. හැබැයි උඹලා මම කියන දිහා එන්න ඕන" මමත් කිව්වා. "යමන්" ඒ අකලංකයා. "නරේ 3/4 ක් හරි, දැන් වරෙන් සද්ද වහලා" ශාලිකයා ගේමේ. "එහෙනම් ඉතින් යමන්, වෙන මොනා කරන්නද?". සෙට් එකම වැඩේට හරි.
කොහොමත් මේ වගේ වැඩකදි ප්ලෑන ගහන්නේ මම. අපේ ගෙදරට අකලංකලාගේ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකෙන් කෝල් එකක් දීලා කිව්වා "අම්මේ, මම ශාලිකලගේ ගෙදර යනවා මෙහෙ ඉඳලා, දවස් තුන හතරකට එන්නේ නෑ.". ශාලිකයයි නරයයි ඔය ගේම් එකම ගහලා ඇවිත් තියෙන්නේ අකලංකලාගේ ගෙදර යනවා කියලා. ලෑන්ඩ් ෆෝන් තිබුනේ අකලංකලාගේ ගෙදරයි අපේ ගෙදරයි විතරයි. නරයලාගේ ගෙදරයි ශාලිකයගේ ගෙදරයි තිබුනේ ටැංගො ෆෝන් කියලා ලොවෙත් වැඩකට නැති කෝල් එකක් දුන්නම අම්මා මුත්තා සිහිවෙන කතා කරගන්න බැරි ෆෝන්. හෑන්ඩ් ෆෝන් නෑ කිසිම කෙනෙක්ට. මම කැමති දිහාට සෙට් එකම කැමති වුන නිසා දැන් මම ප්ලෑන් එක කියාගෙන යනවා. "මචං අපි යන්නේ හෝර්ටන් තැන්නේ. ලෝකාන්තෙ බලන්න" මම කෙලින්ම කිව්වා. සෙට් එකම උඩ ගියා. මුන්ට දැන් බෑ කියන්න විදියකුත් නෑ."හු**වා. කොහොමද යකෝ යන්නේ", "කොහෙද බං නතර වෙන්නේ" ප්රශ්න කෝටියයි. "යන්නේ අද රෑ නයිට් මේල් කෝච්චියෙ. උදේ වෙද්දි පට්ටිපොලින් බහිනවා. ඊට පස්සෙ කෙලින්ම ලෝකාන්තෙට". හැබැයි ඉන්නෙ කොහෙද කියලා දෙන්න මට උත්තරේකුත් නෑ. "ගිහින් කොහෙ හරි තැනක් හොයාගමු" මම කිව්වා. ප්ලෑන් එකේ පලවෙනි කොටස හරි. අකලංකයා ගාව තිබුන බෑග් කඩමල්ලකට දාගත්ත කොට කලිසම් ටිකකුයි, ටී ශර්ට් ටිකකුයි. දැන් මගෙන් අහන්න එපා ජොක්කු එහෙම කොහෙන්ද කියලා. ඒවා අපිට ඒ කාලෙ ලොකු ප්රශ්න නෙමේ.
සෙට් එකම හවස් වෙලා පිටත් වුනා කුරුණෑගල ටවුමට. ඒටීම් කාඩ්වලින් ගත්තා සල්ලි, මට මතක විදියට එකා තුන්දාහ ගානේ වගේ ගත්තා. එතනින් නැග්ගා පොල්ගහවෙල බස් එකට. අකලංකයා ෆුල් මූඩ් එකේ. නරයා යනගමන් අහනවා "අඩේ, උඹට ශුවර්ද බං අපිට නවතින්න තැනක් සෙට් වෙයි කියලා". "බැරිම වුනොත් පට්ටිපොල ස්ටේසම හරි නිදාගමු බං, දැන්වත් ඕක හිතන එක නවත්තලා ආතල් එකේ යමන් බං" මම කිව්වා. පොල්ගහවෙල ගොඩවෙලින් බැස්සා බස් එකෙන්. බැහැලා එතනම තිබුන බාර් එකෙන් දාගත්තා වයඹ ගල් බෝතල් හතරක්ම එකක් එකසිය පනහ ගානේ සහ ප්ලාස්ටික් කප් ටිකක්. ස්ප්රයිට් බෝතලෙකුයි, සිගරට් පැකට් ටිකකුයිත් ගත්තා. ඒ ටිකත් අපේ එකම බෑග් එකට දාගත්තා. එහෙම්මම ගියේ පොල්ගහවෙල බන්දාවේ කසුන් ගීතාංගයාගේ ගෙදර. උටත් කතා කරා සෙට් වෙන්න. බුවා ටිකක් ලෝබයා. වැඩේට පස්ස ගැහුවා. හැබැයි උන්ගෙ අම්මා අපිට රෑට කෑම ලෑස්ති කරා. මේ කාලෙ කෝච්චි දෙකක් යනවා රෑට බදුල්ලට. කොළඹින් රෑ 7:40 ට පිටත් වෙන කෝච්චියට පොල්ගහවෙලින් නගින්න කියලා අපි සෙට් එක ගීතාංගයාගෙ අම්මටයි තාත්තාටයි වැඳලා එහෙම පිටත් වුනා. රෑ නවයත් පහුවෙලා, කෝච්චිය එනවා සද්දේ දාගෙන මගේ ආසම එන්ජිමක් වෙන M6 එන්ජිමක් එක්ක. මට ඉතින් ෆුල්ම හැපී, දැන් සෙට් එකම ට්රිප් මූඩ් එකේ. ඉඳගන්න බෑ, ඔක්කොම සීට් පිරිලා. හැබැයි දෙයියන්නේ කියලා අපිටම කියලා ෆුට්බෝඩ් එකක් සෙට් වුනා. කොට කලිසමයි බාටා සෙරෙප්පුයි එක්ක ගේමක් නැතිව පත්තර ටිකක් එලල බිම වාඩි වුනා. රඹුක්කනටත් කලින් වඩේ සප්ලයි එකකුත් සෙට් වුනා.
දැන් ඉතින් රඹුක්කන පහු කරලා වැඩේ පටන් ගන්න වෙලාව හරි. මාස ගානකින් පස්සෙ මම ගල් ශොට් එකක් දාගත්තා. අමාරුවෙන් බස්සපු ඒක ආපහු එයිම කියලා හිතුනා. "මගේ අම්මා දාන්න එහෙම එපා, මම ඉවරයි" නරයා මගේ ඇඹුල් වුන මූණ දිහා බලාගෙන කිව්ව හැටි තාම මතකයි. දැම්මේ නෑ. පලවෙනි එක බැස්සම ඉතුරු ටික ඉතින් අවුලක් නෑ, දැන් වැඩේ නැගලා යනවා. පේරාදෙනියට යද්දී බෝතලයක්ම ඉවරයි. දැන් අපේ ලෝකෙ. හෑන්ඩ් ෆෝන් නෑ. කතා කරලා වද දෙන්න උන් නෑ. ෆේස් බුක් නෑ. පේරාදෙණියෙන් එහාට සීතල සුළඟත් එක්ක අපේ සිගරට් එකින් එක පත්තු වෙනවා. සිංදු කියනවා. බදාගන්නවා. ඉඹිනවා. වෙනම ලෝකයක්. ඔහොම ගිහින් හෙමින් හෙමින් කෝච්චිය රොසැල්ල කියන ස්ටේසමට ආවා. මේ හරිය වෙද්දි කෝච්චිය ආවේ හරිම හෙමින්, රොසැල්ලෙ නතර කරල ටික වෙලාවකින් ඔන්න දැනගන්න ලැබුනා පොඩි ලෙඩක් නිසා තව එංජිමක් නානුඔය ඉඳලා එනකල් මෙතනම නවත්තගෙන ඉන්න වෙනවා කියලා. අපිට රජ මගුල් වගේ. ෆුට්බෝඩ් එකේ අමාරුවෙන් කරගෙන ආපු වැඩේ අපි දෙයියනෙ කියලා ප්ලැට්ෆෝම් එකේ ඈත කෙලවර බංකුවක් උඩම සෙට් වුනා. පැය දෙකක්ම රොසැල්ලෙ, අපි ඉතින් බොහොම සතුටින් තව බෝතල් 1 1/2 ක්ම ඉවර කරා. ඔන්න ඉතින් M5 එන්ජිමක ඇවිත් ඉස්සරහින් අමුනාගෙන කෝච්චිය පිටත් වුනා. දැන් පාන්දරත් වීගෙන එනවා. හැටන් වලින් පස්සෙ අපිට සීට් ටිකක් හම්බුනා. පොඩ්ඩක් නින්ද ගිහින් ඇහැරෙද්දි එලිවෙලා. කෝච්චිය නානුඔය පහු කරන් යනවා. කොට කලිසමයි ටීශර්ට් එකයි එක්ක පට්ට සීතල. පොඩ්ඩක් ෆුට් බෝඩ් එකට ඇවිත් නරයයි මමයි ආපහු සීතලට සිගරට් එකක් පත්තු කරගෙන ෆුට්බෝඩ් එකේම ඉඳගත්තා. වටේටම පුදුම ලස්සනක් උදේ ඒ වෙලාවට. "පට්ට ආතල් ජයා" නරය කිය්ද්දි ශාලිකයයි අකලංකයයි ෆුල් ඩෙඩ් මූඩ් එකේ සීට් එක උඩ ඩවුන්.
ඊට පස්සේ කෝච්චිය අඹේවෙල පහුකරලා එද්දී අරුන් දෙන්නටත් ඇහැරවාගෙන ඊළඟට ආපු පට්ටිපොල ස්ටේශන් එකෙන් බැස්සා. වෙලාව උදේ 8ට විතර ඇති. දැන් තමයි ඉතින් දෙවෙනි දවස සහ දෙවෙනි කොටස. කට්ටියම මූණ අත පය හෝදාගෙන සීතලේම ශරිර කෘත්ය කටයුතු ටිකත් අහවර කරලා හොර්ටන්තැන්න නගින්න සූදානම. ගෙනාපු බිස්කට් වගයක් කෑවා උදේට. බෑග් එක උස්සගෙන ගියොත් මල කරදරයක්. ඒ අස්සේ අනික් ප්රශ්නේ හොර්ටන්තැන්න ගිහින් ඇවිත් අද රෑ නතර වෙන තැන. ස්ටේශන් එකේ කාකි ඇඳුමක් ඇඳගත්ත පොරක් ඉන්නවා ප්ලැට්ෆෝම් එක කෙලවරේම ඉඳගෙන. මම හෙමින් බුවා ළඟට ගිහින් මගේ සියලු ධර්ම මූඩ් එකෙන් ඇහැව්වා "අයියෙ, අපිට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද? අපි කුරුණෑගල ඉඳලා ආවේ වර්ල්ඩ්සෙන්ඩ් යන්න කියලා, අපේ බෑග් එකක් තියෙනවා, ස්ටේසමෙන් තියලා යන්න පුලුවන් වෙයිද?". මනුස්සයා පොඩ්ඩක් මම දිහා බලාගෙන ඉඳලා පොඩි කාමරයක් පෙන්නලා "ඔතනින් තියලා යන්න මල්ලි" කිව්වා. මට ෆුල් හැපි මිනිහා දුන්න සප් එකට. බෑග් එකේ තව බෝතල් එක හමාරක්ම තියෙනවා. ඒක හෙමින් එලියට ඇරන් මිනිහට ඉතුරු වෙලා තිබුන බාගෙ දුන්නා. මිනිහාට මේක දුන්න ගමන් ඇස් උඩ ගියා. "මල්ලිලා නියම කොල්ලො ටිකක්නේ, මගේ නම රංජි. ඔයාලා ආපහු හවස් වෙද්දී පට්ටිපොලට එනවද? උදේට කාලද? අද කොහෙද නවතින්නේ?"... ප්රශ්න වැලයි."අයියේ, අපි හවස් වෙලා එනවා. පොඩි උදව්වක් කරන්න පුලුවන්ද? අපිට නතර වෙන්න තැනක් හොයලා දෙන්න පුලුවන්ද?" මම ඇහැව්වා. "මල්ලි, ඔයාලා ගිහින් එන්න. අපේ ගෙදර නවතින්න පුලුවන්. මම ඔක්කොම ලෑස්ති කරන්නම්. අපි දාමු රෑට ෆුල් ෆන් එකක්". මම කොර වුනා පොරගේ රෙස්පොන්ස් එකට. අපේ බෑග් එකත් පොරම ඉල්ලගත්තා ආපහු. හැබැයි ශාලිකයගේ මූඩ් එක අප්සට්. රංජි බුවාගෙන්ම ටියුලිප් බෑග් එකක් ඉල්ලගෙන ඉතුරු බෝතලෙත් දාගෙන අපි පිටත් වුනා උදේ නවය වෙද්දි හෝර්ටන් තැන්න නගින්න.
විනාඩි පහක් ගියෙ නෑ ශාලිකයා "ජයා උඹනම් මහ පිස්සෙක්, යකෝ කතා කරලා බෝතල් බාගයක් දුන්න ගමන් උඹ ඔහොම මිනිස්සු විස්වාස කරනවද? අපේ බෑග් එකත් අරන් ගියා ඌම, මට නම් ශුවර් නෑ බුවා. අපෙන් ගානක් ගලවයිද දන්නේ නෑ....". "හරි හරි බං, වෙන මොනා කරන්නද මේ වෙලාවෙ? ඔහොම හරි එකෙක් සෙට් වුන එක මදැයි? මොනාහරි වුනොත් ඒක ඒ වෙලාවට බලමු. අපිත් හතර දෙනෙක්ම ඉන්නවනේ. දැන් මේ ගමන ආතල් එකේ යමන්" මම කිව්වම අනික් උන් දෙන්නත් මට සප් එකක් දුන්නා. ඒක අමතක කරලා ඉස්සරහට යද්දි නරයා "ජයා, ඇත්තටම මෙතන ඉඳලා කොච්චර දුරයිද බං ඔය ලෝකාන්ත මගුලට?". මේ වෙද්දි මගේ අදටත් ආසම ලෝකාන්තය බලන්න මම කීප පාරක්ම ගිහින් තිබුනා. දුර කිලෝ මීටර 10ටත් එහා කියල හොඳටම දැනගෙන "වැඩි දුරක් නෑ බං, කිලෝමීටර හතරක් පහක් වගේ ඇති". අකලංකයා "උඹට හොඳටම ශුවර්ද?", මම "ඔව් බං, මේ බෝතලෙ ඉවර වෙද්දී අපි සෙට් එක උඩ". එහෙම කියලා ඉතුරු වෙලා තිබුන බෝතලෙ අමුවටම ඉවර කරගෙන අපි කන්ද නගින්න පටන් ගත්තා. කිලෝ මීටරයක් විතර නගිද්දී වෙරි බැස්සා. දැන් යනවා යනවා සෙට් එකම උඩට. වාහනවල ට්රිප් යන සෙට් එහෙම බායි කියාගෙන යනවා. කිලෝ මීටර් හතරක් විතර ගියාම දැන් සෙට් එක පොඩ්ඩක් අප්සට්. "කෝ යකෝ හොර්ටන් තැන්න තොගේ? දැන් අම්බානක දුර ආවානේ", "මූනම් කරොත් කරන්නේ මේ වගේ වැඩ තමයි", "රෑට බලාගමු, තොට දෙනවා හොම්බට දෙකක්".... වගේ මෙතන සඳහන් කරන්න අමාරු ඒවත් එක්කම තුන්දෙනාම මට බැන බැන පස්සේන් එනවා. ස්කවුටින් හයික් සීන් එකත් එක්ක මට ඒ කාලෙ කඳු ලොකු සීන් එකක් නෙමි.
ඔහොම ඇවිත් දැන් ෆ්ලැට් ඒරියා එක සෙට් වුනා. දැන් වගේ මගින් ටිකට් ගන්න ඕන නෑ. ලෝකාන්තෙ ගමන පටන් ගන්න තැනින් තමයි ටිකට් ගන්න තියෙන්නෙ. එතනට යනකල් හැපි මූඩ් එකේ ගියා දවල් 1.30 වගේ වෙද්දී. සීතලයි හුළඟයි එක්ක මහන්සියක් දැනෙන් නෑ. එතන තියෙන ප්රසිදධ ආපන ශාලාවෙන් ගිනි ගානට තියෙන රොටී පාරක් දාගත්තා දවල් කෑමට. "ලෝකාන්තෙ ළඟද කියලා මම තොගෙන් අහන්නේ නෑ, මෙතන ඉඳලා තව යන්න තියේද?" ශාලිකයා ඇහුවා. "වැඩි දුරක් නෑ බං" මම කියද්දී "නිකන් හිටපන් අපෙන් මුකුත් අහගන්නේ නැතිව" කියලා දවල් 2ට වගේ ලෝකාන්තෙ බලන්න පිටත් වුනා. සීතලත් එක්ක හතර දෙනාම හවස තුන් වෙද්දී ලෝකාන්තෙ ළඟ. ඊට පස්සෙ මග දිගට තියෙන වතුර පාරවල් වලින වතුර බිබී, මග දිගට හම්බෙන කෙල්ලොන්ටත් මොනවා හරි කිය කියා බේකර්ස් ඇල්ලත් බලලා ආපහු ආපන ශාලාව ළඟට එද්දී හවස පහ හමාරට වගේ ඇති. "අඩේ දැන් ආපහු පල්ලේහ පට්ටිපොලට යන්න ඕනද? කොහොමද යන්න ඕන?" නරයා අහනවා. "නැතිව ඉතින්, ආපු විදියටම තමයි" මම කියද්දී "මට තෝව මරන් කන්න තියේනම්" කියල නරයා හිනාවෙවී බනිනවා ගමකට. දැන් ඉතින් ආපහු පල්ලෙහට එන ගමන පිටත් වුනා. හවස හයත් පහු වෙලා, සීතල එන්න එන්නම වැඩි වෙනවා. අපි පයින් එන ගමන් ට්රිප් ගිහිල්ල එන වෑන් බස් වලට අත දානවා. එකක්වත් නතර කරන්නේ නෑ. මෙහෙම කිලෝ මීටරයක් විතර එද්දී ඈතින් ලොරියක් එනවා. බුවාත් සෑහෙන වේගෙන් එන්නෙ, අපි ඈත තියාම අත දාගෙන ඉන්නවා. ඒත් බුවත් නතර කරන පාටක් නෑ. අකලංකය එක පාරටම "වැඳපන් යකෝ මුට" කියද්දී අපි හතර දෙනාම දණගහගෙන දොහොත් මුදුන් දීලා වැඳගෙන හිටියා. බුවාත් අපිව පාස් කරලා ගියා. ඒත් හෙන හයියෙන් සද්දේ දාගෙන බ්රේක් පාරක් ගහල නැවැත්තුවා. "මල්ලිලා කොහෙටද යන්නේ?" ඩ්රයිවර් අයියා ඇහුවා. දුවගෙන ගිය මම "අනේ අයියේ අපිව පටිටිපොලින් දාගෙන යන්න, පිං සිද්ධ වෙයි", "නගින්න මල්ලි පිටිපස්සෙන්". මමයි ශාලිකයයි අකලංකයයි දඩ බඩ ගාල නැගගත්ත ගමන් නරයා ලොරි තට්ටුවේ එල්ලිලා හැඩ බලනවා. "හරි නේද මල්ලි?" කියලා ලොරිය ඇද්දා ඇති හයියෙන්.ලොරි තට්ටුවෙ එල්ලිලා හිටපු නරයව උස්සලා ඇතුලට දාගත්තෙ හෙනම අමාරුවෙන්. මේක් වැලි ලොරියක් කියලා තේරුනේ ඊට පස්සෙ. පිටිපස්ස ෆුල් ඕපන්. ලොරියෙ අයියා ඉස්සරහ ග්ලාස් වහගෙන බුවාට ඒ පාරෙ යන්න පුලුවන් උපරිම වේගෙන් පල්ලෙහාට යනවා. අපි ලොරි තට්ටුවේ දිගා වුනා. පට්ට සීතලෙන් අපිව රෝල් වෙනවා ලොරිය පුරා. ඒත් පයින් එන්න හිටපු අපිට මේක දෙයියෝ දුන්නා වගේ. විනාඩි විස්සෙන් ලොරිය පට්ටිපොල ස්ටේසම ළඟ. අපි ලොරියෙ අයියාට පින් දීල බැහැගත්තා.
දෙවෙනි කොටස :
දැන් තමයි මේ ට්රිප් එකේ ආතල්ම සිද්ධි ටික පටන් ගන්නේ. අපි බැහැලා ස්ටේසම ළඟට යද්දී රංජි බුවා ඉන්නවා ස්ටේසමේ. "අම්මට සිරි මල්ලිලා. ටිකක් හවස් වුනා නේද? එන්න යමු අපේ ගෙදර. මම ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නෙ". ගෙදර කිව්වට මේක මිනිහාගේ පොඩි ක්වාටස් එකක්. ස්ටේසම ඉස්සරහම හරිම පොඩි තැනක් රේල් පාරත් එක්කම. අපිව ඇතුලට එක්කරගෙන ගිය ගමන් අපිව කාමරයට එක්කරගෙන ගියා. ඒකත් පොඩි කාමරයක්. ඇඳන් දෙකක් අලුත් බෙඩ් ශීට් දාලා ලෑස්ති කරලා. අපිට නිකන් පිස්සු වගේ. ශාලිකයා තාම ටිකක් සැකෙන්. "අයියේ එතකොට ගෙදර කට්ටිය?" මම ඇහුවා. "මම එයාලට වෙනම තැනක් ලෑස්ති කරා වෙන ගෙදරක, මල්ලිලා මෙහෙ ඉන්න. අපි දාමු ෆුල් ෆන් එකක්, මම ඔක්කොම බයිට් ලෑස්ති කරලා තියෙන්නෙ" කීවා. ඊට පස්සේ කුස්සියට එක්කරගෙන ගියා. පොරගෙ වයිෆ් චිකන් ලෑස්ති කරනවා, බිත්තර ඔම්ලට දානවා. කෑම හදනවා. මගුල් ගෙයක් වගේ. අපිට කෑගැස්සිලා හිටියේ මොකක්ද මේ වෙන්නේ කියලා. "මචං මූ ලෑස්ති කරලා තියෙන විදියට අපි ගමු ටිකක් හොඳ බෝතල් දෙකක්වත්, නැත්නම් මූ පව්" අකලංකය කිව්වා. අපි දෙන්න ගිහින් එතනින් එහා පැත්තෙ තියෙන පට්ටිපොල වයින් ස්ටෝර්ස් එකෙන් රෙඩ් රම් බෝතල් දෙකක් ගෙනාවා. රංජි අයියාට මේක දැකලා හෙනම සන්තෝසේ. "මල්ලි, උඹලනම් නියම උන් ටිකක්, අද අපි පට්ටිපොල හොල්ලමු" ඒ රංජි අයියා.ඔහොම ඉද්දී ශාලිකයා කියපි "මට නාන්න ඕන් අයියේ", "මල්ලි ළිඳක්නම් තියෙනවා, හැබැයි මේ වෙලාවට මෙහෙ එකෙක්වත් ඒකෙන් නාන්නෙ නෑ ඒකෙ සීතලට" රංජි අයියා කිව්වා. ඒත් ශාලිකයට නාන්න ඕනම කියනවා පොඩි එකෙක් වගේ. "යමන්කෝ එහෙනම්" කියලා ළිඳට පිටත් වුනා. වතුර බාල්දියක් එලියට ගත්තාම නාන්න තියා ඇඟිල්ලක් ගහන්න බෑ. සීතල ඇලජික් අකලංකය මැරෙනවා ඒකෙ නෑවනම්. නරයයි මායිත් මූණ ටිකක් හෝදන් පැත්තකට වුනා. "තොපි නම් කූතාඬිම තමයි, මෙච්චර මහන්සි වෙලා කොහොමද යකෝ නාන්නෙ නැතිව ඉන්නේ?" කියමින් පුදුම අමාරුවකින් වෙව්ල වෙව්ල උඩ පැන පැන නාගත්තා. අපි සෙට් එක සිගරට් එකක් පත්තු කරන් ශාලිකයා කන කට්ට දිහා බලන් හිටියා. "මේ ගොනා අද මැරෙනවා, කොහෙද ඉතින් මුගේ පන්ඩිතකමනේ" නරයා ශේප් එකේ මට කිව්වා.
දැන් ඉතින් රෑ ෆන් එකට ඔක්කොම සෙට්. උණු උණුවේම බයිට් ටිකත් රෙඩී. රම්බෝතල් දෙකත් රෙඩී. සෙට් එකම රංජි අයියාගේ ගෙදර සාලෙ වාඩිවෙලා ලෑස්තියි වැඩේට. එකපාරටම ශාලිකයා "ජයා, මගේ පපුව හිරවෙනවා වගේ, හෙනම අමාරුවක් දැනෙනවා" කිව්වා. බඩුම තමයි, ශාලිකය රතු වෙලා, ඇස් ඉදිමිලා හෙනම අප්සට් මූඩ් එකේ. "ඕකනෙ මල්ලි නාන්න එපා කිව්වේ" රංජි අයියා කිව්වා. අපි ගෙදර තිබුන සිදධාලේපයි, අරකයි මේකයි ඔක්කොම ගෑව උගේ. පෙන්ඩෝලුත් දීලා ඌව උස්සන් ගිහින් ඇඳට දැම්මා. බ්ලැන්කට් එකකින් පොරවලා ආවා. "පණ්ඩිතයා, බලපං ඉතින් ඕනම වෙලාවෙ නැති වුනානේ" නරයා ශාලිකයට බනින ගමන්ම අපි ඉතින් රම් බෝතල් දෙක වග කියන්න පටන් ගත්තා. රංජි අයියා බොනවා නිකන් තේ බොනවා වගේ. "අද රෑ මම ඩියුටි මල්ලි" කියලා බුවා කිව්වා. "අයියේ අවුලක් නැද්ද?", "නෑ මල්ලි එන කෝච්චියෙන් ටැබ්ලට් එක ගන්න විතරයි තියෙන්නෙ, ඒ වෙලාවට අපි යමු ස්ටේසම පැත්තේ". දැන් නරයයි, අකලංකයයි, මමයි රංජි අයියා එක්ක උපරීම ෆන් එකේ සින්දුවකුත් කියන බෝතල් එක හමාරකට වගේ වග කිව්වා පැය දෙකකින් වගේ. හැබැයි රංජි අයියා ගිය වේගෙ වැඩි වුනා. බුවා ක්නොක් අවුට් වුනා. අපි තුන් දෙනා සින්දුවක් කියන් ඉද්දී එක පාරටම දොරට තඩි බානව ඇහුනා. "රංජි....රංජි...කෝච්චිය ඔහියෙන් පිටත් වෙලා. එනවා ඕයි ඉක්මණට" බලපුවාම ස්ටේසන් මාස්ටර්. "අප්ප්ට සිරි අන්කල් රංජි අයියා ඩවුන්..මොකෝ කරන්නේ" අකලංකයා ඇහුවා. "කරන්න දෙයක් නෑ, මේ යකා උස්සගෙන හරි යන්න වෙනවා" ස්ටේසන් මාස්ටර් කිව්වා. රංජි අයියා අපිත් එක්ක සෙට් වෙලා හිටියෙ යුනිෆෝම් එකෙන්මයි. ස්ටේසන් මාස්ටරුයි අපි ටිකයි රංජි අයියා උස්සගෙන රේල් පීලි පැන පැන කොහොමහරි ගියා සීතලේම ප්ලැට්ෆෝම් එක උඩට. අපිත් විසිවෙනවා එහාට මෙහාට. "කොහොමහරි මෙයාව කෙලින් කරලා අල්ලගන්න, ටැබ්ලට් එක කොහොමහරි ගන්න තියෙන්නෙ. එච්චරයි".
දැන් තමයි හොඳම හරිය. කෝච්චිය කැලේ මැදින් හෝන් ගහගෙන එනවා සදදේ දාගෙන. අපි මල මිනියක් වගේ ඉන්න රංජි අයියාව කෙලින් කරගෙන.නරයා උස්සගෙන ඉන්නවා බුවාව ඇඟ වටේ අත් දෙකම දාගෙන. අකලංකයා නරයව බදාගෙන. මම රංජි අයියාගේ අතින් ටැබ්ලට් එක ගන්න ඒම් කරගෙන ඉන්නවා. දැන් ඔන්න කෝච්චිය ලයිට් දාගෙන ළඟම, අපි ඉන්නවා ගේමේ ටැබ්ලට් එක ගන්න. කෝච්චියෙ ඩ්රයිවර් බුවා එකපාරටම අපිව දැකපු ගමන් තක්බීර් වුනා. පොරටත් වැඩිය හිතන්න වෙලාවක් නෑ, ටැබ්ලට් එක දැම්මා අපිට. අපි කොහොම හරි ඒක අල්ලගෙන රංජියාගේ අතට ගත්තා. පට්ටිපොලින් එහාට යන්න පර්මිශන් දෙන ටැබ්ලට් එක ස්ටේසන් මාස්ටර් දුන්න. අපි ආපහු රංජි අයියා බංකුවක් උඩින් තියලා අපි ගත්ත ටැබ්ලට් එක ස්ටේසන් මාස්ටර්ට දුන්නා. ස්ටේසන් මාස්ටර්ට ෆුල් සැටිස්, විසිල් එක ගහලා කෝච්චිය ගියාට පස්සෙ අපිත් එක්ක කතාවට සෙට් වුනා. "මේ යකා ඉතින් ඔය වගේ ආතල් ඉඳලා හිටලා දෙනවා. හැබැයි හරිම හොඳ මනුස්සයා. මට උදේ කිව්වා, ගමේ මල්ලිලා ටිකක් එනවා හවස. සෙට් වෙන්න තියෙනවා සර් කියලා. මේ යකා මෙහෙම සෙට් වෙයි කියලා කවුද හිතුවේ" කියලා හිනා වෙවී කිවුවා. ඊට පස්සෙ "මම උදේ කෝච්චියට ආයි එන්නම්, මේ යකත් එක්ක ඉන්න පොඩ්ඩක්, සිහිය ආවාම විස්තරේ කියන්න" කියලා ස්ටේසන් මාස්ටර් යන්න ගියා. අපි ඉතුරු වෙලා තිබුන බාගෙත් ගෙනල්ලා ස්ටේසන් එකේම සෙට් වුනා ඒකේ අයිතිකාරයො වගේ. පැයක් දෙකක් යද්දී රංජි බුවාත් කෙලින්. "අප්පට සිරි මල්ලි, වැඩිවුනානේ ටිකක්. කෝච්චිය ආවද?" රංජි අයියා අහනවා. "හොඳ ටික" කියලා අපි විස්තරේ කිව්වා. ඊට පස්සේ අපි සෙට් එකම ගියා රේල් ගේට්ටුව ළඟට, එතනට යද්දී ඒක අරින වහන බුවත් සෙට් වෙලා තනියම සිංදුවක් කියන් ඉන්නවා ගිනි මැලෙකුත් ගහගෙන. අපි සෙට් එකයි, රංජි අයියායි, රේල් ගේට්ටුවෙ බුවයි ඊට පස්සේ සින්දු කියන්න සෙට් වුනා පාන්දර වෙනකල්ම. පස්සෙ ඉතින් පාන්දර 2ට වගේ අපි ගියා නිදන්න. අපි යද්දී ශාලිකය ඉන්නව ඇඳේ මැරිලා වගේ. නරය බැලුවා හුස්ම ගන්නවද කියලා. "මැරිල නෑ බං", නරයා කියනවත් එක්කම ඇඳට වැටුන අපිට හොඳම එකෙන් නින්ද ගියා.
තුන්වෙනි කොටස :
ඊළඟ දවසේ ශාලිකය උදේම නැගිටල අපිවත් ඇහැරෙව්වා. අපිත් උට බැන බැන නැගිට්ටා. "ඇද්ද තොට නෑවා? යකෝ අපි ඊයේ පට්ටිපොල දෙකක් කරා. ස්ටේසන් එකේ ඩියුටිත් කරා. මෙහෙම ආතල් එකක් මේ වෙනකල් අරන් නෑ" නරයා නින්දෙන් කියවද්දී ශාලිකය ෆුල් අප්සට්. "එකනේ බලපං වුන වැඩේ, ශිට්" ශාලිකය කිව්වා. අපි ඇහැරලා එලියට එද්දී රංජි අයියාත් ෆුල් ෆිට් එකේ. "මල්ලි නියම ආතල් එක නේද? සර් මල්ලිලව උදෙත් මතක් කරා" බුවා කියනවා. "හම්මේ ඉතින්" අපි අපිටම කියාගත්තා. වොශ් එකක් දාගෙන පිලිවෙලක් වෙලා එද්දී උදේ කෑම දැකලා කෑ ගැස්සුනා. ඉඳිආප්ප තම්බලා, කැකුලු බත්, මාළු, පොල් සම්බෝල, පාන්...කෑම මේසෙන් එකයි. අපි හොඳට කෑවා රංජි අයියාට පින් දිදී. "අඩේ මුට කීයක් දෙන්න වෙයිද මන්දා බං මේ දෙන හැටියට?" ශාලිකයා ශේප් එකේ අහනවා. ඇත්තටම බුවා සලකපු සැලකිල්ලට හිතාගන්න බෑ කීයක් දෙන්න වෙයිද කියලා. ඊට පස්සෙ අපි බෑග් එකත් අරන් යන්න පිටත් වෙන්න සෙට් වුනා. "මල්ලි මොකක්ද අද ප්ලෑන් එක?" රංජි අයියා ඇහුවා. "මෙන්න මූ තමයි දන්නෙ අයියේ" අකලංකයා මාව පෙන්නුවා. "අපි අයියෙ අද හවස් වෙද්දී බදුල්ලට යන්න ඕන. හෙට උදේ එහෙන් එනවා වටපිට හොඳට බලාගෙන කෝච්චියෙම පොල්ගහවෙලට යන්න". "මල්ලිලා කොහෙද නතර වෙන්න ප්ලෑන් එක?", "එහෙම තාම තැනක් නෑ අයියේ" මම කිව්වා. "මල්ලි ගිහින් හම්බෙන්න කරුණාරත්න කියලා එක්කෙනෙක් බදුල්ල ස්ටේසමේ, රංජි අයියා කීවා කියලා කියන්න". අපි කොර වුනා මනුස්සයාගේ සපෝට් එකට. අපි බදුල්ලේ ඉඳලා එන කෝච්චියෙන් නානුඔයට ගිහින් නුවර එලියට යන එක තමයි ඊළගට තිබුනේ. "අයියේ, අපි යන්න කියලා. කරපු හැමදේටම ගොඩාක් ස්තූතියි. අයියාගෙ ගෙදර නවාතැන් දුන්නට කියන්න අයියෙ අපිට ගාස්තුවක්" මම රංජි අයියාට කිව්වා. "පිස්සුද මල්ලි? සත පහක් එපා. ඔයාල නියම කොල්ලො ටිකක්. ට්රිප් එකේ ඉතුරු ටිකත් පරිස්සමෙන් ජොලියෙ යන්න, ආයි මේ පැත්තෙ ආවොත් ඇවිල්ලා කතා කරල යන්න, ඒ ඇති" ඒ රංජි අයියා දුන්න උත්තරේ. මෙහෙමත් මිනිස්සු ඉන්නවද කියලා අපිට හිතුනා. අපේ ඇස්වලට කඳුලුත් ආවා. නන්නාඳුනන අපිට, කොහෙ ඉන්න වෙයිද කියලා හිතාගන්න බැරිව හිටිය අපිට රංජි අයියා ජීවිතේට අමතක නොවන මතක එකතු කරා. අපි රංජි අයියා බදාගෙන එතනින් සමුදීලා කෝච්චියෙ නානුඔයට පිටත් වුනා.
නානුඔයට ආපු අපි එතනින් නුවර එලියට බස් එකේ ඇවිත් බස් එකේම හග්ගල මල් වත්තට ගියා. මල්වත්තෙ ඔහේ ඇවිද්දා කලින් දවස මතක් කර කර. ශාලිකයාට ඉතින් අප්සට්. "අදවත් ආයි බොමු" කියලා ශාලිකයා කිව්වා. මල්වත්ත බලලා අපි වැලිමඩ බස් එකක නැගලා වැලිමඩෙන් බදුල්ල ආවා තව බස් එකක. ඊට පස්සෙ බදුල්ල ස්ටේසමට ගිහින් රංජි අයියා කියපු කරුණාරත්න අයියා හම්බුනා. රංජි අයියා ගැන කියපු ගමන් කරු එයාගේ ක්වාටස් එක අපිට දුන්නා. එයානම් කොහොමත් ඒකේ තනියම හිටියෙ. අපි රංජි අයියාට ආයේ පින් දුන්නා. ඊට පස්සේ අපි සෙට් එකම ආයි ගියා බදුල්ලේ ටවුමට. එතනින් ගියා ෆිල්ම් හෝල් එකකට. "ද බෝල්" කියලා "අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි" කියලා තිබුනා ඉංග්රිසි චිත්රපටියක් බැලුවා. ඇත්තටම ඒ ෆිල්ම් එක අකලංකයා ළඟ තිබුන නරකම චිත්රපටිවලටත් වඩා හොඳ එකක් වුනා. මුලු බැල්කනියටම අපි විතරයි, ඒක නිසා අපි හිතේ හැටියට හස්ත කර්මාන්තයේ නියැලුනා ශාලිකය ඇරෙන්න. අවශේෂ ටික සීට් එකට යටින් පිහලා දාද්දී "තොපිට මම කූතාඬි කියන්නේ ඕකනේ" කියල බනින්න ගත්තා. අපි තුන් දෙනාට ගාණක්වත් නෑ.ඊට පස්සෙ බියර් කෑන් ටිකකුයි සිගරට් ටිකකුයි අරන් කරූ අයියගේ තැනට ගිහින් ඒ ටික ඉවර කරලා සැපට නිදාගත්තා. තුන් වෙනි දවස එහෙම ඉවර වුනා.
හතරවෙනි දවසෙ අපි උදේම නැගිටලා උදේම තිබුන කෝච්චියේ සෙකන්ඩ් ක්ලාස් ටිකට් අරන් පොල්ගහවෙල එන්න පිටත් වුනා. හොඳට ඉඳගෙන සැපේ ආවා එනගමන්, ශාලිකයනම් මගදී ගොන් කෙල්ලෙක් සෙට් කරගෙන ඒකිත් එක්ක මුකුලු කර කර ආවා. හවස් වෙද්දී අපි පොල්ගහවෙලින් බැස්සා. පස්සේ කෑගල්ල-කුරුණෑගල බස් එකක කුරුණෑගලට ආවා හොඳටම හවස් වෙලා. ඒ විදියට ජිවිතේ ගියපු ලස්සනම අමතකම නොවෙන අපේ ට්රිප් එක ඉවර වුනා. ගෙවල්වලට ගියේ අපි හැමෝම මුකුත් නොවුන ගානට. අද වෙනකොට සෑහෙනට ට්රිප් ගිහින් ඇති. ඒත් මේ ට්රිප් එක බලද්දී අනික්වා කිට්ටු කරන්නවත් බෑ. අපිට අවුරුදු විස්සක්වත් නෑ මේ ගමන යද්දී. හොඳ වැඩ නරක වැඩ සහ අවදානම අතින් උපරිම වුනත් අපි හතර දෙනා අදටත් ඒ මතකයත් එක්ක ජීවත් වෙනවා හැමදාම. නිමි!
-------
ප.ලි. : අපේ තාත්තාට මම මේ ගමන ගැන කිව්වේ දැනට අවුරුද්දකට වගේ කලින්. තාත්තා ඔලුවේ අත ගසා ගත්තා. "උඹ මට ඉතුරු වෙලා ඉන්න එකම ලොකු දෙයක්" තාත්තා හිනාවෙලා ලොකු හුස්මක් හෙලුවා. අදටත් පට්ටිපොල ස්ටේසම ළඟින් හෝර්ටන් තැන්න යද්දී එතනින් බැහැලා මේ මතකය අලුත් කරගෙන යන්නේ ෆොටෝ එකක් අරගෙන. ගොඩ කාලෙයක් යනකන් රංජි අයියත් හමුවුනා එතනදි. පස්සෙ ආරංචි වුනා රංජි අයියා උපන් ගම් පලාත වෙන මීරිගමට මාරුවක් හම්බෙලා ගියා කියලා.

කොරෝනා ලියවිලි 4 - 13 සී 2 අපේ මැත්ස් පංතිය සහ රසවත් මතක(2001-2003)

අවුරුදු නිවාඩුවේ අවසාන දවස. හෙට ඉඳලා ආපහු ගෙදර ඉඳලා වැඩ. ආයේ ටික දවසකට ලියන්න වෙන්නෙත් නැති නිසා ටිකක් දිග එකක් ලියන්න හිතුනා අපේ දහතුන සී ටූ මැත්ස් පන්තිය ගැන. පන්ති බාරව හිටියේ කෙමිස්ට්රි උගන්නපු ප්රියානි එක්නැලිගොඩ මැඩම්. මැත්ස් කරේ විජෙකෝන් සර්. පිසික්ස් කරේ අලහකෝන් සර්. 2001 අවුරුද්දෙ ඉඳලා 2003 අවුරුද්ද වෙනකල් හිටියේ මේ පන්තියෙ තමයි. ඕලෙවල් රිසල්ට්ස් එනකල් ඉඳලා රවුම් ගහලා ගහලා මේ පන්තියට වැටුනෙ අපි එකට හිටපු සෙට් එකම. මම, ශාලික, අකලංක සහ නරයා එකටම සෙට් වුනා. බුවනෙකයයි නිපුනයයිත් අපිටම සෙට් වුනා පන්තියෙ පිටිපස්සෙ කෙලවරේම ඩෙස්ක් හයට. අනික් ඉතින් බහුතරය හිටියේ ඉගෙනගන්න වැඩි නැඹුරුවක් තිබුන සෙට් එක. ටික දවසක් යද්දීම අපේ ගුරුතුමියයි අනික් සර්ලා දෙන්නමයි අපි හය දෙනා පන්තියෙ නැත්නම් හොඳයි ගානට හිටියෙ. උදාහරණයක් විදියට ප්රියානි මැඩම් උගන්නද්දී අපි කෑම කනවා හොරෙන්. මේක මාට්ටු වුන දවසේ මැඩම් එතනින් එහාට ඉගෙන්නුවෙත් නෑ.මැඩම්ට අප්පිරියා හිතුනා. පිටිපස්සෙම ඩෙස්ක් තුනේ මැද ඩෙස්ක් එක යට ලෑල්ල ඇතුලට දාලා මම බත් එක අනනවා හිතේ හැටියට. අනික් උන් බලනවා බත් එකේ සුවඳ එද්දි කොහෙන්ද මේ කියලා. ඒත් එලියට පේන්නෙ නෑ. මැඩම් බ්ලැක්බෝඩ් එක පැත්තට හැරෙද්දී තමයි මේක කරන්නේ. අනලා ඉවරවුනාම ආපහු මැඩම් අනිත් පැත්ත හැරෙද්දී අනික් උන් ටික අතදාලා යටින් බත් කටක් අරන් කටේ ඔබාගන්නවා. ශාලිකයාට මේ වැඩේ දිරවන්නේ නෑ. "තොපි කූතාඬි වගේ අත හෝදන්නේත් නැතිව කනවා කාලකණ්ණි" කියලා ගේමේ ඉන්නෙ. ඒත් උගේ බත් එකත් දෙනවා කාපන් කියලා. මොකද ඒක තමයි රහම බත් එක. දවසක් මැඩම්ට කට්ටියගෙ මූණ දිහා බලද්දී වැඩේ තේරිලා අපි ළඟට ආවා. "ඔය ළමයි කෑම කනවද?" කියල ඇවිත් ඇහුවා. "අනේ නෑ මැඩම්" කියලා මම කිව්වා දකුනු අත හංගාගෙන. ඒත් උදේ පාන්දර නිසා බත් එකේ සුවඳ. "කෝ පෙන්නනවා බලන්න තමුසෙගෙ අත". බඩු මාට්ටු දැන්. ඒත් මැඩම් හොයනවා කෑම එක කෝ කියලා. පොඩ්ඩක් එබිලා බැලුවා ඩෙස්ක් එක යට ලෑල්ලට. "හප්පා, මේකෙන් දැන් හැමෝම කනවද?", මැඩම් ඇහුවා. අකලංකයා ගේමක් නැතිව "ඔව් මැඩම්, මාර රසක්" කියලා කිව්වා. මැඩම්ට නිකන් වමනෙට එන්න වගේ. "ඕන දෙයක් කරගන්නවා" කියලා මැඩම් යන්න ගියා. අපි ඉතින් මෙහෙම කන්නේ නම ළකුනු කරලා ඉවර වෙලා මැඩම් ගිය ගමන් ඊළඟට තාප්පය උඩින් පැනලා කොහෙ හරි යන්න තමයි.
මේ පන්තියෙ ඉද්දී තව ගොඩාක් රසවත් දේවල් වුනා. එතනින් අමතකම නොවෙන සිද්ධිය තමයි නරයා කෙල්ලෙක් එක්ක පැනලා ගියා කියලා ප්රියානි මැඩම් අන්දපු සිද්ධියා. මේවා ඉතින් පව් වැඩ. ඒත් ඒ කාලෙට අනේ මන්දා ඉතින්. මේක වුනේ මෙහෙමයි, නරයා දවසක් ඉස්කෝලෙට එද්දී අපේ ශිෂ්ය නායක අයියා කෙනෙක් පොඩි ගේමක් කෝල් කරලා නරයා කොන්ඩේ කපලා නෑ කියලා. නරයට මල පැනලා එදා හවස බස් ස්ටෑන්ඩ් එකේදි අර ශිෂ්ය නායක අයියාට හක්ක පනින්නම දුන්නා. නරයා ඊළඟ දවසේ ඉස්කෝලෙ ආවේ නෑ. අපි පන්තියෙ ටික වෙලාවක් ඉද්දී අපේ ඒ කාලෙ ශිෂ්ය නායක මණ්ඩලය බාරව හිටපු බූලා සර් නරයව හොයාගෙන පන්තියට ආවා. අපේ ඉස්කෝලෙට ගිය මොන කෙරුමෙක් වුනත් ඉතින් බූලා සර්ට සරෙන්ඩර්. වෙලාවට නරයා ආවේ නැත්තේ. බූලා සර් ආපහු යන්න ගියා. අපිට තේරුනා වැඩේ ලේසි නෑ කියලා. එදා හවසම අපි සෙට් එකම නරමානේ නරයාගෙ ගෙදර ගිහින් උට කිව්වා "වැඩේ කතා කරලා ශේප් කරගන්නකල් උඹ ටික දවසක් එන්න එපා ඉස්කෝලෙ පැත්තෙ, බූලාට සෙට් වුනොත් විනාසයි" කියලා. දැන් නරයා ඉස්කෝලෙ එන්නෙ නෑ. ඔහොම සතියක් විතර ගියා. දැන් ප්රියානි මැඩමුත් අහනවා අපෙන් "කෝ තමුසෙලාගෙ නරසිංහ?". අපි සද්ද නැතිව හිටියා. ඒත් අකලංකයා ඊට පස්සෙ ඇහුවා අපෙන් "පොඩි ආතල් එකක් ගමුද?". අපිත් ඉතින් නෑ බෑ නොකියා "හා" කිව්වා. මැඩම් ආයෙ දවස් දෙක තුනකට පස්සෙ "කෝ මේ නරසිංහ?" කියලා අපෙන් ඇහුවා. "මැඩම් පොඩ්ඩක් එනවද ළඟට? පොඩි විස්තරයක් කියන්න තියෙනවා". අකලංකයට ගේමක් නැතිව හිනා යන්නේ නැතිව මේවා ෆුල් සිරිය්ස් ෆෝම් එකෙන් කියන්න පුලුවන්. මැඩමුත් ෆුල් කියුරියස් මූඩ් එකෙන් ළඟට ආවා. "මැඩම්, මේක අහලා කලබල වෙන්න එපා. අපි මේ වැඩේ මුකුත් ප්රශ්නයක් වෙන්නෙ නැතිව ගොඩ දාන්න මහන්සි වෙනවා මේ දවස්වල. මැඩමුත් අපිට සපෝට් එකක් දෙන්න. නරයා ගිය සතියෙ කෙල්ලෙක් එක්ක පැනලා ගියා මැඩම්" කියලා කිව්වා. අපිත් හෙනම අමාරුවෙන් සීරියස් මූඩ් එකේ හිටියා.මැඩම් උපරිම සානුකම්පිත වෙලා අපිට ජීවිතේට පළවෙනි පාරට "පුතාලා" කියලාම කතා කරා. "ඇයි පුතාලා මේක මට කිව්වෙ නැත්තෙ? අපි ඉක්මණට මොනවා හරි කරමු, මේ ළමයාට තාම 18ක්වත් නෑ නේද? හයියෝ කරගන්න අපරාධ. අපි මොනවා හරි කරමු" මැඩම් උපරිම සානුකම්පිතව කිව්වා. "ඔව් මැඩම්, නරයාගෙ ගෙදර මල ගෙයක් වගේ, අම්මයි තාත්තායි කන්නේවත් නෑ. අපි නරයට කිව්වට තාම තේරුම් ගන්නේ නෑ", අකලංකයා තව අවුස්සනවා.
දැන් ඉතින් ඔහොම තව දවස් ගාණක් ගෙවීගෙන ගියා. මැඩම් ළඟට ඇවිත් හැමදාම නරයා ගැන අහනවා. "තාම විසඳුමක් වුනේ නැද්ද? පව් මේ දෙමව්පියෝ. මේ ළමයි මේවා ගැන මීට වඩා හිතන්න ඕන". අපිත් "ඒකනේ මැඩම්" කියලා වැඩේ දිගටම ඇදන් යනවා. ඔහොම තව සතියක් දෙකක් යද්දී නරයා වැඩේ ගොඩින් බේරගෙන එක පාරටම ඉස්කෝලෙ ආවා. නරයා පන්තියට එන්නෙම පරක්කු වෙලා. අපි දැන් වාඩි වෙලා ඉද්දී නරයා ඈතින් එනවා පෙනෙද්දී පිස්සු වගේ. එහෙම ඇවිත් එකපාරම දොර ළඟ හිටගත්තා. මැඩම් හිටියෙ වාඩි වෙලා නම් ළකුනු කරන ගමන්. "එක්ස්කියුස් මී මැඩම්", මැඩම් ඔලුව උස්සලා බලද්දි නරයා දොර ළඟ. මැඩම් එහෙම්මම නැගිටලා "එන්න පුතේ ගිහින් වාඩිවෙන්න, අපි හෙමින් කතා කරමු". නරයා ඩිම් වෙලා , වෙනදා අපේ මූණවත් බලන්නේ නැති මැඩම් මොකද අද කවදාවත් නැතිව ධර්මෙන් කියලා. නරයා වාඩි වෙන්න එද්දී අපි හිනාව තද කරන් ඉන්නවා. "තොපි කාලකණ්ණි, මොනාහරි ගේමක් දුන්නාද?" කියලා අහන ගමන් වාඩි වුනා. "පිස්සුද බං, උඹට එහෙම කරනවාද" කියලා අපි කිව්වා. පන්තියේ අනික් සෙට් එකට වැඩක් දීලා මැඩම් එනවා අපි ළඟට දැන්.
"නරසිංහ, කමක් නෑ පුතේ. ඔයා ආපහු ඉස්කෝලෙ එන්න ගත්ත තීරණයම ලොකු දෙයක්. මොනා වුනත් මේ වගේ වෙලාවෙදි අම්මා තාත්තා ගැන හිතන්න ඕන. හදිස්සි වෙලා ඔය වයසට තීරණ ගන්න එපා", මැඩම් එක දිගට කියාගෙන යද්දී නරයා ෆුල් හොල්මන්. මම එහෙමම අත් දෙක මේසෙ උඩ තියලා මූණ තද කරගත්තා. ශාලිකයා රතු වෙලා. නරයාගේ මූණ බලපු ගමන් හිනා යන්න එනවා මැරෙන්න. "ඇයි මැඩම් මේ, මොකක්ද ප්රශ්ණේ? මට තේරෙන් නෑ" නරයා බැරිම තැන ඇහුවා. මැඩම්ටත් තේරුනා මොකක් හරි අවුලක් කියලා. "ඇයි මේ සෙනෙවිරත්න කිව්වෙ, නරසිංහ ගෑණු ළමයෙක් එක්ක පැනලා ගියා කියලා". "මුන්ට පිස්සු මැඩම්. මැඩමුත් මුන්ට අහුවෙනවානෙ". අපි මූණු බිම ඔබාගෙන හිනාවෙනවා. මැඩම්ට උපරිම මල පැනලා. "සෙනෙවිරත්න, මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා" කියලා බැනගෙන බැනගෙන ගියා. නරයටත් මැරෙන්න හිනා. ඒ තරහා වුන තරහට මැඩම් අපේ මුණ බැලුවේ නෑ දවස් ගාණකට.පස්සේ මැඩම්ව ශේප් කරගත්තා අමාරුවෙන්.
ඊළඟට අමතක නොවෙන සිද්ධිය තමයි ඒලෙවල් ලියන්න ඇටෙන්ඩන්ස් හදාගන්න 80% සීන් එක. අපි සෙට් එකටම 80% නෑ. මැඩම් කිව්වා ""නැති කට්ටිය මෙඩිකල් ගෙනත් දෙන්න. කොහෙන් හරි කමක් නෑ. නැත්නම් වෙන කරන්න දෙයක් නෑ". මගේ 20% විතර නෑ. නරයට 30%ක් විතරම නෑ. ශාලිකයටයි අකලංකයටයිත් එමමයි. මමයි අකලංකයයි කොහොමෙන් හරි මෙඩිකල් හදන් ආවා ගෙවල් පැත්තෙ ඉන්න දොස්තරලා හම්බෙලා. නරයයි ශාලිකයයි මරුම දොස්තර කෙනෙක් තමයි හොයන් තිබුනේ. නරයාගේ නරමාන කියන ගමේ සර්ප වෙදෙක් තමයි අල්ලගෙන තිබුනේ. බුවා මුන් දෙන්නට අත්සන් කරලා කොල ටිකක් දීලා. මුන් දෙන්නම ලියලා ගෙනල්ලා දෙයියනේ කියලා. "නයි විස දවස් 7යි", "පොලොං විස දවස් 14යි", "කුණකටු විස දවස් 10යි".... ඔක්කොම විස සර්පයො ටික ඉවර වුනාම අනික් පොඩි පොඩි උනුත් අල්ලගෙන තිබුනා. "ගෝනුසු විස දවස් 3යි", "පත්තෑයො විස දවස් 2යි" වගේ ඒවා.
අපි ඉතින් බඩ අල්ලගෙන ගිහින් මෙඩිකල් ටික බාරදුන්නා. මැඩම් හෙමිහිට බලන්න ගත්ත ගමන් මැඩම්ටත් හිනා. "පුදුම සත්තු ගොඩක්නෙ කාල තියෙන්නෙ? කැලේද ඉන්නෙ? මම චන්ද්රසේන සර්ගෙන අහලා බලන්නම් මේ ටික බාරගන්න පුලුවන්ද කියලා" මැඩම් කිව්වා. "මැඩම් අනේ ආයේ නම් ඉල්ලන්න එපා. අපේ පැත්තෙ ඉතින් ඔය මෙඩිකල් තමයි තියෙන්නෙ" නරයා කිව්වා. චන්ද්රසේන සර් එහෙමත් නැතිනම් කල්ල සර් තමයි අපේ අංශ ප්රධාන. ටික වෙලාවකින් මැඩම් අපි සෙට් එකට එන්න කිව්වා ඔෆිස් රූම් එකට. යනකොට කල්ලා සර් හිනා වෙවී ඉන්නවා. "ඈ යකෝ, තොපිට මේ කාලා තියෙන සත්තු ගොඩ හැටියට තොපි ජීවත් වෙන්න විදියක් නෑ. මෙහෙම මෙඩිකල් යකෝ මගේ මුලු ගුරු ජීවිතේට දැක්කමයි." එහෙම කියලා අපේ මෙඩිකල් ටික බාරගත්තා.
ඉතින් මේ වගේ තව ගොඩක් මතක තියෙනවා මේ පන්තියෙ. අලහකෝන් සර්ට මල පන්නපු ඒවා, ඕමි ගහලා විජෙකෝන් සර්ගෙන් අහගත්ත ඒවා, ඉංග්රිසි උගන්නපු සුභාශ් සර්ව බයිට් කරපු ඒවා, ප්රංශ උගන්නන්න ආපු දීපාල් සර්(බොන්සුවා) තරහ කරගත්ත ඒවා, ශාන්තප්රියගේ ඔලුවට චෝක් කෑලි ගහන ඒවා,හොර්ටන් තැන්නට ගිය ට්රිප් එක, නුවර එලිය ටවුමේ සර්ලට හොරෙන් වෙස්වලාගෙන අඩියක් ගහපුවා වගේ ගොඩක් මතක වගේම ලියලා පලකරන්නත් අමාරු මතක. වෙලාව තියෙන වෙලාවට ලියන්නම්. නවතිමි මඳ විරාමයකට...

කොරෝනා ලියවිලි 3 - නයිපුන සන්ගලපානා සහ මම

පරණ ෆොටෝ ඇදලා පටන් ගත්ත කොරෝනාවලට ගෙදර ඉඳිල්ල කොණ්ඩෙ කපලා, කෑම හදලා, අවුරුදුත් කාලා තවම ඇදෙනවා. ඉතින් තව මොනවහරි ලියන්න හිතුනා. මේකෙ ගොඩක්ම තියෙන්නෙ මාත් එක්ක එක වසරේ ඉඳලා හිටපු බොක්කෙ යාලුවෙක් වෙන නිපුන සංකල්ප එහෙමත් නැතිනම් නයිපුන සන්ගලපානා. 1990 1 වසර පන්තියෙ එකට වැටුන අපි දෙන්නා අදටත් ඒ කාලෙ වගේම බුදු ෆිට්. නිපුනයට නයිපුන සන්ගලපානා නම හැදෙන්නෙ හතර වසරේ දෙමල ප්රශ්න පත්තරෙත් එක්ක. දෙමළ සර් තේරෙන සිංහලෙන් කිව්වා උත්තර පත්තරේ නම ලියද්දී පුලුවන්නම් විතරක් දෙමලින් ලියන්න කියලා. නිපුනයා විතරක් පණ්ඩිතකමට දෙමළින් ලිව්වා. අන්තිමේට සර් ඇවිත් උත්තර පත්තර බෙදලා දෙද්දී එක පාරටම එක උත්තර පත්තරයක් අතේ තියාගෙන ෆුල් හොල්මන් වෙලා බලාගෙන ඉඳලා ඒක බලාගෙන ඉඳලා "කවුද මේ නයිපුන සන්ගලපානා?" කියලා ඇහුවා. අපිත් කොර වෙලා බලන් ඉද්දී නිපුනයා නැගිටලා උත්තර පත්තරේ බාරගත්තා. එදා ඉඳලා මගේ බොක්ක ආදරණීය "නයිපුන සන්ගලපානා" බවට පත් වුනා.
නිපුනයාගෙ ගෙදර තිබුනෙ කෝන්පොල පාරෙ වෙන්නරු වැව පිටිපස්සට වෙන්න. අපේ ගෙදර තියෙන හේවාපොල ඉඳලා බයිසිකලේ පැදගෙන විනාඩි 15න් විතර යන්න පුලුවන්. ඉතින් 6 වසරට වගේ යනකොට මම නිතර බයිසිකලෙත් පැදගෙන නිපුනයාගෙ ගෙදර යනවා ගොඩක් දවස්වලට හවස් වෙලා. ගිහිල්ලා උන්ගේ ගෙදර ඉස්සරහා ක්රිකට් ගහනවා අල්ල්පු ගෙදර මනෝ මලයත් අල්ලගෙන කලුවර වැටෙනකල්ම. නිපුනයා ක්ලාසි බැටා. අපි ඉතින් එන බෝලෙට කෙලිනවා. හැබැයි උට වඩා හයියෙන් මට බෝල් කරන්න පුලුවන්. සමහර දවසට මූව අවුට් කරන එකත් ලේසි නෑ. ටීවි එකේ මැච් එකක් යන දවසටත් මම එහෙ යනවා. නිපුනයගෙන් තමයි මටත් ක්රිකට් උණ බෝ වුනේ. ඉස්සර තිබුනා ක්රිකට් ලොව කියලා සඟරාවක්. නිපුනය ගාව ඕකෙ ඔක්කොම තිබුනා. ඒක කියවන එකත් ගමනෙ එක කොටසක්. ඊට පස්සේ රෑ වෙලා ගෙදර එන්නේ දාඩිය පෙරාගෙන ආපහු බයිසිකලෙත් පැදගෙන. ගෙදර එද්දී අම්මාගෙ රතු කට්ට පැනලා ගොඩක් වෙලාවට.
හත අට වසර වෙද්දී වගේ සමහර විභාග කාලෙට මම නිපුනයාගේ ගෙදරත් නතර වෙලා ඉන්නවා. නිපුනයගේ අම්මා වැඩකරේ මල්ලවපිටිය ඒජීඒ ඔෆිස් එකේ. තාත්තා අපේ ඉස්කෝලෙම ප්රධාන ලේකඛාධිකාරි වුන තල්පගේ අන්කල්. ඉතින් අපි දෙන්නම උන්ගෙ ගෙදර ඉද්දී උදේට අන්කල් එක්ක බයික් එකේ යනවා. හවසට එද්දී අපි එක එක පාරවල් වලින් එනවා. මල්ලවපිටියෙන් බැහැලා පයින් එනවා. වෙන්නරු වැව් බැම්ම උඩින් එනවා. එකට පාඩම් කරනවා ඇවිත්, ආයි ක්රිකට් ගහනවා. ඇත්තටම කිව්වොත් වෙනම ලෝකයක්. මල්ලවපිටියෙ හිටපු අපේ ඔටු පැංචා එහෙමත් නැත්නම් රජිතයත් එනවා සමහර දවස්වලට. අන්තිමේට මට උගේ ගෙදර මගේ ගෙදර වගේ.
ඔහොම කාලයක් යද්දි අපි ඕලෙවල් කරන කාලේ කුරුණෑගල හිටපු ජයරත්න සර් විද්යාව පන්තියක් කරා. ඒකෙත් ප්රධාන අංගය වුනේ පන්තියට පෙර සහ පසු ක්රිකට් තමයි. ඉතින් අපි දෙන්නාම ඕලෙවල් කරලා ඒලෙවල් මැත්ස් පන්තියටත් එකට වැටුනේ. ඒලෙවල් පලවෙනි සැරේ දෙයියනේ කියලා අපි ඉතින් ආතල් එකේ උපරිමේටම වැටුනා. පන්තියෙ කෙලවරේ හිටපු අපි හය දෙනෙක්ට(නිපුන, බුවනෙක, මම, ශාලික, අකලංක සහ නරයා ) ලේබල් වෙලා හිටියේ එපාම කරපු උන් විදියට. අපි ඔක්කොගෙම කතා වෙනම ලියන්නම් ඉස්සරහට. ඉතින් ඊට පස්සේ අපි සෙට් එක පුරුදු වුනා ඉස්කෝලෙන් කලින් තාප්පෙන් පැනලා ගොඩක් දවස්වලට නිපුනයාගේ ගෙදරට යන්න. ඒ යනකොට දේශ් විඩියෝ සෙන්ටර් එකෙන් අකලංකයා ලස්සන ලස්සන සීඩී තැටි ගන්නවා. තව ඉතින් සිගරට් පැකට් එකකුත් අරන් යනවා. මල්ලවපිටියෙම තව ප්ලේස් එකකින් තව ලස්සන සීඩී ගන්නවා. ඒවා උදේම බලලා පුලුවන් විදියට හස්ත කර්මාන්තයේ නියැලුන අපි ආපහු ක්රිකට් ගහනවා. ඔහොම ගිහින් ඒලෙවල් පලවෙනි සැරේ බඩු පැකට් සෙට් එකටම.
දෙවැනි සැරේ වැඩේ ටිකක් සීරියස් පටන් ගන්නවා. ටික කාලයක් මැත්ස් රිවිශන් ගිහින් වැඩේ එපා වෙලා අකලංකයයි මමයි මැත්සි රිවිශන් යන එක නවත්තලා සඳුදා, අඟහරුවාදා, බදාදා නිපුනයාගේ ගෙදර සෙට් වුනා මැත්ස් කරන්න. නිපුනයා දෙවැනි සැරෙත් සිරා ගත්තේ නෑ. මම පියෝ මැත්ස් ගේමක් ගහද්දී අකලංකයා ඇප්ලයිඩ් ගොඩ දැම්මා. කලින් සතියේ අනිල් සර් රිවිශන් එකේ දෙන මැත්ස් පේපර්ස් අපි දෙන්නා කරලා දෙන්නම සාකච්ඡා කරලා ගොඩ දානවා. හදාගන්නම බැරි ගනන් වැව දිහාට ගිහින් හීනියට සිගරට් එකක් ඇද්දම හදාගන්න පුලුවන් වුනා. නිපුනයා අපිත් එක්ක සෙට් වුනෙ නැතත් අපිට බාධා කරේ නෑ කිසිම දවසක. අන්කලුයි ඇන්ටියි උපරිම සපෝට් එකක් දුන්නා. අපි දෙන්නම මැත්ස්වලට ඒ අරගෙන කැම්පස් යන්න සිලෙක්ට් වුනා. අන්කල්ටයි ඇන්ටිටයි ඒකට පිං සිද්ධ වෙන්න ඕන.
ඊට පස්සෙ කැම්පස් යනකල් නිතරම උන්ගෙ ගෙදර යනවා. නිපුනයගේ ලොකුඅම්මා බැඳලා හිටපු ලොකු අප්පච්චිත් අපේ පට්ට ෆිට් එක වගේම හෙනම ආතල්. කයියක් ගහන්න සෙට් වුනාම ආතල්.ලොකු අප්පච්චි ඉඳලා හිටලා නිපුනයාගේ ගෙදර එනවා. මෑන්ස් පොඩ්ඩක් එලි පහලියට ගිහින් දුමක දානවා ශේප් එකේ. දවසක් අකලංකයයි මමයි නිපුනයාගෙ ගෙදර ගියාම ලොකු අප්පච්චිත් ඉන්නවා. අපි දෙන්නා ඉතින් සුව දුක් විමසලා කාමරේට ගිහින් ඉන්න ගමන් අකලංකයා ඇහුවා "ජයා, උඹ සිගා ගෙනාවද?". එදා ගෙනල්ලා තිබුනේ නෑ. "නෑ බං". දැන් ඉතින් අකලංකයගෙන් බැනුම්. කඩේකුත් ළඟපාත නෑ. මම පොඩ්ඩක් එලියට එනකොටම සාලෙ කබඩ් එකේ ගෝල්ඩ් ලීෆ් බොක්ස් එකක්. නිපුනයාගෙන් අහපු ගමන් "අඩෝ ඕක ලොකු අප්පච්චිගෙ වෙන්නැති". මම ඇහුවා අපි බුවාගෙන් ඉල්ලන්නද කියලා. දැන් ඉතින් නිපුනයා නාහෙන් අඬනවා "මොකක්ද බං? ඕක ඉල්ලුවොත් මම නෝණ්ඩිනේ බං, උඹලත් එක්ක ඕකනේ බැරි" කියලා. අපි කිව්වා එහෙනම් අපි මේක උස්සනවා කියලා. නිපුනයා කිව්වා "ඕන එකක් කරගනින්" කියලා.
ලොකු අප්පච්චි ටිකක් එහාට මෙහාට වෙනකල් ඉඳලා අකලංකයයි මමයි දුන්න වැඩේ සිගරට් පැකට් එකට. සාක්කුවේ දාගෙන නිපුනයත් එක්කම ගියා වැව පැත්තට. ගිහින් වාඩිවෙනකොටම මතක් වුනා ගිනි පෙට්ටිය ගෙනාවේ නෑ කියලා. ආයිත් නිපුනයට ඇනයක් වුනා. "ඕකනේ බං උඹලත් එක්ක බැරි" කියලා බැන බැනම ගියා ගිනිපෙට්ටිය ඇරන් එන්න. ඔන්න ටික වෙලාවකින් නිපුනයා වැනි වැනී එනවා ගිනි පෙට්ටියකුත් අරන්. "ආයිනම් මුකුත් ඉල්ලන්න එපා" කියලා වාඩි වුනා. අකලංකයයි මමයි දත කට මැදගෙන ගෝල්ඩ්ලීෆ් පැකට් එක ඕපන් කරා. සිගරට් එක එලියට ගත්ත ගමන් අපිට එපා වුනා, නිපුනයාගේ ලොකු අප්පච්චිගෙ පරම්පරාවම මතක් වුනා. ගෝල්ඩ්ලීෆ් පැකට් එකේ තිබුනේ රුපියල් එකයි පනහෙ කැප්ස්ටන් කියන ෆිල්ටරෙත් නැති මල ජරාව. නිකන් දුන්නත් අපි බොන්නෙ නෑ ඒ කාලෙ. නිපුනයත් අපිට කිණ්ඩිය දානවා "හොඳ වැඩේ තොපිට ඕක ඉස්සුවාට". මෙච්චර ගේමක් දුන්න එකේ තරහටම ඒකේ තිබුන තිබුන කැප්ස්ටන් තුනම කැහැ කැහැ ගැහුවා. ඊට පස්සෙ කයියක් ගහලා ගෙදරට එන්න පිටත් වුනා.
නිපුනයාගේ ගෙදර ළඟට එද්දී ලොකු අප්පච්චි අපි දිහා හිනා වෙවී වෙනදා වගේ නැතිව හෙනම කිණ්ඩියට බලන් ඉන්නවා. "අඩේ, බුවා බලන විදිය අල්ලන්නේ නෑ, වැඩේ මාට්ටුද බං?" මම අකලංකයගෙන් ඇහුවා. "පිස්සුද බං, මාට්ටු වෙන්න විදියක නෑනේ, ගාණක් නැතිව යමන් එතනින්". අකලංකයට කොහොමත් හිනා යන තැනක හිනා නොයා ඉන්නත් අඬන තැනක අඬන්නේ නැතිවත් ඉන්න අදටත් පුලුවන්. ගේට්ටුවෙන් ඇතුලට යද්දීම "තොපි මගේ සිගරට් ටිකට දුන්නා නේද වැඩේ? යකෝ ඉල්ලුවනම් දෙනවානේ" කියලා ලොකු අප්පච්චි හිනාවෙලාම කිව්වා. අකලංකයා ගේමක් නැතිව "පිස්සුද අංකල්, අපි ඔය වගේ දෙකයි පනහේ වැඩ කරන්නේ නෑ" කිව්වා. ලොකු අප්පච්චිට ආයෙත් හිනා. මාත් හිනාව තද කරගෙන යද්දීම "එහෙනම් අපේ එකා මගෙන් ගිනි පෙට්ටියත් ඉල්ලගෙන වැවට ගියේ වෙන මොන ලබ්බටද?" කියලා ලොකු අප්පච්චි ඇහුවා. හුකෑස්.
අපිට නිපුනයත් එක්ක යකා තරහ. අකලංකයා පුපුරනවා. මට හිනාවෙන්නද? අඬන්නද තේරෙන්නේ නෑ."ඇයි යකො තෝ ලොකු අප්පච්චිගෙන්ම ගිනි පෙටිටිය ඉල්ලුවේ, බඩු මාට්ටුනේ?" කියල අහපුගමන් නිපුනයා ඇඟට පතට නොදැනිම "ඉතින් බං මම ගෙදර පුරාම හෙව්වා, හම්බුනේ නෑ. ඕක අරන් යන්න බැරි වුනත් උඹලා ආයි ඇනයක් වෙනවනේ" කියලා කිව්වා. අපිට වස ලැජ්ජාව, අමාරුවෙන් උස්සලා ගෝල්ඩ් ලීෆ්වත් තිබුනානම් තව කමක් නෑ. තිබුනෙත් මෙලෝ රහක් නැති කැප්ස්ටන්. ටික වෙලාවක් යද්දි ලොකු අප්පච්චිත් පේන්න නෑ. මෙන්න ටික වෙලාවකින් ලොකු අප්පච්චි කඩේට ගිහින් අපිට ගෝල්ඩ් ලීෆ් ටිකක් ගෙනල්ලා. "ඔය කාලෙට අපිත් ඔහොමයි බං" කියලා කිව්වා. ඒ වුනාට මම අදටත් කල්පනා කරන්නේ ඇයි යකෝ මේ උලමා ලොකු අප්පච්චිගෙන්ම ගිනි පෙට්ටිය ඉල්ලුවේ කියලා.
ඔය වගේ ලස්සන කතා ගොඩක් එක්ක කාලය ගෙවුනා. අපි කැම්පස් ආවා. නිපුනලා කෝන්පොල ගෙදර විකුණලා අරඹේපොල නිපුනලාගේ අම්මලාගේ මහ ගෙවල් ළඟ ගෙයක් හදලා එහේ ගියා. අපි ඊට පස්සෙ එහෙත් පුලුවන් වෙලාවට ගිහින් නිපුනයට ඇණයක් වුනා. අදටත් අරඹේකඩෙන් ගියොත් නිපුනයාගේ ගෙදර ගොඩ වෙලා යන්නේ. දැනට ටික දොහකට කලිනුත් ගියා. නිපුනයා මට ඒ කාලේ නිපුනයමයි. එක වසරෙදි හම්බුන නිපුනයමයි. නිපුනයගේ ලෝකේ වීරයා සංගක්කාර. සංගාට පොඩ්ඩක් බැන්නොත් තමයි නිපුනයා ටිකක් විතර නිපුනයා අවුස්සන්න පුලුවන්. ආදරෙයි බොක්ක
ප.ලි.: "දුම්පානය ඔබගේ ශරිර සෞඛ්යට අහිතකරය"

කොරෝනා ලියවිලි 2 - මගේ කෝච්චි පිස්සුව

මිනිස්සුන්ට පොඩි කාලෙදි එක එක පිස්සු හැදෙනවා. ඒවා ඉබේම විනෝදාංශ බවටත් පත් වෙනවා. ස්ටිකර් එකතු කරන එක, මුද්දර එකතු කරන එක, කාසි එකතු කරන එක වගේ ඒවා පිස්සුවෙන් වගේ කරනවා එක කාලෙකට. මාත් මේවා කරා කාලයක්ම. ඒත් මගේ ලොකුම පිස්සුව එහෙමත් නැතිනම් ලොකුම විනෝදාංශය කෝච්චි. යන්තම් තේරෙන කාලෙක ඉඳලා මගේ ආසම සෙල්ලම් බඩු කෝච්චි. අද වෙනකල්ම මේ පිස්සුව වැඩි වුනානම් මිසක් පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ.
මේක පටන්ගත්තෙ කොහොමද කියලා බලපුවාම මට මතක් වෙන්නේ අම්මා මාව පොඩි කාලෙ ඉඳලා හිටලා අම්මා වැඩ කරපු මහනුවර ගොඩනැගිලි ද්රව්ය සංස්ථාවේ ඔෆිස් එකට එක්කරගෙන යනවා. මේ ඔෆිස් එක තියෙන්නෙ කටුගස්තොට පාරෙ මහයියාව පාර අයිනට වෙන්න. මෙතනට මාතලේ කෝච්චිය යනවා එනවා හොඳට පේනවා. මම ගියාම උඩ තට්ටුවට වෙලා බලාගෙන ඉන්නවා කෝච්චිය එනකල්. පුටුවෙන් නැගිටින්නෙ කෑම කන්න විතරයි. ඊට පස්සෙ ඉතින් ඉස්කෝලෙ යන්න ගත්ත කාලෙ උදේ හවස කුරුණෑගල ස්ටේසම පහු කරගෙන යද්දි එද්දී බලාගෙන යනවා. ටිකක් විතර ලොකු වෙද්දී බස් එකේ යන්න පටන් ගත්තාම ස්ටේසම කිට්ටු කරද්දී මම ඈත තියලා බලන් එන්නේ ස්ටේසම ළඟම පේන සෙමෆෝර් සිග්නල් කණුවේ සිග්නල් එක පාත් කරලාද කියලා.බැරි වෙලාවත් සිග්නල් දීලානම් මම මොන ගමනක් ගියත් බස් එකෙන් බැහැලා රේල් පාරට උඩින් යන පාලම ළඟ ඉඳලා කෝච්චිය එනකල්ම ඉඳලා ඒක දිහා බලන් ඉඳලා යන්නේ. ඈතින් එද්දි සද්දෙන් කියන්න පුලුවන් ඒ එන්නේ M2 ද, M4ද, M6 ද, M7ද එහෙමත් නැත්නම් M8 එන්ජිමක්ද කියලා.
පොඩි කාලේ ඉඳලාම මම ගැන ලියන්න රචනයක් දුන්නොත් ඒක ඉංග්රීසියෙන් ලිව්වත් සිංහලෙන් ලිව්වත් මම ලියන්නෙ "මාගේ අනාගත අරමුණ දුම්රිය රියදුරෙක් වීමයි", එහෙම නැත්නම් "I want to be a railway driver". පන්තියෙ අනික් උන් ගොඩක් ලියන්නේ ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලා, එහෙමත් නැත්නම් කලාතුරකින් ඉංජිනේරුවෙක් වෙනවා කියලා. දවසක් මේ වගේ රචනයක් ලියලා අටේ පන්තියෙදි අපේ සිංහල සර්ගෙන් හොඳම එකෙන් අහගත්තා. සිංහල උගන්නපු සුනිල් ජයවර්ධන සර් හෙනම වසයි. "ඈ බොල බූරුවො, තොට කෝච්චි එලවන්න තොපෙ අම්මයි තාත්තායි තෝව මලියදේවෙට එව්වෙ අහවල් එකටද" කියලා තේරෙන සිංහලෙන්ම අහගත්තා. එදායින් පස්සෙ මම ආයි ලිව්වෙ නෑ කෝච්චි එලවන කතාව විහිලුවටවත්.
උඩ කියලා තියෙන කෝච්චි පිස්සුව උපරිමේට එන්නේ තනියම ගමන් බිමන් එන්න අවසර ලැබුනාම. මුලු පවුලෙම මිනිස්සු කිව්වේ "මේ යකාට පිස්සු" කියලා. මේ තියෙන්නෙ ඒ වගෙ පිස්සු වැඩවලින් ටිකක් විතර
1. අපේ පොඩි නැන්දලාගේ ගෙදර තිබුනේ කෑගල්ලේ ඇදුරාපොත කියන ගමේ. ඉතින් ගෙදර කට්ටියම සරලවම එහේ යන්නේ කුරුණෑගල-කෑගල්ල බස් එකේ. මං ඉතින් යන්නේ කුරුණෑගල ඉස්ටේසමට ගිහින් රැජිනේ පොල්ගහවෙලින් බැහැලා ආයේ බස් එකක නැගලා. එන්නෙත් ඒ විදියටම තමයි. හවස පොල්ගහවෙල ඉස්ටේසමට ඇවිත් ආපහු රැජිනෙන් එන්නේ. නැන්දායි මාමයි දෙන්නම අහන්නේ "මෙච්චර් බස් යද්දී මොකටද ළමයෝ මේ පොඩි දුරකට කෝච්චියේ යන්නේ?" කියලා
2. අපේ ලොකුඅම්මා හිටියේ නුවර හන්තානේ. අපෙ ගෙදර තිබුනේ නුවර කුරුණෑගල පාර අයිනෙමයි. බස් එකේ ගියොත් උපරිම පැයයි නුවරට. එහෙ යන්න මන් පිටත් වෙන්නේ ගෙදරින් උදේ පාන්දර 5.30ට. කුරුණෑගල ඉස්ටේසමේන් මහව කෝච්චියට නැගලා, පාන්දර පොල්ගහවෙලට ගිහින්, එතන බලාගෙන ඉඳලා ඉඳලා, නුවරට කෝච්චියක යනවා. අන්තිමේට ලොකුඅම්මලාගේ ගෙදර යද්දී මහ දවල් වෙලා. ලොකුතාත්තා අහනවා "මොකද මෙච්චර පරක්කු?" කියලා. ඒ කාලේ ඉතින් හෑන්ඩ් ෆෝන් නැති නිසා ඉතින් බය වෙලා ඉන්නේ පරක්කු වෙලා යද්දි. මං කිව්වාම කෝච්චියේ ආවේ කියලා, ආයේ අහනවා "ඒ කොහෙ ඉඳලාද කියලා?", කුරුණෑගල ඉඳලා කිව්වම ඉතින්, එතන ඉඳලා බයිට් එක තමයි
3. මේ 1999දි. අපේ තාත්තගේ මාමණ්ඩි හිටියේ ගල් ඔය හතරැස් කොටුවේ. දවසක් අපේ ලොකු නැන්දාට ලියුමක් එවලා එහේ දානයක් තියෙනවා, ඒකට එන්න කියලා. ලොකු නැන්දා ටිකක් වයස නිසා අපේ තාත්තට කතන්දරේ කිව්වම, තාත්තා කිව්වා එහෙනම් පුතා එක්ක ගිහින් එන්න කියලා. මං සිතියමක් අරන් බැලුවාම ලස්සනට ත්රිකුණාමලය කෝච්ච් පාර ලඟ පාතින් යනවා. මං නැන්දාට යන දවසේ උදේම කිව්වා, "නැන්දාට බස් එකේ ගියොත් මහන්සි වැඩි වෙයි, අපි යමු කෝච්චියේ" කියලා. නැන්දා ඇහුවා "පරක්කු වෙන්නේ නැතිව යන්න පුලුවන් වෙයිද?" කියලා. මං කිව්වේ "පිස්සු කතා කරන්න එපා. කෝච්චිය වේගෙන් යනවා" කියලා.
මට තිබුනේ ගිහිල්ල නැති පැත්තක කෝච්චියෙන් යන්න තිබුන ආසාව දානේට මොකක් වුනත්. ප්ලෑන් එක තාත්තාට කිව්වෙත් නෑ. කුරුණෑගලින් 8.18 ට තිබුනේ කෝච්ච්ය. වෙලාවට ආවා, ලස්සනට යනවා කෝච්චිය. 9.30 වෙද්දි මහව. හැබැයි ඉතින් එතන ඉඳලා හෙමින් වැඩේ. 11 විතර වෙද්දී නැන්දාගේ මූණ ඇඹුල් වෙලා. මං උපරිම සන්තෝසෙන්. අන්තිමේට හබරණ පහු වෙලා ගල් ඔයට එද්දී කෝච්ච්ය නැවැත්තුවා. අපි හිටියේ දකුනු පැත්තේ ඉඳගෙන. නැන්දාට තරහටම නින්ද ගිහින්. මන් ෆුට් බෝඩ් එකට ගිහින් බලද්දී නවත්තලා තියෙන්නේ හතරැස් කොටුවේ. ගල් ඔය හන්දියටම ගිහින් බලන්න ඕන කියලා, මං ශේප් එකේ හිටියා. නැන්දාට ඇහැරෙව්වේත් නෑ. අන්තිමේට ගල් ඔයෙන් බහිද්දී 12ත් පහු වෙලා.
පස්සෙන් නැන්දාත් බස්සගෙන ආයෙ බස් එකක නැගලා ආවා හතරැස් කොටුවට. නෑදෑ ගෙදර ත්රිකුණාමල බස් පාර අයිනේමයි. කොළඹ ඉඳලා කුරුණැගල ඉඳලා බස් එනව ඉවරයක් නැතිව. ඒවා දකිද්දි නැන්දාට තවත් තරහා යනවා. දානේ ඉවරවෙලා, හාමුදුරුවොත් ආපහු පන්සලට වැඩලා.,ආපු අනිත් නෑදෑයෝත් කාලා ඉවර වෙන ගමන්. අපේ ගමේ ඉඳලා ගිය අනික් නෑදෑයෝ අහනවා "ඇග්නස් අක්කලා අපිටත් කලින් පිටත් වෙලා ඇයි මේ පරක්කු? කරදරයක්වත් වුනාද ?" කියලා. නැන්දා කිව්වා "මේ ළමයා මාව කෝච්චියේ එක්කරගෙන ආවානේ". ඔක්කොම සවුත්තුවට හිනා වුනා. ගොඩක් දෙනා කිව්වේ, "බස් එකේ ආවානම් පැය තුන හතරනේ, කෝච්චිය ලොකු රවුමක් ගහලා එන්නේ, අපරාදේ". කොහොම හරි නැන්දාව ශේප් කරලා එදා රෑ එහේ ඉඳලා, ඊලඟ දවසේත් කෝච්චියේ එන්නම නැන්දාව කැමති කරගත්තා. උදේ කෝච්චියට පිටත් වෙන්න යද්දි කට්ටියම ආපහු ඇහුවේ "පුතන්ඩියා කෙසේ වෙතත්, නැන්දම්මා පාඩමක් ඉගෙන ගෙනත් නෑ" කියලා. එන්කොටනම් නැන්දා සන්තෝසෙන් ආපහු ආවා. සමහර විට හිතෙන්න ඇති පොඩි එකාගේ ආසාවනේ කියලා
ඉතින් මේ ආකාරයේ රසවත් සිද්ධිත් එක්ක කෝච්චි පිස්සුව දිගටම කිසිම බාධාවක් නැතිව කරගෙන එනවා. බැඳපු ගෑනිත් හොඳටම ඒක තෙරුම් ගත්තා. ගොඩක් ට්රිප් යන්නෙත් කෝච්චි පාරක් ළඟ පාතකින් යන දිහාවකට. අදටත් එහෙම යද්දී කෝච්චියක් දැක්කොත් අනිවාර්යෙන්ම නැවතිල ෆොටෝ ටිකක් ගන්නවා.
පස්සේ කාලෙක 2011දී වගේ ලංකාවෙම පැතිරිලා හිටපු ඔක්කොම කෝච්චි පිස්සො එකට එකතු වුන මූණුපොතේ යකඩ යකා සමූහයට සම්බන්ද වෙලා මටත් වඩා පිස්සො ටිකක් අඳුරගෙන කෝච්චිය ගැන දැනුම තවත් වැඩි කරගන්න පුලුවන් වුනා. එතනදී අපි වාර්ශික සුහද හමු වගේ දේවලුත් පවත්වලා කෝච්චියට සම්බන්ද ඉහල නිලධාරීන් සහ ඉංජිනේරුවන්ගේ දේශනවලට පවා සහභාගී වුනා.ඒ ගැන විශේෂ ස්තූතියක් හිමි වෙන්න ඕන Gehan Chandika Wickz, Thurya Owitipana, Duran Nanayakkara, සුභාෂ් බණ්ඩාර ධනසේකර., Uthpala Jayaweera, Lahiru Kannangara, වගේ කෝච්චි පිස්සෝ ටිකට.හැමදාම ආදරෙයි කෝච්චියට සහ ඒ හා බැඳුණ ඉතිහාසයට...

කොරෝනා ලියවිලි 1 - ඉඳුල්ගොඩකන්ද සහ මම

කොරෝනාත් එක්ක ගෙදරට වෙලා ඉද්දි මොනාහරි දෙයක් ලියන්න හිතුනා. මගේ ලෝකයේ මම ආදරය කරන මම පොඩිකාලෙ හැදුන ගම ගැන ලියන්න හිතුනා.සීතල දේශගුණයක් හිමි ඉඳුල්ගොඩකන්ද කියන්නෙ කුරුණෑගල ටවුමේ ඉඳලා කිලොමීටර 14ක් වගේ දුරකින් පිහිටලා තියෙන සෑහෙන ඉහල කඳු පන්තියක් මැද තියෙන ලස්සනම ගමක්. කුරුණෑගල නුවර පාරේ පිලීකඩ හන්දියෙන් හැරුනාම සෑහෙන වංගු සහිත පාරකින් පිවිසෙන ලස්සන තැම්පාන ජලාශය සහ රක්ශිතය පහුකරලා එතනින් එහාට සිල්වාකන්ද කියන සුවිශාල පොල්වත්ත, වල්පොලකන්ද, මිල්ල ඇල්ල පහුකරලා තමයි ගමට පිවිසෙන්න තියෙන්නෙ. ගමේ ඉස්කොලෙ හරිම ලස්සනයි. උඩහ ඉස්කෝලෙ, පහල ඉස්කෝලෙ කියලා වෙන වෙනම තියෙන්නෙ. ඉස්කෝලෙ පහුකරලා වංගු දෙකක් වගේ යනකොට ගමේ දේවාලය හමුවෙනවා. ඊට පස්සෙ කඩමණ්ඩිය, බේකරිය සහ ගම.
මම කොහොමද ඉඳුල්ගොඩකන්දට සම්බන්ද වෙන්නේ? මේ මගේ තාත්තා උපන් ගම. තාත්තලාගෙ පවුලේ ඔක්කොම හත් දෙනෙක්. තාත්තා පොඩිකාලෙ අවුරුදු 10ක් වගේ වෙද්දි තාත්තාගෙ අම්මත් ඊට ටික කාලෙකට පස්සෙ තාත්තාගෙ තාත්තාත් නැති වෙලා තියෙනවා. කිරිඅම්මා නැතිවෙද්දි බාලම බාප්පාට මාස 6ක් වගේලු.එතන ඉඳලා ඒ පවුලම බලාගෙන තියෙන්නෙ ලොකු නැන්දා සහ ලොකු නැන්දා බැඳලා හිටපු අරනායක මාමා. අරනායක මාමා 1960 ගණන්වල කුරුණෑගල ලොකුම බේකරියක් වෙලා තිබුන මෙන්ඩිස් බේකරියේ අයිතිකාරයාලු. කිරිඅම්මා සහ කිරිඅත්තාගෙ හදිසි මරණවලින් පස්සේ අරණායක මාමා හත්දෙනාගෙම පවුලේ බර කරට අරගෙන ගමට ඇවිත් අදටත් ගමේ තියෙන බේකරිය පටන් අරගෙන. මේ වගේ කැපකිරීමක් කරපු අරණායක මාමා කියන්නෙ මම දැකපු දෙවියෙක්. අරණායක මුදලාලි කියලා ගමේත් ටවුමෙත් හැමෝම කියපු අරණායක මාමා ගමේ හැමෝම එක්ක ලෙන්ගතුකමකින් ජීවත් වුන හැමෝම ආදරය කරපු මනුස්සයෙක්.අරණායක මාමා ගැන වෙනම ලිපියක් ලියන්න පුලුවන් තරමේ කරුණු කාරණා තියෙනවා.
ඉතින් තාත්තලාගෙ පවුලෙ අය ලොකු මහත් වෙලා උගන්නලා කසාද කරලා දීලා හැම දෙයක්ම ලොකු නැන්දා සහ අරණායක මාමා ඒ යුතුකම් ඉටුකරලා දීලා. තාත්තලාගේ පවුලේ දෙවෙනි පරම්පරාවේ පලවෙනියා විදියට මම එකතු වෙන්නේ 1984දී. පළවෙනියා මම වීම නිසා නැන්දලා තුන් දෙනාත්, ලොකුතාත්තා සහ බාප්පලා දෙන්නාත් ඇතුලු හැමෝගෙම ආදරය ඒ කාලෙ ඉඳලා අඩුවක් නැතිව ලැබුනා. මම හම්බ වෙද්දී අම්මායි තාත්තායි දෙන්නාම දඹුල්ලෙ වැඩ කරලා තියෙන්නෙ. ඊට පස්සේ දෙන්නම නුවර වැඩට ගිහින්. ඒත් මට මාස තුනක් වගේ වෙද්දී මාව බලාගන්න අපහසුතා අම්මාටයි තාත්තාටයි ආවට පස්සෙ ලොකු නැන්දා ඒ වගකීම අරගෙන මාව ඉඳුල්ගොඩකන්දට ගෙනත් දෙන්න කියලා. ඉතින් මාස තුනේ ඉඳලා ඉරිදා හවසට මාව ඉඳුල්ගොඩකන්දට ගෙනත් දාලා ආපහු තාත්තා ඇවිත් සිකුරාදා හවස එක්කරගෙන යන්න වෙලා. ඔන්න ඔහොමයි මම ඉඳුල්ගොඩකන්දට එන්නේ.
ලොකු නැන්දා කියන්නේ මාව වැදුවෙ නැතිවුනත් මට පණටත් වඩා ආදරය කරපු මගේ දෙවෙනි අම්මා. ජීවිතේට මට තරවටුවක්වත් කරලා නෑ. මාස තුනේ ඉඳලා මම නැන්දාට තුරුල් වෙලා, එහෙමත් නැතිනම් අරණායක මාමාට තුරුල් වෙලා නිදාගත්තෙ. මට මතක ඇති කාලෙක ඉඳලා එක්කෝ මම ලොකු නැන්දාගෙ ඔඩොක්කුවේ, එහෙමත් නැතිනම් වඩාගෙන, නැතිනම් අතේ එල්ලිලා. ගමේ මිනිස්සු අනන්තවත් කියනවා ඇහිලා තියෙනවා "කොල්ලා ඇග්නස් අක්කාව නටවන තරම" කියලා. මට තේරෙන කාලෙ ඉඳලා මට මතකයි මම නැගිටලා කෑම කන්න යද්දී ලොකු නැන්දා උදේම ගම වටේම ගිහින් ලැවරියා, ආප්ප, ඉඳිආප්ප වගේ කෑම ගොඩක් මට වෙනම මේසේ තියල තියෙනවා. දවසම මම කරන්නේ එක්කො ලොකු නැන්දාට ඇනයක් වෙනවා. නැත්නම් සෙල්ලමම තමයි
ගම මැද්දේ ඉඳලා ලොකු ඇලක් යනවා කන්ද උඩ ඉඳලා පටන් ගන්න. ඒ ඇලේ නාන්න පීලි තුනක් තිබුනා උඩ පීල්ල, මැද පීල්ල සහ ඉඹුල කියලා. ලොකු නැන්දයි , චන්නා නැන්දායි(තාත්තාගේ නංගි ) සහ ගෙදර හිටපු සුදුනෝනා අක්කයි (අරණායක මාමගේ මල්ලිගෙ දුව ) එක්ක හවස 3.30 ට විතර උඩ පීල්ල ළඟට තමයි නාන්න යන්නේ. නැන්දලා යන්නේ රෙදි ලෝඩ් එකක් ඇරගෙන හෝදන්න. ඇලට ගියාම පැය 1 1/2ක් 2ක් අනිවාර්යෙන්ම එතන තමයි. නැන්දලා රෙදි හෝදනකල් මම කරන්නේ මාළු අල්ලන එක, එහෙමත් නැත්නම් ඇලට එහා පැත්තේ රබර් වත්තෙ ඔට්ටපාලු ගලවලා බෝලයක් හදන එක. එහෙමත් නැතිනම් පීල්ල දිගේ පොඩි ගල් කැට එවලා නාන්න එන මිනිස්සුන්ගෙන් පොඩි බැනුමක් දෙකක් අහන එක.
ලොකු නැන්දා වගේම ඊළඟට මම වැඩියම ආදරය කරන්නේ අරණායක මාමාට. නැන්දා ළඟ නැතිනම් මම අනිවාර්යෙන්ම මාමා ළඟ. මාමා මම කියන ඕනම දෙයක් අරන් දෙනවා ඒ කාලේ. කඩචෝරුවේ ඉඳලා සෙල්ලම් බඩුව දක්වා ඕනම දෙයක් ඕනම වෙලාවක අරන් දෙනවා. මාමා බේකරියෙ වැඩ කරද්දී එතනට වෙලා බලන් ඉන්නවා. පිටි අනලා ඉවර වෙලා මාව වඩාගෙන හුරතල් කරනවා. එහෙම නැත්නම් මාමා ඊට පස්සේ යන්නෙ දේවාලෙ ළඟ තියෙන සියදොරිස් මුදලාලිගෙ කඩේ ළඟට. එතනට ගියාම අනිවාර්යෙන්ම ඇම්බුම් කෙසෙල් ගෙඩියක් කන එක ශුවර්. බේකරියෙ වැඩ ඉවර වුනාම මාමා ගොඩක් දවස්ට යනවා හවස් වෙලා මොරතැන්නට පොඩි රා කට්ටක් බොන්න. ඒ යද්දී මාත් පේන්න හිටියොත් එක්කො කොක්කන්මලේ නැත්නම් කර උඩ තියන් යනවා. මොරතැන්න තියෙන්නෙ බේකරිය ළඟ ඉඳලා කිලෝ මීටර 2ක් විතර එහා. ඒ යන ගමන් දිගටම මාව හුරතල් කර කර යනවා මට මතකයි. මාමා රා පොඩ්ඩකින් සප්පායම් වෙලා ආපහු එන ගමන් ඇලෙන් නාලා මාවත් නාවාගෙන එනවා. මාමා ගොඩක් වෙලාවට යන්නෙ මැද පීල්ලට. ඉතින් මාමායි නැන්දායි මට ලබාදුන්න ඒ ආදරයත් එක්ක මට තේරෙන වයස එද්දිත් අම්මායි තාත්තායි ඉන්න ගෙදරට වඩා ඉඳුල්ගොඩකන්දෙ ගෙදර ඉන්න මම හැමදාම ආස වුනා. ඉඳුල්ගොඩකන්ද කියන්නේ මට දිව්ය ලෝකයක් වෙලා තිබුනේ.
නැන්දායි මාමායි ඇරුණුකොට ඊට පස්සේ මම වැඩියෙන්ම ආදරය කරේ බාප්පලා දෙන්නාට. කොච්චර ආදරේද කියනවානම් මම අද වෙනකන් දෙන්නටම බාප්පා කියල නෑ. දෙන්නම මට එක වගේම ආදරෙයි වගේම මාත් දෙන්නටම ඒ වගේම ආදරෙයි. බාලම බාප්පාට මම පොඩි කාලෙ ඉඳලා අද වෙනකල් කියන්නේ "බාප්පිතාත්ති" කියලා. අනික් බාප්පාට පොඩි කාලෙ ඉඳලා අද වෙනකල් කියන්නේ "බීතාත්ති" කියලා. ඒ ඩබලත් අයියලා මල්ලිලා වුනාට පට්ට ෆිට් එකක් තියෙන්නේ. දෙන්නට දෙන්න කතා කරන්නෙ නම් වලින් "කුමාරයා", "සමනා" කියලා. බාප්පිතාත්ති කියන්නේ මම පොඩි කාලෙ ඉඳලා අද වෙනකල් දැකපු ෆන්ම මනුස්සයා. මූනේ හැම වෙලාවෙම තිබුනේ හිනාව. ලොකු නැන්දාව එහෙම මොකක් හරි කියලා අවුස්සන එකමයි කරන්නේ. බීතාත්ති පොඩි කාලේ ඉඳලාම බේකරියෙ වැඩ කරපු එක කරලා ෆුල්ම ෆිට් එකේ හිටියෙ. බේකරියෙ දර ලෝඩ් එකක් කුලුගෙඩිය අරන් පලන එක බීතාත්තිට ගේමක් නෑ. සරලවම කිවොත් තිබුනේ ෆුල් ආම්ස් එක්ක සික්ස් පැක් ෆිට් බොඩි එකක්. ඉතින් මේ දෙන්නටම පස්සෙ කාලෙක හම්බුනෙත් කෙල්ලො. ඒක නිසා දෙන්නගෙම මට තිබුන තැන ගන්න වෙන කාටවත් පුලුවන් වුනෙ නෑ කියලයි මම හිතන්නේ.මේ හැමෝගෙම ආදරය හුරතලය එක අදටත් මම පොඩි විවේකයක් ලැබුන ගමන් ඉඳුල්ගොඩකන්දෙ ගිහින් ලබන්නේ පුදුම සතුටක්.
ඉතින් මේ කියන මගේ ලෝකයත් එක්ක ඉඳුල්ගොඩකන්ද කියන්නේ පුදුම ලස්සන ගමක් ඒ කාලෙ. දැන් පොඩ්ඩක් වෙනස් වුනත් ඒ කාලේ ගම ගොඩාක් සරලයි. එක සීටීබි බස් එකක් දිව්වා පරණම පරණ එකක්. ගමේ කඩ මණ්ඩියක් තිබුනා ලස්සන. සැලූන් එක කරේ ගමේම හිටපු සුමනේ මාමා. මාටින් මුදලාලි තමයි සල්ලිකාරයා ගමේ. එයාට තමයි අනික් බස් එක අයිති.සිරිපාල මුදලාලිගෙ කඩේ තිබුනේ පිදුරු ලිපක්. හැම වෙලේම ඒකෙ වතුර උණුවෙනවා තේ හදන්න. හැම කඩේකම තිබුනේ රසම රස කෑම. ලැවරියා තිබුනෙ ඔරිජිනල් පැණිපොල් එක්ක. පුස්නාප්ප එහෙමත් නැතිනම් වණ්ඩු මේ හැම දෙයක්ම ගමේම ගෙවල්වල හදලා රසම රසට තිබුනේ. කරුණා කිරිඅම්මාගේ ආප්ප උයන තැනත් උදේ පාන්දර පහේ ඉඳලා වැඩ. බිත්තර ආප්ප ඕනනම් බිත්තරේ කඩෙන් අරන් යන්න ඕන. ආප්පයක් සත පණහක් වගේ මතක.ගමේ මිනිස්සු ගොඩක් එකමුතුයි දැනට වඩා. ගමේ විවාහ කටයුතු වුනත් ගොඩක්ම ගම ඇතුලෙම වෙලා තිබුනේ. ඒක නිසා ගොඩක් දෙනා අතර නෑදෑකමක් ගොඩනැගිල තිබුනා.ගමේ ගෙවල් කීපයකට විතරයි ටීවී තිබුනේ. ටීවි එකේ නාට්යයක් සහ ප්රවෘත්ති යන වෙලාවට ඒ ගෙදරකට යනවා. කරන්ට් එකත් හැම ගෙදරම තිබුනෙ නෑ. මට මතකයි ලොකු නැන්දා මාවත් එක්කරගෙන උපාසක සීයලාගේ ගෙදර යනවා ටීවී බලන්න.
මම ටික ටික ලොකු වෙනකොට ඒ වයසේ හිටපු සෙට් එකත් එක්ක ගම පුරා රවුම් ගහනවා. රෝහිනී කියලා නැන්දා කෙනෙක් කරගෙන ගිය ගමේම මොන්ටිසෝරියට තමයි මාත් ගියේ. අවුරුදු 4ක් 5ක් වෙද්දී මහයාය, හඳුරුක්කන්ද, ඉහලගම, කම්බිකොටුව, බතලහේන කියන හැම අස්සක් මුල්ලකම තනියම ගිහින් එන්න පුලුවන්.ගමේ හිටපු හොඳම යාළුවා විනීතා නැන්දාගේ පුතා වුන නාමල්. නාමල්ගෙ එක්ක ගමේ නොයන තැනක් නෑ. ඒ වගේම තමයි බඩගින්නක් වගේ ආවොත් ඕනම තැනක නෑදෑ ගෙයක් තියෙනවාමයි. උපාලි අයියාගේ කොල්ලනේ එහෙමත් නැතිනම් උපාලි මල්ලිගෙ කොල්ලනේ කියල කෑම ටිකක් අනිවාර්යෙන්ම දෙනවා. කැලෑ අස්සෙ ගිහින් කොහොකිරිල්ල ඇට සාක්කුවල පුරවගෙන ඉන්නෙ බට තුවක්කුවත් එල්ලගෙන ඒකෙන් විදින එක තමයි ලොකුම ෆන් එක. අපේ බේකරියෙ පාන් පුච්චලා එලියට ගද්දි රෝස් පාන් අයින අරන් ඉතුරු වෙලා තියෙන මොකක් හරි එක්ක කන එක අනිත් ආසම දෙය. නාමල්ට එහෙමත් ගිහින් දෙනවා රෝස් අයින්.ඔරසය උන්දෑ කියලා නාකි සීයා කෙනෙක් හිටියා අමුඩයක් ගහගෙන පාරෙ යන. හැංගිලා ඉඳලා උන්දැට කොලොප්පම් කරන එකත් තව ෆන් වැඩක් වෙලා තිබුනා. තව මගේම වයසෙ සෙට් එකක්ම හිටියා හිතෙන හිතෙන වෙලාවට සෙල්ලම් කරන්න. කවුරුත්ම නැත්නම බාප්පලා දෙන්නගෙ කෙල්ලො ටික හරි අල්ලගන්නවා සෙල්ලමට
ඔහොම කාලය යද්දී මම දත කට මැදන් බලන් හිටියෙ ගමේ සෙට් එකත් එක්ක ගමේ ඉස්කොලෙ යන්න. ඒත් එක දවසක් තාත්තා ඉඳුල්ගොඩකන්දෙ ඇවිත් එක පාරටම කිව්වා "ඔන්න මගේ පුතා මලියදේවෙට තේරිලා" කියලා. තාත්තාත් ගිය ඉස්කෝලෙ නිසා තාත්තා සෑහෙන සතුටකින් කිව්වෙ. ඒත් මට ඒක සෑහෙන දුක හිතෙන ආරංචියක් වුනා. තාත්තා ගියාට පස්සෙ මම ලොකු නැන්දා ළඟට වෙලා සෑහෙනට ඇඬුවා ගමේ ඉස්කෝලෙ යන්න බැරි වෙන එක ගැන. ඒත් 1990 මාර්තු ඉඳලා මට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මලියදේවයට යන්න වුනා. වැඩි හරියක් ඉඳුල්ගොඩකන්දෙ හිටපු මට එදා ඉඳලා අම්මායි තාත්තයි එක්ක ඉන්න වුනා. හැබැයි සිකුරාදාට ඉස්කෝලෙ ඇරිල ඇවිත් ශොපින් බෑග් එකක ඇඳුම් දෙක තුනක් දාගෙන අම්මා මාව ඉඳුල්ගොඩකන්ද බස් එකට නග්ගනවා. බස් එක නවත්තන්නේ බේකරිය ළඟමයි. ඊට පස්සෙ ඉරිදා අන්තිමේට තියෙන බස් එකේ තමයි ආපහු එන්නේ ගෙදර. සෙනසුරාදටයි ඉරිදාටයි බාප්පල එක්ක නැන්දලා එක්කම ගෙවුනා. ඉරිදා එන්නෙ අඬල ගොඩක් දවසට. ලොකු නැන්දා බස් එක පිටත් වෙනකල් තුරුලු කරන් ඉන්නවා. අරණායක මාමා සල්ලි ටිකක් ගුලි කරලා අතට දෙනවා. නිවාඩු කාලයක් ආවාම ආපහු ඉතින් ඒ නිවාඩු කාලෙම ඉඳුල්ගොඩකන්දෙ . ඉතින් එදා මෙදාතුර මම මේ ලෝකෙ ආසම කරන තැන ඉඳුල්ගොඩකන්ද. අරණායක මාමා නැතිවුනා 1997 දී. ලොකු නැන්දා නැතිවුනා 2011 දී. ඒ ආදරයෙ අඩුව අදටත් නොදැනෙනවා නෙමේ. ආදරෙයි ඉඳුල්ගොඩකන්ද!!!
ප.ලි. : කසාද බැඳගත්ත ගෑනිගෙ අම්මත් ඉඳුල්ගොඩකන්ද.