Tuesday, April 28, 2020

කොරෝනා ලියවිලි 2 - මගේ කෝච්චි පිස්සුව

මිනිස්සුන්ට පොඩි කාලෙදි එක එක පිස්සු හැදෙනවා. ඒවා ඉබේම විනෝදාංශ බවටත් පත් වෙනවා. ස්ටිකර් එකතු කරන එක, මුද්දර එකතු කරන එක, කාසි එකතු කරන එක වගේ ඒවා පිස්සුවෙන් වගේ කරනවා එක කාලෙකට. මාත් මේවා කරා කාලයක්ම. ඒත් මගේ ලොකුම පිස්සුව එහෙමත් නැතිනම් ලොකුම විනෝදාංශය කෝච්චි. යන්තම් තේරෙන කාලෙක ඉඳලා මගේ ආසම සෙල්ලම් බඩු කෝච්චි. අද වෙනකල්ම මේ පිස්සුව වැඩි වුනානම් මිසක් පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ.
මේක පටන්ගත්තෙ කොහොමද කියලා බලපුවාම මට මතක් වෙන්නේ අම්මා මාව පොඩි කාලෙ ඉඳලා හිටලා අම්මා වැඩ කරපු මහනුවර ගොඩනැගිලි ද්රව්ය සංස්ථාවේ ඔෆිස් එකට එක්කරගෙන යනවා. මේ ඔෆිස් එක තියෙන්නෙ කටුගස්තොට පාරෙ මහයියාව පාර අයිනට වෙන්න. මෙතනට මාතලේ කෝච්චිය යනවා එනවා හොඳට පේනවා. මම ගියාම උඩ තට්ටුවට වෙලා බලාගෙන ඉන්නවා කෝච්චිය එනකල්. පුටුවෙන් නැගිටින්නෙ කෑම කන්න විතරයි. ඊට පස්සෙ ඉතින් ඉස්කෝලෙ යන්න ගත්ත කාලෙ උදේ හවස කුරුණෑගල ස්ටේසම පහු කරගෙන යද්දි එද්දී බලාගෙන යනවා. ටිකක් විතර ලොකු වෙද්දී බස් එකේ යන්න පටන් ගත්තාම ස්ටේසම කිට්ටු කරද්දී මම ඈත තියලා බලන් එන්නේ ස්ටේසම ළඟම පේන සෙමෆෝර් සිග්නල් කණුවේ සිග්නල් එක පාත් කරලාද කියලා.බැරි වෙලාවත් සිග්නල් දීලානම් මම මොන ගමනක් ගියත් බස් එකෙන් බැහැලා රේල් පාරට උඩින් යන පාලම ළඟ ඉඳලා කෝච්චිය එනකල්ම ඉඳලා ඒක දිහා බලන් ඉඳලා යන්නේ. ඈතින් එද්දි සද්දෙන් කියන්න පුලුවන් ඒ එන්නේ M2 ද, M4ද, M6 ද, M7ද එහෙමත් නැත්නම් M8 එන්ජිමක්ද කියලා.
පොඩි කාලේ ඉඳලාම මම ගැන ලියන්න රචනයක් දුන්නොත් ඒක ඉංග්රීසියෙන් ලිව්වත් සිංහලෙන් ලිව්වත් මම ලියන්නෙ "මාගේ අනාගත අරමුණ දුම්රිය රියදුරෙක් වීමයි", එහෙම නැත්නම් "I want to be a railway driver". පන්තියෙ අනික් උන් ගොඩක් ලියන්නේ ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලා, එහෙමත් නැත්නම් කලාතුරකින් ඉංජිනේරුවෙක් වෙනවා කියලා. දවසක් මේ වගේ රචනයක් ලියලා අටේ පන්තියෙදි අපේ සිංහල සර්ගෙන් හොඳම එකෙන් අහගත්තා. සිංහල උගන්නපු සුනිල් ජයවර්ධන සර් හෙනම වසයි. "ඈ බොල බූරුවො, තොට කෝච්චි එලවන්න තොපෙ අම්මයි තාත්තායි තෝව මලියදේවෙට එව්වෙ අහවල් එකටද" කියලා තේරෙන සිංහලෙන්ම අහගත්තා. එදායින් පස්සෙ මම ආයි ලිව්වෙ නෑ කෝච්චි එලවන කතාව විහිලුවටවත්.
උඩ කියලා තියෙන කෝච්චි පිස්සුව උපරිමේට එන්නේ තනියම ගමන් බිමන් එන්න අවසර ලැබුනාම. මුලු පවුලෙම මිනිස්සු කිව්වේ "මේ යකාට පිස්සු" කියලා. මේ තියෙන්නෙ ඒ වගෙ පිස්සු වැඩවලින් ටිකක් විතර
1. අපේ පොඩි නැන්දලාගේ ගෙදර තිබුනේ කෑගල්ලේ ඇදුරාපොත කියන ගමේ. ඉතින් ගෙදර කට්ටියම සරලවම එහේ යන්නේ කුරුණෑගල-කෑගල්ල බස් එකේ. මං ඉතින් යන්නේ කුරුණෑගල ඉස්ටේසමට ගිහින් රැජිනේ පොල්ගහවෙලින් බැහැලා ආයේ බස් එකක නැගලා. එන්නෙත් ඒ විදියටම තමයි. හවස පොල්ගහවෙල ඉස්ටේසමට ඇවිත් ආපහු රැජිනෙන් එන්නේ. නැන්දායි මාමයි දෙන්නම අහන්නේ "මෙච්චර් බස් යද්දී මොකටද ළමයෝ මේ පොඩි දුරකට කෝච්චියේ යන්නේ?" කියලා
2. අපේ ලොකුඅම්මා හිටියේ නුවර හන්තානේ. අපෙ ගෙදර තිබුනේ නුවර කුරුණෑගල පාර අයිනෙමයි. බස් එකේ ගියොත් උපරිම පැයයි නුවරට. එහෙ යන්න මන් පිටත් වෙන්නේ ගෙදරින් උදේ පාන්දර 5.30ට. කුරුණෑගල ඉස්ටේසමේන් මහව කෝච්චියට නැගලා, පාන්දර පොල්ගහවෙලට ගිහින්, එතන බලාගෙන ඉඳලා ඉඳලා, නුවරට කෝච්චියක යනවා. අන්තිමේට ලොකුඅම්මලාගේ ගෙදර යද්දී මහ දවල් වෙලා. ලොකුතාත්තා අහනවා "මොකද මෙච්චර පරක්කු?" කියලා. ඒ කාලේ ඉතින් හෑන්ඩ් ෆෝන් නැති නිසා ඉතින් බය වෙලා ඉන්නේ පරක්කු වෙලා යද්දි. මං කිව්වාම කෝච්චියේ ආවේ කියලා, ආයේ අහනවා "ඒ කොහෙ ඉඳලාද කියලා?", කුරුණෑගල ඉඳලා කිව්වම ඉතින්, එතන ඉඳලා බයිට් එක තමයි
3. මේ 1999දි. අපේ තාත්තගේ මාමණ්ඩි හිටියේ ගල් ඔය හතරැස් කොටුවේ. දවසක් අපේ ලොකු නැන්දාට ලියුමක් එවලා එහේ දානයක් තියෙනවා, ඒකට එන්න කියලා. ලොකු නැන්දා ටිකක් වයස නිසා අපේ තාත්තට කතන්දරේ කිව්වම, තාත්තා කිව්වා එහෙනම් පුතා එක්ක ගිහින් එන්න කියලා. මං සිතියමක් අරන් බැලුවාම ලස්සනට ත්රිකුණාමලය කෝච්ච් පාර ලඟ පාතින් යනවා. මං නැන්දාට යන දවසේ උදේම කිව්වා, "නැන්දාට බස් එකේ ගියොත් මහන්සි වැඩි වෙයි, අපි යමු කෝච්චියේ" කියලා. නැන්දා ඇහුවා "පරක්කු වෙන්නේ නැතිව යන්න පුලුවන් වෙයිද?" කියලා. මං කිව්වේ "පිස්සු කතා කරන්න එපා. කෝච්චිය වේගෙන් යනවා" කියලා.
මට තිබුනේ ගිහිල්ල නැති පැත්තක කෝච්චියෙන් යන්න තිබුන ආසාව දානේට මොකක් වුනත්. ප්ලෑන් එක තාත්තාට කිව්වෙත් නෑ. කුරුණෑගලින් 8.18 ට තිබුනේ කෝච්ච්ය. වෙලාවට ආවා, ලස්සනට යනවා කෝච්චිය. 9.30 වෙද්දි මහව. හැබැයි ඉතින් එතන ඉඳලා හෙමින් වැඩේ. 11 විතර වෙද්දී නැන්දාගේ මූණ ඇඹුල් වෙලා. මං උපරිම සන්තෝසෙන්. අන්තිමේට හබරණ පහු වෙලා ගල් ඔයට එද්දී කෝච්ච්ය නැවැත්තුවා. අපි හිටියේ දකුනු පැත්තේ ඉඳගෙන. නැන්දාට තරහටම නින්ද ගිහින්. මන් ෆුට් බෝඩ් එකට ගිහින් බලද්දී නවත්තලා තියෙන්නේ හතරැස් කොටුවේ. ගල් ඔය හන්දියටම ගිහින් බලන්න ඕන කියලා, මං ශේප් එකේ හිටියා. නැන්දාට ඇහැරෙව්වේත් නෑ. අන්තිමේට ගල් ඔයෙන් බහිද්දී 12ත් පහු වෙලා.
පස්සෙන් නැන්දාත් බස්සගෙන ආයෙ බස් එකක නැගලා ආවා හතරැස් කොටුවට. නෑදෑ ගෙදර ත්රිකුණාමල බස් පාර අයිනේමයි. කොළඹ ඉඳලා කුරුණැගල ඉඳලා බස් එනව ඉවරයක් නැතිව. ඒවා දකිද්දි නැන්දාට තවත් තරහා යනවා. දානේ ඉවරවෙලා, හාමුදුරුවොත් ආපහු පන්සලට වැඩලා.,ආපු අනිත් නෑදෑයෝත් කාලා ඉවර වෙන ගමන්. අපේ ගමේ ඉඳලා ගිය අනික් නෑදෑයෝ අහනවා "ඇග්නස් අක්කලා අපිටත් කලින් පිටත් වෙලා ඇයි මේ පරක්කු? කරදරයක්වත් වුනාද ?" කියලා. නැන්දා කිව්වා "මේ ළමයා මාව කෝච්චියේ එක්කරගෙන ආවානේ". ඔක්කොම සවුත්තුවට හිනා වුනා. ගොඩක් දෙනා කිව්වේ, "බස් එකේ ආවානම් පැය තුන හතරනේ, කෝච්චිය ලොකු රවුමක් ගහලා එන්නේ, අපරාදේ". කොහොම හරි නැන්දාව ශේප් කරලා එදා රෑ එහේ ඉඳලා, ඊලඟ දවසේත් කෝච්චියේ එන්නම නැන්දාව කැමති කරගත්තා. උදේ කෝච්චියට පිටත් වෙන්න යද්දි කට්ටියම ආපහු ඇහුවේ "පුතන්ඩියා කෙසේ වෙතත්, නැන්දම්මා පාඩමක් ඉගෙන ගෙනත් නෑ" කියලා. එන්කොටනම් නැන්දා සන්තෝසෙන් ආපහු ආවා. සමහර විට හිතෙන්න ඇති පොඩි එකාගේ ආසාවනේ කියලා
ඉතින් මේ ආකාරයේ රසවත් සිද්ධිත් එක්ක කෝච්චි පිස්සුව දිගටම කිසිම බාධාවක් නැතිව කරගෙන එනවා. බැඳපු ගෑනිත් හොඳටම ඒක තෙරුම් ගත්තා. ගොඩක් ට්රිප් යන්නෙත් කෝච්චි පාරක් ළඟ පාතකින් යන දිහාවකට. අදටත් එහෙම යද්දී කෝච්චියක් දැක්කොත් අනිවාර්යෙන්ම නැවතිල ෆොටෝ ටිකක් ගන්නවා.
පස්සේ කාලෙක 2011දී වගේ ලංකාවෙම පැතිරිලා හිටපු ඔක්කොම කෝච්චි පිස්සො එකට එකතු වුන මූණුපොතේ යකඩ යකා සමූහයට සම්බන්ද වෙලා මටත් වඩා පිස්සො ටිකක් අඳුරගෙන කෝච්චිය ගැන දැනුම තවත් වැඩි කරගන්න පුලුවන් වුනා. එතනදී අපි වාර්ශික සුහද හමු වගේ දේවලුත් පවත්වලා කෝච්චියට සම්බන්ද ඉහල නිලධාරීන් සහ ඉංජිනේරුවන්ගේ දේශනවලට පවා සහභාගී වුනා.ඒ ගැන විශේෂ ස්තූතියක් හිමි වෙන්න ඕන Gehan Chandika Wickz, Thurya Owitipana, Duran Nanayakkara, සුභාෂ් බණ්ඩාර ධනසේකර., Uthpala Jayaweera, Lahiru Kannangara, වගේ කෝච්චි පිස්සෝ ටිකට.හැමදාම ආදරෙයි කෝච්චියට සහ ඒ හා බැඳුණ ඉතිහාසයට...

No comments:

Post a Comment