කොරෝනාත් එක්ක ගෙදරට වෙලා ඉද්දි මොනාහරි දෙයක් ලියන්න හිතුනා. මගේ ලෝකයේ මම ආදරය කරන මම පොඩිකාලෙ හැදුන ගම ගැන ලියන්න හිතුනා.සීතල දේශගුණයක් හිමි ඉඳුල්ගොඩකන්ද කියන්නෙ කුරුණෑගල ටවුමේ ඉඳලා කිලොමීටර 14ක් වගේ දුරකින් පිහිටලා තියෙන සෑහෙන ඉහල කඳු පන්තියක් මැද තියෙන ලස්සනම ගමක්. කුරුණෑගල නුවර පාරේ පිලීකඩ හන්දියෙන් හැරුනාම සෑහෙන වංගු සහිත පාරකින් පිවිසෙන ලස්සන තැම්පාන ජලාශය සහ රක්ශිතය පහුකරලා එතනින් එහාට සිල්වාකන්ද කියන සුවිශාල පොල්වත්ත, වල්පොලකන්ද, මිල්ල ඇල්ල පහුකරලා තමයි ගමට පිවිසෙන්න තියෙන්නෙ. ගමේ ඉස්කොලෙ හරිම ලස්සනයි. උඩහ ඉස්කෝලෙ, පහල ඉස්කෝලෙ කියලා වෙන වෙනම තියෙන්නෙ. ඉස්කෝලෙ පහුකරලා වංගු දෙකක් වගේ යනකොට ගමේ දේවාලය හමුවෙනවා. ඊට පස්සෙ කඩමණ්ඩිය, බේකරිය සහ ගම.
මම කොහොමද ඉඳුල්ගොඩකන්දට සම්බන්ද වෙන්නේ? මේ මගේ තාත්තා උපන් ගම. තාත්තලාගෙ පවුලේ ඔක්කොම හත් දෙනෙක්. තාත්තා පොඩිකාලෙ අවුරුදු 10ක් වගේ වෙද්දි තාත්තාගෙ අම්මත් ඊට ටික කාලෙකට පස්සෙ තාත්තාගෙ තාත්තාත් නැති වෙලා තියෙනවා. කිරිඅම්මා නැතිවෙද්දි බාලම බාප්පාට මාස 6ක් වගේලු.එතන ඉඳලා ඒ පවුලම බලාගෙන තියෙන්නෙ ලොකු නැන්දා සහ ලොකු නැන්දා බැඳලා හිටපු අරනායක මාමා. අරනායක මාමා 1960 ගණන්වල කුරුණෑගල ලොකුම බේකරියක් වෙලා තිබුන මෙන්ඩිස් බේකරියේ අයිතිකාරයාලු. කිරිඅම්මා සහ කිරිඅත්තාගෙ හදිසි මරණවලින් පස්සේ අරණායක මාමා හත්දෙනාගෙම පවුලේ බර කරට අරගෙන ගමට ඇවිත් අදටත් ගමේ තියෙන බේකරිය පටන් අරගෙන. මේ වගේ කැපකිරීමක් කරපු අරණායක මාමා කියන්නෙ මම දැකපු දෙවියෙක්. අරණායක මුදලාලි කියලා ගමේත් ටවුමෙත් හැමෝම කියපු අරණායක මාමා ගමේ හැමෝම එක්ක ලෙන්ගතුකමකින් ජීවත් වුන හැමෝම ආදරය කරපු මනුස්සයෙක්.අරණායක මාමා ගැන වෙනම ලිපියක් ලියන්න පුලුවන් තරමේ කරුණු කාරණා තියෙනවා.
ඉතින් තාත්තලාගෙ පවුලෙ අය ලොකු මහත් වෙලා උගන්නලා කසාද කරලා දීලා හැම දෙයක්ම ලොකු නැන්දා සහ අරණායක මාමා ඒ යුතුකම් ඉටුකරලා දීලා. තාත්තලාගේ පවුලේ දෙවෙනි පරම්පරාවේ පලවෙනියා විදියට මම එකතු වෙන්නේ 1984දී. පළවෙනියා මම වීම නිසා නැන්දලා තුන් දෙනාත්, ලොකුතාත්තා සහ බාප්පලා දෙන්නාත් ඇතුලු හැමෝගෙම ආදරය ඒ කාලෙ ඉඳලා අඩුවක් නැතිව ලැබුනා. මම හම්බ වෙද්දී අම්මායි තාත්තායි දෙන්නාම දඹුල්ලෙ වැඩ කරලා තියෙන්නෙ. ඊට පස්සේ දෙන්නම නුවර වැඩට ගිහින්. ඒත් මට මාස තුනක් වගේ වෙද්දී මාව බලාගන්න අපහසුතා අම්මාටයි තාත්තාටයි ආවට පස්සෙ ලොකු නැන්දා ඒ වගකීම අරගෙන මාව ඉඳුල්ගොඩකන්දට ගෙනත් දෙන්න කියලා. ඉතින් මාස තුනේ ඉඳලා ඉරිදා හවසට මාව ඉඳුල්ගොඩකන්දට ගෙනත් දාලා ආපහු තාත්තා ඇවිත් සිකුරාදා හවස එක්කරගෙන යන්න වෙලා. ඔන්න ඔහොමයි මම ඉඳුල්ගොඩකන්දට එන්නේ.
ලොකු නැන්දා කියන්නේ මාව වැදුවෙ නැතිවුනත් මට පණටත් වඩා ආදරය කරපු මගේ දෙවෙනි අම්මා. ජීවිතේට මට තරවටුවක්වත් කරලා නෑ. මාස තුනේ ඉඳලා මම නැන්දාට තුරුල් වෙලා, එහෙමත් නැතිනම් අරණායක මාමාට තුරුල් වෙලා නිදාගත්තෙ. මට මතක ඇති කාලෙක ඉඳලා එක්කෝ මම ලොකු නැන්දාගෙ ඔඩොක්කුවේ, එහෙමත් නැතිනම් වඩාගෙන, නැතිනම් අතේ එල්ලිලා. ගමේ මිනිස්සු අනන්තවත් කියනවා ඇහිලා තියෙනවා "කොල්ලා ඇග්නස් අක්කාව නටවන තරම" කියලා. මට තේරෙන කාලෙ ඉඳලා මට මතකයි මම නැගිටලා කෑම කන්න යද්දී ලොකු නැන්දා උදේම ගම වටේම ගිහින් ලැවරියා, ආප්ප, ඉඳිආප්ප වගේ කෑම ගොඩක් මට වෙනම මේසේ තියල තියෙනවා. දවසම මම කරන්නේ එක්කො ලොකු නැන්දාට ඇනයක් වෙනවා. නැත්නම් සෙල්ලමම තමයි
ගම මැද්දේ ඉඳලා ලොකු ඇලක් යනවා කන්ද උඩ ඉඳලා පටන් ගන්න. ඒ ඇලේ නාන්න පීලි තුනක් තිබුනා උඩ පීල්ල, මැද පීල්ල සහ ඉඹුල කියලා. ලොකු නැන්දයි , චන්නා නැන්දායි(තාත්තාගේ නංගි ) සහ ගෙදර හිටපු සුදුනෝනා අක්කයි (අරණායක මාමගේ මල්ලිගෙ දුව ) එක්ක හවස 3.30 ට විතර උඩ පීල්ල ළඟට තමයි නාන්න යන්නේ. නැන්දලා යන්නේ රෙදි ලෝඩ් එකක් ඇරගෙන හෝදන්න. ඇලට ගියාම පැය 1 1/2ක් 2ක් අනිවාර්යෙන්ම එතන තමයි. නැන්දලා රෙදි හෝදනකල් මම කරන්නේ මාළු අල්ලන එක, එහෙමත් නැත්නම් ඇලට එහා පැත්තේ රබර් වත්තෙ ඔට්ටපාලු ගලවලා බෝලයක් හදන එක. එහෙමත් නැතිනම් පීල්ල දිගේ පොඩි ගල් කැට එවලා නාන්න එන මිනිස්සුන්ගෙන් පොඩි බැනුමක් දෙකක් අහන එක.
ලොකු නැන්දා වගේම ඊළඟට මම වැඩියම ආදරය කරන්නේ අරණායක මාමාට. නැන්දා ළඟ නැතිනම් මම අනිවාර්යෙන්ම මාමා ළඟ. මාමා මම කියන ඕනම දෙයක් අරන් දෙනවා ඒ කාලේ. කඩචෝරුවේ ඉඳලා සෙල්ලම් බඩුව දක්වා ඕනම දෙයක් ඕනම වෙලාවක අරන් දෙනවා. මාමා බේකරියෙ වැඩ කරද්දී එතනට වෙලා බලන් ඉන්නවා. පිටි අනලා ඉවර වෙලා මාව වඩාගෙන හුරතල් කරනවා. එහෙම නැත්නම් මාමා ඊට පස්සේ යන්නෙ දේවාලෙ ළඟ තියෙන සියදොරිස් මුදලාලිගෙ කඩේ ළඟට. එතනට ගියාම අනිවාර්යෙන්ම ඇම්බුම් කෙසෙල් ගෙඩියක් කන එක ශුවර්. බේකරියෙ වැඩ ඉවර වුනාම මාමා ගොඩක් දවස්ට යනවා හවස් වෙලා මොරතැන්නට පොඩි රා කට්ටක් බොන්න. ඒ යද්දී මාත් පේන්න හිටියොත් එක්කො කොක්කන්මලේ නැත්නම් කර උඩ තියන් යනවා. මොරතැන්න තියෙන්නෙ බේකරිය ළඟ ඉඳලා කිලෝ මීටර 2ක් විතර එහා. ඒ යන ගමන් දිගටම මාව හුරතල් කර කර යනවා මට මතකයි. මාමා රා පොඩ්ඩකින් සප්පායම් වෙලා ආපහු එන ගමන් ඇලෙන් නාලා මාවත් නාවාගෙන එනවා. මාමා ගොඩක් වෙලාවට යන්නෙ මැද පීල්ලට. ඉතින් මාමායි නැන්දායි මට ලබාදුන්න ඒ ආදරයත් එක්ක මට තේරෙන වයස එද්දිත් අම්මායි තාත්තායි ඉන්න ගෙදරට වඩා ඉඳුල්ගොඩකන්දෙ ගෙදර ඉන්න මම හැමදාම ආස වුනා. ඉඳුල්ගොඩකන්ද කියන්නේ මට දිව්ය ලෝකයක් වෙලා තිබුනේ.
නැන්දායි මාමායි ඇරුණුකොට ඊට පස්සේ මම වැඩියෙන්ම ආදරය කරේ බාප්පලා දෙන්නාට. කොච්චර ආදරේද කියනවානම් මම අද වෙනකන් දෙන්නටම බාප්පා කියල නෑ. දෙන්නම මට එක වගේම ආදරෙයි වගේම මාත් දෙන්නටම ඒ වගේම ආදරෙයි. බාලම බාප්පාට මම පොඩි කාලෙ ඉඳලා අද වෙනකල් කියන්නේ "බාප්පිතාත්ති" කියලා. අනික් බාප්පාට පොඩි කාලෙ ඉඳලා අද වෙනකල් කියන්නේ "බීතාත්ති" කියලා. ඒ ඩබලත් අයියලා මල්ලිලා වුනාට පට්ට ෆිට් එකක් තියෙන්නේ. දෙන්නට දෙන්න කතා කරන්නෙ නම් වලින් "කුමාරයා", "සමනා" කියලා. බාප්පිතාත්ති කියන්නේ මම පොඩි කාලෙ ඉඳලා අද වෙනකල් දැකපු ෆන්ම මනුස්සයා. මූනේ හැම වෙලාවෙම තිබුනේ හිනාව. ලොකු නැන්දාව එහෙම මොකක් හරි කියලා අවුස්සන එකමයි කරන්නේ. බීතාත්ති පොඩි කාලේ ඉඳලාම බේකරියෙ වැඩ කරපු එක කරලා ෆුල්ම ෆිට් එකේ හිටියෙ. බේකරියෙ දර ලෝඩ් එකක් කුලුගෙඩිය අරන් පලන එක බීතාත්තිට ගේමක් නෑ. සරලවම කිවොත් තිබුනේ ෆුල් ආම්ස් එක්ක සික්ස් පැක් ෆිට් බොඩි එකක්. ඉතින් මේ දෙන්නටම පස්සෙ කාලෙක හම්බුනෙත් කෙල්ලො. ඒක නිසා දෙන්නගෙම මට තිබුන තැන ගන්න වෙන කාටවත් පුලුවන් වුනෙ නෑ කියලයි මම හිතන්නේ.මේ හැමෝගෙම ආදරය හුරතලය එක අදටත් මම පොඩි විවේකයක් ලැබුන ගමන් ඉඳුල්ගොඩකන්දෙ ගිහින් ලබන්නේ පුදුම සතුටක්.
ඉතින් මේ කියන මගේ ලෝකයත් එක්ක ඉඳුල්ගොඩකන්ද කියන්නේ පුදුම ලස්සන ගමක් ඒ කාලෙ. දැන් පොඩ්ඩක් වෙනස් වුනත් ඒ කාලේ ගම ගොඩාක් සරලයි. එක සීටීබි බස් එකක් දිව්වා පරණම පරණ එකක්. ගමේ කඩ මණ්ඩියක් තිබුනා ලස්සන. සැලූන් එක කරේ ගමේම හිටපු සුමනේ මාමා. මාටින් මුදලාලි තමයි සල්ලිකාරයා ගමේ. එයාට තමයි අනික් බස් එක අයිති.සිරිපාල මුදලාලිගෙ කඩේ තිබුනේ පිදුරු ලිපක්. හැම වෙලේම ඒකෙ වතුර උණුවෙනවා තේ හදන්න. හැම කඩේකම තිබුනේ රසම රස කෑම. ලැවරියා තිබුනෙ ඔරිජිනල් පැණිපොල් එක්ක. පුස්නාප්ප එහෙමත් නැතිනම් වණ්ඩු මේ හැම දෙයක්ම ගමේම ගෙවල්වල හදලා රසම රසට තිබුනේ. කරුණා කිරිඅම්මාගේ ආප්ප උයන තැනත් උදේ පාන්දර පහේ ඉඳලා වැඩ. බිත්තර ආප්ප ඕනනම් බිත්තරේ කඩෙන් අරන් යන්න ඕන. ආප්පයක් සත පණහක් වගේ මතක.ගමේ මිනිස්සු ගොඩක් එකමුතුයි දැනට වඩා. ගමේ විවාහ කටයුතු වුනත් ගොඩක්ම ගම ඇතුලෙම වෙලා තිබුනේ. ඒක නිසා ගොඩක් දෙනා අතර නෑදෑකමක් ගොඩනැගිල තිබුනා.ගමේ ගෙවල් කීපයකට විතරයි ටීවී තිබුනේ. ටීවි එකේ නාට්යයක් සහ ප්රවෘත්ති යන වෙලාවට ඒ ගෙදරකට යනවා. කරන්ට් එකත් හැම ගෙදරම තිබුනෙ නෑ. මට මතකයි ලොකු නැන්දා මාවත් එක්කරගෙන උපාසක සීයලාගේ ගෙදර යනවා ටීවී බලන්න.
මම ටික ටික ලොකු වෙනකොට ඒ වයසේ හිටපු සෙට් එකත් එක්ක ගම පුරා රවුම් ගහනවා. රෝහිනී කියලා නැන්දා කෙනෙක් කරගෙන ගිය ගමේම මොන්ටිසෝරියට තමයි මාත් ගියේ. අවුරුදු 4ක් 5ක් වෙද්දී මහයාය, හඳුරුක්කන්ද, ඉහලගම, කම්බිකොටුව, බතලහේන කියන හැම අස්සක් මුල්ලකම තනියම ගිහින් එන්න පුලුවන්.ගමේ හිටපු හොඳම යාළුවා විනීතා නැන්දාගේ පුතා වුන නාමල්. නාමල්ගෙ එක්ක ගමේ නොයන තැනක් නෑ. ඒ වගේම තමයි බඩගින්නක් වගේ ආවොත් ඕනම තැනක නෑදෑ ගෙයක් තියෙනවාමයි. උපාලි අයියාගේ කොල්ලනේ එහෙමත් නැතිනම් උපාලි මල්ලිගෙ කොල්ලනේ කියල කෑම ටිකක් අනිවාර්යෙන්ම දෙනවා. කැලෑ අස්සෙ ගිහින් කොහොකිරිල්ල ඇට සාක්කුවල පුරවගෙන ඉන්නෙ බට තුවක්කුවත් එල්ලගෙන ඒකෙන් විදින එක තමයි ලොකුම ෆන් එක. අපේ බේකරියෙ පාන් පුච්චලා එලියට ගද්දි රෝස් පාන් අයින අරන් ඉතුරු වෙලා තියෙන මොකක් හරි එක්ක කන එක අනිත් ආසම දෙය. නාමල්ට එහෙමත් ගිහින් දෙනවා රෝස් අයින්.ඔරසය උන්දෑ කියලා නාකි සීයා කෙනෙක් හිටියා අමුඩයක් ගහගෙන පාරෙ යන. හැංගිලා ඉඳලා උන්දැට කොලොප්පම් කරන එකත් තව ෆන් වැඩක් වෙලා තිබුනා. තව මගේම වයසෙ සෙට් එකක්ම හිටියා හිතෙන හිතෙන වෙලාවට සෙල්ලම් කරන්න. කවුරුත්ම නැත්නම බාප්පලා දෙන්නගෙ කෙල්ලො ටික හරි අල්ලගන්නවා සෙල්ලමට
ඔහොම කාලය යද්දී මම දත කට මැදන් බලන් හිටියෙ ගමේ සෙට් එකත් එක්ක ගමේ ඉස්කොලෙ යන්න. ඒත් එක දවසක් තාත්තා ඉඳුල්ගොඩකන්දෙ ඇවිත් එක පාරටම කිව්වා "ඔන්න මගේ පුතා මලියදේවෙට තේරිලා" කියලා. තාත්තාත් ගිය ඉස්කෝලෙ නිසා තාත්තා සෑහෙන සතුටකින් කිව්වෙ. ඒත් මට ඒක සෑහෙන දුක හිතෙන ආරංචියක් වුනා. තාත්තා ගියාට පස්සෙ මම ලොකු නැන්දා ළඟට වෙලා සෑහෙනට ඇඬුවා ගමේ ඉස්කෝලෙ යන්න බැරි වෙන එක ගැන. ඒත් 1990 මාර්තු ඉඳලා මට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මලියදේවයට යන්න වුනා. වැඩි හරියක් ඉඳුල්ගොඩකන්දෙ හිටපු මට එදා ඉඳලා අම්මායි තාත්තයි එක්ක ඉන්න වුනා. හැබැයි සිකුරාදාට ඉස්කෝලෙ ඇරිල ඇවිත් ශොපින් බෑග් එකක ඇඳුම් දෙක තුනක් දාගෙන අම්මා මාව ඉඳුල්ගොඩකන්ද බස් එකට නග්ගනවා. බස් එක නවත්තන්නේ බේකරිය ළඟමයි. ඊට පස්සෙ ඉරිදා අන්තිමේට තියෙන බස් එකේ තමයි ආපහු එන්නේ ගෙදර. සෙනසුරාදටයි ඉරිදාටයි බාප්පල එක්ක නැන්දලා එක්කම ගෙවුනා. ඉරිදා එන්නෙ අඬල ගොඩක් දවසට. ලොකු නැන්දා බස් එක පිටත් වෙනකල් තුරුලු කරන් ඉන්නවා. අරණායක මාමා සල්ලි ටිකක් ගුලි කරලා අතට දෙනවා. නිවාඩු කාලයක් ආවාම ආපහු ඉතින් ඒ නිවාඩු කාලෙම ඉඳුල්ගොඩකන්දෙ . ඉතින් එදා මෙදාතුර මම මේ ලෝකෙ ආසම කරන තැන ඉඳුල්ගොඩකන්ද. අරණායක මාමා නැතිවුනා 1997 දී. ලොකු නැන්දා නැතිවුනා 2011 දී. ඒ ආදරයෙ අඩුව අදටත් නොදැනෙනවා නෙමේ. ආදරෙයි ඉඳුල්ගොඩකන්ද!!!
ප.ලි. : කසාද බැඳගත්ත ගෑනිගෙ අම්මත් ඉඳුල්ගොඩකන්ද. 
No comments:
Post a Comment