Tuesday, April 28, 2020

කොරෝනා ලියවිලි 4 - 13 සී 2 අපේ මැත්ස් පංතිය සහ රසවත් මතක(2001-2003)

අවුරුදු නිවාඩුවේ අවසාන දවස. හෙට ඉඳලා ආපහු ගෙදර ඉඳලා වැඩ. ආයේ ටික දවසකට ලියන්න වෙන්නෙත් නැති නිසා ටිකක් දිග එකක් ලියන්න හිතුනා අපේ දහතුන සී ටූ මැත්ස් පන්තිය ගැන. පන්ති බාරව හිටියේ කෙමිස්ට්රි උගන්නපු ප්රියානි එක්නැලිගොඩ මැඩම්. මැත්ස් කරේ විජෙකෝන් සර්. පිසික්ස් කරේ අලහකෝන් සර්. 2001 අවුරුද්දෙ ඉඳලා 2003 අවුරුද්ද වෙනකල් හිටියේ මේ පන්තියෙ තමයි. ඕලෙවල් රිසල්ට්ස් එනකල් ඉඳලා රවුම් ගහලා ගහලා මේ පන්තියට වැටුනෙ අපි එකට හිටපු සෙට් එකම. මම, ශාලික, අකලංක සහ නරයා එකටම සෙට් වුනා. බුවනෙකයයි නිපුනයයිත් අපිටම සෙට් වුනා පන්තියෙ පිටිපස්සෙ කෙලවරේම ඩෙස්ක් හයට. අනික් ඉතින් බහුතරය හිටියේ ඉගෙනගන්න වැඩි නැඹුරුවක් තිබුන සෙට් එක. ටික දවසක් යද්දීම අපේ ගුරුතුමියයි අනික් සර්ලා දෙන්නමයි අපි හය දෙනා පන්තියෙ නැත්නම් හොඳයි ගානට හිටියෙ. උදාහරණයක් විදියට ප්රියානි මැඩම් උගන්නද්දී අපි කෑම කනවා හොරෙන්. මේක මාට්ටු වුන දවසේ මැඩම් එතනින් එහාට ඉගෙන්නුවෙත් නෑ.මැඩම්ට අප්පිරියා හිතුනා. පිටිපස්සෙම ඩෙස්ක් තුනේ මැද ඩෙස්ක් එක යට ලෑල්ල ඇතුලට දාලා මම බත් එක අනනවා හිතේ හැටියට. අනික් උන් බලනවා බත් එකේ සුවඳ එද්දි කොහෙන්ද මේ කියලා. ඒත් එලියට පේන්නෙ නෑ. මැඩම් බ්ලැක්බෝඩ් එක පැත්තට හැරෙද්දී තමයි මේක කරන්නේ. අනලා ඉවරවුනාම ආපහු මැඩම් අනිත් පැත්ත හැරෙද්දී අනික් උන් ටික අතදාලා යටින් බත් කටක් අරන් කටේ ඔබාගන්නවා. ශාලිකයාට මේ වැඩේ දිරවන්නේ නෑ. "තොපි කූතාඬි වගේ අත හෝදන්නේත් නැතිව කනවා කාලකණ්ණි" කියලා ගේමේ ඉන්නෙ. ඒත් උගේ බත් එකත් දෙනවා කාපන් කියලා. මොකද ඒක තමයි රහම බත් එක. දවසක් මැඩම්ට කට්ටියගෙ මූණ දිහා බලද්දී වැඩේ තේරිලා අපි ළඟට ආවා. "ඔය ළමයි කෑම කනවද?" කියල ඇවිත් ඇහුවා. "අනේ නෑ මැඩම්" කියලා මම කිව්වා දකුනු අත හංගාගෙන. ඒත් උදේ පාන්දර නිසා බත් එකේ සුවඳ. "කෝ පෙන්නනවා බලන්න තමුසෙගෙ අත". බඩු මාට්ටු දැන්. ඒත් මැඩම් හොයනවා කෑම එක කෝ කියලා. පොඩ්ඩක් එබිලා බැලුවා ඩෙස්ක් එක යට ලෑල්ලට. "හප්පා, මේකෙන් දැන් හැමෝම කනවද?", මැඩම් ඇහුවා. අකලංකයා ගේමක් නැතිව "ඔව් මැඩම්, මාර රසක්" කියලා කිව්වා. මැඩම්ට නිකන් වමනෙට එන්න වගේ. "ඕන දෙයක් කරගන්නවා" කියලා මැඩම් යන්න ගියා. අපි ඉතින් මෙහෙම කන්නේ නම ළකුනු කරලා ඉවර වෙලා මැඩම් ගිය ගමන් ඊළඟට තාප්පය උඩින් පැනලා කොහෙ හරි යන්න තමයි.
මේ පන්තියෙ ඉද්දී තව ගොඩාක් රසවත් දේවල් වුනා. එතනින් අමතකම නොවෙන සිද්ධිය තමයි නරයා කෙල්ලෙක් එක්ක පැනලා ගියා කියලා ප්රියානි මැඩම් අන්දපු සිද්ධියා. මේවා ඉතින් පව් වැඩ. ඒත් ඒ කාලෙට අනේ මන්දා ඉතින්. මේක වුනේ මෙහෙමයි, නරයා දවසක් ඉස්කෝලෙට එද්දී අපේ ශිෂ්ය නායක අයියා කෙනෙක් පොඩි ගේමක් කෝල් කරලා නරයා කොන්ඩේ කපලා නෑ කියලා. නරයට මල පැනලා එදා හවස බස් ස්ටෑන්ඩ් එකේදි අර ශිෂ්ය නායක අයියාට හක්ක පනින්නම දුන්නා. නරයා ඊළඟ දවසේ ඉස්කෝලෙ ආවේ නෑ. අපි පන්තියෙ ටික වෙලාවක් ඉද්දී අපේ ඒ කාලෙ ශිෂ්ය නායක මණ්ඩලය බාරව හිටපු බූලා සර් නරයව හොයාගෙන පන්තියට ආවා. අපේ ඉස්කෝලෙට ගිය මොන කෙරුමෙක් වුනත් ඉතින් බූලා සර්ට සරෙන්ඩර්. වෙලාවට නරයා ආවේ නැත්තේ. බූලා සර් ආපහු යන්න ගියා. අපිට තේරුනා වැඩේ ලේසි නෑ කියලා. එදා හවසම අපි සෙට් එකම නරමානේ නරයාගෙ ගෙදර ගිහින් උට කිව්වා "වැඩේ කතා කරලා ශේප් කරගන්නකල් උඹ ටික දවසක් එන්න එපා ඉස්කෝලෙ පැත්තෙ, බූලාට සෙට් වුනොත් විනාසයි" කියලා. දැන් නරයා ඉස්කෝලෙ එන්නෙ නෑ. ඔහොම සතියක් විතර ගියා. දැන් ප්රියානි මැඩමුත් අහනවා අපෙන් "කෝ තමුසෙලාගෙ නරසිංහ?". අපි සද්ද නැතිව හිටියා. ඒත් අකලංකයා ඊට පස්සෙ ඇහුවා අපෙන් "පොඩි ආතල් එකක් ගමුද?". අපිත් ඉතින් නෑ බෑ නොකියා "හා" කිව්වා. මැඩම් ආයෙ දවස් දෙක තුනකට පස්සෙ "කෝ මේ නරසිංහ?" කියලා අපෙන් ඇහුවා. "මැඩම් පොඩ්ඩක් එනවද ළඟට? පොඩි විස්තරයක් කියන්න තියෙනවා". අකලංකයට ගේමක් නැතිව හිනා යන්නේ නැතිව මේවා ෆුල් සිරිය්ස් ෆෝම් එකෙන් කියන්න පුලුවන්. මැඩමුත් ෆුල් කියුරියස් මූඩ් එකෙන් ළඟට ආවා. "මැඩම්, මේක අහලා කලබල වෙන්න එපා. අපි මේ වැඩේ මුකුත් ප්රශ්නයක් වෙන්නෙ නැතිව ගොඩ දාන්න මහන්සි වෙනවා මේ දවස්වල. මැඩමුත් අපිට සපෝට් එකක් දෙන්න. නරයා ගිය සතියෙ කෙල්ලෙක් එක්ක පැනලා ගියා මැඩම්" කියලා කිව්වා. අපිත් හෙනම අමාරුවෙන් සීරියස් මූඩ් එකේ හිටියා.මැඩම් උපරිම සානුකම්පිත වෙලා අපිට ජීවිතේට පළවෙනි පාරට "පුතාලා" කියලාම කතා කරා. "ඇයි පුතාලා මේක මට කිව්වෙ නැත්තෙ? අපි ඉක්මණට මොනවා හරි කරමු, මේ ළමයාට තාම 18ක්වත් නෑ නේද? හයියෝ කරගන්න අපරාධ. අපි මොනවා හරි කරමු" මැඩම් උපරිම සානුකම්පිතව කිව්වා. "ඔව් මැඩම්, නරයාගෙ ගෙදර මල ගෙයක් වගේ, අම්මයි තාත්තායි කන්නේවත් නෑ. අපි නරයට කිව්වට තාම තේරුම් ගන්නේ නෑ", අකලංකයා තව අවුස්සනවා.
දැන් ඉතින් ඔහොම තව දවස් ගාණක් ගෙවීගෙන ගියා. මැඩම් ළඟට ඇවිත් හැමදාම නරයා ගැන අහනවා. "තාම විසඳුමක් වුනේ නැද්ද? පව් මේ දෙමව්පියෝ. මේ ළමයි මේවා ගැන මීට වඩා හිතන්න ඕන". අපිත් "ඒකනේ මැඩම්" කියලා වැඩේ දිගටම ඇදන් යනවා. ඔහොම තව සතියක් දෙකක් යද්දී නරයා වැඩේ ගොඩින් බේරගෙන එක පාරටම ඉස්කෝලෙ ආවා. නරයා පන්තියට එන්නෙම පරක්කු වෙලා. අපි දැන් වාඩි වෙලා ඉද්දී නරයා ඈතින් එනවා පෙනෙද්දී පිස්සු වගේ. එහෙම ඇවිත් එකපාරම දොර ළඟ හිටගත්තා. මැඩම් හිටියෙ වාඩි වෙලා නම් ළකුනු කරන ගමන්. "එක්ස්කියුස් මී මැඩම්", මැඩම් ඔලුව උස්සලා බලද්දි නරයා දොර ළඟ. මැඩම් එහෙම්මම නැගිටලා "එන්න පුතේ ගිහින් වාඩිවෙන්න, අපි හෙමින් කතා කරමු". නරයා ඩිම් වෙලා , වෙනදා අපේ මූණවත් බලන්නේ නැති මැඩම් මොකද අද කවදාවත් නැතිව ධර්මෙන් කියලා. නරයා වාඩි වෙන්න එද්දී අපි හිනාව තද කරන් ඉන්නවා. "තොපි කාලකණ්ණි, මොනාහරි ගේමක් දුන්නාද?" කියලා අහන ගමන් වාඩි වුනා. "පිස්සුද බං, උඹට එහෙම කරනවාද" කියලා අපි කිව්වා. පන්තියේ අනික් සෙට් එකට වැඩක් දීලා මැඩම් එනවා අපි ළඟට දැන්.
"නරසිංහ, කමක් නෑ පුතේ. ඔයා ආපහු ඉස්කෝලෙ එන්න ගත්ත තීරණයම ලොකු දෙයක්. මොනා වුනත් මේ වගේ වෙලාවෙදි අම්මා තාත්තා ගැන හිතන්න ඕන. හදිස්සි වෙලා ඔය වයසට තීරණ ගන්න එපා", මැඩම් එක දිගට කියාගෙන යද්දී නරයා ෆුල් හොල්මන්. මම එහෙමම අත් දෙක මේසෙ උඩ තියලා මූණ තද කරගත්තා. ශාලිකයා රතු වෙලා. නරයාගේ මූණ බලපු ගමන් හිනා යන්න එනවා මැරෙන්න. "ඇයි මැඩම් මේ, මොකක්ද ප්රශ්ණේ? මට තේරෙන් නෑ" නරයා බැරිම තැන ඇහුවා. මැඩම්ටත් තේරුනා මොකක් හරි අවුලක් කියලා. "ඇයි මේ සෙනෙවිරත්න කිව්වෙ, නරසිංහ ගෑණු ළමයෙක් එක්ක පැනලා ගියා කියලා". "මුන්ට පිස්සු මැඩම්. මැඩමුත් මුන්ට අහුවෙනවානෙ". අපි මූණු බිම ඔබාගෙන හිනාවෙනවා. මැඩම්ට උපරිම මල පැනලා. "සෙනෙවිරත්න, මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා" කියලා බැනගෙන බැනගෙන ගියා. නරයටත් මැරෙන්න හිනා. ඒ තරහා වුන තරහට මැඩම් අපේ මුණ බැලුවේ නෑ දවස් ගාණකට.පස්සේ මැඩම්ව ශේප් කරගත්තා අමාරුවෙන්.
ඊළඟට අමතක නොවෙන සිද්ධිය තමයි ඒලෙවල් ලියන්න ඇටෙන්ඩන්ස් හදාගන්න 80% සීන් එක. අපි සෙට් එකටම 80% නෑ. මැඩම් කිව්වා ""නැති කට්ටිය මෙඩිකල් ගෙනත් දෙන්න. කොහෙන් හරි කමක් නෑ. නැත්නම් වෙන කරන්න දෙයක් නෑ". මගේ 20% විතර නෑ. නරයට 30%ක් විතරම නෑ. ශාලිකයටයි අකලංකයටයිත් එමමයි. මමයි අකලංකයයි කොහොමෙන් හරි මෙඩිකල් හදන් ආවා ගෙවල් පැත්තෙ ඉන්න දොස්තරලා හම්බෙලා. නරයයි ශාලිකයයි මරුම දොස්තර කෙනෙක් තමයි හොයන් තිබුනේ. නරයාගේ නරමාන කියන ගමේ සර්ප වෙදෙක් තමයි අල්ලගෙන තිබුනේ. බුවා මුන් දෙන්නට අත්සන් කරලා කොල ටිකක් දීලා. මුන් දෙන්නම ලියලා ගෙනල්ලා දෙයියනේ කියලා. "නයි විස දවස් 7යි", "පොලොං විස දවස් 14යි", "කුණකටු විස දවස් 10යි".... ඔක්කොම විස සර්පයො ටික ඉවර වුනාම අනික් පොඩි පොඩි උනුත් අල්ලගෙන තිබුනා. "ගෝනුසු විස දවස් 3යි", "පත්තෑයො විස දවස් 2යි" වගේ ඒවා.
අපි ඉතින් බඩ අල්ලගෙන ගිහින් මෙඩිකල් ටික බාරදුන්නා. මැඩම් හෙමිහිට බලන්න ගත්ත ගමන් මැඩම්ටත් හිනා. "පුදුම සත්තු ගොඩක්නෙ කාල තියෙන්නෙ? කැලේද ඉන්නෙ? මම චන්ද්රසේන සර්ගෙන අහලා බලන්නම් මේ ටික බාරගන්න පුලුවන්ද කියලා" මැඩම් කිව්වා. "මැඩම් අනේ ආයේ නම් ඉල්ලන්න එපා. අපේ පැත්තෙ ඉතින් ඔය මෙඩිකල් තමයි තියෙන්නෙ" නරයා කිව්වා. චන්ද්රසේන සර් එහෙමත් නැතිනම් කල්ල සර් තමයි අපේ අංශ ප්රධාන. ටික වෙලාවකින් මැඩම් අපි සෙට් එකට එන්න කිව්වා ඔෆිස් රූම් එකට. යනකොට කල්ලා සර් හිනා වෙවී ඉන්නවා. "ඈ යකෝ, තොපිට මේ කාලා තියෙන සත්තු ගොඩ හැටියට තොපි ජීවත් වෙන්න විදියක් නෑ. මෙහෙම මෙඩිකල් යකෝ මගේ මුලු ගුරු ජීවිතේට දැක්කමයි." එහෙම කියලා අපේ මෙඩිකල් ටික බාරගත්තා.
ඉතින් මේ වගේ තව ගොඩක් මතක තියෙනවා මේ පන්තියෙ. අලහකෝන් සර්ට මල පන්නපු ඒවා, ඕමි ගහලා විජෙකෝන් සර්ගෙන් අහගත්ත ඒවා, ඉංග්රිසි උගන්නපු සුභාශ් සර්ව බයිට් කරපු ඒවා, ප්රංශ උගන්නන්න ආපු දීපාල් සර්(බොන්සුවා) තරහ කරගත්ත ඒවා, ශාන්තප්රියගේ ඔලුවට චෝක් කෑලි ගහන ඒවා,හොර්ටන් තැන්නට ගිය ට්රිප් එක, නුවර එලිය ටවුමේ සර්ලට හොරෙන් වෙස්වලාගෙන අඩියක් ගහපුවා වගේ ගොඩක් මතක වගේම ලියලා පලකරන්නත් අමාරු මතක. වෙලාව තියෙන වෙලාවට ලියන්නම්. නවතිමි මඳ විරාමයකට...

1 comment:

  1. අඩෝ මේක 10 වෙනි පාරට විතර කියෙව්වෙ

    ReplyDelete