Tuesday, April 28, 2020

කොරෝනා ලියවිලි 3 - නයිපුන සන්ගලපානා සහ මම

පරණ ෆොටෝ ඇදලා පටන් ගත්ත කොරෝනාවලට ගෙදර ඉඳිල්ල කොණ්ඩෙ කපලා, කෑම හදලා, අවුරුදුත් කාලා තවම ඇදෙනවා. ඉතින් තව මොනවහරි ලියන්න හිතුනා. මේකෙ ගොඩක්ම තියෙන්නෙ මාත් එක්ක එක වසරේ ඉඳලා හිටපු බොක්කෙ යාලුවෙක් වෙන නිපුන සංකල්ප එහෙමත් නැතිනම් නයිපුන සන්ගලපානා. 1990 1 වසර පන්තියෙ එකට වැටුන අපි දෙන්නා අදටත් ඒ කාලෙ වගේම බුදු ෆිට්. නිපුනයට නයිපුන සන්ගලපානා නම හැදෙන්නෙ හතර වසරේ දෙමල ප්රශ්න පත්තරෙත් එක්ක. දෙමළ සර් තේරෙන සිංහලෙන් කිව්වා උත්තර පත්තරේ නම ලියද්දී පුලුවන්නම් විතරක් දෙමලින් ලියන්න කියලා. නිපුනයා විතරක් පණ්ඩිතකමට දෙමළින් ලිව්වා. අන්තිමේට සර් ඇවිත් උත්තර පත්තර බෙදලා දෙද්දී එක පාරටම එක උත්තර පත්තරයක් අතේ තියාගෙන ෆුල් හොල්මන් වෙලා බලාගෙන ඉඳලා ඒක බලාගෙන ඉඳලා "කවුද මේ නයිපුන සන්ගලපානා?" කියලා ඇහුවා. අපිත් කොර වෙලා බලන් ඉද්දී නිපුනයා නැගිටලා උත්තර පත්තරේ බාරගත්තා. එදා ඉඳලා මගේ බොක්ක ආදරණීය "නයිපුන සන්ගලපානා" බවට පත් වුනා.
නිපුනයාගෙ ගෙදර තිබුනෙ කෝන්පොල පාරෙ වෙන්නරු වැව පිටිපස්සට වෙන්න. අපේ ගෙදර තියෙන හේවාපොල ඉඳලා බයිසිකලේ පැදගෙන විනාඩි 15න් විතර යන්න පුලුවන්. ඉතින් 6 වසරට වගේ යනකොට මම නිතර බයිසිකලෙත් පැදගෙන නිපුනයාගෙ ගෙදර යනවා ගොඩක් දවස්වලට හවස් වෙලා. ගිහිල්ලා උන්ගේ ගෙදර ඉස්සරහා ක්රිකට් ගහනවා අල්ල්පු ගෙදර මනෝ මලයත් අල්ලගෙන කලුවර වැටෙනකල්ම. නිපුනයා ක්ලාසි බැටා. අපි ඉතින් එන බෝලෙට කෙලිනවා. හැබැයි උට වඩා හයියෙන් මට බෝල් කරන්න පුලුවන්. සමහර දවසට මූව අවුට් කරන එකත් ලේසි නෑ. ටීවි එකේ මැච් එකක් යන දවසටත් මම එහෙ යනවා. නිපුනයගෙන් තමයි මටත් ක්රිකට් උණ බෝ වුනේ. ඉස්සර තිබුනා ක්රිකට් ලොව කියලා සඟරාවක්. නිපුනය ගාව ඕකෙ ඔක්කොම තිබුනා. ඒක කියවන එකත් ගමනෙ එක කොටසක්. ඊට පස්සේ රෑ වෙලා ගෙදර එන්නේ දාඩිය පෙරාගෙන ආපහු බයිසිකලෙත් පැදගෙන. ගෙදර එද්දී අම්මාගෙ රතු කට්ට පැනලා ගොඩක් වෙලාවට.
හත අට වසර වෙද්දී වගේ සමහර විභාග කාලෙට මම නිපුනයාගේ ගෙදරත් නතර වෙලා ඉන්නවා. නිපුනයගේ අම්මා වැඩකරේ මල්ලවපිටිය ඒජීඒ ඔෆිස් එකේ. තාත්තා අපේ ඉස්කෝලෙම ප්රධාන ලේකඛාධිකාරි වුන තල්පගේ අන්කල්. ඉතින් අපි දෙන්නම උන්ගෙ ගෙදර ඉද්දී උදේට අන්කල් එක්ක බයික් එකේ යනවා. හවසට එද්දී අපි එක එක පාරවල් වලින් එනවා. මල්ලවපිටියෙන් බැහැලා පයින් එනවා. වෙන්නරු වැව් බැම්ම උඩින් එනවා. එකට පාඩම් කරනවා ඇවිත්, ආයි ක්රිකට් ගහනවා. ඇත්තටම කිව්වොත් වෙනම ලෝකයක්. මල්ලවපිටියෙ හිටපු අපේ ඔටු පැංචා එහෙමත් නැත්නම් රජිතයත් එනවා සමහර දවස්වලට. අන්තිමේට මට උගේ ගෙදර මගේ ගෙදර වගේ.
ඔහොම කාලයක් යද්දි අපි ඕලෙවල් කරන කාලේ කුරුණෑගල හිටපු ජයරත්න සර් විද්යාව පන්තියක් කරා. ඒකෙත් ප්රධාන අංගය වුනේ පන්තියට පෙර සහ පසු ක්රිකට් තමයි. ඉතින් අපි දෙන්නාම ඕලෙවල් කරලා ඒලෙවල් මැත්ස් පන්තියටත් එකට වැටුනේ. ඒලෙවල් පලවෙනි සැරේ දෙයියනේ කියලා අපි ඉතින් ආතල් එකේ උපරිමේටම වැටුනා. පන්තියෙ කෙලවරේ හිටපු අපි හය දෙනෙක්ට(නිපුන, බුවනෙක, මම, ශාලික, අකලංක සහ නරයා ) ලේබල් වෙලා හිටියේ එපාම කරපු උන් විදියට. අපි ඔක්කොගෙම කතා වෙනම ලියන්නම් ඉස්සරහට. ඉතින් ඊට පස්සේ අපි සෙට් එක පුරුදු වුනා ඉස්කෝලෙන් කලින් තාප්පෙන් පැනලා ගොඩක් දවස්වලට නිපුනයාගේ ගෙදරට යන්න. ඒ යනකොට දේශ් විඩියෝ සෙන්ටර් එකෙන් අකලංකයා ලස්සන ලස්සන සීඩී තැටි ගන්නවා. තව ඉතින් සිගරට් පැකට් එකකුත් අරන් යනවා. මල්ලවපිටියෙම තව ප්ලේස් එකකින් තව ලස්සන සීඩී ගන්නවා. ඒවා උදේම බලලා පුලුවන් විදියට හස්ත කර්මාන්තයේ නියැලුන අපි ආපහු ක්රිකට් ගහනවා. ඔහොම ගිහින් ඒලෙවල් පලවෙනි සැරේ බඩු පැකට් සෙට් එකටම.
දෙවැනි සැරේ වැඩේ ටිකක් සීරියස් පටන් ගන්නවා. ටික කාලයක් මැත්ස් රිවිශන් ගිහින් වැඩේ එපා වෙලා අකලංකයයි මමයි මැත්සි රිවිශන් යන එක නවත්තලා සඳුදා, අඟහරුවාදා, බදාදා නිපුනයාගේ ගෙදර සෙට් වුනා මැත්ස් කරන්න. නිපුනයා දෙවැනි සැරෙත් සිරා ගත්තේ නෑ. මම පියෝ මැත්ස් ගේමක් ගහද්දී අකලංකයා ඇප්ලයිඩ් ගොඩ දැම්මා. කලින් සතියේ අනිල් සර් රිවිශන් එකේ දෙන මැත්ස් පේපර්ස් අපි දෙන්නා කරලා දෙන්නම සාකච්ඡා කරලා ගොඩ දානවා. හදාගන්නම බැරි ගනන් වැව දිහාට ගිහින් හීනියට සිගරට් එකක් ඇද්දම හදාගන්න පුලුවන් වුනා. නිපුනයා අපිත් එක්ක සෙට් වුනෙ නැතත් අපිට බාධා කරේ නෑ කිසිම දවසක. අන්කලුයි ඇන්ටියි උපරිම සපෝට් එකක් දුන්නා. අපි දෙන්නම මැත්ස්වලට ඒ අරගෙන කැම්පස් යන්න සිලෙක්ට් වුනා. අන්කල්ටයි ඇන්ටිටයි ඒකට පිං සිද්ධ වෙන්න ඕන.
ඊට පස්සෙ කැම්පස් යනකල් නිතරම උන්ගෙ ගෙදර යනවා. නිපුනයගේ ලොකුඅම්මා බැඳලා හිටපු ලොකු අප්පච්චිත් අපේ පට්ට ෆිට් එක වගේම හෙනම ආතල්. කයියක් ගහන්න සෙට් වුනාම ආතල්.ලොකු අප්පච්චි ඉඳලා හිටලා නිපුනයාගේ ගෙදර එනවා. මෑන්ස් පොඩ්ඩක් එලි පහලියට ගිහින් දුමක දානවා ශේප් එකේ. දවසක් අකලංකයයි මමයි නිපුනයාගෙ ගෙදර ගියාම ලොකු අප්පච්චිත් ඉන්නවා. අපි දෙන්නා ඉතින් සුව දුක් විමසලා කාමරේට ගිහින් ඉන්න ගමන් අකලංකයා ඇහුවා "ජයා, උඹ සිගා ගෙනාවද?". එදා ගෙනල්ලා තිබුනේ නෑ. "නෑ බං". දැන් ඉතින් අකලංකයගෙන් බැනුම්. කඩේකුත් ළඟපාත නෑ. මම පොඩ්ඩක් එලියට එනකොටම සාලෙ කබඩ් එකේ ගෝල්ඩ් ලීෆ් බොක්ස් එකක්. නිපුනයාගෙන් අහපු ගමන් "අඩෝ ඕක ලොකු අප්පච්චිගෙ වෙන්නැති". මම ඇහුවා අපි බුවාගෙන් ඉල්ලන්නද කියලා. දැන් ඉතින් නිපුනයා නාහෙන් අඬනවා "මොකක්ද බං? ඕක ඉල්ලුවොත් මම නෝණ්ඩිනේ බං, උඹලත් එක්ක ඕකනේ බැරි" කියලා. අපි කිව්වා එහෙනම් අපි මේක උස්සනවා කියලා. නිපුනයා කිව්වා "ඕන එකක් කරගනින්" කියලා.
ලොකු අප්පච්චි ටිකක් එහාට මෙහාට වෙනකල් ඉඳලා අකලංකයයි මමයි දුන්න වැඩේ සිගරට් පැකට් එකට. සාක්කුවේ දාගෙන නිපුනයත් එක්කම ගියා වැව පැත්තට. ගිහින් වාඩිවෙනකොටම මතක් වුනා ගිනි පෙට්ටිය ගෙනාවේ නෑ කියලා. ආයිත් නිපුනයට ඇනයක් වුනා. "ඕකනේ බං උඹලත් එක්ක බැරි" කියලා බැන බැනම ගියා ගිනිපෙට්ටිය ඇරන් එන්න. ඔන්න ටික වෙලාවකින් නිපුනයා වැනි වැනී එනවා ගිනි පෙට්ටියකුත් අරන්. "ආයිනම් මුකුත් ඉල්ලන්න එපා" කියලා වාඩි වුනා. අකලංකයයි මමයි දත කට මැදගෙන ගෝල්ඩ්ලීෆ් පැකට් එක ඕපන් කරා. සිගරට් එක එලියට ගත්ත ගමන් අපිට එපා වුනා, නිපුනයාගේ ලොකු අප්පච්චිගෙ පරම්පරාවම මතක් වුනා. ගෝල්ඩ්ලීෆ් පැකට් එකේ තිබුනේ රුපියල් එකයි පනහෙ කැප්ස්ටන් කියන ෆිල්ටරෙත් නැති මල ජරාව. නිකන් දුන්නත් අපි බොන්නෙ නෑ ඒ කාලෙ. නිපුනයත් අපිට කිණ්ඩිය දානවා "හොඳ වැඩේ තොපිට ඕක ඉස්සුවාට". මෙච්චර ගේමක් දුන්න එකේ තරහටම ඒකේ තිබුන තිබුන කැප්ස්ටන් තුනම කැහැ කැහැ ගැහුවා. ඊට පස්සෙ කයියක් ගහලා ගෙදරට එන්න පිටත් වුනා.
නිපුනයාගේ ගෙදර ළඟට එද්දී ලොකු අප්පච්චි අපි දිහා හිනා වෙවී වෙනදා වගේ නැතිව හෙනම කිණ්ඩියට බලන් ඉන්නවා. "අඩේ, බුවා බලන විදිය අල්ලන්නේ නෑ, වැඩේ මාට්ටුද බං?" මම අකලංකයගෙන් ඇහුවා. "පිස්සුද බං, මාට්ටු වෙන්න විදියක නෑනේ, ගාණක් නැතිව යමන් එතනින්". අකලංකයට කොහොමත් හිනා යන තැනක හිනා නොයා ඉන්නත් අඬන තැනක අඬන්නේ නැතිවත් ඉන්න අදටත් පුලුවන්. ගේට්ටුවෙන් ඇතුලට යද්දීම "තොපි මගේ සිගරට් ටිකට දුන්නා නේද වැඩේ? යකෝ ඉල්ලුවනම් දෙනවානේ" කියලා ලොකු අප්පච්චි හිනාවෙලාම කිව්වා. අකලංකයා ගේමක් නැතිව "පිස්සුද අංකල්, අපි ඔය වගේ දෙකයි පනහේ වැඩ කරන්නේ නෑ" කිව්වා. ලොකු අප්පච්චිට ආයෙත් හිනා. මාත් හිනාව තද කරගෙන යද්දීම "එහෙනම් අපේ එකා මගෙන් ගිනි පෙට්ටියත් ඉල්ලගෙන වැවට ගියේ වෙන මොන ලබ්බටද?" කියලා ලොකු අප්පච්චි ඇහුවා. හුකෑස්.
අපිට නිපුනයත් එක්ක යකා තරහ. අකලංකයා පුපුරනවා. මට හිනාවෙන්නද? අඬන්නද තේරෙන්නේ නෑ."ඇයි යකො තෝ ලොකු අප්පච්චිගෙන්ම ගිනි පෙටිටිය ඉල්ලුවේ, බඩු මාට්ටුනේ?" කියල අහපුගමන් නිපුනයා ඇඟට පතට නොදැනිම "ඉතින් බං මම ගෙදර පුරාම හෙව්වා, හම්බුනේ නෑ. ඕක අරන් යන්න බැරි වුනත් උඹලා ආයි ඇනයක් වෙනවනේ" කියලා කිව්වා. අපිට වස ලැජ්ජාව, අමාරුවෙන් උස්සලා ගෝල්ඩ් ලීෆ්වත් තිබුනානම් තව කමක් නෑ. තිබුනෙත් මෙලෝ රහක් නැති කැප්ස්ටන්. ටික වෙලාවක් යද්දි ලොකු අප්පච්චිත් පේන්න නෑ. මෙන්න ටික වෙලාවකින් ලොකු අප්පච්චි කඩේට ගිහින් අපිට ගෝල්ඩ් ලීෆ් ටිකක් ගෙනල්ලා. "ඔය කාලෙට අපිත් ඔහොමයි බං" කියලා කිව්වා. ඒ වුනාට මම අදටත් කල්පනා කරන්නේ ඇයි යකෝ මේ උලමා ලොකු අප්පච්චිගෙන්ම ගිනි පෙට්ටිය ඉල්ලුවේ කියලා.
ඔය වගේ ලස්සන කතා ගොඩක් එක්ක කාලය ගෙවුනා. අපි කැම්පස් ආවා. නිපුනලා කෝන්පොල ගෙදර විකුණලා අරඹේපොල නිපුනලාගේ අම්මලාගේ මහ ගෙවල් ළඟ ගෙයක් හදලා එහේ ගියා. අපි ඊට පස්සෙ එහෙත් පුලුවන් වෙලාවට ගිහින් නිපුනයට ඇණයක් වුනා. අදටත් අරඹේකඩෙන් ගියොත් නිපුනයාගේ ගෙදර ගොඩ වෙලා යන්නේ. දැනට ටික දොහකට කලිනුත් ගියා. නිපුනයා මට ඒ කාලේ නිපුනයමයි. එක වසරෙදි හම්බුන නිපුනයමයි. නිපුනයගේ ලෝකේ වීරයා සංගක්කාර. සංගාට පොඩ්ඩක් බැන්නොත් තමයි නිපුනයා ටිකක් විතර නිපුනයා අවුස්සන්න පුලුවන්. ආදරෙයි බොක්ක
ප.ලි.: "දුම්පානය ඔබගේ ශරිර සෞඛ්යට අහිතකරය"

No comments:

Post a Comment