Monday, May 25, 2020

කොරෝනා ලියවිලි 10 - යුද්ධය මට දැනුන හැටි

තවත් සතියක් ගෙවුනා. ගෙවුන සතියේ අපි ජාතියක් ලෙස යුද්ධය ඉවරකරලා අවුරුදු 11ක් ගතවුනා. වෙලාවක් හම්බුනාම යුද්ධය මට දැනුන හැටි ලියන්න හිතාගෙන හිටියා ගොඩ කාලෙක ඉඳලා. යුද්ධය පටන් ගත්තා කියලා කියන 1983 සිදුවීම සහ ඊට පෙර කාලය සම්බන්ධ ගොඩාක් සිදුවීම් සම්බන්ධ ලිපි ගොඩාක් කියවලා තිබුනාට මම කතා කරන්න යන්නේ මට දැනුම් තේරුම් ඇති කාලෙක ඉඳලා යුද්ධය කියන එක මගේ හිතට සහ ජීවිතයට දැනුන හැටි ගැන විතරයි. යුද්ධය තියෙන කාලේ 1990 වසරෙ වගේ මට මතක තියන කාලෙ ඉඳලා 2005 වෙනකල්ම වගේ මගේ කාලය ගෙවෙන්නේ කුරුණෑගල සහ ඒ අවට. ඒත් 2005 න් පස්සෙ යුද්ධය තීරණාත්මක අවධියේදී කාලය ගෙවෙන්නෙ සම්පූර්ණයෙන්ම වගේ කොළඹ.

මුලින්ම මට යුද්ධය සහ ප්රභාකරන් එක්ක තරහක් ඇතිවෙන්නේ මේ යුද්ධය මගේ ආසම විනෝදාංශය වුන කෝච්චිය සම්බන්ධයෙන් කරපු විනාශය ගැන පොඩිම කාලේ ටික ටික තේරුම් ගන්නකොට. පොඩිම කාලෙ තාත්තාත් එක්ක ඉඳලා හිටලා කොළඹ එන්න කුරුණෑගල ස්ටේසමට එනකොට ඒකෙ කාලසටහන තිබුනේ කලුපාට පරණ ලෑල්ලක. ඒකෙ සුදු පාට තීන්තෙන් ගමනාන්ත ගැන ලියලා තිබුනා. ඒ ගමනාන්තය ඉස්සරහින් චෝක් කෑල්ලකින් වෙලාව ලියලා තියෙනවා. මේකේ තිබුන ගමනාන්තවලින් යාපනය/කන්කසන්තුරේ කියලා තිබුන එක කපලා චෝක් කෑල්ලෙන් වවුනියාව කියලා ලියලා තිබුනා. මන්නාරම/තලෙයිමන්නාරම කපලාම දාලා තිබුනා. මට තාම මතකයි මම තාත්තාගෙන් අහනවා "ඇයි තාත්තෙ? මේ යාපනේ නම කපලා, ඇයි කෝච්චි යන්නේ නැද්ද දැන් යාපනේට?", "නෑ පුතේ, ඒ පැතිවල යුද්ධයක් තියෙනවා. කෝච්චි පාරට බෝම්බ දාලා කෝච්චි යන්න විදියක් නෑ". ඉතින් පොඩිකාලෙම හිතට ගියේ කවදද ආපහු අහන්න පුලුවන් "වේදිකාවට දැන් පැමිණි යාල්දේවි දුම් රිය යාපනය බලා පිටත් වේ" කියලා.

ඊට පස්සේ ටික කාලයක් යනකොට අපේ ගම්වල සෑහෙන දන්න කියන පවුල්වල පිරිස් හමුදාවේ වැඩ කරන තත්වයක් ඇති වුනා. හමුදාවේ වැඩ කරපු අය නිවාඩුවට ගමට ආපුවාම ගමේ මිනිස්සු එක්ක ටික කාලයක් සතුටින් ගත කරන හැටි දැක්කා. ඒත් සමහරු ආපහු වැඩට ගිහින් ආපහු ගමට ආවේ මිනී පෙට්ටියෙන්. සමහරුන්ගෙ මිනී පෙට්ටිය සීල් කරලමයි ගෙනාවේ. මේ කාලෙත් ලොකුවට දැනුම් තේරුම් නැතිකමද මන්දා අපි බලන් හිටියේ මලගෙදර අවසාන වෙලාව එනකල්, ඒ හමුදාවෙන් සෑහෙන පිරිසක් ඇවිත් ආචාර පෙලපාලියක් එක්ක ගමේ කනත්ත ළඟට ආපුවම අන්තිම මොහොතේ දෙන උත්තමාචාර වෙඩිමුරය බලන්න. හැබැයි යුද්ධය තව තවත් දරුණු වුනා. මේ විදියට වෙන මරණ ගණන එන්න එන්නම වැඩි වුනා. ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා මැරුණාම ගොඩාක් මිනිස්සු පුදුම විදියට දුක් වුනා. යාපනය නැවත අත්පත් කරගත්තා කියලා 1995 දි ඇහුවට පස්සේ වැඩිපුරම ප්රවෘත්තිවල තිබුනේ අපේ හමුදාවට වෙන හානි ගැන. මේ කාලෙ අපේ තාත්තා හිටියේ රට, මම තාත්තට ලියුම් ලියද්දිත් යුද්ධය ගැන ලියනවා.අපේ ඉස්කෝලෙන් බිහිවුන ශ්රේෂ්ඨතම වීරයෙක් වුන මේජර් ජෙනරාල් ආනන්ද හමංගොඩ විරුවාගේ මල ගෙදරට අපි ඉස්කෝලෙන් සහභාගි වුනත් මතකයි. මේ විදියට කාලය ගෙවිලා යුද්ධයේ භයානකත්වය හොඳටම තේරුම් ගන්න පුලුවන් වුනා දෙදාහ දශකයත් එක්කම. හැමදාම හිත්වල තිබුනේ ඇයි මේ යුද්ධය ඉවර කරන්න බැරි කියලා. එයාර්පෝට් එකට කොටි ගහනව අපි බැලුවේ බූලා සර් එක්ක කොම්පියුටර් ලැබ් එකේදී. ඊට පස්සෙ වුන ආණ්ඩු පෙරලියත් එක්ක සටන් විරාමයක් ආවා. ඊට පස්සේ අවුරුදු කීපයක් යුද්ධය ගැන කතාව අඩු වුනත් අපේ හමුදාවට එන්න එන්නම සිදුවෙන අගෞරවණිය සිදුවීම ඇහෙන්න කියන්න පටන් ගත්තා. ඒකේ උච්චතම අවස්ථාව විදියට මිලේනියම් සිටි මහා පාවාදීම සිදු වුනා. ඒකෙන් වුන හානිය ඒ වයස වෙද්දී අපිට තේරුණා හොඳටම. එතනින් එහාට අපි ගොඩාක් මිනිස්සුන්ගේ ප්රාර්ථනය වුනේම මේ කාලකණ්ණි ත්රස්තවාදය කවුරු හරි ඇවිත් සදහටම ඉවර කරලා දානවනම් කියන එක.

ඔහොම කාලය ගෙවීගෙන යද්දී මම කොළඹ කැම්පස් එකට එනවා 2005 මැයි වෙද්දී. සටන් විරාමය නමට වගේ තිබුනා. ඇවිත් ටික කාලෙකින් මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙනවා. ඊට පස්සේ යුද්ධය නැවත නිල වශයෙන් ආරම්භ වෙනවා. ඊට පස්සේ 2006 වගේ වෙද්දී කොළඹ උපරිම තර්ජනයට පත් වෙනවා. අපි කැම්පස් ආවාම ගෙවල්වලින් පුදුමාකාර බයකින් ඉන්න තත්වයක් ඇතිවුනා. තැන තැන මරාගෙන මැරෙන බෝම්බ පත්තුවෙන්න ගත්තා. මට සිදුවීම්වල අනුපිලිවෙල මතක නැතත් ඒ වගේ බෝම්බ පිපිරුණ අවස්ථා කීපයක්ම නූලෙන් මගඇරුණු අවස්ථා කීපයක්ම වුනා. සමහර තැන්වලදී වාසනාවන්ත විදියට බේරුණා වගේ දැනුනා. අපේ කැම්පස් එකේ අපිට තිබුන කොමන් රූම් එකක අපි කැරම් සෙල්ලම් කර කර ඉද්දී සෑහෙන ශබ්දයකින් හොඳටම ළඟ බෝම්බයක් පුපුරා යන සද්දේ ඇහුනා. අපිට තේරුණා ඒක ටිකක් බරපතලයි කියලා. ඒ තමයි අපේ දැන් ජනාධිපති, ඒ කාලෙ ආරක්ශක ලේකම්තුමා ඉලක්ක කරපු පිත්තල හන්දියේ බෝම්බ ප්රහාරය. මෙතනින් පස්සේ මුලු කොළඹ පුරාම දැඩි ලෙස වෙනස්කම් වුනා. අපේ කැම්පස් එක වටේම අධි ආරක්ෂිත කලාපයක් කරා. රීඩ් ඇවනිව් එකයි අනික් පාරයි දෙකම වන්වේ කරා. අලුතින් චෙක් පොයින්ට් ගොඩාක් ආවා. කැම්පස් එකේ අපිට රෑ ඉන්න තහනම් වුනා. එහෙම ඉන්නවානම් අමතර අවසරයක් ගන්න ඕන වුනා. අපේ බෝඩිම තිබුනේ දෙහිවල හන්දියෙ, එතන ඉඳලා එද්දී එක්කො වැල්ලවත්ත රොක්සිය ළඟ, එහෙමත් නැතිනම් සැවෝයි එක ළඟ චෙක් පොයින්ට්වල අපිව චෙක් කරන්න ගත්තා. සමහර දවස්වලට අපිට කැම්පස් එන්න සෑහෙන වෙලාවක් ගියා. ඒක නිසා අපි දෙහිවල ඉඳලා බම්බලපිටියට යන්න එන්න කෝච්චියට පුරුදු වුනා.

දුමානි මේ කාලෙ බෝඩ්වෙලා හිටියේ කටුබැද්දේ. මොරටුව කැම්පස් එකට පයින් යන දුරින් ගාලු පාරට කිට්ටුව එයාගේ බෝඩිම තිබුනේ. දවසක් අපි දෙන්න උදේ වෙලාවක කෝල් එකක හිටියේ. දුමානි කැම්පස් යන්න ලෑස්ති වෙලා යන්න කලින් මට කෝල් එකක් දෙනවා සාමාන්යයෙන්. එදා කෝල් එක ටිකක් ඇදුනා. එහෙම ඉද්දී එක පාරටම "චාමර, ලොකූ සද්දයක් ඇහුනා, බයේ බෑ" කියලා කිව්වා. ටික වෙලාවක් යද්දී කිව්වා "බෝම්බයක් වගේ, ලොරියක මිනිස්සුන්ගේ කෑලි පටවගෙන යනවා. මිනිස්සු දුවනවා එහෙ මෙහේ" කියලා. ඒ තමයි පිලියන්දල කටුබැද්ද පාරේ බස් එකකට එල්ල කරපු බෝම්බ ප්රහාරය. සෑහෙන පිරිසක් මැරුණා, අපේ වයස්වල කැම්පස් ළමයිනුත් මැරුණා ගොඩාක්. එදා කෝල් එක ඇදුනේ පුදුම වෙලාවකට, නැත්නම් දුමානිත් ඒ හරියෙන් පයින් යන වෙලාව.මේ විදියට කොටුව ස්ටේසමේ, නෝලිමිට් කියන තැන්වලත් බෝම්බ පිපිරුණා. මට වැඩියෙන්ම දැනුන සිදුවීම වුනේ දෙහිවල කෝච්චි බෝම්බය. ඒ කාලෙ මම අයන්වන් එකේ ඉන්ටන්ශිප් කරන කාලේ. එදා මම කැම්පස් එකේ වැඩකට කලින් පිටත් වුනා ඔෆිස් එකෙන්, ඒක ඉවර කරගෙන බම්බලපිටියට ඇවිත් කෝච්චියෙ දෙහිවලට ආවා හවස් වෙද්දී.එතනට ඇවිත් ස්ටේසම ළඟ කඩේකින් සිගරට් එකක් බීලා ස්ටේසම පාර දිගේ එන්න පිටත් වුනා විතරයි ළඟට ඇහුන දරුණුම සද්දෙකින් බෝම්බයක් පුපුරලා ගියා. හැම මනුස්සයම කෑගහගෙන දුවනවා. හිතාගන්න බෑ, මාත් දිව්වා දෙහිවල හන්දියටම. ඒ පිපිරුණේ මම ආපු කෝච්චියට පස්සෙන් ආපු කෝච්චිය. මම දුවගෙන බෝඩිමටම ගිහින් දොර වහගත්තා. සෑහෙන වෙලාවක් කල්පනා කරා, ඇත්තටම සෑහෙන බයක් දැනුනා. ඒත් මම කිසිම කෙනෙක්ට කිව්වෙ නෑ මම හිටියෙ ඒ කිට්ටුව කියලා. දුමානි කෝල් කරාම කීවේ තාම ඔෆිස් කියලා, ගෙදර අයටත් කීවේ ඒකමයි. බෝඩිමෙ උන් එක්කත් රෑ වෙලා ඒ ගැන දන්නෙ නෑ වගේ කතා කරා. ඇත්තටම කිව්වොත් මම හිටියේ ෆුල්ම ෆුල් ශොක් වෙලා. මොකද ඒ සද්දේ එච්චරටම ළඟින් ඇහුන නිසා.

ඊට පස්සේ 2008 අගෝස්තු වෙද්දී අපි කැම්පස් ඉවරවෙලා ජොබ් කරන්න පටන් ගත්තා. බස්වල කෝච්චිවල තිබුන අවදානමත් එක්ක ගෙදර තිබුන කාර් එක අම්මා දුන්නා මගේ පාවිච්චියට කොළඹ. ඒත් මම හැමදාම කාර් එකේ ආවෙ නෑ පණ්ඩිතකමට. මමයි කසුන්(Kasun Abeysinghe) අයියයි එකට හිටියේ එකම ඇනෙක්ස් එකේ මගේ කසාදෙ වෙනකල්. අපි චෙක් පොයින්ට්වල වාත වෙවී එකම බිල්ඩිමේ වැඩට ගියා.මේ කාලෙ වෙද්දී ඔෆිස් ගිය ගමන් උදේම බලන්නේ ඩිෆෙන්ස් සයිට් එකේ ඩිෆෙන්ස් මැප් එක. පුලුවන් හැම වෙලේම ඒක බලනවා. ඔෆිස් එකේ ලන්ච් වෙලාවට අපේ ටොපික් එක යුද්දේ. අපි දවසින් දවස බලාගෙන හිටියේ පුදුම විස්වාසෙකින්, එකම එක අයියා කෙනෙක් ඇරෙන්න ඔෆිස් එකේ හැමෝම යුද්ධේ දිනයිම කියන විස්වාසේ තිබුනා. බස් එකේ යද්දී එද්දී මිනිස්සු පුදුම විමසිල්ලකින් හිටියේ. කෝච්චිවල බෑග් තියන්න තියෙන රැක් ගැලෙව්වා. සීටීබී බස්වලත් එහෙමයි. වැල්ලවත්ත පහුකරද්දී අපි බයෙන් යන්නේ. ඊට පස්සේ මම කසාද බැන්දා. දුමානියි මමයි දෙන්නම ගල්කිස්සේ හිටියේ. ටික කාලෙකින් දුවත් ලැබෙන්න හිටියේ, ඒක නිසා දුමානි ස්ටාෆ් බස් එකක යන්න එන්න ගත්තා ඔෆිස් එකට. මම ගෙදරින් තිබුන බලකිරීම උඩම කාර එකේ ගියේ, මෙහෙම යද්දී එක දවසක් ගල්කිස්සේ ලොකු වාහන පෝලිමක් කේෆ්සී එක ළඟ.මිනිස්සු බස් එකකින් බස්සනවා මට පෙනුනා ටිකක් ඈතින්. ඊට පස්සේ පොලීසියෙන් එතන තිබුන වාහන ඔක්කොම පස්සට කරා. විනාඩි දහයකින් විතර කාලකණ්ණි සද්දයත් එක්ක බස් එකේ බෝම්බය පුපුරලා ගියා. කිසිම කෙනෙක්ට හානියක් වුනේ නෑ වාසනාවට.

2009 අවුරුද්ද පටන් ගත්ත දවස්වල ඉඳලා අපි හැමදාම දවස් ගැන්නා. ඩිෆෙන්ස් මැප් එකේ එන්න එන්නම අපේ කොඩි වැඩිවෙනවා. ජනවාරි, පෙබරවාරි, මාර්තු මාස ගෙවිලා ගියා දැනුනෙවත් නෑ. අප්රේල් වෙද්දී අපේ හමුදාව සෑහෙන ඉස්සරහින් ඉන්න වග අපිට දැනුනා. ඒත් කොළඹ කිසිම බුරුලක් තිබුනෙ නෑ. ආරක්ශාව කියන එක උපරිමේටම තිබුනා. අපිට පුලුවන් හැම විදියටම අපි උදව් කරා. හමුදාව වෙනුවෙන් සමහර මිනිස්සු ගොඩාක් කැපවෙලා ගොඩක් දේවල් සංවිධානය කරා. මගේ කාර් එකේ ඩිකිය පුරවලා මම වතුර බෝතල් ගිහින් දුන්නා ඒ තැනකට. මැයි මාසෙ ඇවිත් ටිකෙන් ටික දවස් ඇවිත් අවසානයේ අපි දිනුම් කියන එක දැනුම් දුන්නා. තිරිසන් බල්ලා මැරුණා කියලා ආරංචිය ආවා. ජීවිතේ අදටත් වැඩියෙන්ම රටේ එකෙක් විදියට සතුටු වුන දවස. අපි ඔෆිස් එකේ සතුටට කෑ ගැහුවා. බදාගත්තා, හැමෝගෙම ඇස්වල සතුටු කඳුලු. මායි පුබුදු(Pubudu Wasantha) අයියයි ඒ වෙලාවේ ඉක්මණට කලෙක්ශන් එකක් දැම්මා. අපි හැමෝම පර්ස් එකේ තිබුන සල්ලි ඔක්කොම දැම්මා. කිරුලපනටම යන්න වුනා රතිඤ්ඤා ගේන්න. ඒ යද්දී හැම තැනම මිනිස්සු ජාතික කොඩි අරන් පාරේ. හැමතැනම රතිඤ්ඤා දානවා. අපි කිරුලපනට ගිහින් ඩිකිය පිරෙන්න රතිඤ්ඤා ගෙනල්ලා බම්බලපිටිය ෆ්ලැට්ස් ඉස්සරහා කාර් පාක් එකේ කාර් ඔක්කොම අයින් කරලා පාක් එක දිගට රතිඤ්ඤා එලුවා. ඒ ටික පත්තුවෙනකොට අපි සතුටට ආයි කෑ ගැහුවා. එතන තිබුන සිංහල කඩේ මුදලාලි අපිට එයාගේ කඩේ තිබුන රතිඤ්ඤා ඔක්කොම දුන්නා අපි ඉන්න හැටි දැකලා. එතන තිබුන වේලුන පොල් අත්තක් ගිනි තියලා අපි ඒවාත් පත්තු කරා. මුලතිව් අල්ලද්දී අනිවා කනවා කියපු අපේ ඔෆිස් එකේ හිටපු එකම අයියත් අපිත් එක්ක සතුටු වුනා. ඊට පස්සේ හවස ගල්කිස්සේ ගෙදර යන්න පැය දෙකක් විතර ගියා. මග දිගට කිරිබත් උයලා වාහනවලට බෙදනවා. ඒ වෙනකල් ජීවිතේට එහෙම මිනිස්සු සතුටු වෙනවා දැකල තිබුනේ නෑ.

අවුරුදු ගාණක් තිබිලා ඉවර වුන යුද්ධය ගැන මට මේ වගේ කෙටි ලිපියකින් ලියන්න අමාරුයි. කොළඹ තිබුන චෙක් පොයින්ට අයින් වුනා. මිනිස්සු බය නැතිව පාරෙ යන්න එන්න ගත්තා. කොළඹ එන්න එන්නම ලස්සන වුනා. මගේ දුව ඉපදුනේ යුද්ධයක් නැති රටක. ඒකට අප්රමාණ කැපකිරීම් කරා ගොඩාක් මිනිස්සු. ත්රිවිධ හමුදාවටම අපි ආත්ම ගණනාවකට ණයගැති මිනිස්සු. සරත් ෆොන්සේකා, වසන්ත කරණ්නාගොඩ සහ රොෂාන් ගුණතිලක ඇතුළු ඒ යුධ නායකත්වය හැමදාම අපේ හිත්වල තියෙනවා. වර්තමාන ජනාධිපතිතුමා, හිටපු ජනාධිපතිතුමා ගැනත් යුද්ධය ඉවරකරන්න ගත්ත තීන්දු තීරණ ගැන ඒ ගෞරවය හැමදාටම තියෙනවා.කවුරු මොනවා කිව්වත් යුද්ධය ගැන විහිළු කතා කියපු හැම දේශපාලුවා ගැනම එදා හිතට ආපු වයිරයත් ඒ විදියටම හිතේ තියෙනවා. නැවත කිසිම දවසක් එවන් යුද්ධයක් ඇති නොවේවා කියලා මම හැමදාම ප්රාර්ථනා කරනවා යුද්ධය මතක් වෙන හැම දවසකම...


Sunday, May 17, 2020

කොරෝනා ලියවිලි 9 – හිතට වැඩියෙන්ම රිදුම් දෙන මතකය


කොරෝනා නිසා ගෙදර ඉන්න කාලය තුල වෙනසකට කියලා ලියන්න පටන් අරගෙන දැන් ලිපි අටක්ම ලිව්වා. ඉඳුල්ගොඩකන්දේ පොඩි කාලෙන් පටන් අරගෙන හොඳම යාළුවොත් එක්ක ගෙවුන මතක, ඉස්කෝලෙ කාලෙ රසවත් සිදුවීම්, අමතක නොවෙන ට්‍රිප්, අමතක නොවෙන ගුරුවරු වගේම සිමා කරන්න ගිහින් ඇනගත්තු හැටි වගේ ඒවා තමයි ලිව්වේ. එතනදි සමහර ලිපි කියවලා මට කතා කරපු මැසේජ් කරපු ගොඩක් මගේ යාළුවො, නෑයො ඇහුවෙම එක්කෝ "ජයා මාර ආතල් ලයිෆ් එකක්නෙ බං", "පුතාත් කරල තියෙන වැඩ", "හම්මෝ මෙහෙමත් මරි වැඩ" වගේ ඒවා. දුමානිගේ යාළුවෙක් දුමානිට කෝල් කරලා කියලා අන්න ඔයාගේ මනුස්සයා කරපු ජඩ වැඩ ඔක්කොම ලියන්න පටන් අරගෙන කියලා. එහෙම බලද්දී හිතෙන්න පුලුවන් කෙනෙක්ට අපි හරිම ආතල් එකේ ජීවිතය ගොඩ දාපු මිනිස්සු කියලා. ඒත් එහෙම හැම දෙයක්ම ආතල් එකේ කරන්න අමාරුයි. මේ තැනට එන්න මහන්සි වුන අවස්ථා ඒ වගේම සිත් රිදුන අවස්ථා සහ දුක දරාගත්ත අවස්ථා එමටයි. ඒ අතරින් මගේ ජීවිතේ දුක්බරම මතකය තමයි මේ ලියන්න යන්නේ. (ටික කාලෙකට කලින් මේ ගැන ලිව්වා වෙනත් ලිපියක)

මේ සිදුවීම වෙන්නෙ 1993 ජනවාරි වලදි මම පහ වසරට ගිය පලවෙනි දවසේ. අපි හැමෝම පොඩි කාලේ පොත් ලැයිස්තුව ගෙනාවට පස්සේ බලාගෙන ඉන්නේ කවදද ඒ ටික අරන් කවර දාලා ඊළඟ අවුරුද්දේ ඉස්කෝලේ යන්නේ කියලා. මාත් පොඩි කාලේ ඒ විදියටම 5 වසරට යන්න ආසාවෙන් බලාගෙන හිටියා.
ඒ කාලේ අපේ අම්මයි, තාත්තායි දෙන්නම රජයේ සේවකයෝ විදියට සේවය කරේ ගොඩනැගිලි ද්රව්ය සංස්ථාවේ සහ ජල සම්පත් මණ්ඩලයේ. ඒ කාලේ දෙන්නම මහන්සි වුණේ අපි හිටපු ගෙදර හදලා ඉවර කරන්න. ඉතින් මේ නිසා මේ කාලය ගෙවුනේ ආර්ථික වශයෙන් ටිකක් අමාරු විදියට. අම්මා ගෙදර හදන්න තනියම ගඩොල් කැපුවේ තනියම සිමෙන්ති ටික අනලා. මම කරන්නේ පරණ තාච්චියක් අරන් පාරට ගිහින් පාර අයිනේ තියෙන ටිකක් විතර ලොකු ගල් අහුලන් ඇවිත් සිමෙන්ති ගල මැදට දාන වැඩේට උදව් කරන එක. අම්මා වැඩ ඇරිලා එන්නේ හවස 4.45ට වගේ. ඊට පස්සේ පහේ ඉඳලා හත විතර වෙනකල් අම්මයි මමයි කරන්නේ ඉතින් ඒ වැඩේ. ඊට පස්සේ අම්මා නාලා ඉවර වෙලා අපිට කෑමක් ලැස්ති කරනවා. තාත්තා කොලඹ ඉඳලා කෝච්චියේ ඇවිත් ගෙදර එන්නේ රෑ 8.30-8.45 වගේ වෙද්දී .

ඔය විදියට මහන්සි වෙලා ගෙදර වැඩ සෑහෙන ඉවර කරගත්තා 1993 දෙසැම්බර් වගේ වෙද්දී. අම්මයි තාත්තයි දෙන්නම ණයක් ගන්නේ නැතිවයි මේක කරගෙන ගියේ. එත් දෙසැම්බර් අග වෙද්දී නංගිටයි මටයි දෙන්නටම පොත් ලැයිස්තු අරන් දෙන්න තිබුණා. නංගිගේ දෙක වසර පොත් ලැයිස්තුව අර ගන්න පුළුවන් වුනා. එත් කොහොම හරි මගේ පොත් ලැයිස්තුව ගන්න සල්ලි තිබුනේ නෑ. ඉතින් අම්මයි තාත්තයි දෙන්නම මට ලඟට කතා කරලා ඔලුව අත ගාලා කිව්වා "නංගී පොඩිනේ පුතේ, ඒක නිසා නංගී පොත් ටික අරන් යයි. පුතා පලවෙනි සතියට පොත් ටිකක් අරගෙන යන්න ඕනම ඒවා ටික. අපි පුතාට ඔක්කොම ටික ඊළඟ සතියේ සල්ලි ටිකක් හම්බුනාම අරන් දෙන්නම්, ටීචර්ට කියන්න, ටීචර් මුකුත් කියන්නේ නෑ". මගේ පුංචි හිතට දුක හිතුනත් ඇත්තටම ඒ දුක තද කරගත්ත හැටි තාම මතකයි.

කොහොමහරි මං පොත් 5ක් වගේ පරණ 4 වසරේ බෑග් එකට දාගෙන 5 වසරේ පලවෙනි දවසට පන්තියට ගියා. පොත් ලැයිස්තුව නැතිවුනත් අලුත් පන්තියකට යන නිසා මාත් ගියේ සන්තෝසෙන්. මං වැටිලා තිබුනේ 5 - A පන්තියට මතක විදියට. ඉතින් ඉස්කොලෙ පටන් අරගෙන ටීචර් ආවා පන්තියට. ඒ ටීචර්ගේ නම කුමාරිහාමි. ඒ ටීචර් කොහොමත් සැර පාටයි .ඇවිල්ලා ගාථා කියලා ඉවර වුනාට පස්සේ මුලින්ම කරේ හැම ලමයාගේම නම අඬ ගහලා පොත් ලැයිස්තුව බාරගෙන ඔක්කොම තියෙනවද බලලා බ්රිස්ල් බෝඩ් වගේ ඒවා රාක්කයක් උඩට දාපු එක. හැමෝම පොත් ලයිස්තුවම අරන් ඇවිත්, ලස්සනට කවර එහෙම දාලා. "1703 C D ජයවීර" මගේ නමත් අඬ ගැහුවා, මං පොත් 5ක් විතරක් අරගෙන යද්දී ටීචර් මං දිහා කණ්නාඩිය යටින් බලාගෙන හිටියේ අමුතුම විදියකට. අනික් හැමෝමත් පොඩ්ඩක් අවුල් ගිහින්.

මං පන්තිය මැදින් ඇවිදගෙන කුමාරිහාමි ටීචර් ලඟට ගියා. "කෝ ළමයෝ පොත්? ඔය මොකද පොත් 2-3ක් අරගෙන?" ටීචර් තරහින්ම ඇහුවා. මාත් පොඩ්ඩක් බය වුනත් තාත්තා කියපු විදියටම "ටීචර්, අපේ තාත්තා ටීචර්ට කියන්න කිව්වා ලබන සතියේ සල්ලි හම්බුනාම ඔක්කොම අරන් දෙන්නම්. එතකල් මේ සතියට මේ ටිකෙන් කරගෙන්න යන්නම්". ටීචර් එක පාරටම නැගිටලා මං දිහා කන්න වගේ බැලුවේ. එත් එක්කම "ඔය ළමයාගේ තාත්තා කියන විදියට මේ ඉස්කෝලේ වැඩ කරන්නේ නෑ. හෙට එනකොට ඉතුරු පොත් ටිකයි අනිත් ඒවායි අරන් එනවා. පොත් ලැයිස්තුව අරගන්න බැරිනම් මොකටද මේ වගේ ඉස්කෝලෙකට ආවේ? යනවා යන්න පන්තියෙන් එලියට". මට තාම මතකයි මගේ ඇස්වලින් කඳුලු ආවේ ටැප් එකක් ඇරියා වගේ. ලැජ්ජාවෙන් මිරිකෙන ගමන් මං පන්තියෙන් එලියට ගියා. මුළු ඉස්කොලෙටම ඇහෙන්න කෑ ගහලා අඬන්න හිතුණා.

ඒ එක්කම මට මතක් වුණා අම්මා කියල තිබුණා ඉස්කෝලෙදි මොකක් හරි හදිස්සියක් වුනොත් මේන් හෝල් එක උඩ තට්ටුවේ ඉන්න තල්පගේ අංකල්ට කියන්න කියලා. තල්පගේ අංකල් කියන්නේ එදත් අදත් මගේ 1 වසරේ ඉඳලා හොඳම යාලුවෙක් වෙන නිපුනගේ (Nipuna Sankalpa) තාත්තා, ඒ වගේම අපේ ඉස්කෝලේ ඒ කාලේ ප්රධාන ලේඛකාධිකාරී. අන්කල්ට සිද්දිය කියන්නම මට සැහෙන වෙලාවක් ගියා. ඒ තරමට ඇඩෙනවා. දැන් කාලේ වගේ ජංගම දුරකථන නැති නිසා අන්කල් අර තඩි ඩිරෙක්ටරියෙන් තාත්තාගේ ඔෆිස් එකේ නොම්මරේ හොයාගෙන කතා කරලා විස්තරය කිව්වා. "මල්ලි එන්න ඉස්කෝලෙට, අපි කතා කරලා පන්තිය මාරු කරගමු". එහෙම ඇහුනා විතරයි මට පොඩි සන්තෝසයක් දැනුනා.
එහෙම කියලා අන්කල් මාව ඒ ඔෆිස් එකේම පුටුවක් දීලා වාඩි කරවලා තියාගත්තා.

ඉස්කෝලේ ඇරෙන්න ටික වෙලාවකට කලින් තාත්තා ආවා කුරුණෑගල ඉස්කොලෙටම. ඇවිත් මාව වඩාගද්දි තාත්තගේ ඇස්වලිනුත් කඳුලු වැටෙනවා. තාත්තාත් අපේ ඉස්කෝලෙම ආදී ශිෂ්යයෙක් නිසා ගොඩක් ටීචර්ලා තාත්තාව දැනගෙන හිටියා. තාත්තා මාවත් වඩාගෙන තල්පගේ අන්කල් එක්ක තෙන්නකෝන් ටීචර් හම්බෙන්න ගියා. තෙන්නකෝන් ටීචර් මගේ 1 වසරේ ටීචර්. ඒ වගේම තාත්තාටත් උගන්නලා තියෙනවා. ඒ වෙද්දී තෙන්නකෝන් ටීචර් ඉස්කෝලේ ප්රාථමික අංශයේ අංශ ප්රධාන ටීචර්. "ජයවීර, ඇයි මේ හදිස්සියේ. පුතාට කරදරයක්වත්ද?" තෙන්නකෝන් ටීචර් එහෙම අහද්දී, තාත්තා ඇස්වල කඳුලු පුරවාගෙන විස්තරය කියලා ඉවර වෙද්දී තෙන්නකෝන් ටීචර්ගේත් ඇස්වල කඳුළු පිරිලා.

තෙන්නකෝන් ටීචර් ඒ වෙලාවෙම 5 - D පන්තිය භාරව හිටපු කුලරත්න ටීචර්ට එන්න කියලා පණිවිඩයක් යැව්වා. කුලරත්න ටීචර්ට විස්තරේ ඔක්කොම කියලා තෙන්නකෝන් ටීචර් මගේ ඔලුව අතගාලා කිව්වේ "හෙට ඉඳලා මගේ පුතාගේ පන්තිය 5 - D. මේ තමයි පුතාගේ ටීචර්". කුලරත්න ටීචර් මගේ ඔලුව අත ගාලා ලඟට ගත්තා. මට දැනුනේ කුලරත්න ටීචර් අම්මා කෙනෙක් වගේ. ඊට පස්සේ ඉස්කෝලේ ඇරුණා. මායි තාත්තයි දෙන්නම තෙන්නකෝන් ටීචර්ට වැඳලා ගෙදර යන්න පිටත් වුනා.

ගෙදර යන ගමන් තාත්තා මාවත් එක්කරගෙන කෙලින්ම ගියේ කුරුණෑගල රිචඩ් පොත් සාප්පුවට. ඒ ගිහින් පොත් ලයිස්තුවේ ඔක්කොම අරන් දුන්නා. මං ඇහුවා “කොහෙන්ද තාත්ති සල්ලි?”, "මං ඔෆිස් එකෙ යාලුවෙක්ගෙන් ඉල්ලාගෙන ආවා පුතේ". ඊට පස්සේ තාත්තා මාව රත්නගිරියට එක්කරගෙන ගිහින් කන්නත් අරන් දීලා ගෙදර එක්කරගෙන ගියා. ගිහින් එදා රෑ වෙනකල් තාත්තයි මායි පොත් වලට කවර දැම්මා. තාත්තා ඊළඟ දවසෙත් නිවාඩුවක් දාලා මාව ඉස්කෝලෙට අරන් ගියා. මට මතක විදියට මං සන්තොසෙන්ම ඉස්කෝලේ ගිය දවස. කුලරත්න ටීචර් මාව ඔලුව අත ගාලා පන්තියට අරගෙන අදටත් මගේ හොඳම යාලුවෙක් වෙන රජිත (Rajitha Chandradasa) ලඟින් වාඩි කරා.

මං ඔක්කොම ඉවරයි කියලා හිතුවත්, ටික වෙලාවකින් කුමාරිහාමි ටීචර් 5-D පන්තියට ආවා. කුලරත්න ටීචර් ඉඳිද්දීම, කුමාරිහාමි ටීචර් තරහ පිට කරේ "ඔය ළමයා හිතන්න එපා, තාත්තත් එක්ක ඇවිත් ලොකු වැඩක් කරා කියලා ". එහෙම කියලා මං දිහා රවන් බලාගෙන හිටියේ හරියට මාව ගිලින්න වගේ. ඊට පස්සේ යන්න ගියා. එතනින් ඒ සිදුවීම ඉවර වුණා. මං කවදාවත් කුමාරිහාමි ටීචර් මුණට හමු නොවෙන්න වග බලාගත්තා. ඈතින් එනවා දකිද්දී මං යන පාර වෙනස් කරලා දිව්වා. කොහොමහරි කුලරත්න ටීචර්ගෙන් විතරක් ඉගෙන ගෙන කිසිම අමතර පන්තියකට යන්නේ නැතිව ශිෂ්යත්වෙත් හොඳටම සමත් වුනා.

මොනවා වුනත් මගේ අවුරුදු 13ක ඉස්කෝල ජීවිතේ මේ වගේ වෙන සිදුවීමක් වුනේම නෑ. අනිත් හැමෝම මට හමුවුනේ ගුරුවරු නොව ගුරු දෙවිවරු. කුමාරිහාමි ටීචර්ත් කලබල නොවී මගේ කතාව ඇහුවානම් කියලා අදටත් මට හිතෙන වාර අනන්තයි, අප්රමාණයි. මගේ දුව තාම හුරතල් වෙනකොට මට තාමත් හිතෙන්නේ මම කොහොමද ඒ සිදුවීම දරාගත්තේ? සහ කොහොමද මට මේ සිදුවීම මේ තරම් මතක? අවසානයේ මට හිතෙන්නේ ගුරු වෘත්තීය කියන්නේ මොන තරම් සංවෙදී වෙන්න ඕන එකක්ද කියලා?
~ මේ මගේ පොඩි කාලේ හිතට වැඩියෙන්ම දුක හිතුන සිදුවීම, දැනට වසර 25ට එහා...


Saturday, May 16, 2020

කොරෝනා ලියවිලි 8 – CIMA නොහොත් සිමා


කොරෝනා කතන්දරේ තාම ඇදීගෙන යනවා. පහුගිය කාලේ ගොඩක්ම ලිව්වේ ඉස්කෝලෙ කාලෙ වුන රසවත් සිදුවීම්. මේ ලියන්න යන්නේ ජීවිතේ කරපු ලොකුම මෝඩකමක්ද කියලා තාමත් හරියට තේරෙන්නෙ නැති වෙන දෙයක් වෙන්නේ හොඳටනේ කියලානේ තාම හිතාගෙන ඉන්න තවත් එක ගොන් වැඩක්. ඒලෙවල් ලියලා රිසාල්ට් එකත් ඇවිත් කැම්පස් පටන් ගන්නකල් කාලෙ ගතවුනේ එක එක කිසිම අරමුණක් නැති වැඩ එක්ක. අවුරුද්දක් විතර තිබුන නිසා එක එක වැඩ ගොඩක් කරා. සතියේ දවස් වලට නුවර හන්තානේ ලොකුඅම්මලාගේ ගෙදර ගිහින් මගේ බොක්කෙ ෆිට් එක වෙන උදිත (Uditha Liyanage) මලයාට ටොකු ඇන ඇන ඕලෙවල් ගණිතයෙ ගණන් හැදෙව්වා. දවල් වෙලාවට නුවර ටවුමේ ඇවිද්දා හිස හැරුණු අතේ. කෝච්චි පාර දිගේ ඔහේ ඇවිද්දා. වික්ටරි රෙස්ටොරන්ට එකට ගිහින් තනියම පොඩි අඩියකුත් ගහනවා.බ්රිටිශ් කවුන්සිල් එකේ එන්ග්ලිශ් කෝස් එකකුත් කරා. කුරුණෑගල හිටියොත් අවාරෙට පොල් වැටෙනවා වගේ තිලක් අමරතුංග සර්ගේ ස්පෝකන් එන්ග්ලිශ් පන්ති යනවා. දුමානිත් එක්කත් පොඩි පොඩි රවුම් හොරාට යනවා. නරයගෙයි(Amila Narasingha) ශාලිකයගෙයි (Shalika Jayarathna) අකලංකයගෙයි (Akalanka Senevirathne) නිපුනයගෙයි(Nipuna Sankalpa) ගෙවල්වල යනවා. ට්රිප් යනවා හිතෙන හිතෙන තැන්වල.

ඔහොම හිටපු ජීවිතේට කෙලවෙන කෝල් එකක් දවසක් ආවා නුවර ලොකුඅම්මලාගෙ ගෙදර ඉද්දී. කැම්පස් පටන් ගන්න මාස හයක් වගේ කිට්ටු කරලා ආවේ මතක විදියට. "මචං ජයා, මම ලබන සතියේ සිමා කරන්න යනවා. උඹ සෙට් වෙනවද?" අසිතයා(Asitha Bandara) තමයි කෝල් එක දුන්නේ. "මොකක්ද බං ඒ? ලාවට අහලා තියෙනවා. කොහෙද තියෙන්නේ කුරුණෑගලද?" මම ඇහුවා. "කුරුණෑගල මොන සිමාද බං, කොළඹ තියෙන්නෙ. මැනේජ්මන්ට් අකවුන්ටන්සි ගැන සටිෆිකේට් එකක් බං, වරෙන් කරමු" අසිතයා දැන් විස්තර කරනවා. "මැත්ස් කරපු උන්ට සෙට් වෙනවද බං? අනේ මන්දා" මම කියනකොට "ඔව් ඔව්, වරෙන් කරමු. උඹ එනවානම් මට කියපන්. මමනම් කොහොමහරි කරන්න තමයි ඉන්නේ" කියලා මූ හෙන ගාණකුත් කිව්වා කෝස් ෆීස් විදියට. මම ඉතින් ඒ කාලෙ වැටෙන වලක තනියම වැටෙන්නෙ නෑ ඉතින්. අකලංකයත් ඇදගෙනම තමයි වැටුනොත්. ඒ වෙලාවෙම ගත්තා අකලංකයට කෝල් එකක්. "ඔව් කියපන්" උගේ සුපුරුදු ටෝන් එකෙන් ඇහුවා. "මචං අසිතයා කතා කරා සිමාද මොකක්ද එකක් කරන්න. මාත් මේ හිතුවේ නිකන් ඉන්න එකේ කරමු කියලා, කොළඹ තියෙන්නේ ක්ලාසස්. උඹ එනවද?" මම විස්තරේ කිව්වා. "මොකක්ද ඕක කරපුවාම වෙන්නේ? මම දන්නේ නෑ. උඹත් යනවානම් මාත් සෙට් වෙන්නම්" අකලංකයා කිව්වා. "සටිෆිකේට් එකකුත් හම්බෙනවලු බං, කරල දාමු" කියලා දැන් ඉතින් අපි දෙන්නම අසිතයත් එක්ක වැඩේට සෙට්. ගෙවල්වලටත් දුන්නා දොඹෙන් ටෝක්ස් ටිකක්. ඔහේ නිකන් ගෙදරට වෙලා ඉන්නෙ එකේ මොනා හරි වැදගත් දෙයක් කරපු දෙන් කියලා ගෙවල්වලිනුත් හිතන්න ඇති.

සතියේ දවසක කෝස් එකට රෙජිස්ටර් වෙන්න කියලා මමයි අකලංකයයි අසිතයයි ගියා කොළඹ. කොණ්ඩෙත් ඔහේ වවාගෙන සුපුරුදු ගොඩයො වගේ අපි තුන්දෙනාම ගියේ කොල්ලුපිටියේ සිමා කෝස් එක කරන විස්ඩම් එකට. අපේ තාත්තාත් කොළඹ ඔෆිස් එකේ ඉඳලා ඇවිත් තිබුනා විස්ඩම් එකට. ගියාම තමයි වැඩේ බරපතලකම තේරුණේ. ඒ කාලේ කුරුණෑගල දකින්න නැති අමුතු ආකාරයේ කොළඹ කෑලි එහෙම අම්බානක. කඩ්ඩෙන් කොටනවා ඇහෙනවා සට පට ගාලා. උන් අපි දිහා බැලුවේ පිටසක්වල උන් දිහා බලනවා වගේ. අකලංකයයි මමයි මූණට මූණ බලං හිටියේ කොර වෙලා. කෝස් එකට රෙජිස්ටර් වෙන්න ගිය ගමන් එතන හිටපු ගෑනිත් කොටන්න ගත්තා කඩ්ඩෙන්ම. ඒ වෙලේ තාත්තාව ඉස්සරහට දාලා බේරගත්තා වැඩේ. බර ගාණක් ගෙවලා සබ්ජෙක්ට් පහටම රෙජිස්ටර් වුනා. හෙන කෝස් මැටිරියල් ගොඩකුත් දුන්නා. වැඩේ හිතපු තරම් ලේසියෙන් සටිෆිකේට් ගන්න වැඩක් නෙමි කියලා තේරෙනකොට පහු වෙලා වැඩියි. "යකෝ මේක මේ අවුරුදු ගාණක් ඇදෙන සීන් එකක්නේ" අකලංකයා ශේප් එකේ කියනවා. හැබැයි වටේ පිටේ දැක්කම ඔන්න ඔහේ කරමු කියලා හිත හදාගෙන වැඩේට ලෑස්ති වෙලා ගෙදර ආවා. ලොකුම අවුල තිබුනේ කෝස් එක යන්නේ කඩ්ඩෙන්. ජීවිතේට කඩ්ඩෙන් කෝස් එකක් කරලා තිබුනේ නෑ. ඕලෙවල් කඩ්ඩට ඩිස්ටින්ක්ශන් එකක් තිබුනාට කඩ්ඩෙන් කියලා එකම එක පොතයි ඒ වෙද්දී කියවලා තිබුනේ. ඒ මඩොල් දූවේ එන්ග්ලිශ් පොත. ඒකත් තේරුණේ ඒකේ සිංහල පොත කියවලා තිබුන නිසා. ඒලෙවල් කඩ්ඩ ඒ අස්සේ ෆේල් දෙවැනි සැරේ. පලවෙනි පේපර් එකේ පොඩ්ඩක් ලිය ලිය ඉද්දී ශාලිකයා ගේම කෝල් කරලා ඇතාගලේ එක්කරගෙන ගියා පොඩි අඩියක් ගහලා දෙවෙනි පේපර් එක ලියන්න එමු ආපහු කියලා. ගියා ගියාමයි ඇතාගල කැලේ අස්සේ වැඩිවුන පාර ආයි දෙවෙනි පේපර් එක ලියන්න එන්න වුනේ නෑ. අදටත් ඒලෙවල් සටිෆිකේට් එකේ එන්ග්ලිශ් ෆේල්. විලි ලැජ්ජාවයි.

කොහොමහරි කෝස් එක පටන් ගන්න දවස ආවා සතිඅන්තේ. අකලංකයයි, අසිතයයි, මමයි පාන්දර හතරයි ගාණකට වගේ බස් එකේ නගිනවා කුරුණෑගලින්. දෙයියනේ කියලා පැය එක හමාරෙන් විතර එනවා ඩීඑස් බස් එක කණ පැලෙන්න අජිත් මුතුකුමාරණගේ සිංදු ටිකත් දාලා. ඒක තමයි දරාගන්නම බැරිම. උදේ හය හමාර වෙද්දී අපි එතන. ටික වෙලාවක් යද්දී මෙන්න අපේ පරාත් (Parakrama Ratnayake) ඇවිල්ලා. දැන් ඉතින් අපි මලියදේවෙන්ම හතර දෙනෙක්. පොඩි ගැම්මක් ආවා හතර දෙනාම ඉන්න නිසා. එතනම තියෙන ලක්මාලි හෝටලෙන් උදේට කාලා එහෙම හතර දෙනාම ගියා පන්තිය ඇතුලට. කඩ්ඩේ අවුල නිසා ගියේ ඉතින් පිටිපස්සේ පේලියකට. අපිට ඉතින් හෙනම ආගන්තුකයි සීන් එක. කලාස් එක ඒසී කරලා පොශ් පොශ් කෙල්ලො කොල්ලො වට කරගෙන. අපේ ගොඩේ ලුක් එකත් එක්ක අපේ පේලියට කොළඹ එකෙක්වත් එන්නෙත් නෑ. ඔහොම ඉද්දී තවත් අපි වගේම ගොඩේ ලුක් එකක් තියෙන පොරකුත් ඇවිත් අපිත් එක්ක සෙට් වුනා. උගේ ගමත් අහලා බලපුවාම නාත්තණ්ඩිය. උගේ නම උදාර(Udara Wijesinghe) වුනාට අපි උට ටික දවසක් යද්දී කිව්වේ නාතයා කියලා. ඔන්න ක්ලාස් එක පටන් ගත්තා උදේ 8ට. මුලින් පටන්ගත්තෙ මැනේජ්මන්ට් අකවුන්ටන්සි කියලා සබ්ජෙක්ට් එකක්. ඒක කරේ සවුමි කියලා සිරා ලෙක්චරර් කෙනෙක්. පොරගේ කඩ්ඩත් ටික ටික තේරුණා. වැඩේ ශේප් එකේ ගියා. අනික් සබ්ජෙක්ට් ටිකත් දවස පුරාම ගියා. දවස ඉවර වෙද්දී අපි හතරදෙනයි නාතයයි හිටියේ පොල්ලෙන් ගහලා වගේ

කොහොමහරි ක්ලාස් ටික සති අන්තෙට මුලු දවසමයි, සතියේ දවස්වලත් දවස් දෙක තුනක් හවස 5;30 ඉඳලා 8.30 වෙනකල් වැටුනා. කොමස් කරපු උන් ටිකක අමාරුයි කියපු මැත සබ්ජෙක්ට එක අපි හතර දෙනාට ගේමක් නෑ. අකවුන්ටින් සබ්ජෙක්ට් දෙකත් දෙයියනේ කියලා තේරෙන්න ගත්තා. ඒලෙවල් කොමස් කරලා හිටපු නාතයත් සපෝට් එකක් දුන්නා. හැබැයි ඉතින් ඉකෝන් කරපු පොර උගන්නපු මෙලෝ ලබ්බක් තේරුනේ නෑ. "When inflation also high….." කියලා පොර කිව්ව ගමන් මම අකලංකයගෙන් ඇහුවා මොකක්ද බං ඒ මගුල කියලා. "මොකක්ද බං inflation කියන්නේ" මම අහපු ගමන් අකලංකයා රවලා බලලා කීවා "මම කොහොමද දන්නේ ප** " කියලා. තේරෙන්නෙම නැති නිසා උට මලම පැනලා ඉඳලා තියෙන්නෙ. නාතයා ඉන්ටවල් එක්කදි කිව්වා "inflation කියන්නේ උද්දමනයට බං" කියලා. බිස්නස් ලෝ සබ්ජෙක්ට් එකත් ඉකෝන් කරපු බුවාම තමයි කරේ. අර යකා vs මේ යකා, මේ යකා vs අර යකා කියලා හෙනම විකාරයක්. මෙහෙම මාසයක් විතර වැඩේ ගියා. හැබැයි කුරුණෑගල ඉඳලා උදේ හවස සතියට දවස් පහක් විතර එන එක සෑහෙන මහන්සි වැඩක් වුනා. සතියේ දවසට හවස 1.30 ට කොළඹ එන කෝච්චියෙන් ඇවිත් රෑ කොටුවෙන් 9;30 කෝච්චියේ ආපහු එන්නේ. සති අන්තෙට පාන්දර බස් එකේ ඇවිත් රෑ 7:15 ට එන මඩකලපු කෝච්චියෙ එනවා. සතියෙ දවසට රෑ 8:30 ට පන්ති ඉවර වෙලා අකලංකයයි මමයි ගොඩක් දවසට කෝච්චියට නගින්නේ කොටුවේ බාර් එකකටත් ගොඩ වැදිලාම තමයි. ඊට පස්සේ ෆුට් බෝඩ් එකක වාඩි වෙලා සීතලේ යනවා. කුරුණෑගලින් බහිද්දී රෑ 11.30යි. ඒ කාලේ ඉතින් අපේ ගෙදරට යන්නේ එතන ඉඳලා අපි දෙන්නම පයින්. ඒ පයින් යනකොට ගෝල්ඩ් ලීෆ් 12 පැකට් එකකුත් හෙමින් හෙමින් ඉවර වෙනවා පැයක් වගේ පයින් යද්දී. අතට අහුවෙන කොල ටිකක් අතේ පොඩි කරලා චුවින්ගම් එකකුත් හපලා ශේප් එකේ උඩ තට්ටුවට ගිහින් නිදාගන්නවා

ඔහොම අමාරුවෙන් යද්දී එද්දී අපේ තාත්තා කිව්වා එයාගේ යාළුවෙක්ගෙ සර්විස් සෙන්ටර් එකක් තියෙනවා ගල්කිස්සේ. එතන කාමරයක් තියෙනවා අපිට ගිහින් ඉන්න පුලුවන් කියලා කිව්වා. අපිට ෆුල්ම සැටිස්. ඊට පස්සේ අකලංකයයි, අසිතයයි, මමයි සෙනසුරාදා දවසක පන්ති ඉවර වෙලා දුන්න ඇඩ්රස් එක හොයාගෙන ගියා. ගල්කිස්සෙ හේන පාර ඇතුලට වෙන්න තිබුනෙ තැන. අපි දත කට මැදගෙන ඇතුලට ගියා සර්විස් එකට. එතන තිබුන පරණ ගෙයක් ඇතුලේ තමයි කාමරේ තිබුනේ. බලාපොරොත්තු බැඳගෙන කාමරේ ඇතුලට ගියාම අපි තුන් දෙනාටම කෑ ගැස්සුනා. සැපට හැදිලා හිටපු අසිතයට ඇඬුනා කෙලින්ම. කාමරේ පරණ ඇඳන් දෙකක් තිබුනා. බාත් රූම් එක දිහා බලන්නත් අමාරු තරමට ජරා වෙලා. "ඒ, මටනම් ඉන්න බෑ බං මෙතන, මම යනවා" කියලා අසිතයා ආපහු කුරුණෑගලම යන්න ගියා. අකලංකයටයි මටයි ඒ කාලේ උලත් එකයි පිලත් එකයි. "ඔන්න ඔහේ ඉමු බං දෙකක් දාගෙන" දෙන්නම කතා වුනා. ආපහු පාර පැත්තට ඇවිත් දෙකක් දාගෙන එතනට ගිහින් නිදාගත්තා. උදේ පාන්දර නැගිටලා දත් ටික මැදන් විස්ඩම් එකට ඇවිත් ඉතුරු වැඩ කටයුතු විස්ඩම් එකේ වොශ් රූම් එකෙන් කරගෙන ක්ලාස් එකට ගියා. මොනා වුනත් කුරුණෑගල ගිහින් ආපහු ඊළඟ දවසේ මහ පාන්දර ආපහු එන එකට වඩා ඒ ගුබ්බෑයම අපිට සැපක් වුනා.

දැන් වැඩේට මාස දෙකක් විතර ගිහින්. කොළඹ ගමන අපි සෙට් එකම ආතල් එකේ එනවා. ඒත් ඉකෝන් සබ්ජෙක්ට් එකයි ලෝ එකයි හරියන්නෙම නෑ. අකලංකයගෙයි මගෙයි නරක පුරුදු මතු වෙන්න ගත්තා. අර සබ්ජෙක්ට් දෙක එකම ඩයල් එක උගන්නන නිසා තියෙන්නේත් පැය 4ක් විතර එක දිගට. අපි දෙන්නා පටන් ගත්තා කට් එක දාන්න. අසිතයයි පරායිත් ඉඳලා හිටලා කට් එක දාන්න සෙට් වුනා. අසිතයට ඒලෙවල් කාලේ ඉඳලා පන්තියක සැපට නිදන්න පුරුදු වෙලා හිටපු නිසා ඌ ඉතින් නිදන්න හරි ඇතුලට වෙලා හිටියා. අපි ඔහොම කට් කරලා ගිහින් ෆිල්ම් බලන්න පටන් ගත්තා ලිබර්ටි එකේ එහෙම නැත්නම් එම්සී එකේ. ඒ කාලේ ඉතින් එම්සී යනවා කියන්නේ ඉතින් වෙනම සීන් එකක්. එස්කැලේටර්, ලිෆ්ට් වගේ ඒවා දැක්කෙත් එම්සී එකේ. ලිබර්ටි එකේ ඩූම් ෆිල්ම් එක බලපු එකයි එම්සී එකේ "කල් හෝ නා හෝ" බලපු එකයි තවම මතකයි. කුරුණෑගල ඒ කාලෙ තිබුන හෝල් එක්ක බලද්දී ෆිල්ම් වැඩේ නැගලම ගියා. දවසක් අපි දෙන්නා කට් එක දාලා එලියට එද්දී විස්ඩම් එක ළඟම තාප්පේ පෝස්ටරයක් ගහලා අලුතින්ම "ඇමරිකන් ඩ්රැකියුලා...අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි...18න් පහල කිසිවෙකු ඇතුල් කරනු නොලැබේ" කියලා. මම දැකපු ගමන් කිව්වා "අඩේ අරක බලමුද බං" කියලා. "පිස්සුද බං? අපේ ගෙදර ඇති තරම් තියෙන්නේ බං හාඩ් ඩිස්ක් එකේ, වෙන මොකක් හරි බලමු බං" අකලංකය වැඩේට පස්ස ගහනවා. "අර බදුල්ලේ ගිහින් බලපු එක වගේ ඇති බං, 18න් පහල උන් ගන්නෙත් නෑ කියලා තියෙන්නේ, යමුකෝ බං" මම කොහොමහරි බැලන්ස් කරා. අකලංකයා අකමැත්තෙන්ම "හා යමන්" කියලා සෙට් වුනා. අපි දෙන්න එතනින් කෝච්චියක නැගලා මරදානට ගියා. මරදාන නිව් ඔලිම්පියා එකේ තමයි තිබුනේ. ටිකට් දෙකක් අරං ගියා ඇතුලට. අපි දෙන්නයි කපල් දෙක තුනකුයි විතරයි හෝල් එකටම. බෙල් එකත් ගහල වැඩේ පටන් ගත්තා. මට කෑ ගැස්සුනා. එක්දාස් නවසිය හැට ගණන්වල වගේ හද්ද පරණ කළු සුදු ඩබලක්. විලි ලැජ්ජාවේ බෑ මට. අකලංකයා දිහා බලන්නවත් බෑ, ඌ තරහෙ පුපුරනවා. මට හිනාවෙන්නද අඬන්නද කියලා තේරෙන්නෙ නෑ. ටික වෙලාවක් යද්දි බැරිම තැන මම ශේප් එකේ තරහින් ඉන්න අකලංකයගෙන් ඇහුවා "අඩේ මාර අප්සට් එක නේද බං?" කියලා. "පල හු*** යන්න, මම තොට කිව්වා එන්න කලින්ම, දැන් හිටපන් බලාගෙන". මම ඉතින් වැරැද්ද බාරගෙන උගෙ තරහ පොඩ්ඩක් අඩු වෙනකල් ඉඳලා ඉන්ටවල් එකේ එලියට ආවා හිත හදාගෙන. අරූ මට ගල්කිස්සට යනකල් බැන බැන ගියා. හැබැයි අදටත් මට නිව් ඔලිම්පියා එක දකිද්දි මේක මතක් වෙලා හිනා යනවා.

ඔය විදියට සිමා ගමන දැන් මාස තුනක් විතර ගියා. සති අන්තේට අපි දෙන්නා රෑට ගල්කිස්සේ ගුබ්බෑයමේ. බොන්නෙ නැතිව ඒ කුණු පොට් එකේ කීයටවත් සිහියෙන් ඉන්න බෑ. එතන සෙට් කරපු තාත්තාට හිතින් බැන බැන අපි එතනම ඉන්නවා එක රැයයිනේ කියලා හිත හදාගෙන.දවසක් අපි දෙන්නා රෑ 9ට විතර ටිකක් විතර සෙට් වෙලා දුමකුත් දාගෙන ගල්කිස්සේ ප්ලේස් එකට යනවා. හේන පාර දිගේ ගිහින් ඇතුලට හැරිලා වෙනදා යන පාර දිගේම දැන් යනවා ඉතින් වෙනදා වගේම. ඔහොම යද්දී කළුවරේ එක පාරටම දැකපු දෙයින් අපි දෙන්නට වෙරි බැස්සා. එහෙම්මම එතන බිම ඉඳගත්තා පඩියක් උඩ. අපි නතර වෙන තැන කිසිම දෙයක් නෑ. හිස් ඉඩම විතරයි, සර්විස් සෙන්ටර් එකත් නෑ, අපේ කාමරේ තිබුන ගේ කෑල්ලත් නෑ."කෝ බං අපේ පොට් එක?" අකලංකයා කොර වෙලා මගෙන් අහනවා. "ඒකනේ බං, ඒක නෑනේ" මටත් කට උත්තර නෑ. තාත්තට කෝල් එකක් අරන් විස්තරේ කිව්වා. තාත්තත් මෙලෝ දෙයක් දන්නේ නෑ. මෙන්න ටිකකින් කෝල් එකක් එනවා "පුතේ, එතන බිල්ඩිම කඩල අයින් කරලා මේ සතියේ අලුතින් එතන හදන්න" කියලා තාත්තා කිව්වා. අපි දෙන්නට මලේ මල. ආපහු කුරුණෑගල ගිහින් ඊළඟ දවසේ උදේ පාන්දර එනවා කියන්නේ ඒ වෙලාවේ හිතන්නවත් බැරි වැඩක්. සිගරට් එකකුත් පත්තු කරගෙන කල්පනා කර කර ඉද්දී අකලංකයා කිව්වා "මචං, ඔප්ශන් දෙකයි තියෙන්නෙ. එක්කෝ මෙතනම බිම හරි බුදියගමු, නැත්නම් අපේ ලොකුඅම්මා ඉන්නවා පාන්දුරේ, එහේ යමු" කියලා. "යමං ලොකුඅම්මලාගේ ගෙදර, මෙතන හිටියොත් මැරෙනවා මදුරුවෝ කාලා" කියලා අපි දෙන්නම පානදුරේ යන්න පිටත් වුනා.

අපි ලොකුඅම්මලාගෙ ගෙදර යනකොට රෑ 10.30ට වගේ. කෝල් එකක් දීලා ගියපු නිසා කෑමත් ලෑස්ති කරලා. අකලංකයගේ ලොකුඅම්මත් උන්ගේ අම්මා වගේම හොඳයි. කතාවත් එක දිගටම ඒ වගේ. පාන්දුරේ ඒ ගෙදර ලොකු ගෙදරක්. ඒ අන්කලුයි ඇන්ටියි දෙන්නම මහ බැංකුවේ වැඩ කරන්නේ ඒ කාලේ. අයියලා දෙන්නෙක්ම ඕස්ට්රේලියාවෙ පදිංචිය. අපි දෙන්නට ෆුල් සැප ලොකු කාමරයක් එක්ක ලොකු ඇඳක් සෙට් වුනා. මට නිකන් දිව්ය ලෝකෙ ආවා වගේ. "ඇයි බං කලින් මේක ගැන කිව්වේ නැත්තේ?" මම අකලංකයගෙන් ඇහුවා. "මම හිතුවා දුර වැඩි වෙයි" කියලා ඌ කියද්දී "මෙහෙම සැපට ඉන්න තියේනම් මොනා වුනාම මොකෝ බං" කියලා මම කිව්වා. එදා ඉඳලා සිමා ක්ලාස් ටික ඉවර වෙනකල්ම අපි සෙනසුරාදා රෑ පාන්දුරේ. එහේ අන්කල්ගේ ඔස්ට්රේලියා කතා අහගෙන රෑට පොඩි කයිවාරු ටිකක් ගහලා අපි සැපේ හිටියා. ඔහොම ගිහින් ක්ලාස් වැඩේ ඉවර වුනා. දැන් කැම්පස් පටන් ගන්නත් ලොකු කාලයක් තිබුනේ නෑ. මේ වෙනකොට අපි දෙන්නගෙම ගෙවල් වලින් ක්ලාස් ෆීස් වලටයි අපිට කොළඹ එන්නයි සෑහෙන ගානක් වියදම් කරලා තිබුනේ. අපි දෙන්න වැඩිය පාඩමක් නොකරත් ගෙවල් ගැන දුක හිතිලා එක්සෑම් එකත් කරමු කියලා ගෙවල්වලින් සල්ලි ඉල්ලගෙන ඒකටත් රෙජිස්ටර් වුනා. දෙයියනේ කියලා මේ වෙද්දී එකෙක්ගෙන් ඒ කාලෙ විදියට ලක්ශයක් විතරම කයිට් වෙලා තිබුනේ

ක්ලාස් ඉවර වෙලා අපි දෙන්න හිත හදාගෙන ෆුල් බොක්කෙන්ම වැඩේ ගොඩදාමු කියලා අකලංකයගෙ ගෙදර සතියට දවස් 2-3ක් සෙට් වුනා. අපි දෙන්න ෆුල් බොක්කෙන් පාඩම් කරනවා කියලා අකලංකයගේ අම්මා අපි දෙන්නට සුපිරියටම කෑම එහෙම හදලා දීලා වැඩට යනවා. අපි දෙන්නත් එලියෙ ඉස්තෝප්පුවට මේසයක් එහෙම දාලා වැඩේ පටන් ගන්නවා. ඉකෝන් සහ ලෝ සබ්ජෙක්ට් දෙක ඇරෙන්න අනික් ඒවා ටික ලස්සනට සෙට් වීගෙන ආවා. ඒත් මේ වැඩේටත් හෙනහුරා පාත් වුනා. ඒ අකලංකයගේ අල්ලපු වත්තේ හිටපු අපේ ෆුල් බොක්කක් වුන චමිලයා. ඇන්ටි යනවා බලාගෙන ඉඳලා මූ එනවා වත්ත දිගේ පානිය දාගෙන අත වන වනාම. ඒ ඇවිත් අපි දෙන්න ළඟින් වාඩි වුනාම දුම් ගහලා එලෙව්වත් ඌ යන්නේ නෑ. උගෙ බොරු ටික ඔක්කොම කියලා අපේ කෑම ටිකටත් වැඩේ දීලා ඇන්ටි දවල් වෙලා ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන්න කිට්ටු වුනාම තමයි ඌ යන්නේ. ඇන්ටි ආපුවම තමයි අපි දෙන්න ටිකක් වැඩක් කරන්නේ. ඊට පස්සේ හවස පහ වගේ වෙද්දී උදේට ආවේ නෑ වගේ චමිලයා ආපහු එනවා. ඇවිත් අපි තුන් දෙනාම එක්කෝ පයින් එහෙමත් නැතිනම් බයිසිකල් පැදගෙන කරඳගොල්ලෙ ගාමන්ට් එක ළඟට යනවා ගාමන්ට් එක ඇරෙන වෙලාව වෙද්දී. එතන පොඩි කෑම කඩයක් තිබුනා, ඒක කරේ සුනිල් අයියා කියලා ඩයල් එකක්. අපි යන්නේ ඒ කඩේට, චමිලයා එතන ඉඳලා කඩේ අයිතිකාරයා වගේ.සුනිල් අයියා කෑම විකුණන ගමන් අපි එතන ඉඳලා සිගරට් දෙක තුනක් බීලා පොරගේ කෑමත් මොනවහරි කනවා. චමිලයා අපිට කොත්තුවක් දානවා සුනිල් අයියට පැත්තකට වෙන්න කියලා. "සුනිලා පැත්තකට වෙයන්, අපි දාගන්නම්" කියලා චමිලයා ගහනවා බීෆ් කොත්තුවක් සුනිල් අයියට කෑ ගැස්සෙන්න. බීෆ් සහ රොටී එකට එක අනුපාතෙට ගහන්නේ. සුනිල් අයියාට ඇඬෙනවා ඒක දැක්කම. පැය තුන හතරක් අපි එතන ඉන්නවා සුනිල් අයියා කඩේ වහනකල්ම. එහෙම ඉද්දි සුනිල් අයියට අපි බීපු සිගරට් එහෙම මතකම නෑ. කාපු බීපුවගෙන් බාගෙක විතර බිලක් තමයි අපි ගෙවන්නේ. ටික කාලයක් යද්දී සුනිල් අයියා අපි එනවා දැක්කම ඇත්තටම අඬනවා, විශේෂයෙන්ම චමිලය දැක්කම. පස්සේ ආරන්චි වුනා ඒ කඩේ වැහුනා කියලා.

කොහොමහරි පාඩම් කරන වැඩේ දිගටම වුනේ නැ චමිලයත් එක්ක ආතල් අරන්ම. දවසක් මූ අපිට ටෝක් දීල දීලාම අන්තිමේට එදා රෑ වෙද්දී අපි නතර වුනේ හදිස්සියේ සිරීපාදෙම ගිහින්. අන්තිමේට කැම්පස් යන්න සෙට් වුනා අපිට. ගෙවල්වලින් අහනවා එක්සෑම් එක ගැන. අපි හෙනම ගේමක් දීලා කිව්වා අනිවාර්යෙන්ම අපි දෙන්න කැම්පස් ගිහින් කරනවා කියලා. අන්තීමේට කැම්පස් ගිහිනුත් අකලංකයයි මමයි එකම බැච් එකට සෙට් වෙලා එකම බෝඩිමටම සෙට් වුනා. කීප සැරයක්ම සිමා පාඩම් කරන්න සෙට් වුනත් වැඩේ හරි ගියේ නෑ. ඊට පස්සෙ වැඩේ අල්ලල දැම්මා. අසිතයයි පරායි විතරක් දිගටම කරලා උන් දෙන්න ඔක්කොම ගොඩ දැම්මා. ඒත් අපි දෙන්නගෙ සිමා ගමන එතනින් ඉවර වුනා. ගෙවල්වලින් කරපු වියදම එහෙම් පිටින් අපතේ ගියා. ඉඳලා හිටලා සිමා මතක් කරලා ගෙවල්වලින් පොඩි පොඩි හින්ට් පාස් වුනා. ඒත් කැම්පස් කතන්දරේ නිසා ටිකක් බැලන්ස් වුනා. ජාවා කෝස් එකක් කරන්න දවසක් ගෙදරින් සල්ලි ඉල්ලුවාම "පුළුවන්නම් මේකත් සිමා වගේ කරනවා" කියලා තාත්තා පොඩි කිණ්ඩියක් දැම්මා. ඒකේ මලට මමයි අකලංකයයි නතර වුනේ ජාවා සටිෆිකේශන් හතරක්ම කරලා. ඊට පස්සේ ගෙවල්වලින් වැඩිය මුකුත් කිව්වේ නෑ.

ඉතින් තාමත් අපිට තේරෙන්නෙ නෑ අපි කරේ වැරැද්දක්ද හරි දෙයක්ද කියලා. සිමා නැතිව වුනත් ජීවිතේ යම් තැනක අපි ඉන්නවා අද. හැබැයි සිමා ක්ලාස් කරලා ඉවර වෙද්දී අපේ කඩ්ඩනම් සෑහෙන හොඳ තැනක තිබුනා. කැම්පස් ඇවිත් කඩ්ඩෙන් ලෙක්චර්ස් යද්දී ලොකු අවුලක් වුනේ නෑ. අදටත් විස්ඩම් එක, සිමා ලෝගෝ එක දැක්කම මතක ගොඩාක් ආපහු මතක් වෙනවා. කවුරුහරි සිමා කරන්න හිතන් ඉන්නවානම් මේ කතාව අමතක කරලා හරියට කරලා ගොඩ යන්න. සිමා කියන්නේ ලෝකෙ පිලිගත්ත වෘත්තිය සුදුසුකමක්. මීට සිමා කරලා කෙලවුන අපි...සමාවෙන්න තාත්තේ




Friday, May 8, 2020

කොරෝනා ලියවිලි 7 - කල්ලා සර්

වෙසක් එකත් ඉවරවුනා. පහුගිය කාලෙනම් වැඩ ඉවර වෙලාවට අලුතින් හදපු "මලිදෙව් මතක - අතිශයින්ම ඇත්තුන්ට පමණයි" කියන බුකියේ අපේ ගෘප් එකට නිතර ගියා. එතනට ටික වෙලාවකට ගියාම ආපහු ඉස්කෝලෙ ගියා වගේ තමයි. හැමෝම තම තමන්ගේ කාලෙ විනෝදාත්මක මතක ගොඩාක් එකතු කරලා. මලියදේවෙට පහර ගහපු "The Island Journal" කියලා ෆේස්බුක් පේජ් එකක් කොල්ලො ටික එකතු වෙලා කුඩේ කුඩු වෙන්නම බුකියෙන් අතුගාලා දැම්මා. ආපහු වෙනම එකක් පටන් ගත්තා. ඒකත් පැයක්වත් තිබුනේ නෑ. "Devans & Devians" ගෘප් එකෙනුත් ලොකු සහයෝගයක් ලැබුනා වැඩේදි. ඒ ගෲප් එකේ පටන් ගත්ත කවි මඩුව බුකියේ කවදාවත දැකල නැති විදියට මලියදේව ගර්ල්ස් පරණ කෙල්ලො ටිකයි මලියදේවේ කොල්ලො ටිකයි කවියෙන් හැප්පුනා. ජීවිතේට කවි ලියලා නැති මාත් දෙකක් දාගෙන කවි ලිව්වා. කෙල්ලොන්ට පරදින්න පුලුවන්ද එහෙමත්? කොහොමෙන් හරි මේ ගෲප් දෙකේම තව චරිතයක් ගැන හැමෝම නිතර කියන්න ගත්තා. ඒ තමයි කල්ලා සර්. ඒ ඔක්කොම බල්ද්දී කල්ලා සර් ගැන නොලියා ඉන්න බෑ.

සර්ගෙ නම චන්ද්රසේන වුනාට ඉස්කෝලෙ ගුරුවරයෙක් දෙන්නෙක් ඉඳලා හිටලා චන්ද්රසේන සර් කිව්වට හැමෝම සර්ට ආදරේට කිව්වේ කල්ලා සර් කියලා. ඒක අපි සර්ගෙන් ඉගෙනගන්න පටන්ගත්ත 2001 අවුරුද්ද හා සමකාලීනව පටබැඳුන නමක් නෙමි. කල්ලා සර් 1970 දශකයේ මුල් කාලෙ මුලින්ම ඇවිත් උගන්නන්න ඇවිත් තියෙන්නෙ අපේ තාත්තලාගේ පන්තියට. තාත්තලාත් කියලා තියෙන්නේ ඒ කාලේ ඉඳලාම කල්ලා සර් කියලා. කල්ලා සර් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කොල්ලො එක්ක ෆිට් වෙන චරිතයක්. හැමෝම සර් එක්කත් ෆිට්. සර් හැමෝටම අමතන්නේ එකම විදියට. ආදරේට ගොඩක් වෙලාවට කියන්නේ HP, එහෙමත් නැතිනම් WP වගේ ඒවා. කොල්ලො විතරක් ඉන්න ඉස්කෝලෙක උසස් පෙල කොල්ලො ටිකත් එක්ක සර්ටම ආවේණික විදියකට තමයි සර් වැඩකටයුතු කරගෙන ගියේ. සර්ගේ විෂය තමයි Physics. අපි උසස් පෙළට යද්දී සර් තමයි විද්යා අංශයේ අංශ ප්රධාන තනතුර දැරුවේ. අපිට උගන්නපු අනික් ගුරුවරුත් සර්ගේම ගෝලයො ඉස්කෝලෙ කාලේ. සර් අපිට ඉස්කෝලෙ ඉගැන්නුවේ නෑ, ඒත් අපි සර්ගෙ පන්ති ගියා. ගොඩක්ම සර් එක්ක විනෝදෙන් ඉන්න. සර් උගන්නන්නෙත් සර්ටම ආවේණික විහිලු තහලු කර කර. සද්දේ වැඩිනම් කොල්ලො ළඟට ඇවිත් කෙල්ලොන්ට ඇහෙන්නෙ නැති වෙන්න පොඩි කුණුහරුපයක් එහෙම කණට කොඳුරලා යනවා.

කල්ලා සර්ගෙ පලවෙනි පන්තිය අපි සෙට් කරගත්තෙ මල්ලවපිටියෙ පල්ලිය ළඟ පන්ති කාමරයක. ඒක සංවිධානය කරේ නිපුනයා(Nipuna Sankalpa). රජිතයයි(Rajitha Chandradasa) මමයි නිපුනයයි ඒකෙ ප්රධාන ශිෂ්යයෝ. වැඩිකල් දුවපු පන්තියක් නෙමි. සර්ගෙ අනික් අනන්යතාවය තමයි සර්ගෙ පරණ බයික් හුචක්කුව. වැස්සෙ නැත්නම් සර්ගේ ගමනාගමනය ඒකෙම තමයි. මල්ලවපිටියෙ පන්තියට ආපුවාම මම කොහොමහරි කරන්නේ සර්ගෙ බයික් එකේ යතුර උස්සන එක. සර් බෝඩ් එක බලන් ගාණක් ලිය්ද්දි වගේ යතුර ඇරගෙන මගේ සාක්කුවට දාගන්නවා. පන්තිය ඉවර වුන ගමන් සර් බඩු ටික අහුරගන්න ටිකට මම බයික් එක අරන් මල්ලවපිටියේ බේකරියට යනවා. ගිහින් පෝරණයෙන් බාපු ගමන් තියෙන මාළු බනිස් අරන් එනවා. බයික් එක ආපහු එනවා දකිද්දී සර්ගේ දත් ටික ඈතට පේනවා. "කොහෙද HP ඕකත් අරන් ගියේ?" සර් අහනවා. "බනිස් ගේන්න" කියලා මම කියද්දී, "ඈ යකෝ? තොගේ අම්මාගෙ අප්පගේ බයික් එකද ඔහොම අරන් යන්න?" සර් හිනාවෙලාම කියනවා. සර්ටත් බනිස් එකක් දුන්නාම "අඩේ, මේක උණුවට රහයිනේ බං" කියලා අපිත් එක්කම බනිස් එකක් කාලා සර් පිටත් වෙනවා. ඊට පස්සේ දවස්වල පන්ති ඉවරවුනාම "ජයවීර, අර උණු උණු බනිස් ටිකක් අරන් වරෙන්කො බං" කියල බයික් එකයි සල්ලියි සර්ම දෙනවා. ඒ පන්තියෙන්නම් සර්ට වැඩි ලාභයක් තිබුනේ නෑ මයෙ හිතේ.

පස්සේ සර්ගෙ තිබුනා සෙනසුරාදා පාන්දර 5.30 ට පටන්ගන්න පන්තියක්. ඒකටත් මම යන්න පටන් ගත්තා. සර් මම ඒ පන්තියට ආවාම කිව්වේ. "ජයවීර, තෝනම් මගේ ජන්මාන්තර වයිරක්කාරයෙක්, ඇයි යකෝ මේකටත් ආවේ?" කියලා. මේ පන්තියට යන්නෙම ආතල් එකක් ගන්න. උදේ පාන්දර 5ට විතර ගිහින් YMBA එකට යන පාරේ පාර දෙකට බෙදෙන තැන මමයි අපේ කසුන් අලහකෝනයයි සිගරැට් 2-3 ක් බොනවා පන්තිය පටන් ගන්න කලින්. කීයටවත් සර් ඒ පැත්තෙන් පන්තියට එන්නේ නෑ කියලා අපි දෙන්නා බැම්ම උඩ පැය බාහයක් විතර සිගරැට් ටික බොන්නේ ඒකේ ආතල් එක උපරිමේට ගන්න ගමන්. බයික් එකක් ආවා එක පාරටම, ඇවිත් නැවැත්තුවා. බල්ද්දී සර්. "මගේ පුතාලා උදේම වැඩ පටන් ගෙන වගේ" සර් අහද්දි අපි දෙන්නගෙම අතේ තාමත් පත්තුවෙන සිගරට් දෙකම. "යමු සර්, අපි එන්නම්" මම ඇඹරෙමින් කියලා සිගරට් එක විසිකරන්න යද්දී "විසිකරන්න එපා යකෝ, තාම 5:20, ඉතුරු ටිකත් ගහලාම වරෙන් මයෙ අම්මා" කියලා සර් යන්න ගියා. අපි දෙන්නා පන්තියට යද්දි සර් කණ්ණාඩිය යටින් බලාගෙන ඉඳලා හිනා වෙලා උගන්නන්න පටන්ගත්තා.

ඔය පන්තියෙ මාත් එක්ක සර්ට හිටපු අනික් වදකාරයා තමයි අපේ වෙඩිසිංහ එහෙමත් නැත්නම් වෙඩ්ඩා. වෙඩ්ඩයි මමයි දකිද්දී සර් අපි දෙන්නටම කියන්නෙ "ගුඩ් මෝනිං මගේ HP ලා දෙන්නා, අදවත් පන්තියෙ ගාණක් දෙකක් හදපන්කො මයේ පුතේ මෙතන ඉන්න ගෑනු දිහා කන්න වගේ බල බල ඉන්නේ නැතිව" කියලා. උදේ හත වගේ වෙද්දි ගතිකේ තියෙන අනික් පන්තිවලට කෙල්ලො එන්න පටන් ගන්නවා. ඇවිත් දොර ළඟ හිටගන්නව උඩ තට්ටුවට යන්න. පල්ලෙහාම තට්ටුවේ තිබුන අපේ පන්තියෙ දොර ළඟින් ඔක්කොම පේනවා. වෙඩ්ඩයි මගෙයි වැඩේ උන් දිහා බලාගෙන උන්ට ලයින් දෙන එක. සර් ඕක දැක්කම කියන්නේ "අනේ මගේ HP ලා දෙන්නටම මම සල්ලි දෙන්නම්, ගෙදරට වෙලා හිටපන්කෝ" කියලා. එහෙම කියලා සර් අර දොර වහනවා. සර් ආපහු ගාණක් හදන්න අනික් පැත්ත හැරුණ ගමන් අපි දෙන්නගෙන් එකෙක් අර දොර ආපහු ඇරලා ඇවිත් ලයින් දෙන වැඩේ පටන් ගන්නවා. සර් ආපහු දොර ඇරලා කියල දැක්කම සද්දේ පිට නොවෙන්නම කුණුහරුප ටිකක් මුමුණනවා හිනාවෙවී අපි දෙන්න දිහා බලාගෙන.පන්තිය ඉවර වුනාම අපි ළඟට ඇවිත් ආයි මොනා හරි කියලා ව්හිලුවක් කරලා යනවා.

මේ විදියට සර් මම එක්ක උපරිම ෆිට් වුනා.ඉස්කෝලෙදි පීරියඩ් එකක් කට් එක දාලා යද්දී සර්ව මූණට හම්බුනොත් අහන්නේ "අනේ මගේ HP කොහෙද යන්නේ මයෙ අම්මා?" කියලා. "පන්තියෙ ඉන්න බෑ වගේ. අනික පිසික්ස්නෙ සර්, සර් නියමෙටම උගන්නපු පාඩමක් යන්නේ. ඕවා අහලා සර් හොඳට කියලා දුන්න පාඩමක් නිකන් අප්සෙට් කරගන්න ඕන නෑනෙ සර්" කියලා මම කියනකොට "තොගෙ උත්තර තමයි උත්තර, එක අතකට කොහෙ හරි පලයන්. අර උගන්නන මනුස්සයාට පාඩුවෙ ඉන්න පුලුවන්නෙ. දුප් බල්ලා" කියලා බොරුවට අතකුත් උස්සලා සර් කියනවා. "එහෙනම් සර් පොඩි රවුමක් ගහල එන්නම්" මම කියද්දි. "පල ඕන දිහාවක, හැබැයි ප්රින්සිපල්ට මාට්ටුවෙලා කන්නේ නැතිව ආපහු වරෙන්" කියලා සර් කියනවා. දවසක් සර් අපේ බිල්ඩිම වටේ යනකොට අපේ පන්තියෙ උන් කෑ ගහ ගහ ඉන්නවා. මමත් උපරිමේට ඇවිත් ඉන්නවා දැකලා සර් බලාගෙන ඉඳලා මට එන්න කියලා සර් කියනවා "මම හිතුවා සද්දේ එනකොට තෝ මෙලහට පන්තියෙ ඇති කියලා". එහෙම කියලා විහිලුවෙන්ම බඩට ඇනලා සර් යන්න ගියා.

ඔය වගේම දවසක් මම පිටිපස්සේ තාප්පෙන් පැනලා කලින් යනවා.HNB එක ළඟින් මතු වෙලා St Annes එක පහු කරලා කොන්වන්ට් එක පැත්තෙන් කොළඹ පාරට යන ගමන් හිටියෙ. වෙලාව උදේ 11 ට විතර වගේ. දැන් LOLC එක වංගුවෙන් යද්දීම කල්ලා සර් බයික් එකේ එනවා. මාත් දැක්කෙ නෑ වගේ යන්න යද්දීම සර් බයික් එක නැවැත්තුවා. "ජයවීර, මගේ HP කොහෙද යන්නේ" සර් කණ්ණාඩිය යටින් බලාගෙන ඇහුවා. "මම ගෙදර යනවා සර්" මම කිව්වා. "ඈ බොල බල්ලො, තොට ඕන වෙලාවට ගෙදර යන්න මලියදේවේ තොගෙ අම්මගෙ අප්පාගේ බූදලයක්ද? නැගපිය බයික් එකට" සර් හිනා වෙවීම කිව්වා. "දැන් සර් කොහෙද මේ අවේලාවේ රවුං ගහන්නේ" මමත් විහිලුවෙන්ම ඇහුවා. "මගේ පුතේ, එහෙනම් පරිස්සමින් ගෙදර පලයන්, මාත් යන්නම්. බුදුසරණයි" කියලා සර් යන්න ගියා. පස්සේ දවසේ ඉස්කෝලේදි සර් හම්බුනාම "අද තෝ කලින් යන්නේ නැද්ද ගෙදර?", "අද කම්මැලියි සර්" මම කිව්වා. "එහෙනම් පලයන් WP පන්තියට" කියලා ආයිත් බඩට අනිනවා විහිලුවෙන්ම.

සර් එක්ක විහිළුවෙන් අපේ කාලය ගෙවිලා ගියා ඒලෙවල් අවුරුදු දෙකම. කෙනෙක්ට හිතෙන්න පුලුවන් මෙහෙමත් සර්ලා ඉන්නවද කියලා. ඒත් ඒ තමයි කල්ලා සර්. ඒත් සර් විශ්රාම අරන් ටික කාලෙකින් තදබල විදියට අසනීප වුනා. ඒ කාලෙ වෙද්දීත් මමත් කොළඹ. සර්ට අමාරුයි කියලා නාරාහේන්පිට ආසිරි සර්ජිකල් එකේ නතර කරලා කියලා ආරංචි වුනා. මම තාත්තත් එක්කම ගියා සර්ව බලන්න. කාමරය ඇතුලට යනකොටම තාත්තටයි මටයි දෙන්නටම ඇඬුනා. සර් හිටියේ හොඳටම අසාධ්ය තත්වයක. සර්ට කතා කරන්න පුලුවන්කමක් තිබුනේ නෑ. ඒත් අත් දෙක දික් කරලා තාත්තාගේ මගෙයි අත් දෙක අල්ලගත්තා. සර්ගෙ ඇස්වලින් කඳුලු වැගිරෙන්න පටන්ගත්තා. මම ඒ කාමරේ ඇතුලේ කාගෙන ඉඳලා එලියට ආවා. එලියට ඇවිත් තාත්තත් එක්ක වාහනේ එනගමන් කෑගහල ඇඬුවා. පස්සේ තාත්තාත් වාහනේ පැත්තකින් නැවැත්තුවා. අපි දෙන්නගෙම ආදරණිය කල්ලා සර් නිසා අපි දෙන්නටම ඒක දරාගන්න ලේසි වුනේ නෑ. ටික දවසකින් අපි හැමෝම ආදරය කරපු කල්ලා සර් අපිව දාලා ගියා. සර් අපි දාලා ගියත් ඒ මතක මලියදේවේ සර් එක්ක හිටපු හැමෝගෙම හිත්වල ආදරෙන් තැන්පත් වෙලා තියෙනවා කියන එක මට ඉරහඳ වගේ විස්වාසයි. ආදරෙයි "කල්ලා" සර්. මීට සර්ගෙ සොඳුරු වයිරක්කාරයා...ජයවීර



Sunday, May 3, 2020

කොරෝනා ලියවිලි 6 - ඥාණසිංහ සර්


1999 දි අපි 10-c පන්තියේ. පංතිභාර හිටියේ ඥානසිංහ සර්.මලියදේවෙ ඥානසිංහ සර්ගෙන් ඉගෙන තියෙනවානම් අමුතුවෙන් කියන්න ඕන නෑ කාටවත්. ඒ කාලෙ දැක්කත් කොරවෙනවා. සර් කළුම කළුයි. මල පැන්නම මූණ දිහා බලන්නත් අමාරුයි. උගන්නන වැඩේ නියමෙටම කරපු සර් කෙනෙක්. ඒ වගේම තමන්ගේ පන්තියේ එකෙක් මොකක් හරි කරලා මාට්ටු වුනොත් විනාසයි. සිංහල සාහිත්යයේ උගන්නපු කවි පන්ති ඔක්කොම කට පාඩම් දෙන්න ඕන තේරුමත් එක්කම. වැරදුනොත් කවියට වේවැල් පාරවල් දෙකයි, තේරුමට වේවැල් පාරවල් දෙකයි. අදටත් මට අයියනායක කවි පන්තියෙ සමහර කවි මතකයි ඒ කරපු කිරිල්ලට.

බුද ගුරු සනි හිරුට හිමි හැම දවස්වල
මේ සන්හිඳේ එලියක් ඇත සවස්කල
ලෙඩ දුක් වලින් මිදුමට බාරයක් කල
හැමදෙන එතැන රැස්වෙති ගමගෙවල්වල

මට මතකයි දවසක් මට එහා පැත්තේ හිටපු අපේ රජිතයා (Rajitha Chandradasa) "මගේ රට" කවි පන්තියේ කවි පාඩම් දෙනවා. ඒ කවියක එක පද පෙලක් තියෙනවා "මුව මී ගෝන ඇත් සේනා යුතු වනය" කියලා. රජිතයා කවිය හරියටම කියලා තේරුම කියන්න පටන් ගත්තා. "මුවෝ, ගෝන්නු, ඇත්තු වගේ සතුන්ගෙන් පිරුනු වනාන්තර" කියලා රජිතයා කියද්දීම, "චන්ද්රදාස, උඹට එක සත්තු ජාතියක් අමතක වුනා, ආපහු කියපන් හරියට මගෙන් කන්නේ නැතිව". වේවැලත් උල් කරගෙන සර් නැගිට්ටා පුටුවෙන්. රජිතයා ආපහු තේරුම පටන් ගත්තා "මුවෝ, මීයො, ගෝන්නු, ඇත්තු වගේ සතුන්ගෙන් පිරුනු වනාන්තර" රජිතයා කියපු ගමන් සර්ගෙ මල මාරු වුනා. "චන්ද්රදාස, දැනගනින් මම තොගේ මීයා කපනවා, මම තොට උගන්නද්දී මීයෙක් ගැන කියලා දුන්නද බූරුවො, ආපහු හරියට කියපන් කල්පනා කරලා. මම තොට තව එක පාරක් දෙනවා" වේවැල දෙපැත්තට අඹර අඹර සර් කිව්වා. රජිතයා සට සට ගාලා වෙව්ලනවා. රජිතයා මගේ සුපිරි බොක්ක නිසා අවදානමක් අරගෙන ශේප් එකේ ඇහෙන නෑහෙන ගානට මම උට කිව්වා "මීයෝ නෙමේ බං මීමින්නො". වාසනාවට උට ඇහුනා. "මුවෝ, මීමින්නෝ, ගෝන්නු, ඇත්තු වගේ සතුන්ගෙන් පිරුනු වනාන්තර" රජිතය හරියටම කිව්වා. "ජයවීර, තෝ කිව්වා නේද මුට?". "අනේ නෑ සර්" මම කිව්වා. මම දිහා ටික වෙලාවක් කන්න වගේ බලන් ඉඳලා සර් ආපහු වැඩේ පටන්ගත්තා.

සාමාන්යයෙන් සර්ගේ වේවැල් පාරක රහ හොඳටම දන්නේ මිලින්දයා(Milinda Rajapaksha). ඌ ඒ කාලෙ උදේ රෑ නැතිව කැඩෙටින් කරනවා. ඒක නිසා ඌ කවි පාඩම් කරන්නෙ නෑ. කැඩෙටින්වල කාලා පුරුද්දට මිලින්දයා සර්ගෙනුත් කාලා නිකන් ඉන්නවා. මිලින්දයා හමුදාවේ වගේ සර් වේවැල් පාර දෙද්දී රිදෙන්නෙ නෑ වගේ ඉන්නවා. සර් වේවැල පිටිපස්සට උපරිම ඇදලා දුන්නම අතට වදින වේවැල් පාර නතර වෙන්නි ඩෙස්ක් එකෙත් වැදිලා. "මිලියා, උඹට රිදෙන්නේ නැද්ද බං?" මම දවසක් හවස් වෙලා ඇහුවා. "රීදෙනවා හු***, චූ යන්නේ නැති ටික විතරයි" මිලියා කිව්වා. ඒක නිසා ගොඩක් උන් සිංහල සාහිත්යය බොක්කෙන්ම කරා කවිය හරියට කියලා විතරක් බේරෙන්න බැරි නිසා.

දවසක් සර් මට කතා කරා ළඟට. "අයිසෙ ජයවීර, තමුසෙගේ තාත්තා ජල සම්පත් මණ්ඩලේ නේද? මට පොඩි උදව්වක් කරගන්න පුලුවන්ද?" සර් ඇහුවා. මමත් ඉතින් ෆුල් බොක්කෙන්ම "ඔව් සර්, කියන්න". "අපේ ගෙදර ළිඳේ වතුරෙ රහ පොඩ්ඩක් අවුල්, මට තමුසෙගේ තාත්තාට කියලා මේක පොඩ්ඩක් ටෙස්ට් කරගන්න පුලුවන් වෙයිද?", "සර්, මම තාත්තගෙන් අහලා බලන්නම්" කියලා එදා හවස ගෙදර ගිහින් තාත්තාට මේ ගැන කිව්වා. තාත්තා කිව්වා "සර්ට කියන්න පිරිසිදු බෝතලේකට වතුර බෝතලයක් දාගෙන ගෙනත් දෙන්න, මම කරල දෙන්නම්". මම සර්ට ඊළඟ දවසෙ මේ ගැන කිව්වාම සර් ඊළඟ දවසේම උදේ පාන්දර ඉස්කෝලෙ පටන් ගන්නත් කලින් වතුර සාම්පලයක් අලුත්ම බෝතලයක දාලා ගෙනත් දුන්නා. මමත් මේක බෑග් එකට දාගත්තා. නරයා(Amila Narasingha) හිටියෙ මම ළඟම ඩෙස්ක් එකක.නරයා ඒ කාලේ හොස්ටල් ඉඳලා එන්නේ. ඉන්ටවල් එක ඉවර වෙලා මම එලියට ගිහින් අත හෝදාගෙන ආවා. ඇවිත් මගේ වතුර බෝතලය ගන්න බෑග් එකට අත දැම්මා විතරයි සර් දුන්න වතුර බෝතලය දැක්කා. මට තරු විසික් වුනා. පුරවලා අතට දුන්න වතුර බෝතලේ බාගෙයක්වත් නෑ වතුර. "නරේ, උඹ මේකෙන් වතුර බිව්වද?" වෙනදටත් මගේ වතුර බෝතලෙන් නරයා කිසි ගේමක් නැතිව වතුර බොන නිසා මම සැකේට ඇහුවා. නරයා සුපුරුදු හිනාවෙන්, "ඔව් බං තව වතුර බෝතලේකුත් තියෙන එකේ මම වතුර බීලා අතත් හේදුවා" කිව්වා. මට නිකන් කලන්තේ වගේ. නරයා "ඇයි බං, අවුලක්ද?", මම නරයට සම්පූර්ණ විස්තරේ කිව්වා. නරයගෙත් ඉහින් කනින් දාඩිය දානවා. පුස්තකාලේ හිටපු මරුමුස් ගෑනු මනුස්සයට නරයා කුණුහරුපයක් කියලා ඒ ගෑනි ඥාණසිංහ සර්ට ඕක කිව්වාට පස්සේ නරයට නෙලපු නෙලිල්ල ආපහු නරයටයි මටයි දෙන්නටම මතක් වුනා. "මොකද බං කරන්නේ" නරයාට ඇඬිලා. "අපි ටැප් එකෙන් වතුර එකක් පුරවලා තාත්තාට දෙමුද?" නරයා අහනවා. "යකෝ, වෙන එකෙක්ටනම් ඕක කරන්න පුලුවන්, ඥානයාට ඕක කරලා මාට්ටු වුනොත් අපි දෙන්න ඉඳලා ඉවරයි" මම කිව්වා. අන්තිමේට දෙන්නම කල්පනා කරලා සර්ට ඇත්ත කතාව කියන්න එකඟ වුනා.

අපි මධ්ය අංශයේ ඔෆිස් එක ළඟට යනකොට සර් ඉන්නවා ඇතුලේ. "එක්ස්කියුස් මී සර්" කියලා ඇතුලට යද්දීම, "මට තොපි දෙන්නම එන විදියනම් දිරවන්නේ නෑ" සර් කිව්වා. මම හිත හදාගෙන අමාරුවෙන් සර්ට විස්තරේ කිව්වා. සර් නරයා දිහා කන්න වගේ බලන් ඉන්නවා, නරයා බිම බලාගෙන ඉන්නවා දැන් කන්න වෙයි දැන් කන්න වෙයි කියලා. "නරසිංහ දැන් මූ කියන්නේ තෝ මුගේ බෑග් එකට අත දාලා වතුර බෝතලේ අරන් බිව්වා කියලද?", "ඔව් සර්" නරයා බිම බලාගෙනම කියනවා. "ඈ බල්ලො, තෝ මුගෙන් අහන්නේවත් නැතිවද ඔය අත දාන්නේ?", "ඔව් සර්" නරයා කිව්වා. සර් පුපුරන්න වගේ, මොකෙන් මොකක් වෙයිද කියලා හිතාගන්න බෑ. "නරසිංහ, මම තොට ගහන්නේ නෑ.තේරෙන බාසාවෙන් කියන්නම්, හැබැයි තෝ මීට පස්සේ ජීවිතේට අනුන්ගෙ හු**වල්වලට අත දාලා අහු වෙන්න එපා. පලයන් යන්න තොලොංචි වෙලා". නරයා හෙමින් එලියට ගියා. "ජයවීර, මම උඹට ආපහු එකක් ගෙනල්ලා දෙන්නම්, බෝතලේ දීපන්" කියලා සර් බෝතලෙ ඉල්ලගත්තා. මාත් එලියට ආවාම අපි දෙන්නටම නිවන් ගියා වගේ. ඥාන්සිංහ සර්ගෙන් එකක්වත් කාපු නැති එකම ඇති කියලා හිත හදාගත්තා. සර් ආපහු වතුර බෝතලයක් ගෙනත් දුන්නා. මම තාත්තට කියලා වැඩේ කරලා දුන්නා.

මේ වගේ රසවත් අත්දැකීම් එක්ක සර් මොනතරම් සැර වුනත් අපි සර්ට ගරු කරා. සර් එක්ක මේ වගේ ගොඩක් අත්දැකීම පන්තියෙ ගොඩක් උන්ට තිබුනා. පන්තියෙ ගොඩක් දෙනා ඕලෙවල් සිංහල සාහිත්යය පහසුවෙන්ම සහ ඉහලින්ම සමත් වුනා. සර්ගේ පුතාව(Akalanka Disanayaka) ස්කවුටින්වලට එවද්දි සර් කිව්වේ "ජයවීර, මම උඹ ඉන්න නිසා තමයි මගේ එකා ස්කවුටින් එවන්නෙ, ඌව පොඩ්ඩක් බලපන්" කියලා. අදටත් සර් වගේ ගුරු දෙවිවරුන්ට අපි එදා වගේම ගරු කරනවා. මීට සර්ගෙ ජයවීර....