Sunday, May 17, 2020

කොරෝනා ලියවිලි 9 – හිතට වැඩියෙන්ම රිදුම් දෙන මතකය


කොරෝනා නිසා ගෙදර ඉන්න කාලය තුල වෙනසකට කියලා ලියන්න පටන් අරගෙන දැන් ලිපි අටක්ම ලිව්වා. ඉඳුල්ගොඩකන්දේ පොඩි කාලෙන් පටන් අරගෙන හොඳම යාළුවොත් එක්ක ගෙවුන මතක, ඉස්කෝලෙ කාලෙ රසවත් සිදුවීම්, අමතක නොවෙන ට්‍රිප්, අමතක නොවෙන ගුරුවරු වගේම සිමා කරන්න ගිහින් ඇනගත්තු හැටි වගේ ඒවා තමයි ලිව්වේ. එතනදි සමහර ලිපි කියවලා මට කතා කරපු මැසේජ් කරපු ගොඩක් මගේ යාළුවො, නෑයො ඇහුවෙම එක්කෝ "ජයා මාර ආතල් ලයිෆ් එකක්නෙ බං", "පුතාත් කරල තියෙන වැඩ", "හම්මෝ මෙහෙමත් මරි වැඩ" වගේ ඒවා. දුමානිගේ යාළුවෙක් දුමානිට කෝල් කරලා කියලා අන්න ඔයාගේ මනුස්සයා කරපු ජඩ වැඩ ඔක්කොම ලියන්න පටන් අරගෙන කියලා. එහෙම බලද්දී හිතෙන්න පුලුවන් කෙනෙක්ට අපි හරිම ආතල් එකේ ජීවිතය ගොඩ දාපු මිනිස්සු කියලා. ඒත් එහෙම හැම දෙයක්ම ආතල් එකේ කරන්න අමාරුයි. මේ තැනට එන්න මහන්සි වුන අවස්ථා ඒ වගේම සිත් රිදුන අවස්ථා සහ දුක දරාගත්ත අවස්ථා එමටයි. ඒ අතරින් මගේ ජීවිතේ දුක්බරම මතකය තමයි මේ ලියන්න යන්නේ. (ටික කාලෙකට කලින් මේ ගැන ලිව්වා වෙනත් ලිපියක)

මේ සිදුවීම වෙන්නෙ 1993 ජනවාරි වලදි මම පහ වසරට ගිය පලවෙනි දවසේ. අපි හැමෝම පොඩි කාලේ පොත් ලැයිස්තුව ගෙනාවට පස්සේ බලාගෙන ඉන්නේ කවදද ඒ ටික අරන් කවර දාලා ඊළඟ අවුරුද්දේ ඉස්කෝලේ යන්නේ කියලා. මාත් පොඩි කාලේ ඒ විදියටම 5 වසරට යන්න ආසාවෙන් බලාගෙන හිටියා.
ඒ කාලේ අපේ අම්මයි, තාත්තායි දෙන්නම රජයේ සේවකයෝ විදියට සේවය කරේ ගොඩනැගිලි ද්රව්ය සංස්ථාවේ සහ ජල සම්පත් මණ්ඩලයේ. ඒ කාලේ දෙන්නම මහන්සි වුණේ අපි හිටපු ගෙදර හදලා ඉවර කරන්න. ඉතින් මේ නිසා මේ කාලය ගෙවුනේ ආර්ථික වශයෙන් ටිකක් අමාරු විදියට. අම්මා ගෙදර හදන්න තනියම ගඩොල් කැපුවේ තනියම සිමෙන්ති ටික අනලා. මම කරන්නේ පරණ තාච්චියක් අරන් පාරට ගිහින් පාර අයිනේ තියෙන ටිකක් විතර ලොකු ගල් අහුලන් ඇවිත් සිමෙන්ති ගල මැදට දාන වැඩේට උදව් කරන එක. අම්මා වැඩ ඇරිලා එන්නේ හවස 4.45ට වගේ. ඊට පස්සේ පහේ ඉඳලා හත විතර වෙනකල් අම්මයි මමයි කරන්නේ ඉතින් ඒ වැඩේ. ඊට පස්සේ අම්මා නාලා ඉවර වෙලා අපිට කෑමක් ලැස්ති කරනවා. තාත්තා කොලඹ ඉඳලා කෝච්චියේ ඇවිත් ගෙදර එන්නේ රෑ 8.30-8.45 වගේ වෙද්දී .

ඔය විදියට මහන්සි වෙලා ගෙදර වැඩ සෑහෙන ඉවර කරගත්තා 1993 දෙසැම්බර් වගේ වෙද්දී. අම්මයි තාත්තයි දෙන්නම ණයක් ගන්නේ නැතිවයි මේක කරගෙන ගියේ. එත් දෙසැම්බර් අග වෙද්දී නංගිටයි මටයි දෙන්නටම පොත් ලැයිස්තු අරන් දෙන්න තිබුණා. නංගිගේ දෙක වසර පොත් ලැයිස්තුව අර ගන්න පුළුවන් වුනා. එත් කොහොම හරි මගේ පොත් ලැයිස්තුව ගන්න සල්ලි තිබුනේ නෑ. ඉතින් අම්මයි තාත්තයි දෙන්නම මට ලඟට කතා කරලා ඔලුව අත ගාලා කිව්වා "නංගී පොඩිනේ පුතේ, ඒක නිසා නංගී පොත් ටික අරන් යයි. පුතා පලවෙනි සතියට පොත් ටිකක් අරගෙන යන්න ඕනම ඒවා ටික. අපි පුතාට ඔක්කොම ටික ඊළඟ සතියේ සල්ලි ටිකක් හම්බුනාම අරන් දෙන්නම්, ටීචර්ට කියන්න, ටීචර් මුකුත් කියන්නේ නෑ". මගේ පුංචි හිතට දුක හිතුනත් ඇත්තටම ඒ දුක තද කරගත්ත හැටි තාම මතකයි.

කොහොමහරි මං පොත් 5ක් වගේ පරණ 4 වසරේ බෑග් එකට දාගෙන 5 වසරේ පලවෙනි දවසට පන්තියට ගියා. පොත් ලැයිස්තුව නැතිවුනත් අලුත් පන්තියකට යන නිසා මාත් ගියේ සන්තෝසෙන්. මං වැටිලා තිබුනේ 5 - A පන්තියට මතක විදියට. ඉතින් ඉස්කොලෙ පටන් අරගෙන ටීචර් ආවා පන්තියට. ඒ ටීචර්ගේ නම කුමාරිහාමි. ඒ ටීචර් කොහොමත් සැර පාටයි .ඇවිල්ලා ගාථා කියලා ඉවර වුනාට පස්සේ මුලින්ම කරේ හැම ලමයාගේම නම අඬ ගහලා පොත් ලැයිස්තුව බාරගෙන ඔක්කොම තියෙනවද බලලා බ්රිස්ල් බෝඩ් වගේ ඒවා රාක්කයක් උඩට දාපු එක. හැමෝම පොත් ලයිස්තුවම අරන් ඇවිත්, ලස්සනට කවර එහෙම දාලා. "1703 C D ජයවීර" මගේ නමත් අඬ ගැහුවා, මං පොත් 5ක් විතරක් අරගෙන යද්දී ටීචර් මං දිහා කණ්නාඩිය යටින් බලාගෙන හිටියේ අමුතුම විදියකට. අනික් හැමෝමත් පොඩ්ඩක් අවුල් ගිහින්.

මං පන්තිය මැදින් ඇවිදගෙන කුමාරිහාමි ටීචර් ලඟට ගියා. "කෝ ළමයෝ පොත්? ඔය මොකද පොත් 2-3ක් අරගෙන?" ටීචර් තරහින්ම ඇහුවා. මාත් පොඩ්ඩක් බය වුනත් තාත්තා කියපු විදියටම "ටීචර්, අපේ තාත්තා ටීචර්ට කියන්න කිව්වා ලබන සතියේ සල්ලි හම්බුනාම ඔක්කොම අරන් දෙන්නම්. එතකල් මේ සතියට මේ ටිකෙන් කරගෙන්න යන්නම්". ටීචර් එක පාරටම නැගිටලා මං දිහා කන්න වගේ බැලුවේ. එත් එක්කම "ඔය ළමයාගේ තාත්තා කියන විදියට මේ ඉස්කෝලේ වැඩ කරන්නේ නෑ. හෙට එනකොට ඉතුරු පොත් ටිකයි අනිත් ඒවායි අරන් එනවා. පොත් ලැයිස්තුව අරගන්න බැරිනම් මොකටද මේ වගේ ඉස්කෝලෙකට ආවේ? යනවා යන්න පන්තියෙන් එලියට". මට තාම මතකයි මගේ ඇස්වලින් කඳුලු ආවේ ටැප් එකක් ඇරියා වගේ. ලැජ්ජාවෙන් මිරිකෙන ගමන් මං පන්තියෙන් එලියට ගියා. මුළු ඉස්කොලෙටම ඇහෙන්න කෑ ගහලා අඬන්න හිතුණා.

ඒ එක්කම මට මතක් වුණා අම්මා කියල තිබුණා ඉස්කෝලෙදි මොකක් හරි හදිස්සියක් වුනොත් මේන් හෝල් එක උඩ තට්ටුවේ ඉන්න තල්පගේ අංකල්ට කියන්න කියලා. තල්පගේ අංකල් කියන්නේ එදත් අදත් මගේ 1 වසරේ ඉඳලා හොඳම යාලුවෙක් වෙන නිපුනගේ (Nipuna Sankalpa) තාත්තා, ඒ වගේම අපේ ඉස්කෝලේ ඒ කාලේ ප්රධාන ලේඛකාධිකාරී. අන්කල්ට සිද්දිය කියන්නම මට සැහෙන වෙලාවක් ගියා. ඒ තරමට ඇඩෙනවා. දැන් කාලේ වගේ ජංගම දුරකථන නැති නිසා අන්කල් අර තඩි ඩිරෙක්ටරියෙන් තාත්තාගේ ඔෆිස් එකේ නොම්මරේ හොයාගෙන කතා කරලා විස්තරය කිව්වා. "මල්ලි එන්න ඉස්කෝලෙට, අපි කතා කරලා පන්තිය මාරු කරගමු". එහෙම ඇහුනා විතරයි මට පොඩි සන්තෝසයක් දැනුනා.
එහෙම කියලා අන්කල් මාව ඒ ඔෆිස් එකේම පුටුවක් දීලා වාඩි කරවලා තියාගත්තා.

ඉස්කෝලේ ඇරෙන්න ටික වෙලාවකට කලින් තාත්තා ආවා කුරුණෑගල ඉස්කොලෙටම. ඇවිත් මාව වඩාගද්දි තාත්තගේ ඇස්වලිනුත් කඳුලු වැටෙනවා. තාත්තාත් අපේ ඉස්කෝලෙම ආදී ශිෂ්යයෙක් නිසා ගොඩක් ටීචර්ලා තාත්තාව දැනගෙන හිටියා. තාත්තා මාවත් වඩාගෙන තල්පගේ අන්කල් එක්ක තෙන්නකෝන් ටීචර් හම්බෙන්න ගියා. තෙන්නකෝන් ටීචර් මගේ 1 වසරේ ටීචර්. ඒ වගේම තාත්තාටත් උගන්නලා තියෙනවා. ඒ වෙද්දී තෙන්නකෝන් ටීචර් ඉස්කෝලේ ප්රාථමික අංශයේ අංශ ප්රධාන ටීචර්. "ජයවීර, ඇයි මේ හදිස්සියේ. පුතාට කරදරයක්වත්ද?" තෙන්නකෝන් ටීචර් එහෙම අහද්දී, තාත්තා ඇස්වල කඳුලු පුරවාගෙන විස්තරය කියලා ඉවර වෙද්දී තෙන්නකෝන් ටීචර්ගේත් ඇස්වල කඳුළු පිරිලා.

තෙන්නකෝන් ටීචර් ඒ වෙලාවෙම 5 - D පන්තිය භාරව හිටපු කුලරත්න ටීචර්ට එන්න කියලා පණිවිඩයක් යැව්වා. කුලරත්න ටීචර්ට විස්තරේ ඔක්කොම කියලා තෙන්නකෝන් ටීචර් මගේ ඔලුව අතගාලා කිව්වේ "හෙට ඉඳලා මගේ පුතාගේ පන්තිය 5 - D. මේ තමයි පුතාගේ ටීචර්". කුලරත්න ටීචර් මගේ ඔලුව අත ගාලා ලඟට ගත්තා. මට දැනුනේ කුලරත්න ටීචර් අම්මා කෙනෙක් වගේ. ඊට පස්සේ ඉස්කෝලේ ඇරුණා. මායි තාත්තයි දෙන්නම තෙන්නකෝන් ටීචර්ට වැඳලා ගෙදර යන්න පිටත් වුනා.

ගෙදර යන ගමන් තාත්තා මාවත් එක්කරගෙන කෙලින්ම ගියේ කුරුණෑගල රිචඩ් පොත් සාප්පුවට. ඒ ගිහින් පොත් ලයිස්තුවේ ඔක්කොම අරන් දුන්නා. මං ඇහුවා “කොහෙන්ද තාත්ති සල්ලි?”, "මං ඔෆිස් එකෙ යාලුවෙක්ගෙන් ඉල්ලාගෙන ආවා පුතේ". ඊට පස්සේ තාත්තා මාව රත්නගිරියට එක්කරගෙන ගිහින් කන්නත් අරන් දීලා ගෙදර එක්කරගෙන ගියා. ගිහින් එදා රෑ වෙනකල් තාත්තයි මායි පොත් වලට කවර දැම්මා. තාත්තා ඊළඟ දවසෙත් නිවාඩුවක් දාලා මාව ඉස්කෝලෙට අරන් ගියා. මට මතක විදියට මං සන්තොසෙන්ම ඉස්කෝලේ ගිය දවස. කුලරත්න ටීචර් මාව ඔලුව අත ගාලා පන්තියට අරගෙන අදටත් මගේ හොඳම යාලුවෙක් වෙන රජිත (Rajitha Chandradasa) ලඟින් වාඩි කරා.

මං ඔක්කොම ඉවරයි කියලා හිතුවත්, ටික වෙලාවකින් කුමාරිහාමි ටීචර් 5-D පන්තියට ආවා. කුලරත්න ටීචර් ඉඳිද්දීම, කුමාරිහාමි ටීචර් තරහ පිට කරේ "ඔය ළමයා හිතන්න එපා, තාත්තත් එක්ක ඇවිත් ලොකු වැඩක් කරා කියලා ". එහෙම කියලා මං දිහා රවන් බලාගෙන හිටියේ හරියට මාව ගිලින්න වගේ. ඊට පස්සේ යන්න ගියා. එතනින් ඒ සිදුවීම ඉවර වුණා. මං කවදාවත් කුමාරිහාමි ටීචර් මුණට හමු නොවෙන්න වග බලාගත්තා. ඈතින් එනවා දකිද්දී මං යන පාර වෙනස් කරලා දිව්වා. කොහොමහරි කුලරත්න ටීචර්ගෙන් විතරක් ඉගෙන ගෙන කිසිම අමතර පන්තියකට යන්නේ නැතිව ශිෂ්යත්වෙත් හොඳටම සමත් වුනා.

මොනවා වුනත් මගේ අවුරුදු 13ක ඉස්කෝල ජීවිතේ මේ වගේ වෙන සිදුවීමක් වුනේම නෑ. අනිත් හැමෝම මට හමුවුනේ ගුරුවරු නොව ගුරු දෙවිවරු. කුමාරිහාමි ටීචර්ත් කලබල නොවී මගේ කතාව ඇහුවානම් කියලා අදටත් මට හිතෙන වාර අනන්තයි, අප්රමාණයි. මගේ දුව තාම හුරතල් වෙනකොට මට තාමත් හිතෙන්නේ මම කොහොමද ඒ සිදුවීම දරාගත්තේ? සහ කොහොමද මට මේ සිදුවීම මේ තරම් මතක? අවසානයේ මට හිතෙන්නේ ගුරු වෘත්තීය කියන්නේ මොන තරම් සංවෙදී වෙන්න ඕන එකක්ද කියලා?
~ මේ මගේ පොඩි කාලේ හිතට වැඩියෙන්ම දුක හිතුන සිදුවීම, දැනට වසර 25ට එහා...


No comments:

Post a Comment