Monday, May 25, 2020

කොරෝනා ලියවිලි 10 - යුද්ධය මට දැනුන හැටි

තවත් සතියක් ගෙවුනා. ගෙවුන සතියේ අපි ජාතියක් ලෙස යුද්ධය ඉවරකරලා අවුරුදු 11ක් ගතවුනා. වෙලාවක් හම්බුනාම යුද්ධය මට දැනුන හැටි ලියන්න හිතාගෙන හිටියා ගොඩ කාලෙක ඉඳලා. යුද්ධය පටන් ගත්තා කියලා කියන 1983 සිදුවීම සහ ඊට පෙර කාලය සම්බන්ධ ගොඩාක් සිදුවීම් සම්බන්ධ ලිපි ගොඩාක් කියවලා තිබුනාට මම කතා කරන්න යන්නේ මට දැනුම් තේරුම් ඇති කාලෙක ඉඳලා යුද්ධය කියන එක මගේ හිතට සහ ජීවිතයට දැනුන හැටි ගැන විතරයි. යුද්ධය තියෙන කාලේ 1990 වසරෙ වගේ මට මතක තියන කාලෙ ඉඳලා 2005 වෙනකල්ම වගේ මගේ කාලය ගෙවෙන්නේ කුරුණෑගල සහ ඒ අවට. ඒත් 2005 න් පස්සෙ යුද්ධය තීරණාත්මක අවධියේදී කාලය ගෙවෙන්නෙ සම්පූර්ණයෙන්ම වගේ කොළඹ.

මුලින්ම මට යුද්ධය සහ ප්රභාකරන් එක්ක තරහක් ඇතිවෙන්නේ මේ යුද්ධය මගේ ආසම විනෝදාංශය වුන කෝච්චිය සම්බන්ධයෙන් කරපු විනාශය ගැන පොඩිම කාලේ ටික ටික තේරුම් ගන්නකොට. පොඩිම කාලෙ තාත්තාත් එක්ක ඉඳලා හිටලා කොළඹ එන්න කුරුණෑගල ස්ටේසමට එනකොට ඒකෙ කාලසටහන තිබුනේ කලුපාට පරණ ලෑල්ලක. ඒකෙ සුදු පාට තීන්තෙන් ගමනාන්ත ගැන ලියලා තිබුනා. ඒ ගමනාන්තය ඉස්සරහින් චෝක් කෑල්ලකින් වෙලාව ලියලා තියෙනවා. මේකේ තිබුන ගමනාන්තවලින් යාපනය/කන්කසන්තුරේ කියලා තිබුන එක කපලා චෝක් කෑල්ලෙන් වවුනියාව කියලා ලියලා තිබුනා. මන්නාරම/තලෙයිමන්නාරම කපලාම දාලා තිබුනා. මට තාම මතකයි මම තාත්තාගෙන් අහනවා "ඇයි තාත්තෙ? මේ යාපනේ නම කපලා, ඇයි කෝච්චි යන්නේ නැද්ද දැන් යාපනේට?", "නෑ පුතේ, ඒ පැතිවල යුද්ධයක් තියෙනවා. කෝච්චි පාරට බෝම්බ දාලා කෝච්චි යන්න විදියක් නෑ". ඉතින් පොඩිකාලෙම හිතට ගියේ කවදද ආපහු අහන්න පුලුවන් "වේදිකාවට දැන් පැමිණි යාල්දේවි දුම් රිය යාපනය බලා පිටත් වේ" කියලා.

ඊට පස්සේ ටික කාලයක් යනකොට අපේ ගම්වල සෑහෙන දන්න කියන පවුල්වල පිරිස් හමුදාවේ වැඩ කරන තත්වයක් ඇති වුනා. හමුදාවේ වැඩ කරපු අය නිවාඩුවට ගමට ආපුවාම ගමේ මිනිස්සු එක්ක ටික කාලයක් සතුටින් ගත කරන හැටි දැක්කා. ඒත් සමහරු ආපහු වැඩට ගිහින් ආපහු ගමට ආවේ මිනී පෙට්ටියෙන්. සමහරුන්ගෙ මිනී පෙට්ටිය සීල් කරලමයි ගෙනාවේ. මේ කාලෙත් ලොකුවට දැනුම් තේරුම් නැතිකමද මන්දා අපි බලන් හිටියේ මලගෙදර අවසාන වෙලාව එනකල්, ඒ හමුදාවෙන් සෑහෙන පිරිසක් ඇවිත් ආචාර පෙලපාලියක් එක්ක ගමේ කනත්ත ළඟට ආපුවම අන්තිම මොහොතේ දෙන උත්තමාචාර වෙඩිමුරය බලන්න. හැබැයි යුද්ධය තව තවත් දරුණු වුනා. මේ විදියට වෙන මරණ ගණන එන්න එන්නම වැඩි වුනා. ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා මැරුණාම ගොඩාක් මිනිස්සු පුදුම විදියට දුක් වුනා. යාපනය නැවත අත්පත් කරගත්තා කියලා 1995 දි ඇහුවට පස්සේ වැඩිපුරම ප්රවෘත්තිවල තිබුනේ අපේ හමුදාවට වෙන හානි ගැන. මේ කාලෙ අපේ තාත්තා හිටියේ රට, මම තාත්තට ලියුම් ලියද්දිත් යුද්ධය ගැන ලියනවා.අපේ ඉස්කෝලෙන් බිහිවුන ශ්රේෂ්ඨතම වීරයෙක් වුන මේජර් ජෙනරාල් ආනන්ද හමංගොඩ විරුවාගේ මල ගෙදරට අපි ඉස්කෝලෙන් සහභාගි වුනත් මතකයි. මේ විදියට කාලය ගෙවිලා යුද්ධයේ භයානකත්වය හොඳටම තේරුම් ගන්න පුලුවන් වුනා දෙදාහ දශකයත් එක්කම. හැමදාම හිත්වල තිබුනේ ඇයි මේ යුද්ධය ඉවර කරන්න බැරි කියලා. එයාර්පෝට් එකට කොටි ගහනව අපි බැලුවේ බූලා සර් එක්ක කොම්පියුටර් ලැබ් එකේදී. ඊට පස්සෙ වුන ආණ්ඩු පෙරලියත් එක්ක සටන් විරාමයක් ආවා. ඊට පස්සේ අවුරුදු කීපයක් යුද්ධය ගැන කතාව අඩු වුනත් අපේ හමුදාවට එන්න එන්නම සිදුවෙන අගෞරවණිය සිදුවීම ඇහෙන්න කියන්න පටන් ගත්තා. ඒකේ උච්චතම අවස්ථාව විදියට මිලේනියම් සිටි මහා පාවාදීම සිදු වුනා. ඒකෙන් වුන හානිය ඒ වයස වෙද්දී අපිට තේරුණා හොඳටම. එතනින් එහාට අපි ගොඩාක් මිනිස්සුන්ගේ ප්රාර්ථනය වුනේම මේ කාලකණ්ණි ත්රස්තවාදය කවුරු හරි ඇවිත් සදහටම ඉවර කරලා දානවනම් කියන එක.

ඔහොම කාලය ගෙවීගෙන යද්දී මම කොළඹ කැම්පස් එකට එනවා 2005 මැයි වෙද්දී. සටන් විරාමය නමට වගේ තිබුනා. ඇවිත් ටික කාලෙකින් මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙනවා. ඊට පස්සේ යුද්ධය නැවත නිල වශයෙන් ආරම්භ වෙනවා. ඊට පස්සේ 2006 වගේ වෙද්දී කොළඹ උපරිම තර්ජනයට පත් වෙනවා. අපි කැම්පස් ආවාම ගෙවල්වලින් පුදුමාකාර බයකින් ඉන්න තත්වයක් ඇතිවුනා. තැන තැන මරාගෙන මැරෙන බෝම්බ පත්තුවෙන්න ගත්තා. මට සිදුවීම්වල අනුපිලිවෙල මතක නැතත් ඒ වගේ බෝම්බ පිපිරුණ අවස්ථා කීපයක්ම නූලෙන් මගඇරුණු අවස්ථා කීපයක්ම වුනා. සමහර තැන්වලදී වාසනාවන්ත විදියට බේරුණා වගේ දැනුනා. අපේ කැම්පස් එකේ අපිට තිබුන කොමන් රූම් එකක අපි කැරම් සෙල්ලම් කර කර ඉද්දී සෑහෙන ශබ්දයකින් හොඳටම ළඟ බෝම්බයක් පුපුරා යන සද්දේ ඇහුනා. අපිට තේරුණා ඒක ටිකක් බරපතලයි කියලා. ඒ තමයි අපේ දැන් ජනාධිපති, ඒ කාලෙ ආරක්ශක ලේකම්තුමා ඉලක්ක කරපු පිත්තල හන්දියේ බෝම්බ ප්රහාරය. මෙතනින් පස්සේ මුලු කොළඹ පුරාම දැඩි ලෙස වෙනස්කම් වුනා. අපේ කැම්පස් එක වටේම අධි ආරක්ෂිත කලාපයක් කරා. රීඩ් ඇවනිව් එකයි අනික් පාරයි දෙකම වන්වේ කරා. අලුතින් චෙක් පොයින්ට් ගොඩාක් ආවා. කැම්පස් එකේ අපිට රෑ ඉන්න තහනම් වුනා. එහෙම ඉන්නවානම් අමතර අවසරයක් ගන්න ඕන වුනා. අපේ බෝඩිම තිබුනේ දෙහිවල හන්දියෙ, එතන ඉඳලා එද්දී එක්කො වැල්ලවත්ත රොක්සිය ළඟ, එහෙමත් නැතිනම් සැවෝයි එක ළඟ චෙක් පොයින්ට්වල අපිව චෙක් කරන්න ගත්තා. සමහර දවස්වලට අපිට කැම්පස් එන්න සෑහෙන වෙලාවක් ගියා. ඒක නිසා අපි දෙහිවල ඉඳලා බම්බලපිටියට යන්න එන්න කෝච්චියට පුරුදු වුනා.

දුමානි මේ කාලෙ බෝඩ්වෙලා හිටියේ කටුබැද්දේ. මොරටුව කැම්පස් එකට පයින් යන දුරින් ගාලු පාරට කිට්ටුව එයාගේ බෝඩිම තිබුනේ. දවසක් අපි දෙන්න උදේ වෙලාවක කෝල් එකක හිටියේ. දුමානි කැම්පස් යන්න ලෑස්ති වෙලා යන්න කලින් මට කෝල් එකක් දෙනවා සාමාන්යයෙන්. එදා කෝල් එක ටිකක් ඇදුනා. එහෙම ඉද්දී එක පාරටම "චාමර, ලොකූ සද්දයක් ඇහුනා, බයේ බෑ" කියලා කිව්වා. ටික වෙලාවක් යද්දී කිව්වා "බෝම්බයක් වගේ, ලොරියක මිනිස්සුන්ගේ කෑලි පටවගෙන යනවා. මිනිස්සු දුවනවා එහෙ මෙහේ" කියලා. ඒ තමයි පිලියන්දල කටුබැද්ද පාරේ බස් එකකට එල්ල කරපු බෝම්බ ප්රහාරය. සෑහෙන පිරිසක් මැරුණා, අපේ වයස්වල කැම්පස් ළමයිනුත් මැරුණා ගොඩාක්. එදා කෝල් එක ඇදුනේ පුදුම වෙලාවකට, නැත්නම් දුමානිත් ඒ හරියෙන් පයින් යන වෙලාව.මේ විදියට කොටුව ස්ටේසමේ, නෝලිමිට් කියන තැන්වලත් බෝම්බ පිපිරුණා. මට වැඩියෙන්ම දැනුන සිදුවීම වුනේ දෙහිවල කෝච්චි බෝම්බය. ඒ කාලෙ මම අයන්වන් එකේ ඉන්ටන්ශිප් කරන කාලේ. එදා මම කැම්පස් එකේ වැඩකට කලින් පිටත් වුනා ඔෆිස් එකෙන්, ඒක ඉවර කරගෙන බම්බලපිටියට ඇවිත් කෝච්චියෙ දෙහිවලට ආවා හවස් වෙද්දී.එතනට ඇවිත් ස්ටේසම ළඟ කඩේකින් සිගරට් එකක් බීලා ස්ටේසම පාර දිගේ එන්න පිටත් වුනා විතරයි ළඟට ඇහුන දරුණුම සද්දෙකින් බෝම්බයක් පුපුරලා ගියා. හැම මනුස්සයම කෑගහගෙන දුවනවා. හිතාගන්න බෑ, මාත් දිව්වා දෙහිවල හන්දියටම. ඒ පිපිරුණේ මම ආපු කෝච්චියට පස්සෙන් ආපු කෝච්චිය. මම දුවගෙන බෝඩිමටම ගිහින් දොර වහගත්තා. සෑහෙන වෙලාවක් කල්පනා කරා, ඇත්තටම සෑහෙන බයක් දැනුනා. ඒත් මම කිසිම කෙනෙක්ට කිව්වෙ නෑ මම හිටියෙ ඒ කිට්ටුව කියලා. දුමානි කෝල් කරාම කීවේ තාම ඔෆිස් කියලා, ගෙදර අයටත් කීවේ ඒකමයි. බෝඩිමෙ උන් එක්කත් රෑ වෙලා ඒ ගැන දන්නෙ නෑ වගේ කතා කරා. ඇත්තටම කිව්වොත් මම හිටියේ ෆුල්ම ෆුල් ශොක් වෙලා. මොකද ඒ සද්දේ එච්චරටම ළඟින් ඇහුන නිසා.

ඊට පස්සේ 2008 අගෝස්තු වෙද්දී අපි කැම්පස් ඉවරවෙලා ජොබ් කරන්න පටන් ගත්තා. බස්වල කෝච්චිවල තිබුන අවදානමත් එක්ක ගෙදර තිබුන කාර් එක අම්මා දුන්නා මගේ පාවිච්චියට කොළඹ. ඒත් මම හැමදාම කාර් එකේ ආවෙ නෑ පණ්ඩිතකමට. මමයි කසුන්(Kasun Abeysinghe) අයියයි එකට හිටියේ එකම ඇනෙක්ස් එකේ මගේ කසාදෙ වෙනකල්. අපි චෙක් පොයින්ට්වල වාත වෙවී එකම බිල්ඩිමේ වැඩට ගියා.මේ කාලෙ වෙද්දී ඔෆිස් ගිය ගමන් උදේම බලන්නේ ඩිෆෙන්ස් සයිට් එකේ ඩිෆෙන්ස් මැප් එක. පුලුවන් හැම වෙලේම ඒක බලනවා. ඔෆිස් එකේ ලන්ච් වෙලාවට අපේ ටොපික් එක යුද්දේ. අපි දවසින් දවස බලාගෙන හිටියේ පුදුම විස්වාසෙකින්, එකම එක අයියා කෙනෙක් ඇරෙන්න ඔෆිස් එකේ හැමෝම යුද්ධේ දිනයිම කියන විස්වාසේ තිබුනා. බස් එකේ යද්දී එද්දී මිනිස්සු පුදුම විමසිල්ලකින් හිටියේ. කෝච්චිවල බෑග් තියන්න තියෙන රැක් ගැලෙව්වා. සීටීබී බස්වලත් එහෙමයි. වැල්ලවත්ත පහුකරද්දී අපි බයෙන් යන්නේ. ඊට පස්සේ මම කසාද බැන්දා. දුමානියි මමයි දෙන්නම ගල්කිස්සේ හිටියේ. ටික කාලෙකින් දුවත් ලැබෙන්න හිටියේ, ඒක නිසා දුමානි ස්ටාෆ් බස් එකක යන්න එන්න ගත්තා ඔෆිස් එකට. මම ගෙදරින් තිබුන බලකිරීම උඩම කාර එකේ ගියේ, මෙහෙම යද්දී එක දවසක් ගල්කිස්සේ ලොකු වාහන පෝලිමක් කේෆ්සී එක ළඟ.මිනිස්සු බස් එකකින් බස්සනවා මට පෙනුනා ටිකක් ඈතින්. ඊට පස්සේ පොලීසියෙන් එතන තිබුන වාහන ඔක්කොම පස්සට කරා. විනාඩි දහයකින් විතර කාලකණ්ණි සද්දයත් එක්ක බස් එකේ බෝම්බය පුපුරලා ගියා. කිසිම කෙනෙක්ට හානියක් වුනේ නෑ වාසනාවට.

2009 අවුරුද්ද පටන් ගත්ත දවස්වල ඉඳලා අපි හැමදාම දවස් ගැන්නා. ඩිෆෙන්ස් මැප් එකේ එන්න එන්නම අපේ කොඩි වැඩිවෙනවා. ජනවාරි, පෙබරවාරි, මාර්තු මාස ගෙවිලා ගියා දැනුනෙවත් නෑ. අප්රේල් වෙද්දී අපේ හමුදාව සෑහෙන ඉස්සරහින් ඉන්න වග අපිට දැනුනා. ඒත් කොළඹ කිසිම බුරුලක් තිබුනෙ නෑ. ආරක්ශාව කියන එක උපරිමේටම තිබුනා. අපිට පුලුවන් හැම විදියටම අපි උදව් කරා. හමුදාව වෙනුවෙන් සමහර මිනිස්සු ගොඩාක් කැපවෙලා ගොඩක් දේවල් සංවිධානය කරා. මගේ කාර් එකේ ඩිකිය පුරවලා මම වතුර බෝතල් ගිහින් දුන්නා ඒ තැනකට. මැයි මාසෙ ඇවිත් ටිකෙන් ටික දවස් ඇවිත් අවසානයේ අපි දිනුම් කියන එක දැනුම් දුන්නා. තිරිසන් බල්ලා මැරුණා කියලා ආරංචිය ආවා. ජීවිතේ අදටත් වැඩියෙන්ම රටේ එකෙක් විදියට සතුටු වුන දවස. අපි ඔෆිස් එකේ සතුටට කෑ ගැහුවා. බදාගත්තා, හැමෝගෙම ඇස්වල සතුටු කඳුලු. මායි පුබුදු(Pubudu Wasantha) අයියයි ඒ වෙලාවේ ඉක්මණට කලෙක්ශන් එකක් දැම්මා. අපි හැමෝම පර්ස් එකේ තිබුන සල්ලි ඔක්කොම දැම්මා. කිරුලපනටම යන්න වුනා රතිඤ්ඤා ගේන්න. ඒ යද්දී හැම තැනම මිනිස්සු ජාතික කොඩි අරන් පාරේ. හැමතැනම රතිඤ්ඤා දානවා. අපි කිරුලපනට ගිහින් ඩිකිය පිරෙන්න රතිඤ්ඤා ගෙනල්ලා බම්බලපිටිය ෆ්ලැට්ස් ඉස්සරහා කාර් පාක් එකේ කාර් ඔක්කොම අයින් කරලා පාක් එක දිගට රතිඤ්ඤා එලුවා. ඒ ටික පත්තුවෙනකොට අපි සතුටට ආයි කෑ ගැහුවා. එතන තිබුන සිංහල කඩේ මුදලාලි අපිට එයාගේ කඩේ තිබුන රතිඤ්ඤා ඔක්කොම දුන්නා අපි ඉන්න හැටි දැකලා. එතන තිබුන වේලුන පොල් අත්තක් ගිනි තියලා අපි ඒවාත් පත්තු කරා. මුලතිව් අල්ලද්දී අනිවා කනවා කියපු අපේ ඔෆිස් එකේ හිටපු එකම අයියත් අපිත් එක්ක සතුටු වුනා. ඊට පස්සේ හවස ගල්කිස්සේ ගෙදර යන්න පැය දෙකක් විතර ගියා. මග දිගට කිරිබත් උයලා වාහනවලට බෙදනවා. ඒ වෙනකල් ජීවිතේට එහෙම මිනිස්සු සතුටු වෙනවා දැකල තිබුනේ නෑ.

අවුරුදු ගාණක් තිබිලා ඉවර වුන යුද්ධය ගැන මට මේ වගේ කෙටි ලිපියකින් ලියන්න අමාරුයි. කොළඹ තිබුන චෙක් පොයින්ට අයින් වුනා. මිනිස්සු බය නැතිව පාරෙ යන්න එන්න ගත්තා. කොළඹ එන්න එන්නම ලස්සන වුනා. මගේ දුව ඉපදුනේ යුද්ධයක් නැති රටක. ඒකට අප්රමාණ කැපකිරීම් කරා ගොඩාක් මිනිස්සු. ත්රිවිධ හමුදාවටම අපි ආත්ම ගණනාවකට ණයගැති මිනිස්සු. සරත් ෆොන්සේකා, වසන්ත කරණ්නාගොඩ සහ රොෂාන් ගුණතිලක ඇතුළු ඒ යුධ නායකත්වය හැමදාම අපේ හිත්වල තියෙනවා. වර්තමාන ජනාධිපතිතුමා, හිටපු ජනාධිපතිතුමා ගැනත් යුද්ධය ඉවරකරන්න ගත්ත තීන්දු තීරණ ගැන ඒ ගෞරවය හැමදාටම තියෙනවා.කවුරු මොනවා කිව්වත් යුද්ධය ගැන විහිළු කතා කියපු හැම දේශපාලුවා ගැනම එදා හිතට ආපු වයිරයත් ඒ විදියටම හිතේ තියෙනවා. නැවත කිසිම දවසක් එවන් යුද්ධයක් ඇති නොවේවා කියලා මම හැමදාම ප්රාර්ථනා කරනවා යුද්ධය මතක් වෙන හැම දවසකම...


No comments:

Post a Comment